දැන් ගොඩක් තිරපිටපත්වල තියෙන්නේ පල්හෑලි

දසුන් පතිරණ
සැප්තැම්බර් 1, 2022

 

මේ දවස්වල දසම මැස්සෙක් වෙලයි ඉන්නේ

 

කලා ක්ෂේත්‍රයට පැමිණ ඉතා කෙටි කාලයකින් හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය ඔහු හිමිකර ගත්තේය. සිනමාව සහ ටෙලි නාට්‍ය කලාවේ කියැවෙන නම් අතරට සලකුණක් ඔහු තබා ගත්තේය. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන මැස්සා ටෙලි නාට්‍යයේ “මැස්සා” ඔහුය. තමන් පණ පොවන චරිතයට සාධාරණයක් ඉටු කිරීම එකම අරමුණ කර ගත්තෙකි ඔහු. ජීවිතයේ නොයෙක් හැලහැප්පීම්වලින් ඉදිරියට ආ ශිල්පියකු ලෙස ඔහු හැඳීන්විය හැකිය. සුදේශ් වසන්ත පීරිස්ගේ “හුස්ම” සිනමාපටයෙන් සිනමාවට නව ප්‍රවේශයක් ලැබූ ඔහු මීළඟට තිරගවිමට නියමිත සීරුවෙන් සිනමා පටයෙන් පසු සත් සමුදුරෙන් එපිට සිනමාව කෙරෙහි ඉදිරියේ බලාපොරොත්තු තබා ගත හැකි චරිතයක් බවට ලක් වන ලකුණු ආරංචි වෙමින් පවතී. මේ දසුන් පතිරණයි.

"මැස්සා" සමඟ ගෙවන ජීවිතය කොහොමද?

මේ දවස්වල දසම මැස්සෙක් වෙලයි ඉන්නේ. මගේ උපරිම කැප කිරීම කරලා මේ දවස්වල මැස්සාට පණ පොවනවා. ඒ නිසා ප්‍රේක්ෂකාගාරය මේ වන විට හොඳට පත්තු වෙලා තියෙනවා. මේ හරහා හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. කොළඹ පරිසරයට හුරු වෙච්ච කොල්ලෝ ටිකක් කරන මදාවි වැඩ නිසා සමාජයෙන් සිදු වන අකටයුතුකම් මෙයින් විග්‍රහ වෙනවා. අපි සියලු දෙනාම ට්‍රයි කළේ මේ දවස්වල ප්‍රසිද්ධ නාට්‍යවලින් එහාට ගිහිල්ලා නාට්‍යයක් කරන්න. ඒක අපි කළා කියලා සතුටු⁣ වෙන්න පුළුවන්. කෞශල්‍ය පතිරණගේ තිර රචනය සඳහා ඉන්දික ධර්මතිලකගේ ඇක්ෂන්, කට් යන වචනයට අපි පොඩි ඇක්ට් එකක් දානවා විතරයි. ඉදිරියට බලමු මොකද වෙන්නේ කියලා.

 

ඔබ චරිත තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නේ කුමන ඉසව් ගැනද?

ඔබ කියූ ආකාරයට නාට්‍යයක නම් නිකන් දිරාගිය පරඬැලක් වගේ චරිත නොතිබිය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙම දිරා යන චරිත තෝරාගෙන මට කරන්න බැහැ. ප්‍රේක්ෂකාගාරය මගෙන් ඉල්ලන දේ දෙන්න පුළුවන් නම් තමයි මම ඒ පිටපතට අනුගත වෙන්නේ. ගොඩක් පිටපත්වල තියෙන්නේ සමාජයට යහපතක් වන දේවල් වත් කතා කරන දේවල්වත් නෙවෙයි. පුහු වල් පල් හෑලි. ඒවායේ රඟපෑවාම සමහර එවුන් මගෙන් අහනවා උඹට පිස්සුද අර නාට්‍යයේ රඟපෑවේ කියලා. මගේ යාළුවෝ හිත මිත්‍රාදීන්ගෙන් බැණුම් අහනවට වැඩිය හොඳයි, මම හොඳ නාට්‍යයක රඟපානවා කියලා තීරණය කළා. ඒ නිසා ඒ ප්‍රතිපත්තියේම මම දිගටම ඉන්නවා.

 

නිර්මාණයකදී ප්‍රවීණයන් සමඟ ඔබේ ගනුදෙනුව කෙසේද?

ප්‍රවීණයන්ගේ ආභාසය ලැබිය යුතුයි. ඔවුන් තමයි අපේ මහා පුරුක් ලෙස මම නම් සලකන්නේ. මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා. ඔහු හැමදාම අපට කියා දුන්නේ ප්‍රවීණයන්ගේ ආභාසය තුළින් තමයි මේ ගමන යා යුත්තේ කියලා. ඒ වගේම හොඳම ගමන යන්නට පුළුවන් වන්නෙත් එහෙමයි කියලා. මම ඒ පිළිවෙත දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසයි අද මම තැනක ඉන්නවා කියලත් මට කියන්නත් පුළුවන්.

 

ඔබේ රංගනය පෙන්විය හැකි හොඳම මාධ්‍ය ලෙස ඔබ සලකන්නේ කුමක්ද?

මොන මාධ්‍යයෙන් වුණත් අපේ රංගනය පෙන්නන්න පුළුවන් නම් එච්චරයි කියලා මම හිතන්නේ. හැබැයි කොහෙත්ම මම මෙගා නාට්‍යවල නම් රඟපාන්න අදහසක් නෑ. කොත්තු බාස් කොත්තු ගහනවා වගේ ඒ නාට්‍ය කලාවට මම කැමැති නැහැ. ආනන්ද අබේනායක, ලලිත් රත්නායක, ඉන්දික ධර්මතිලක, සුනිල් කොස්තා, සුපුන් ඉන්දික, ලක්මිණි අමරදේව වැනි අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණවලට මම හරි කැමැතියි. ඔවුන් සියලු දෙනාම පීරියඩ් එකත් තුළ පමණයි නිර්මාණ ගෙන යන්නේ. එහෙම කරපුවාම ප්‍රේක්ෂකාගාරයටත් හොඳයි. අපිටත් ලේසියි. මොකද අපි වෙන රැකියාවක් කරන්නේ නැති හින්දා මේක තමයි අපේ වෘත්තිය ලෙස අපි සලකන්නේ. කාලය කළමනාකරණය කරගෙන වැඩේ හරියට කළොත් සියලු දෙනාටම ගොඩ යන්න පුළුවන්. මාධ්‍ය ප්‍රශ්නයක් කර ගත්තොත් අපේ ජීවිතයට ප්‍රශ්නයක් ඇති වෙනවා. මම මාධ්‍ය ප්‍රශ්නයක් කරගන්නෙ නෑ. නිර්මාණයේ ගුණාත්මකභාවය තමයි මම වැඩියෙන්ම බලන්නේ.

 

නිර්මාණයකට දායක වීමේ දී වැඩි මුදලක් අය කරන නළුවෙකු ලෙස ඔබ හඳුන්වනවා. ඒක ඇත්තද?

එහෙම කවුරු හරි මං ගැන සඳහනක් කරනවා නම් ඒක සාධාරණ වෙන්නත් පුළුවන්. මගේ ශිල්පීය දක්ෂතාවය වෙනුවෙන් යම් නිර්මාණයකට දායක වෙනවා නම්, මම මුදලක් අය කරනවා. මොකද මම හැම දෙයක්ම කරන්නේ මගේ රංගනය වෙනුවෙන්. අපි රංගන ශිල්පින් කියලා රට රටවල්වලින් වත් අපේ රටෙන් වත් අපිට වැටුපක් ගෙවන්නේ නැහැ නේ. අපිට එන නිර්මාණ තුළින් තමයි අපි ජීවත් වෙන්නේ. එයට වටිනාකමක් දීම වටිනවා කියලයි මම හිතන්නේ. ඒත්, නළුවකුට හෝ නිළියකට ප්‍රවීණත්වය අනුව වටිනාකමක් දීමට මේ තාක් කල් ක්‍රමවේදයක් සැකසිලා නෑ. ඒකට ක්‍රමවේදයක් සැකසෙනවා නම්, ඕනෑම කෙනෙකුට වටිනාකමක් දීමට හැකියාවක් තියෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ කොපමණ සංඛ්‍යාවක් ඉදිරියේදී තිරගත වීමට නියමිතද?

නිර්මාණ කීපයක්ම තිරගත වීමට නියමිතයි. ඉදිරියේදී එන්න තියෙන නිර්මාණවලට, ප්‍රදර්ශනය වුණ නිර්මාණවලට වගේම බනින්නත් පුළුවන්. හොඳ කියන්නත් පුළුවන්. ඒ දෙපැත්තම මම නළුවකු ලෙස සතුටින් භාර ගන්නවා. මාරියා සහ සිරුවෙන්, එකිනෙකට වෙනස්. විවිධ දිශානතීන් තමයි මේ සිනමාපට හරහා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නේ. මේ ඇරුණාම තව කීපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. සුදේශ් වසන්ත පීරිස්, අරුණ ජයවර්ධන, මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් වැනි අයගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ නිර්මාණ එළියට එන්නේ.

 

මහේන්ද්‍ර පෙරේරා නිසා නේද ඔබට මාවත එළිපෙහෙළි වුණේ?

එය සීයට දෙසීයක් නිවැරදියි. මට මහෙන්ද්‍ර පෙරේරා තරම් නළුවෙක් වෙන්න බැහැ, නමුත්, මම ඔහුගේ ගෝලයා හින්දා ඒ ගමන් මාර්ගයේ ගමන් කරනවා. මම හැම වෙලේම උත්සාහ කරන්නේ මට ලැබෙන චරිතයට මොනවා හරි විශේෂ දෙයක් කරන ගමන් රංගනයෙන් දායක වීමට. විශාකේශ, සමීර රංගන, තිසර ඉඹුලාන කියන අපේ පරම්පරාවේ අධ්‍යක්ෂකවරු මට ගොඩක් උදව් කළා.

 

"සීරුවෙන්" සිනමාපටය ගැන මොකද කියන්නේ?

ඇත්තටම සුදේශ් වසන්ත පීරිස් සෑහෙන්න මහන්සි වෙලා මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළා. " හුස්ම " සිනමාපටය සහ "සීරුවෙන්" සිනමා පටය ප්‍රතිනිර්මාණයන්. ඒඤධනබචබඪධද ගණයේ සිනමාපටයක් ලෙස මෙය හැදින්විම නිවරැදියි. මේ සිනමාපට දෙකෙන් සුදේශ් වසන්ත පීරිස් හරියටම වැඩක් කළා කිව්වොත් මම නිවැරැදියි. " සීරුවෙන් " සිනමාපටයේදී අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ඔහු හරියටම ඉටු කරන බව දැනගත් ජැක්සන් අයියා පවා පුදුමයට පත් වුණා. ඔහු හරිම සරල අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ මේ සිනමාපට දෙකේදීම නළු නිළියන් හැසිරවීම තුළ පුදුම සහජ හැකියාවක් ඔහුට තියෙනවා කියලා මටත් පෙනුණා. "සීරුවෙන්" සිනමා පටය තිරගත වෙන්නට ගත්තට පස්සේ අපට හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා. රංගන ශිල්පීන් ඒ ඒ චරිතයට හරියටම සාධාරණයක් ඉටු කරනවා කියන විශ්වාසය ඇතුවයි ඔහු නළු නිළියන් තෝරා ගත්තේ.

 

ජැක්සන් ඇන්තනී සමඟ රංගනයට එන්නේ "සීරුවෙන්" සිනමාපටයේදී නේද?

මට ලැබුණ හොඳම ලොකුම සම්මානය මේක කියලයි මම හිතන්නෙ‍. ජැක්සන් ඇන්තනි වගේ නළුවකු සමඟ එකට රඟපාන්න ලැබීමත් අපට හරිම වාසනාවක්. " සීරුවෙන් " සිනමාපටයේ අති විශිෂ්ට රංගනයක ඔහු නියැළෙනවා. දෑස නොපෙනෙන හමුදා නිලධාරියකු ඔහු මුහුණ දෙන අනපේක්ෂිත අවස්ථා සහ අත්දැකීම් තුළින් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට ඔහුට හැකි වෙනවා කිව්වොත් මම හිතන්නේ නිවරදියි. මම, බුද්ධික, ඩිස්නි, එක්ව ජැක්සන් අයියා සමඟ රඟන මේ සිනමාපටය තිරගත වන විට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා නොඅනුමානයි. සුදේශ්ගේ මේ වැඩේට නියම ලකුණක් දෙන්න ප්‍රෙක්ෂාගාරය බලන් ඉන්නවා.

 

සිනමාවට අලුතෙන් එන අය ගැන කියන්න තියෙන්නේ මොනවාද ?

අලුතෙන් එන පරම්පරාව හැම ක්ෂේත්‍රයකටම ආ යුතුයි. එබැවින් සියලු දෙනාම ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගත යුතුයි. ඒ එන තරුණ පරම්පරාව ඔවුන්ගේ අත්දැකීම් සහ අධ්‍යාපනය තුළින් පමණයි සිනමාවට එන්නේ. ඒ වගේම පත පොත පරිශීලනය මෙන්ම පාඨමාලාවන් හැදෑරීම, ප්‍රායෝගික පුහුණුව මේ සියල්ල කරමින් ඔවුන් මේ නිර්මාණකරණයට නිසි අයුරින් සිනමාවට අවතීර්ණ වුණොත්, අනාගතයේ හොඳ සිනමාවක් අපිට දකින්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා.