මා රැඟු‍ කැමැති ගී

සබීතා පෙරේරා
අගෝස්තු 25, 2022

 

 

 

 

ජීවිතය කවියක් නම් ඒ කවිය තනුවක් වෙන්න
අපි හැමෝම කැමැතියි.

මගේ සිනමා ජීවිතයත් එවැනි සුන්දර කවියක් වගෙයි මට දැනෙන්නේ.

 

මං රංගනයෙන් දායක වූ චිත‍්‍රපට තුළින් පැනනැගුණු  සිනමා ගීතාවලිය විටින් විට මා මතකය සුන්දර යටගියාවකට මා රැගෙන යනවා.

සරසවියේ අදින් ඇරැඹෙන ”මා කැමැති මා රැඟු‍ ගී” නම් වූ මෙම විශේෂාංගයට ප‍්‍රථමයෙන් මා තෝරාගැනීම පිළිබඳ වූ ආනන්දයෙන්ම මා කැමැති මා රැඟු‍ ගී පිළිබඳ මෙසේ මතකය අවදි කරන්නම්.

 

 

 

 

 

 



1. සබීතා.... සබීතා-(1980)

කිසියම් චිත‍්‍රපටයක් තමන්ගේ නමින් තිබෙනවා නම් කවුද අකැමැති වෙන්නේ. මට ඒ දුර්ලභ වාසනාව ලැබුණා. තමන් රංගනයෙන් පළමුවරට දායක වන චිත‍්‍රපටයේ නම නිළියගේ නම වීම පමණක් නොවෙයි. පළමු ගීතයේ (එච් ආර්.ජෝතිපාලයන් ගැයූ) නමත් සබීතා වීම තුළින් මා ලැබු අහිංසක සතුට අනන්ත අප‍්‍රමාණයි. සබීතා චිත‍්‍රපටය තමයි මගේ පළමු චිත‍්‍රපටය. එවකට මම පාසැල් දැරියක්. චිත‍්‍රපටයේ මං රඟපෑවේත් පාසැල් දැරියක් ලෙසින්. ආධුනික රංගන ශිල්පිනියක් ලෙසින් දර්ශන තලයට යනකොට මගේ සහාය රංගන ශිල්පියා වන්නෙත් තවත් ආධුනිකයෙක්. ඔහු ජගත් රොහාන්. චිත‍්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය සිදුකළේ රොනල්ඞ් ප‍්‍රනාන්දු. ඒ කාලේ නැටුම් ශිල්පිනියක් ලෙස ඉහළ ප‍්‍රසාදයක් හිමිකරගත් ෆරීනා ලායි මහත්මිය මාව නර්තන අංශ සඳහා පුහුණු කළා. එවකට මම පාසැල් දැරියක නිසා චිත‍්‍රපටය රූගත කිරීම් කටයුතු පාසැල් නිවාඩු කාලය තුළ සිදුකිරීමට සබීතා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ජේ.සෙල්වරත්නම් මහතා පොරොන්දු කරගෙනනයි අපේ තාත්තා (ස්ටැන්ලි පෙරේරා) මට මේ චිත‍්‍රපටයේ රඟපාන්න අවකාශය සලසා දුන්නේ. රූගත කිරීම් අවසන් වනතුරුම අම්මයි තාත්තායි මගේ ළඟින්ම සිටිය හැටි, මට සිතුවම් පෙළක් සේ මැවී පේනවා. ලයනල් දැරණියගල, විජය නන්දසිරි, මානෙල් වානගුරු ඇතුළු ප‍්‍රවීණයන් පිරිසක් මැද්දේ ආධුනික රංගන ශිල්පිනියක හැටියට මං ප‍්‍රවීණයන් රැුසකගේ ගුරුහරුකම් යටතේ රංගනයට එක්වුණා.

2. ”විල්ලූ‍ද පුංචි දෙපා...මමයි රජා - (1989)



”විල්ලූ‍ද පුංචි දෙපා කළු කරගන්න එපා

අව්වට යන්න එපා දාවලේ

අවලස්සන වේවී සිරියාවී

මට රිදවන්න එපා

මඟ හැර යන්න එපා

තරහා වෙන්න එපා මේ වාගේ

අනුකම්පා නැතිදෝ සිරියාවී....

සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණ කළ ”මමයි රජා” චිත‍්‍රපටයේ එන (එච් ආර්.ජෝතිපාලය සහ ලතා වල්පොල ගැයූ) මෙම ගීතය මට අසීමිත පේ‍්‍රක්ෂකාදරයක් ගොඩනගා දුන්නා. ගීතය ඇහෙනකොටම පේ‍්‍රක්ෂකයන් කුල්මත් වෙනවා. මේ ගීතය කොයි තරම් මගේ ජීවිතයට බද්ධ වී තිබෙනවා දැයි කියනවා නම් පසුකාලීනව විවිධ උත්සව අවස්ථාවලට මම සහභාගී වන අවස්ථාවේ මම වෙනුවෙන් මෙම ගීතයේ සංගීත ඛණ්ඩය යොදා ගන්නවා. මට මතකයි පසුකාලීනව මං රිදී රැුයක් වැඩසටහන සඳහාත් මෙම ගීතයට නර්තනයේ යෙදුණා. ඒ කාලය වන විට විජය කුමාරතුංග මහතා බොහොම කාර්යබහුලයි. එතුමා දේශපාලනයට සම්බන්ධ වී සිටි කාලය. සැමදෙනාම එතුමාට ආදරෙයි. මං කවදාවත් හිතුවේ නැහැ එතුමා සමඟ ප‍්‍රධාන චරිතයක් රඟපාන්න ලැබේවි කියා. විජය කුමාරතුංග මහතා සතු වූ කඩවසම් බව මං කවදාවත් වෙනත් ශිල්පියෙකුගෙන් දැකලා නැහැ. ඒ තරමට එතුමා ප‍්‍රභාමත්. මමයි රජා, තණ්හා ආශා, සූරයන් අතර වීරයා, තවම තිරගත නොවූ සමාව ඇතුළු චිත‍්‍රපටවල විජය කුමාරතුංගයන් සමඟ සිංහල සිනමාව හැඩ කරන්නට මං වාසනාවන්ත වුණා කියා මට හිතෙනවා.

3. සීගිරි ලාලිත ළඳුණේ - නොම්මර 17 (1989)


සීගිරි ලාලිත ළඳුණේ

හෝ හෝ

මා සිත ඔබ ළඟ රැඳුණේ

හෝ හෝ

මල් මදහාසය පාලා

හ්ම්... හ්ම්..

මදු සඳ සේදි සෝබා

ආවාදෝ සසරේ හෝ හෝ


නොම්බර 17 චිත‍්‍රපටයේ එන මේ ගීතය රූගත කිරිම් සිදුකළේ කොළඹ නගරය අවටයි. එයට හේතු වුණේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළු චරිතය නිරූපණය කළ විජය කුමාරතුංග මහතාගේ දැඩි කාර්ය බහුලබව නිසායි. එතුමා සමඟ මං රඟපානකොට, නර්ථනයේ යෙදෙන විට පේ‍්‍රක්ෂකයන් යම් නැවුම් බවක් දුටුවා. ඒ වෙනසට ආශා කළා.

මට මතක හැටියට මේ චිත‍්‍රපට අධික පිරිවැය සහිත චිත‍්‍රපට නොවෙයි. ඉර බහින්න කලින් රූගත කිරීම් සිදුකර ගන්නත් ඕනෑ. කඩිනමින් කරන්නත් ඕනෑ. මෙන්න මේ වගේ පසුබිමක් යටතේයි මේ ගීතයට එකතු වුණේ. මට මතකයි කොළ පාට සාරියක් ඇඳගෙන මේ ගීතයේ රූගත කිරීමට එකතු වූ හැටි. සිනමාවේ තරු ගුණය වැඩිකර දෙන්නට මේ සොඳුරු ගීතය ඉවහල් වුණා. රංගනයෙන් එක් වූ විජය කුමාරතුංගයන්ගේ පෞරුෂය පිරුණු හඬ වගේම මා වෙනුවෙන් ගැයු ඇන්ජලින් ගුණතිලක ගායනවේදිනියගේ කර්ණ රසායන රසාලිප්ත හඬ මේ ගීතයේ ශ‍්‍රව්‍ය - දෘශ්‍ය සුසංයෝගය කූටප‍්‍රාප්තිය කරා රැගෙන ගියා. අදටත් මේ ගීතය වගේම මේ චිත‍්‍රපටයටත් පේ‍්‍රක්ෂකයන් ඉතාමත් ආදරෙයි. මෙහි මම රඟපෑවේ ද්විත්ව චරිත අම්මා සහ දියණියගේ චරිත. ඔයාල කවුරුවත් නොදන්නා කාරණාවක් මං කියන්නම්. මේ චිත‍්‍රපටයේ සමහර දර්ශනවල මාගේ ආදේශනය සඳහා මගේ නැ`ගණියක් දායක වුණා.

4. චාමර සැලූණාවේ - දෙවනි ගමන (1984)



”චාමර සැලූණාවේ

සේසත් සැලූණාවේ

සුරංගනා සුළං දැලේ

චාමර සැලූණාවේ

පවන් සලා පවන් සලා

වීඩා නිවා පවන් සලා

වළාකුලේ විමානයෙන්

සිනාසීසී පියාඹලා

චාමර සැලූ‍ණාවේ


නීලා වික‍්‍රමසිංහ, පේ‍්‍රමසිරි කේමදාස, ධර්මසිරි ගමගේ ශිල්පීය දායකත්වයෙන් මගේ රංගනය මුවහත් කරන්නට මා වෙත ලැබුණු තිළිණයක් ලෙසට මම මේ ගීතය හඳුන්වන්න කැමති. 1984 අවුරුද්දේ තිරගත වුණු දෙවැනි ගමන චිත‍්‍රපටයේ මගේ සිනමාවේත් දෙවැනි ගමන ලෙසයි මම දකින්නේ.

එච්.ඞී.පේ‍්‍රමරත්න නම් වූ මැද මාවතේ සිනමාවේදියාගේ අපූර්වතම සිනමාපටයක් වූ දෙවැනි ගමනහි එන චාමර සැලූ‍ණාවේ ගීතයට මම ඇලූ‍ම් කරන අනෙක් කාරණාව තමයි එහි සංගීත නිර්මාපකයා වූයේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස ශුරීන්. එතුමාගේ සිනමාරූපි සංගීතයට මං බොහෝම කැමැත්තෙන් සිටි අයෙක්. එය ගැඹුරු භාවනාවක් වගේ. ලතා වල්පොල, සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක, චන්ද්‍රිකා සිරිවර්ධන යන ප‍්‍රවීණ ගායක වේදිනියන් මං දායක වූ ගීතවලට සිය ආත්මීය හ`ඩවල් එක්කර තිබුණා. මේ ගීතයේදී නීලා වික‍්‍රමසිංහ ශිල්පිනියගේ ගායනය ගීතයේ අතිසාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වුණා. අදටත් මම වගේම මගේ පේ‍්‍රක්ෂකයනුත් මෙම ගීතයට ඉතාම ආදරෙයි.

”උදාගිරේ පහන් වැටේ

කැලූම් පිපී දිලි දිලී

පුළුල් මලක් දැවී දැවී

සෝ සුසුම් නිවී නිවී

චාමර සැලූ‍නාවේ”


5. හිමරේණු වැටෙනා සීතලේ - ආත්මා (1994)



”හිමරේණු වැටෙනා සීතලේ

නෙතගාව රඳවා ආදරේ

සුදු සේල සුළෙ`ග් පා කළේ

ඔබ නේද මාගේ බිසෝ

රන්තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්දු මාලිගේ

රතු රෝස යහනා සෑදුවේ


මට නේද මගෙ මල්සරෝ කියන ගිතයත් මා රඟපෑ ගීත අතර ඉතාමත් ආකර්ෂණීය ලෙසින් පේ‍්‍රක්ෂකාගාරය රොද බැඳ ගත් ගීතයක්. සරත් දසනායක සංගීතවේදියා නිෂ්පාදනය කළ ආත්මා චිත‍්‍රපටය සංගීතමය චිත‍්‍රපටයක් ලෙසටයි මට දැනෙන්නේ. එහි මං රඟපෑවේ ද්විත්ව චරිත. බොහෝම ලගන්නා සුලූ, සිනමාරූපි සංගීතයක් මේ චිත‍්‍රපටය පුරා දැකගන්නට පුළුවන්. නර්තන ප‍්‍රසංගවල මේ ගීතය අදටත් වරදින්නේ නැති ගීතයක්. මට මතකයි පසුකාලීනව මමත් මේ ගීතය රිදී රැුයක් ප‍්‍රසංගය සඳහා චන්න පෙරේරා සම`ගින් නර්තනයේ යෙදුණා. ගේ‍්‍රෂන් ආනන්ද හා ලතා වල්පොළ සුසංයෝගයෙන් ඉතා මනරම් ලෙස නිමවා තිබුණා. අපි ගීතය ?ගත කිරීම් සිදුකළේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ. ගීතයේ දැක්වෙන හිම රේණු බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ වූ සුන්දර වටපිටාව සමගින් මනාව බද්ධ වී මේ ගීතය බොහොම රසාලිප්ත කළා කියා මට හිතෙනවා. රංගන ශිල්පිනියක ලෙසින් ඉහළ පේ‍්‍රක්ෂකාකර්ෂණයක් දිනා ගැනීමට මේ ගීතය මට වාසනාව ගෙනවා කියා මම විශ්වාස කරනවා.


6. ගී නාද පාවෙතේ - චෙරියෝ ඩොක්ටර් (1991)



සිනමාව තුළ විවිධ ස්තර පවතිනවා. ඒවා හොඳින් හඳුනාගෙන කටයුතු කිරීම වගේම එක් එක් ස්තරයේ පවතින සුවිශේෂීතාවයන් මැනවින් හඳුනා ගැනීම රංගන ශිල්පියකු, ශිල්පිනියකගේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වන දෙයක්. රෝයි ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ චෙරියෝ ඩොක්ටර් සිනමාපටය ප‍්‍රහසන ගණයේ චිත‍්‍රපටයක්. මානසික රෝහලක් වටා ගෙතුණු සරල කතා පුවතක් මේ චිත‍්‍රපටයට පාදක වුණේ. රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ යුවළ මගේ පියාගේත්, මවගේත් හොඳ යහළුවන්. මං පුංචි කාලයේ රෝයි මහතාගේ ටොම් පචයා චිත‍්‍රපටයේ රඟපෑවා කියා මට අපේ තාත්තා කියා තිබෙනවා. කැලණියේ සරසවි චිත‍්‍රාගාරය ආශ‍්‍රිත දර්ශනතල ඇසුරේ රූතග කළ චෙරියෝ ඩොක්ටර් චිත‍්‍රපටයේ ගීත රූපගත කිරීම් සිදුකළේ හපුතලේ - බණ්ඩාරවෙල ප‍්‍රදේශවල. විශේෂයෙන්ම ගේ‍්‍රෂන් ආනන්ද හා ලතා වල්පොළ ගැයූ ගී නාද පාවෙතේ... නම් වූ මේ සොඳුරු ගීතය රූගත කිරීම් සිදුකළේ හපුතලේ ප‍්‍රදේශයේදී. සනත් ගුණතිලක මහතාත් මා සමඟ මේ චිත‍්‍රපටයේ වගේම ගීතයේත් රඟපෑමට එක්වුණා.



7. මුතුලතා බඳු රූසිරෙන් - බඹසර බිසව් (1993)



දයා විමලවීර නම් වූ සිනමා අධ්‍යක්ෂවරයා හරියට ඉන්දියාවේ මනිරත්නම් වැනි ශිල්පියෙක්. ඒ තරමටම එතුමාගේ චිත‍්‍රපට අපූර්වත්වයෙන් පිරී තිබෙනවා. බලන්න හිතෙන හිතන්න යමක් තිබෙන බොහෝ වෙහෙස මහන්සි වී නිර්මාණය කළ ඡුායා, රජදරුවෝ, බඹසර බිසව් ආදී එතුමාගේ චිත‍්‍රපටවල රංගනයට එක්වන්නට ලැබීම මගේ භාග්‍යයක්. අධ්‍යක්ෂ භූමිකාවට අමතරව එතුමා කෘතහස්ත කැමරා ශිල්පියකු නිසා දයා විමලවීරයන්ගේ චිත‍්‍රපටවල රූප සෞන්දර්යය බොහොම ඉහළයි. මේ මුතුලතා බඳු රූසිරෙන් ගීතය (ගේ‍්‍රෂන් ආනන්ද හා ලතා වල්පොළ ගැයූ) රූගත කරන්නත් එතුමා බොහෝ වෙහෙස වුණා. අවශ්‍ය රූපය ලැබෙනතුරු රූගත කිරීම් සිදුකළා. දයා විමලවීර මහතා යටතේ චිත‍්‍රපටයක රංගනයට එක්වීම සිනමා පාසලකට ඇතුළත්වීමක් හා සමානයි. පේ‍්‍රක්ෂකයන්ට, අපේ සිනමා පේ‍්‍රක්ෂකයන්ට හොඳම දෙයක් දෙන්ට එතුමා ඇප කැප වුණා.




8. එකමුතුකම ගජමුතු මෙන් සිතන්නේ - නැවත හමුවෙමු - (1982)



”නැවත හමුවෙමු” චිත‍්‍රපටය කියන්නේ මගේ සිනමා දිවියේ මුල් කාලයේ සිනමාපටයක්. හින්දි අනුකාරක චිත‍්‍රපට බොහෝම ජනප‍්‍රිය වූ කාලයේ නිර්මාණය කරන ලද එවැනි අනුකාරක චිත‍්‍රපටයක් තමයි නැවත හමුවෙමු කියන්නේ. මේ ගීතය ගායනා කළේ එච්.ආර්.ජෝතිපාල හා මිල්ටන් මල්ලවාරච්චි.

විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා ප‍්‍රවීණ ශිල්පීන් දෙපළ සමඟ මමත් සනත් ගුණතිලක මහත්මයාත් මේ චිත‍්‍රපටයට දායක වුණා. ඒ කාලයේ මං බොහොම නවක නිළියක්. මාලිනී අක්කාගේ (ප‍්‍රවීණ රංගනවේදිනි මාලිනී ෆොන්සේකා) රූප සෞන්දර්යයෙන් මං වශීවෙලා සිටියේ. සමහර වේලාවට මං ඇය දිහා ඇසි පිය නොහෙළා බලා සිටිනවා. කොයි තරම් බැලූ‍වත් මදියි වගේ. ඇයත් එක්ක රඟපාන්න ලැබීමම මට සිහිනයක් සැබෑවීමක්. මං සමහර වෙලාවට උත්සාහ කළා මාලිනී අක්කා කොණ්ඩය පීරන ආකාරයට හිස පීරන්න, ඇඳුම් අඳින්න... ඒත් අවසානයේ මං තේරුම් ගත්තා මාලිනී ෆොන්සේකලා දෙන්නෙක් ඉන්නම බැහැ. මම මමම විය යුතුයි. මම මම ව සොයා ගත යුතුයි කියා මං ඇගෙන් ඉගෙනගත්තා.

9. ළා නීල ආකාශයේ - රජ දරුවෝ (1992)



දයා විමලවීරයන්ගේ චිත‍්‍රපට කැමරාකරණයේදී වෙනත් කැමරාකරණයකදී දැක නොහැකි අපූරු හැඩයක් රංගන ශිල්පීන් හට හිමිවෙනවා. රූප සෞන්දර්යේ අපූරු මානයන් අතරේ එතුමාගේ මෙහෙයවීම යටතේ චිත‍්‍රපට කිහිපයකම රඟපෑමට වාසනාව ලැබීම තරම් මා මොනතරම් භාග්‍යවන්තද? චිත‍්‍රපටයට උචිත ගීත සංගීත අධ්‍යක්ෂණය සිදුකරන සංගීතවේදියා ලවා මනා සංයමකින් තෝරා ගන්නා ඔහුගේ සිනමා ගීතාවලියේ ”අහසක් බඳු” (ගේ‍්‍රෂන් ආනන්ද හා ලතා වල්පොළ ගැයූ) ”ළා නීල ආකාසේ” ගීතය මගේ සිනමා දිවියේ අමතක නොවනා ගීතයක් ලෙස බැඳී තිබෙනවා.

රජදරුවෝ, සුජාතා, බඹසර බිසව්, චායා වැනි චිත‍්‍රපට නිර්මාණය වූයේ සිනමා කර්මාන්තය දරුණුතම පසුබෑමකට ලක් වූ අවධිකය. නමුත් මේ සොඳුරු සිනමාපටයේම සිනමා රූප ගීත කිසිදු දිනෙක පසුබෑමකට ලක්වූයේ නැහැ.


10. නුවන් දිලේ ඈත නම්තෙරේ - රෝසි (1985)



යසපාලිත නානායක්කාර නාමයත් එක්ක සංජානනය වන වදනක් තමයි රස සාගරයක් කියන කාරණාව. එතුමාගේ ජනප‍්‍රිය ධාරාවේ චිත‍්‍රපටවලින් එය පැහැදිලි වෙනවා. එතුමාගේ සිනමාව තුළින් මට ලැබුණු හොඳම අවස්ථාවක් ලෙසින් රෝසි හඳුන්වන්න පුළුවන්. රෝසි චිත‍්‍රපටයේ රෝසිගේ චරිතය මගේ සිනමා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක් වුවා යැයි කියන්නට පුළුවන්. මට පකිස්ථානු චිත‍්‍රපට 16ක රංගනයට අවස්ථාව හිමිවුණේ රෝසි සිනමාපටය නිසයි. එම චිත‍්‍රපටයේ එන ලතා වල්පොළ ගැයූ නුවන් දිලේ ඈත... ගීතය ඒ නිසා මට බොහොම සුවිශේෂයි. පකිස්ථානු සිනමා කණ්ඩායම මෙරට රංගන ශිල්පිනියක් සොයා එනවිට රෝසි තිරගතවෙමින් තිබුණේ. ඔවුන් මගේ රඟපෑම් ඇතුළත් රෝසි චිත‍්‍රපටය නරඹා ඉන් සෑහීමකට පත්ව මා තෝරාගත් මොහොත මට සදානන්දනීයයි. ඒ නිසා නුවන් දිලේ ඈත... ගීතය මට දයාබරයි.





ඡායාරූප- නිශ්ශංක විජේරත්න