විජයගේ අවසන් චිත‍්‍රපටයේ ඡායාරූප ගැනීම දෛවෝපගත සිදුවීමක්

සිනමා නිශ්චල ඡායාරූප ශිල්පී කිත්සිරි රතුවිතාන
ජූලි 28, 2022

 


සිංහල සිනමා වංශ කතාවේ සුන්දර සහ ආදරණීය පරිච්ෙඡ්දයක් සටහන් කළ ඒ අසහාය රංගන තරුව විජය කුමාරතුංගයන් දිවි අඹරෙන් බැසගොස් තිස් පස් වසරකට ආසන්නය. ඔහුගේ අනපේක්ෂිත වියෝවෙන් මුසපත් වූ රසික හදවත්වලට සහ ක්ෂේත‍්‍රයේ සමකාලීනයන්ට අද ද ඒ කම්පනය එලෙසින්ම දැනෙන්නේ යැයි කිවහොත් එය මුසාවක් නොවේ.

එලෙස අප හදවත් තුළ සදානුස්මරණීය මතකයක් ශේෂ කොට එකසිය විස්සක් ඉක්ම වූ සිනමා නිර්මාණ ඔස්සේ රූපණ පෞරුෂය, ගැඹුරු රන් ස්වරය විජය කුමාරතුංගයන්ගේ කයෙන් සමුගෙන ඇතත් ඔහුගේ නාමය තවමත් සැමගේ සිත් තුළ ජීවමානයි. විජය තවමත් අප අතර සිටියා නම්

ඔහු අවසන් වරට රඟපෑ මධු සිහින චිත‍්‍රපටයේ ඔහු රඟපෑ රුවට සමාන පෙනුමකින් ඔහුගේ රුව දිස්වේවී. වැඩිහිටි චරිතයකට පණ පොවා ඔහු ඔහුගේ සිනමා දිවිය අවසන් කළා යැයි සිතීමත් සිහිනයක් වැනිය.

දයා විමලවීර අධ්‍යක්ෂණය කළ සරත් දසනායක නිෂ්පාදනය කළ මධු සිහින සිනමා පටයේ නිශ්චල ඡුායාරූප ශිල්පියා වූ කිත්සිරි රතුවිතාන විජය කුමාරතුංගයන් සුහදව ඇසුරු කළ අයෙක්. විජය ගැන මතකය යළිත් අවදි කරන්නට මෙලෙස ඔහු හඬ අවදි කළා




මේ දිනවල වැඩකටයුතු මොනවාද?

මේ ටිකේ මං තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ පෞද්ගලික හේතු කිහිපයක් නිසා. මගේ පියාණන් පියසේන රතුවිතාන නැති වෙලා මාස තුනක් වෙනවා. ඔහුගේ තුන්මාසේ දානේ සහ බණ වැඩ කටයුතු නිසා කාර්යබහුලයි. මම පවුලේ වැඩිමලා විදිහට ඒ කටයුතු ගැන ඕනෑකමින් සොයා බලා කරනවා. ඔහු නැති වුණේ පසුගිය අපේ‍්‍රල් 14 අවුරුදු දවසේ. ඉතිං වැඩි කාලයක් ගත වෙලා නැහැ. ඒ වේදනාව තවම අපේ හිත්වල තිබෙනවා..

ඔබ කලාවට සම්බන්ධ වීමේ මූලාරම්භය විදිහට ඉන්නේ ඔබේ පියා....

බහුතරයක් දෙනා පියසේන රතුවිතාන කියන්නේ ජ්‍යෝතිශ්‍යවේදියෙක් කියා පමණයි දැන සිටියේ. ඔහු හිටපු විදුහල්පතිවරයෙක්. කොළඹ නාලන්දා විද්‍යාලයේ ඇතුළු පාසල් ගණනාවකම ඔහු සේවය කළා. ඒ වගේම නවකතා, කෙටි කතා ලියූ සාහිත්‍යවේදියෙක්. කෘති 150කට වඩා ලියා තිබෙනවා. ”සුබසෙත” පුවත්පතේ කර්තෘ ලෙසත් සේවය කළා. ඒ වගේම ගීත රචකයෙක්.

ආත්මා, මධු සිහින, සිස්ටර් මේරි යන චිත‍්‍රපට සඳහා තේමා ගී ද ලිව්වෙත් අපේ තාත්තා. ඔහු ලියූ ”රණබිම මැරුණේ සිංහලයකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ” යන ගීතය තවමත් බෙහෙවින් ජනප‍්‍රිය යි.

ඉතිං ඔහු අංශ කිහිපයක්ම නියෝජනය කළා. කලාව සහ ජ්‍යෝතිශ්‍ය නිසා දේශපාලන නායකයන් සහ ප‍්‍රවිණ නළු, නිළියන් සමඟ සුහුඳව ඇසුරු කරන්න ඔහුට අවස්ථාව ලැබුණා. විජය කුමාරතුංගත් එවැනි කෙනෙක්.

මගෙත් ලොකු ආසාවක් තිබුණා ඡුායාරූපකරණයට. ඒ සඳහා පියාගේ සහය මට ගොඩක් ලැබුණා.

විජය කුමාරතුංග සමඟ ඔබට තිබූ හිතවත්කම ගැන කිව්වොත්..

ජ්‍යෝතිශ්‍ය කටයුතුවලට ඔහු පියා හමු වෙන්න නිතර ආවා. ඒ වගේම පියා ගී පද රචකයකු නිසා එවැනි කටයුතුවලටත් ආවා. එලෙස ඔහු නිතරම පියාව හමුවන්න අපේ ගෙදර ආවා ගියා. දේශපාලනයට විජය සම්බන්ධ වීමෙන් පසුවත් ඔහුගේ බිරිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සමඟත් කිහිපවතාවක්ම ඇවිත් තියෙනවා. ගොඩක් වෙලාවට ඔවුන්ගේ හමුවීම් යොදා ගත්තේ ඉතාම රහසිගතව. මොකද පැවැති දේශපාලන වාතාවරණයත් එක්ක ප‍්‍රසිද්ධියේ හමුවීම ගැටලූ‍ ඇතිකරන්නක්. ඉතිං සමහර වෙලාවට ඔහු අපව හමු වන්න හෝ අපි ඔහුව හමුවන්න යන්නේ වාහන දෙක තුනක මාරු වෙලා කාටවත් ඇස නොගැටෙන ලෙසයි. ඔහුගෙයි පියාගෙයි මිත‍්‍රත්වය නිසා මටත් ඔහුව ළඟින් ඇසුරු කරන්න ලැබුණා. ඉන්පසුව මා නිශ්චල ඡුායාරූප ශිල්පියෙක් විදිහට විජය සමඟ සිනමා කටයුතුවලටත් සම්බන්ධ වුණා.

විජය රඟපෑ අවසන් සිනමාපටයේ නිශ්චල ඡුායාරූප ශිල්පියා විදිහට කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණේ ඔබට..

විජය අවසන්වරට රඟපෑ, සරත් දසනායක මහත්මයගේ ”මධු සිහින” චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබීම මා ලද භාග්‍යයක්. මනා පෞරුෂයක් සහිත දක්ෂ නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥනයෙක් වගේම රටක්ම ආදරය කරන චරිතයක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු දෙයක් මට. ඒ වගේම මේ චිත‍්‍රපටයට මගේ පියාත් ගීතයක පද (රජමැදුරේ ඉපදීලා) රචනා කළා. ඒ ගීතයේ අවස්ථාවට සනත් ගුණතිලක සහ බන්දු සමරසිංග රංගනයෙන් දායක වුණා. ඉතිං තාත්තත් ඔහුගේ අන්තිමට චිත‍්‍රපටයට සම්බන්ධ වුණා.

මධුසිහින සිනමාපටය ඔබට අමතක නොවන අත්දැකීමක් වෙන්න ඇති...

ඒ චිත‍්‍රපටයේ ඇතැම් දර්ශන ඔහුට වෙන්න යන විපත්තිය කලින් දැනුම් දුන්නා ද වගේ දෙයක් කියැවුණා කියලත් මට හිතෙනවා. මධු සිහින චිත‍්‍රපටයේ අවසන් කොටසේ රූගත කිරීම්වලට සති එකහාමාරක් විතර විජය ෂූටිං වලට ආවා. අවසාන දර්ශනය තිබුණේ සොහොනක් ළඟට ඇවිත් පහනක් පත්තු කරලා යන සංවේදී අවස්ථාවක්. ඒ දර්ශනය කරලා තමයි එදා ඔහු මස්කෙළිය ශ‍්‍රීපාද අඩවියේ ඉඳලා පිටත් වුණේ.

මට තාම මතකයි එදා ඒ ඇඳුම, මේක්-අප් එක. කොන්ඬේ සුදු කරලා තරමක වයසක පෙනුමක් තමයි එදා ඔහුගේ චරිතයට ඔහුව සූදානම් කරලා තිබුණේ. මේ දර්ශනය ඉවර වෙලා ඔහු මේක් අප් එක ඉවත් නොකරමයි කොළඹ ආවේ. ඒ තමයි මං ඔහුව දැකපු අවසාන දවස.

විජය කුමාරතුංග කියන චරිතයට අදටත් මිනිස්සු පණ වගේ ආදරය කරනවා. නළුවකු ලෙසත්, ගායකයකු ලෙසත්, පසුව දේශපාලනඥයකු ලෙසත් විජය හැම හිතකම වගේ ආදරයෙන් ලැඟු‍ම් ගත්තා කිව්වොත් නිවැරැදියි. ඒ නිසාමයි අදටත් ඔහු ගැන කතා කරන්නේ.

ඔහු සමඟ සුහදව ඇසුරු කරද්දි ඔහු මොනවගේ කෙනෙක් ද?

”මධු සිහින” චිත‍්‍රපටයේ අවසාන දර්ශනයට දින දෙකකට පෙර හවස් යාමයේ ෂූටිං නැති වෙලාවක විජයත් මමත් නළු නිළියනුත් ගිටාරය වාදනය කරමින් අපි හැමෝම සින්දු කියලා මධුවිත පානය කරමින් බොහොම විනෝද වුණා. චිත‍්‍රපටයේ ඇතැම් දර්ශන සඳහා යොදා ගත්තෙත් මගේ ගිටාරය. විජය කුමාරතුංග, රෝයි ද සිල්වා, වසන්ති චතුරාණි, බන්දු සමරසිං, සරත් දසනායක ආදි පිරිස ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතිං ඔහු හැමෝටම එක විදිහට සැලකූ කෙනෙක්. මෙයා නිළියක්, නළුවෙක්. මෙයා ඡුායාරූප ශිල්පියෙක්, මෙයා අධ්‍යක්ෂ කෙනෙක්, මෙයා සහායකයෙක්. එහෙම කියලා තෝරා බේරා ගැනීිමක් කරලා ඇසුරු කළේ නැහැ. ඒ අදාළ මොහොතේ ඉන්නේ කවුරු වුණත් ඒ අය සමඟ සතුටින් විනෝදෙන් ඉන්නයි ඔහු බැලූ‍වේ.

මේ චිත‍්‍රපටයේ සටන් දර්්ශනයක් තිබුණා. ඒ දර්ශනයට හිටියේ සටන් නළුවෙක් වන සරත් ද සිල්වාගේ මල්ලි කෙනෙක්. ඔහුට තිබුණේ තට්ටු තුනක ගොඩනැගිල්ලකින් ජනේලයත් කඩාගෙන එළියට පනින්න. නමුත් එයා වැටුණේ සැලසුම් කළ පරිදි ආරක්ෂාව යොදවලා තිබූ අදාළ ස්ථානයට නෙවෙයි. ඉතිං ඔහුගේ දත් කැඩිලා.. මුහුණ තුවාල වෙලා ලොකු අනතුරක් ඔහුට සිදු වුණා. ඒ වෙලාවේ විජය සංවේදී වෙලා ඉක්මනට දුවගෙන අවිත් ඔහුව රෝහල් ගත කරලා ඒ සියලූ‍ දේ කරලා ආවා. අපි එහි රූගත කිරීම්වලදී නවාතැන් ගත්තේ තේ ෆැක්ටි‍්‍රයක. ඒ සිදුවීමෙන් පස්සේ අපි ෆැක්ටි‍්‍රයේ විවේක සුවෙයෙන් ඉන්නකොට විජය මාත් ඒක අපේ පවුලේ තොරතුරු.. තාත්තාගේ ගීත ගැන.. සිනමාවේ යම් යම් දේවල් ඇතුළු‍ බොහෝ දේවල් කතා බහ කළා.

රටම කම්පා වූ විජය සමුගත් පුවත ඇසූ මොහොතේ ඔබට දැනුණේ කොහොම ද?

මධු සිහින චිත‍්‍රපටය ඉවර කරලා මමත් එදා කොළඹ ආව මට උණ ගැනිලා තිබුණ නිසා. විජයත් කොළඹ ආවා. ඉන් දවස් දෙකකට පසු මධු සිහින චිත‍්‍රපටියේ ඉතුරු පිරිස ශ‍්‍රී පාදය නගිමින් ඉද්දී තමයි ඒ ආරංචිය ලැබුණේ. ඔහුව ඇසුරු කළ අප පමණක් නොව එදා මුළු රටක්ම ඔහු වෙනුවෙන් ඇඬුවා.

මනුෂ්‍යයකුට වඩා දෙවියකුට සමාන අයෙකුට වෙඩි තියන්න පුළුවන් කාටද? අදටත් ඔහු නැහැ නේද කියලා මතක් වෙද්දී ඒක ලොකු වේදනාවක්. ඔහුව දර්ශන තලයේදී පමණක් නෙවෙයි පෞද්ගලික ජීවිතය තුළත් ළඟින් ඇසුරු කරන්න ලැබුණ කෙනෙක් විදිහට මට ඔහුගේ මරණය ලොකු කම්පනයක් වුණා..

විජය සමඟ ඇති අමතක නොවනම මතකය කුමක් ද?

දවසක් මායි විජයයි, තව කිහිප දෙනෙකුයි වාහනයේ ගමන් කරමින් හිටියා තුන්මුල්ල හංදිය කිට්ටුව. ඒ වෙලාවේ තරමක බ්ලොක් එකකට අහුවුණා. ඒ වෙලාවේ අපි කාර් එක ඉස්සරහින් දර කරත්ත කාරයෙක් ගියා. ඔහු කරත්තේ ඉස්සරහට ගෙනියන්නේ නැතුව පාර මැද්දේ තුෂ්ණිම්භූතව විජය දිහා ඇසි පිය නොහෙළා බලාගෙන ඉන්නවා. වටේ ඉන්න මිනිස්සු ඔහුට කරත්තේ ගන්න කිව්වත් ඔහු නිකං හිටියේ වශී වෙලා වගේ. විජයටත් හිනා ඒ සිද්ධියට. ඊට පස්සේ විජය ඒ මනුස්සයට සිනහමුසු මුහුණින් කතා කරලා හරි මල්ලි දැන් ඔයා කරත්තේ ගන්න කිව්වා. එතකොට තමයි අර මනුස්සයා පියවි සිහියට ආවේ. විජය කියන්නේ ඒ වගේ ආකර්ෂණීය පෙනුමක් තියෙන පුරුෂයෙක්.

විජයට කරන්න දීපු ගීත සහිත ලිපි ගොනුවක් ඔබටම බාරගන්න වුණා නේද?

එය ඇත්තෙන්ම දෛවෝපගත සිදුවීමක්. මගේ පියා ගීත රචකයෙක්. ඔහු ලියූ ගීත විස්සක් සහිත ෆයිල් එකක් විජයට දීලා තිබුණා කැසට් පටයක් කරන්න කියලා. මොකද විජය කියන්නේ නළුවෙක් විතරක්ම නෙවෙයිනේ. ඔහු ඉතා දක්ෂ ගායකයෙකුත් වෙනවා. කොහොම හරි ඒ ගීත ටික විජයට කරන්න වුණේ නැහැ. මරණෙත් එක්ක ගීත සහිත ෆයිල් එකත් නැති වෙලා තිබුණේ. නමුත් පසු කාලයේදී හිතවතකු මාර්ගයෙන් ඒ ෆයිල් එක තාත්තට නැවත ලැබෙනවා. එහි ගීත කිහිපයක්ම සරත් දසනායකට කියලා තාත්තා තනු නිර්මාණය කරලා මටම දුන්නා. මං එහි ගීත 12ක් තෝරගෙන 1991 දී කැසට් පටයක් කළා . විජය ගයන්න හිටපු ගීත ටික තමයි අන්තිමට මට ගයන්න වුණේ. ‘ජය සක පුපුරන හඬ ඇසුණා සේ‘ කියන ගීතය උදාන ගීතයක් විදිහට හැමදාම ගුවන් විදුලියේ උදෑසන විකාශය වුණා. ආල වඩන රාග බැලූ‍ම් පා කියන ගීතයත් ගොඩක් ප‍්‍රසිද්ධ වුණු ගීතයක්.

විජය සමඟ වැඩකරන්න ලැබුණේ මධු සිහින චිත‍්‍රපටයේ පමණ ද?

මධු සිහින චිත‍්‍රපටය පෙර තවත් චිත‍්‍රපට දෙකකදී ඔහු සමඟ වැඩ කරන්න ලැබුණා. ඒ කඳපොල කුමාරතුංග මහත්මයාගේ චිත‍්‍රපට දෙකකට. හංස ගීතය, විජය - ගීතා. නමුත් මට හිතෙනවා ඔහුව ළඟින්ම ඇසුරු කළේ මධුසමය චිත‍්‍රපටයේදී කියලා.

නිශ්චල ඡුායාරූප ශිල්පියාගේ කාර්යභාර්ය කුමක් ද?

දැන් පවතින ඩිජිටල් ඡුායාරූපකරණයට වඩා ඒක තරමක් සංකීර්ණ කටයුත්තක්. දැන් කාලේ හැමදේම චිප් එකකට හරි පෙන් එකකට හරි දාලා හැමදේම දාලා තියාගන්න පුළුවන්. ඒ කාලේ තිබුණේ දළ සේයා පටි. ඒ සේයා පටි එකින් එකට සම්බන්ධයි. ජවනිකාවක් රූගත කරලා ඊළඟ දර්ශනය එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. පළමු දර්ශනය ඇඳන් හිටපු ඇඳුම, අතේ තිබුණ ඔරලෝසුව, කොණ්ඩ විලාසිතාව ඒ හැම දේම ඒ විදිහටම ඊළඟ ඡුායාරූපයට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා මුල් දර්ශනයේ අවසන් ඡුායාරූපය නිශ්චල ඡුායාරූප ශිල්පියා සතුව තිබිය යුතුයි. ඒ දේවල්වලට අවධානය යොමු කරලා ඒ කාර්ය කරන එක නිශ්චල ඡුායාරූප ශිල්පියාගේ වගකීමක්. උදාහරණයක් විදිහට පළමු දර්ශනයේ තියෙනවා නළුවා ගෙදරින් පිටවෙනවා. නමුත් නළුවා පිටවෙලා යන ස්ථානයේ දර්ශනය ගන්නේ දවසකින් දෙකකින් වෙන්න පුළුවන්. එතකොට ගෙදරින් තිබුණු ඔහුගේ තිබ්බ ස්වරූපයම ඔහු යන ස්ථානයේත් තිබිය යුතුයි. නිශ්චල ඡුායාරූප ශිල්පියා කරන්නේ ඒ සියල්ල ඡුායාරූපයට ගෙන ගබඩාකර ගන්න එක.

ඒ දවස්වල ඡුායාරූප ප‍්‍රින්ට් කළෙත් ඩාක් රූම්වල. ඉතිං අපිම රසායනික ද්‍රව්‍යවලින් ඒවා කරන විදිහ ගැන අපි හොඳ පුහුණුවක් ලැබුවා.

දැන් පවතින ඩිජිටල් කැමරා යුගය ගැන මොකද හිතන්නේ...

ඒ කාලේ හරිම දුෂ්කරයි. හැමදේම කරන්න ඕනේ තමන්ගේ ශ‍්‍රමයෙන්. නමුත් කැමරාකරණයට මට ඇති කැමැත්ත නිසාම ඒ කාලේ තිබුණ හොඳම කැමරාව මට තාත්තා අරන් දුන්නා. ලංකාවටම එවැනි කැමරා තිබුණේ කිහිපයක් විතරයි. නමුත් දැන් තියෙන කැමරාත් එක්ක බලද්දී දැන් තියෙන කැමරා තාක්ෂණය අති ඉහළයි. දැන් හැමදේම ඩිජිටල් කැමරාව තුළ තියනවා. ඒ නිසා ෆොටෝ ගන්න අපේ ශ‍්‍රමය යොදවලා මහන්සි වෙන්න දෙයක් නැහැ. අනික එඩිට් කරන්නත් පුළුවන්. ෆොටෝ ගත්තට පස්සෙ තමන්ට ඕනෑ හැටියකට වෙනස් කරගන්නත් පුළුවන්. ඒ කාලේ ඕවා තිබුණේ නැහැනේ. ඒ අතින් බලද්දී දැන් සිනමාවේ වැඩ කටයුතු හරි පහසුයි.

ඔබත් පියාණන්ගේ අඩිපාරේ යමින් ජ්‍යේතිශ්‍යට යොමු වෙලා.

ජිවීතයේ එක් එක් සන්ධිස්ථාන පහුවෙනකොට දේවල් වෙනස් වෙනවනේ. ඉතිං මම නිශ්චල ඡුායාරූප ශිල්පියෙක් හැටියට හිටියා. සරල ගී ඊ ශ්‍රේණියේ ගායකයෙක් හැටියටත් හිටියා. මගේ ගුරුවරු වුණේ සුගත් සමරකෝන්, ලයනල් රංවල, සරත් දසනායක වගේ අය. 1990න් පස්සෙ තමයි මම ජ්‍යෝතිශ්‍යවේදය සමඟ එකතු වෙලා වැඩ කරන්නේ.

ඡුායාරූපකරණයට මම බොහොම කැමැත්තක් දැක්වූවා. මගේ ගුරුවරයා වුණේ සෝමවීර බෝපිටිය මහතා. දැන් වෘත්තීයක් විදිහට ඡුායාරූපකරණයේ නියැළුණේ නැතත් මං ගෙදරින් එළියට යද්දී කැමරාව අරගෙන යනවා. ඇස ගැටෙන සුන්දර දසුන් ඡුායාරූපයට ගන්නවා. ඒක මගේ විනෝදාංශය.

පවුලේ විස්තර...

මගේ බිරිය ආශා නිල්මිණි, දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුව නීතීඥවරියක්. පුතා ව්‍යාපාරිකයෙක්, පොඩි දුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබනවා. එයාලත් දිනෙක කලාකටයුතුවල නියැළෙයි ද කියලා තවම අදහසක් නැහැ. වැඩි අවධානය දීලා තියෙන්නේ අධ්‍යාපනයට.