නංගි කියන්න ගිහින් සවුත්තු වුණ සුනෙත් මන්ත්‍රීතුමා

දීප්ති වීරසූරිය
නොවැම්බර් 11, 2021

මිනිස්සු හොඳ කියනවට වැඩිය චරිතයට බණින එක තමයි කරන්නේ

මේ දිනවල විකාශය වන ඉස්කෝලේ ටෙලි සිතුවමේ සුනෙත් මන්ත්‍රීතුමාව නම් සමහරුන්ට රුස්සන්නේ නැහැ. ඒ චරිතයේ ස්වභාවය නිසයි. සුනෙත් මන්ත්‍රීතුමා හැටියට රඟපාන්නේ දීප්ති වීරසූරිය. දීප්ති ටෙලි නාට්‍යයේ නළුවෙක් වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වනවා. 

කලක් නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙසද ඔහු වැඩ කටයුතු කළා. වත්මනෙහි නම් නළුවෙක් හැටියටයි ඔහු වඩාත් ජනප්‍රිය. සුනෙත් මන්ත්‍රිතුමා හෙවත් දීප්ති වීරසූරිය පිළිබඳ තොරතුරු පිරික්සා බලමින් කළ සංවාද සටහනකි මේ.

සුනෙත් මන්ත්‍රීතුමාට මල් වලට වැඩිය ගල් එනවා වැඩියි නේද? 

චරිතයට නම් මිනිස්සු ගොඩක් අය බනිනවා. දේශපාලනඥයින්ව නම් ගොඩක් මිනිස්සුන්ට එපා වෙලානේ තියෙන්නේ. මේ චරිතයේ ස්වභාවයට අනුව සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට ඇඟිලි ගහනවා වැඩියි. දේශපාලනඥයෙකු විසින් කරන ජඩ වැඩ කොයි වගේද කියන එකත් මේ චරිතය තුළින් හුවා දැක්වෙනවා. මේ නිසා නිසා මිනිස්සු හොඳ කියනවට වැඩිය චරිතයට බණින එක තමයි කරන්නේ.

තරුණ ගුරුවරියන් දෙදෙනෙකුට නංගි කියන්න ගිහිල්ලා අකරතැබ්බයකට මුහුණ දුන්නා නේද?

ඒ නාට්‍ය දර්ශනය ගැන වෙන්න ඇති ඔබ අහනවා ඇත්තේ. විහාරා සහ ආලෝකා කියන ටීචර්ලා දෙන්නා ගමනක් යද්දි මම වාහනයෙන් බැහැලා ඇවිල්ලා ඒ අයට නංගි කියලා කතා කරනවා. ඒ අය කැමති නෑ නංගි කියලා කතා කරනවට. සාමාන්‍යයෙන් මන්ත්‍රීලා බොහෝ අයට නංගි, මල්ලි කියලනෙ කතා කරන්නේනෙ. මට ඔවුන් කියනවා සීයා කෙනෙක්ගේ වයසෙ ඉන්න කෙනෙක් නංගි කියන එක තමයි උහුලගන්න බැරි කියලා. මන්ත්‍රිතුමා බොහෝ සවුත්තු වෙනවා ඒ වචනවලින්. අන්න ඒ දර්ශනය කට් කරලා අරගෙන සමහරු ෆේස්බුක්, යූටියුබ් වීඩියෝ ක්ලිප් හදලා. ඒවා දහස් ගණනක් බලන තත්ත්වයකට ඇවිල්ලා. අර වයිරල් වෙනවා කියලා කියන්නේ. හුඟක් ජනප්‍රිය වෙලා ඒ දර්ශනය.

ඔබට සුනෙත් මන්ත්‍රීතුමාගේ චරිතය සඳහා ආරාධනා ලැබෙන්නේ කොහොමද?

ඉස්කෝලේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ දිලුක ප්‍රසාද්. එය රූපවාහිනියට රචනා කරන්නේ සමන් එදිරිමුණි. සමන්ගෙන් තමයි මට මේ ආරාධනාව ලැබෙන්නේ.

සුනෙත් මන්ත්‍රීතුමාගේ චරිතය රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි මම ඊළඟට අහන්න?

නාට්‍යයේ ඉන්නව චූලා කියලා චරිතයක්. මම ඒ කෙනාට කම්මුල් පාරක් ගහන දර්ශනයක් තියෙනවා. ඇත්තටම මං ටිකක් චකිතයෙන් හිටියේ. නමුත් දර්ශනයට අනුව අතාත්ත්වික වෙන්නත් බැහැනේ. ඒ නිසා අත දිග ඇරලා කම්බුල් පහරක් ගැහුවා. මම ඒ දර්ශනය තමයි අපහසුවෙන්ම කළේ. මොකද කෙනෙකුගේ කනට ගහනවා කියලා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙමෙයිනෙ. අමරුවෙන් හිත හදාගෙන කරන්න ඕන වැඩක්.

කොහොමද ඔබේ කලා ජීවිතය ආරම්භ වන්නේ? 

ජාතික තරුණ සේවා සභාවෙන් තමයි මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ. ඒ 1997 වර්ෂයේදී වර්ෂයේදී විතර. මුලින්ම මම රංගන ශිල්පියෙක් විදිහට දායකත්වය දක්වන්නෙ වේදිකා නාට්‍යයකට. එකේ නම ස්වර්ණමාලි. ඊට පසුව උරගල අගිස්ස කියලා නාට්‍යයක රංගනයෙන් දායක වෙනවා. ඒක මගේ පළවෙනි ටෙලි නාට්‍යය.ඊට පස්සේ සින්දුර්, දියවඩන මළුව, නිසල විල්තෙර, සරදියෙල් වගේ නාට්‍ය ගණනාවක විවිධ චරිත රඟපානවා.

ඔබට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් නිර්මාණයක් කළා නේද? 

ඔව් මම සියත් තඹර කියලා නාට්‍යයක් නිර්මාණය කළා. ඒක ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. තව නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න පටන් ගන්නවා ලබන වසරේදී.

ඔබ රඟපෑ ටෙලි නිර්මාණ මොනවාද තියෙන්නෙ ඉදිරියේදී විකාශය වෙන්නට නියමිත?

සුනෙත් මන්ත්‍රීතුමාගේ චරිතෙත් පස්සේ දිගින් දිගටම මට ටෙලි නාට්‍ය රංගනය සඳහා ආරාධනා ලැබුණා. සත්සිරුපාය, ඉරට ළඟ මිනිස්සු වගේ නාට්‍යය තියෙනවා ඉදිරියේදී විකාශය වෙන්න.

ඔබේ පවුලේ විස්තර කතා කළොත්?

මගේ ගම පොලොන්නරුව. වර්තමානය කොළඹ පදිංචි වෙලා ඉන්නෙ. මම විවාහකයි. බිරිය සුජාතා දිසානායක. මට පුතෙක් ඉන්නවා.