වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
කැනඩාවේදී සමුගත් අනූව දශකයේ ගී තරුව

මෙරට සංගීත ක්ෂේත්රයේ සිටිකැපී පෙනෙන දක්ෂතා රැසක් හිමිකරගෙන සිටි සංගීත ශිල්පියකු පසුගිය දා අප අතරින් නික්ම ගියේය. ඔහු මෙරට සිටි එකම ෂෙනායි වාදකයා වූ ගායන ශිල්පී වික්ටර් විජයන්තය. මිය යන මොහොත වනවිට කැනඩාවේ ඔටාරා නගරයේ සිය බාල දියණියගේ සෙවණේ වූ ඔහු ගේ අවසන් කටයුතු ද එහිදී ම සිදු කෙරිණ.
වික්ටර් විජයන්ත මෙරට සංගීත හා කලා ක්ෂේත්රයේ විශාලතම පවුල් ගසේ සාමාජිකයෙකි. ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද මායා දමයන්ති ගේ ආදරණිය සැමියා වු ඔහු ගායන විශාරද හා නෘත්‍ය විශාරද කුෂානි සදරේඛා ගේ හා නෘත්‍ය විශාරද දැනට කැනඩාවේ පදිංචි වී සිටිනසචිනි නිරාශා ගේ ආදරණිය පියාණන් ය. කුෂාණි, නිරාශා සේම දීප්ති පූර්ණිත පෙරේරා සහ සුදත්සු උත්පලවර්ණ පෙරේරා ගේ ද පියාණන් වන ඔහු සිවු දරු පියෙකි. වික්ටර් විජයන්තගේ සොහොයුරිය වූයේ සංගීතඥ ආර්.මුත්තුසාමිගේ භාර්යාව වූ නීලීයා පෙරේරාය. පැරැණි ගායකයකු වූ හෙන්රි පෙරේරා, වික්ටර්ගේ වැඩිමහල් සොහොයුරාය.
වික්ටර් විජයන්ත පෙරේරා 1944 දෙසැම්බර් මස20වැනි දින වේයන්ගොඩ දී උත්පත්තිය ලැබුවේය. මිය යන විට ඔහු 77වැනි වියේ පසුවිය. සංගීත ශිල්පියකු, වාදන ශිල්පියකු, ගායකයකු වශයෙන් ඔහුගේ ගමන පටන් ගැනීමට පෙර ඹහු සංගීත අධ්‍යාපනය ලබනුයේ ප්‍රවීණ වයලීන් වාදන ශිල්පී සෝමසිරි ඉලේසිංහ සහ ලයනල් එදිරිසිංහ ශූරීන් යටතේය. පසුව ඔහු ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් ෂෙනායි වාදනය හදාරා මෙරට සංගීත ක්ෂේත්රය ට එක් වූයේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රථම සහ එකම ෂෙනායි වාදකයා වූයේ ඔහුය. ක්ලැරන්ස් විජේවර්ධන ගේ "කද සුරිදුනි ඔබේ", සුජාතා අත්තනායක ගේ "ශී‍්‍ර සම්බුද්ධ රාජා වදිමි", මාලිනි බුලත්සිංහල ගේ"නාද සළඹ සැලෙන පදට", වැනි ගීත ඔහුගේ ෂෙනායි වාදනයෙන් හැඩවී අතිශය ජනප්‍රිය වු ගීත අතර වේ. වාදකයකු වශයෙන් ඔහු ක්ෂේත්රය පුරා අසමාන දක්ෂතා ප්‍රකට කර වූවෙකි.කලක් ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ වාදන මණ්ඩලයේත් ලයනල් එදිරිසිංහයන්ගේ වාදක මණ්ඩලයේත් විවිධ වාද්‍ය භාණ්ඩ වාදනය කළ සාමාජිකයෙකි. බටනලා, ෂෙනායි, තබ්ලා, ක්ලැරිනට්, වයලීන් ඇතුළු සංගීත භාණ්ඩ රාශියක් වාදනය කිරීමේ හැකියාව ඔහු සතු විය. ප්‍රවීණ සංගීත අධ්යක්ෂවරුන් වන සරත් ද අල්විස්, සරත් දසනායක, එච් .එම්.ජයවර්ධන, රෝහණ වීරසිංහ, ප්‍රේමසිරි කේමදාස, වැන්නන් සමග සම්බන්ධව කලක් කටයුතු කළ ඔහු සංගීත නිර්මාණ ශිල්පියකු ලෙස ගී තනු නිර්මාණය කළ මායා දමයන්ති ගායනා කළ "දෑස වසා සිටියා ඔබේ රුව", ගීතය මෙරට ගීත ලෝලීන් අතර එකල අතිශය ජනප්‍රිය විය.
කලක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදන ශිල්පියකු ලෙසින් ද ඔහු කටයුතු කළ අතර මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්රය ටද නොනිමි මෙහෙවරක් කළ ගායන ශිල්පියකු වූයේය.
80, 90 දශකයන්හි චිත්‍රපට පසුබිම් ගීත කලාවට පිවිසි ඔහු එකල බිහිවූ චිත්‍රපට රැසකට පසුබිම් ගායනයෙන් එක් විය."මමයි රජා"චිත්‍රපටයේ 'සදේ ආලෝක ධාරාව' ගීතය "ශක්තිය ඔබයි අම්මේ" හි'පාට පාට හීනයක්ද ගීතය, ඇන්ජලීන් ගුණතිලක සමඟ, ඔබට රහසක් කියන්නම් චිත්‍රපටයේ "සද මංගල නෞකාවේ"ගීතය, ජුලියට් ගේ භූමිකාව චිත්‍රපටයේ "කුරුල්ලෝ පියඹා ඇවිදින් ගීතය කුමාරි මුණසිංහ සමඟ ද ඔහු ගායනා කළේය. සිනාසෙන්න රත්තරන්, ඔබට රහසක් කියන්නම්, රණහංසි, ජීවන් මල්ලි ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් ඔහුගේ ගායනයෙන් හැඩ වී ඇත. මායා දමයන්ති, ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, කුමාරි මුණසිංහ, සුජාතා අත්තනායක, මෙන්ම එච්.ආර්. ජෝතිපාල, නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද, අනුර සේනානායක, ෆ්‍රෙඩී සිල්වා, එම්.එස්.ප්‍රනාන්දු වැනි ශිල්පීන් ශිල්පිනියන් සමඟ චිත්‍රපට පසුබිම් ගී ගායනයට ඔහු එක් වී ඇත.
සිය ජීවිතයෙන් වැඩිම කාලයක් මෙරට සංගීත ක්ෂේත්රයේ විවිධ නිර්මාණ සදහා ම දායක වූ ඔහු පසුගිය කාලය විශ්‍රාම සුවයෙන් සිය දියණිය කුෂානි සදරේකා හා බෑනණුවන් වන ප්‍රවීණ ගායන ශිල්පී කසුන් කල්හාර හා මිනිපිරිය ළඟ සුවෙන් ගත කළ අතර බාල දියණිය බලන්නට කැනඩාවේ ඔටාරා නගරයට ගිය අතරතුර එහිදී ජීවිතය ට සමු දී ඇත. අවසන් කටයුතු එහිදි ම සිදු කරන්නට යෙදිණ.
මෙරට සංගීත ක්ෂේත්රය ට අමිල මෙහෙවරක් ඉටුකොට අවසන් ගමන් යන වික්ටර් විජයන්ත සහෘයාණෙනි, ඔබට නිවන් සුව !
සේයාරූ - දයාන් විතාරණ - නිශ්ශංක විජේරත්න