මම වාසනාවන්ත නිළියක් අම්මා කෙනෙක් මිත්තණියක්

සරසවිය ඉතිහාසයේ මුල්වරට ජනපි‍්‍රය සහ හොඳම නිළිය සම්මානද්වය එකවර දිනූ අනුලා කරුණාතිලක
ඔක්තෝබර් 21, 2021

 

රන්තෝඩු නාට්‍යයට ඇයට හොඳම නිළිය සම්මානය හිමි වන විට ඇයට වයස අවුරුදු 16යි

 

ඔතෑනි කෙල්ලෙක් බට්ටෝ පනින්න විතරයි දන්නේ

 

ආදරෙයි මම ආදරෙයි ‘දම්මි‘ තවමත් ආදරෙයි.

*ඇත්තටම දම්මි සුගත්ට තවමත් ආදරේ ද?

සුගත්ට විතරක් නොවෙයි. ගොළු හදවතටත් ආදරෙයි.

මා අභියස සිටින්නේ ගොළු හදවතේ දම්මි. අනුලා කරුණතිලක. 60 දශකයේ බිහි වූ සිනමා තාරකාවන් අතර සිය ප්‍රතිභාවට සමගාමීව ජනප්‍රියත්වයේ කිරුළු හිමිකරගත් චරිතාංග නිළියක්. 1967 - 68-69 තෙවසර තුළ නොකඩවා සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය කිරුළ හිමිකර ගත්තේ ඇයයි. 1969 වසර ඇගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කළ වසරක්. සිය රංගන ප්‍රතිභාව උදෙසා ගොළු හදවතේ හොඳම නිළියට හිමි සරසවිය සම්මානයත් වසරේ ජනප්‍රිය නිළියට හිමි සරසවිය සම්මානයත් දෝතට තුරුලු කර ගැනීමේ මහඟු වාසනාව ඇයට හිමි වූයේ එකම වේදිකාවේ ද්විත්ව සම්මාන හිමිකරගත් ප්‍රථම සිනමා නිළිය ලෙස ඉතිහාසයට එක් වෙමින්.

ඇය පාසල් වියේදී රඟ පෑ ප්‍රථම හා එකම වේදිකා නාට්‍ය වූ රන්තෝඩු නාට්‍යයට ඇයට හොඳම නිළිය සම්මානය හිමි වන විට ඇයට වයස අවුරුදු 16යි. රන්සළු චිත්‍රපටයේ සරෝජීනි වෙනුවෙන් ඇය හොඳම සහාය නිළිය ලෙස සරසවිය සම්මානයට පාත්‍රා වුණා. සීතල වතුර, දරු දුක, පුංචි බබා, සැඩොල් කඳුළු, පාරා වළලු, නාරිලතා, බක්මහ දීගේ,යකඩයා, පේනවා නේද?, නැදෑයෝ, දෙමෝදර පාලම, රන්දිය දහර, වසන්තයේ සඳක් ආදී චිත්‍රපට විශාල සංඛ්‍යාවක රඟ පෑ ඇය 2017 තිරගත වූ අභඵඩ චිත්‍රපටයට ද රංගනයෙන් දායක වුණා. අඹ යාළුවෝ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට දායක වූ අනුලා කරුණතිලක රණ තිසර, යූ,ඩබ්. සුමතිපාල සම්මානය, ස්වර්ණ සංඛ සහ රයිගම් ටෙලි සම්මාන වැනි යාවජීව සම්මාන රැසකට පාත්‍ර වූ සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨම රංගන ශිල්පිනියක්. ඇය මෙය ගෙවන්නේ ජීවිතයේ 75 වැනි සැතපුම් කණුවයි.

 

ඉතිං කොහොමද?

දරු මුණුපුරන්ගේ ආදර සෙනෙහස මැද්දේ සතුටින් සැඳෑ සමය ගත කරනවා.

 

*දැන් කොහෙද පදිංචිය?

මාතර කඹුරුගමුවේ මගේ සැමියා දයා රණවීරගේ මහගෙදර. මම ඉන්නේ චුටී පුතා බිනර එක්ක. පුතා විවාහකයි. බිරිඳ සමින්දි මාතර රෝහලේ හෙදියක්. මුණුපුරාට වයස අවුරුදු 2යි. මුණුපුරාගේ සුරතල් බලමින් මම සැනසීමෙන් ජීවත් වෙනවා. බිනර ව්‍යාපාරිකයෙක්. කොහුබත්, ගොඩනැගිලි ද්‍රව්‍ය විදෙස් රටවලට අපනයනය කළා. ඒත් කොරෝනා නිසා ව්‍යාපාරය අඩාළ වුණා. දැන් පුතා ගොවි මහතෙක්. අපේ ඉඩමේ ව්ඥබ ඩධභඵඥ හදලා සේවකයෝ සමඟ එකතු වෙලා ගෙදරම කොම්පෝස්ට් පොහොර හදාගෙන එළවළු වගා කරනවා.

ලොකු පුතා?

ලොකු පුතා ඔසඳ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල පදිංචියට ගිහින් අවුරුදු 11ක් විතර වෙනවා. විවාහ වෙලා ඉන්නේ මුද්‍රා නාට්‍ය ශිල්පී වසන්ත කුමාරගේ දියණිය මනෝහරී සමඟ. ඔසඳට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි දුවයි. ඔසඳ ඕස්ට්‍රේලියාවේ අවන්හලක කළමනාකරුවකු ලෙස සේවය කරනවා.

 

අතීතයට ටිකක් යමු. තරුණ කාලේ දඟකාර රුවැත්තියක් නේද?

රුවැත්තියක් නිසා තමයි චිත්‍රපටවලට තෝරා ගත්තේ. එත් දඟකාර නැහැ. මම ඔතෑනි කෙල්ලෙක්. බට්ටෝ පනින්න විතරයි දන්නේ. ඉගෙන ගත්තේ වැල්ල වත්තේ ශ්‍රී ලංකාධාර බාලිකා පාසලේ. මම දක්ෂ එඩිතර සිසුවියක් නෙවෙයි. කිසි දේකට ඉදිරිපත් වෙන්නේ නැහැ. අම්මලා මාව නැටුම් පන්තියකට දැම්මා. බැහැ කියලා, අඬලා ගෙදර නැවතුණා. අපේ මහ ගෙවල් තිබුණේ දෙහිවල සරණංකර පාරේ. පවුලේ අක්කයි මමයි නංගීලා දෙන්නයි තාත්තා තෝමස් කරුණතිලක අම්මා සෝමවතී විජේගුණවර්ධන අපේ තාත්තට වැල්ලවත්ත මාර්කට් එකේ එළවළු කඩයක් තිබුණා. තාත්තා හරිම සද්ධන්තයි. පිරිමි ළමයි තාත්තාට බය නිසා මට විහිළු කරන්නේ නැහැ.

අක්කා නිසා නේද නිළියක් වුණේ?

ඔව් 1962 වසරේ දවස පත්තරේ අවුරුදු 16යෙන් ඉහළ රූප සුන්දරී තේරීමේ තරගයක් තිබුණා. අක්කා මාව ස්ටුඩියෝ එකට එක්කරන් ගිහිල්ලා මගේ පින්තුරයක් අරගෙන තරගෙට දැම්මා. මාව තේරුණේ නැහැ. අක්කට තරහා ගිහිල්ලා මාත් එක්ක ‘දවස‘ කන්තෝරුවට ගිහිල්ලා පින්තුරය නැවත ඉල්ලුවා. දවස කර්තෘ පියල් වික්‍රමසිංහ මහත්මයා අපිට කිව්වා පින්තුරය දැම්ම ගෙනියන්න එපා. තෝරා ගත්තු කට්ටිය ලස්සන නැහැ. අපි නැවත තෝරනවා කියා අපිව එක්තරා මහත්තයෙක් ළඟට යැවුවා. ඔහු තමයි දවස පත්තරේ ඡායාරූපශිල්පී දයා රණවීර. ඔහු මගේ පින්තුරයක් ගත්තා. අක්කා ඒක තරගයට ඉදිරිපත් කළා. රූප සුන්දරි තරගය පැවැත්වුණේ කොළඹ තුරඟ තරඟ පිටියේ. මුල් පස්දෙනා අතරට මාව තේරුණා. ඒ අවස්ථාවේ තිස්ස අබේසේකර මහත්තයයි සුමිත්‍රා පිරීස් මහත්මියයි මා දිහා දැඩි අවධානයෙන් බලන් හිටියා මට මතකයි.

 

ඔබේ සිනමාවේ ප්‍රවේශය ගම්පෙරළිය. ඔබ ආචාර්ය ලෙස්ටර් පීරීස්ගේ සොයා ගැනීමක්. දැවැන්ත සිනමා වේදියකු, ඔබ වැනි පාසල් දැරියක් ගම් පෙරළියට තෝරා ගැනීම පිළිබඳව ඔබ පුදුමයට පත් වන්නට ඇති නේද?

ගම්පෙරළිය රඟපාද්දී මගේ වයස අවුරුදු 16යි. මම පාසල් යනවා. ලෙස්ටර් පීරිස්, සුගතපාල සිල්වා හා ජී.ඩබ්. සුරේන්ද්‍රව එව්වා අපේ ගෙදරට මාව එක්කගෙන එන්න කියලා. අපේ තාත්තාත් හරිම සතුටු වුණා. මේ ප්‍රතිභාපුර්ණ අධ්‍යක්ෂවරයා මට රඟපාන්න අවස්ථාවක් දීම ගැන. ලෙස්ටර් මහත්මයා ගම්පෙරළියේ නන්දට සුදුසු කෙනෙක් සොයමින් සිටියේ. මාව දැක්ක ගමන් ඔහු කිව්වා. ‘පොඩි කෙල්ලෙක්නේ නන්දාට අවශ්‍ය මෝරපු තරුණියක් කියා. ඒ නිසා මට ලැබුණේ ගම්පෙරළියේ ලයිසාගේ චරිතයයි. එදා අපුරු සිද්ධියක් වුණා. මම එතැනට යනකොට ගාමිණී ෆොන්සේකා සහ සුමිත්‍රා පීරිස් මහත්මියත් හිටියා. මම එදයි ප්‍රථම වතාවට ගාමිණිව දැක්කේ. සංදේශය බලලා මට ගාමිණි ගැන තිබුණේ විශාල බියක්. ගාමිණි මගෙන් ඇහුවා ඔයා කැමැති නළුවා කවුද කියලා. මම ගත් කටටම ගාමිණිගේ මුහුණටම කිව්වා ඔයා නෙවෙයි කියලා. එදා මම එලෙස කිව්වත් පසුකාලීනව මගේ ආදරවන්ත නළුවා වුණේ ගාමිණි. මම ගාමිණිට අදටත් ආදරෙයි. ගාමිණිට පෙර මගේ ආදරය දිනාගත්ත නළුවා හර්බට් ඇම්. සෙනෙවිරත්න.

ගම්පෙරළියේ ලයිසාට රඟපාන්න පාසලින් අනුමැතිය ලැබුණා ද?

ඔව් ඩොක්ටර් පීරිස්ගේ චිත්‍රපටයක් නිසා අනුමැතිය ලැබුණා. ඒත් 1963 රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා රඟ පෑ ධර්ම ශ්‍රී වික්‍රමරත්නගේ රන්තෝඩු වේදිකා නාට්‍යයේ මම රඟ පෑ චරිතය මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් නිසා පුවත්පත්වල ආන්දෝලනාත්මක ලිපි පළවීම හේතුවෙන් පාසලින් ප්‍රශ්න මතුවුණා.

 

ඔබ හා පුරා කියා ප්‍රධාන චරිතයක් රඟපෑවේ ටයිටස් තොටවත්තගේ ‘චණ්ඩියා‘ චිත්‍රපටයේ. ඔබට සිදු වුණා නේද ඔබ අකැමැතියි කියූ නළුවා ගාමිණි ෆොන්සේකා එක්ක ප්‍රධාන චරිතය රඟපාන්න?

ඇත්තටම මට පොඩි චකිතයක් දැනුණා. මම පාසල් දැරියක් තේරුම් පැහැදුම් නැති නිසා රංගනයේදී, එදා මගේ අතින් වැරැදි අඩුපාඩු කිහිපයක්ම සිදුවුණා. මගේ අතින් සිදු වූ වැරැදි අඩුපාඩු සියල්ලක්ම ගාමිණි එයා කළ වැරදි ලෙස පිළිගනිමින් මාව ධෛර්යමත් කළා. ගාමිණිට අවශ්‍ය වුණේ මගෙන් රංගනය උකහා ගන්නට. මට ඇඟිල්ල දික් කළේ නැහැ. හරිම මානුෂික ගති පැවතුම් තිබෙන මනුෂ්‍යයෙක්. නැවත රූගත කිරිම් සිදුකර අවශ්‍ය දේ මගෙන් ලබා ගැනීමට ඔහු නිතරම උත්සාහ කළා. චණ්ඩියා සමඟ සිනමාස් සමාගමෙන් චිත්‍රපට පහක් සඳහා ගිවිසුම් අත්සන් කරන්නට මට යෝජනා ආවත් මට නිසිආකාරව රඟපාන්නට බැරි වේ යැයි සිතා තාත්තා අකැමැති වුණා.

 

මම හිතෙන්නේ ඔබ වැඩිපුර ප්‍රධාන චරිත රඟ පෑ නළුවා ගාමිණි ෆොන්සේකා කියා පරසතුමල් ‘බොනී මහත්තයා නෝනේට‘ බැල්ම දාපු හැටි එහෙම මතකද?

දවසක් ගාමිණී, මාව චිත්‍රාබාලසූරියට හඳුන්වලා දීලා කිව්වා ‘පරසතුමල්‘ කියලා චිත්‍රපටයක් කරනවා කෙල්ලේ මම උඹට ගැළපෙන හොඳ චරිතයක් දෙන්නම් කියලා. මම තිර කතාව කියවලා ගත් කටටම කිව්වා මට බැහැ කියලා. හේතුව නිදන කාමර දර්ශන, දරුවා ලැබෙන දර්ශන මගේ පොඩි වයසට ඔරොත්තු නොදෙන නිසා මට රඟපාන්නට ලැජ්ජයි. පසුව ගාමිණීගේ කීමටයි මම කැමැති වුණේ. ගාමිණි මියගිය වෙලේ බිරිඳ සුමිත්‍රා මාව එක්කගෙන ගාමිණිගේ කාමරයට ගිහින් පින්තුරයක් පෙන්නුවා. ඒ පින්තුරයේ බොනී මහත්තයා ප්‍රතාපවත් ලෙස වාඩිවෙලා ඉන්නවා. ඒ ළඟ මම දරුවා වඩාගෙන ඉන්නවා. මගේ පපුව පත්තුවෙලා ගියා ඒක දැකලා. දරාගන්න බැරුව මට ඇඩුණා.

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙලොවක් අතර චිත්‍රපටයේ රඟපෑමට ඔබට ඇරයුම් ලැබුණා නේද? පසුව ඒ අවස්ථාව ගිලිහී ගියා නේද?

ඩොක්ටර් පීරිස් දෙලොවක් අතර රඟපාන්නට මට කතා කරලා ගුරුවරියගේ චරිතය මට බාර දුන්නා. දර්ශන දෙකක් රූගත කළා. ඒත් ඒ චරිතයට සුදුසු රූපකායක් මා තුළ තිබුණේ නැහැ. ගුරුවරියකට සුදුසු මුහුකුරා ගිය ලක්ෂණ මා වෙතින් පෙන්නුම් නොකළ නිසා එයින් ඉවත් වෙන්න සිදුවුණා. ඒත් ඉවත් වුණා කියා මට කිසි දුකක් දැනුණේ නැහැ. මිස්ටර් පීරිස් මට කතා කරලා කිව්වා මම මේ දවස්වල ගොළු හදවත නවකතාව කියවනවා. ඒ ප්‍රධාන චරිතය දම්මි. මට පෙනෙන්නේ දම්මි තුළින් ඔයාගේ මුහුණ. ඒක ශිෂ්‍යාවකගේ කතාවක්. ඔයාට ඒ චරිතය හොඳටම ගැළපෙනවා. මම ඔයාව ඒ චරිතයට තෝරා ගන්නවා. මගේ 21 වැනි උපන් දිනය දවසේ තමයි පොඩි උත්සවයක් පවත්වලා උපන්දින කේක් එක කපලා ගොළු හදවතේ දම්මිට ගිවිසුමේ අත්සන් කළේ. සිලෝන් තියටර්ස් ස්ටුඩියෝවේහීදී දර්ශන කිහිපයක රූගත කිරීම් සිදුකළා. ගොළු හදවත මගේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් අදටත් ගොළු හදවතේ දම්මිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මට ඔවුන් දුරකථනයෙන් කතා කරනවා. ලියුම් එවනවා. මගේ උපන් දිනයට සුබ පැතුම් පත් සෑම වසරකට නොවරදවා එවීමට අමතක කරන්නේ නැහැ. දම්මි - සුගත් යාවත්කාලීනයි. අදටත් පාසල් ප්‍රේමය බොහෝ විට කෙළවර වන්නේ විරහවෙන්.

ඔබේ සැමියා දයා රණවීර ඔබට මුණ ගැසුණේ ඔබ අවුරුදු 16ක පාසල් ශිෂ්‍යවකව සිටින කාලයේ. අනුලා - දයා ආදර අන්දරය ගැන කතා කළොත්?

ඇත්තටම අපි පතාගෙන ආව ද කියා මට හිතෙනවා. දයා ගත්තු පින්තුරය නිසයි රූප රැජින තරගයට මාව තෝරා ගත්තේ මිස්ටර් පීරිස් දයාගෙන් තමයි මගේ ලිපිනය ඉල්ලගෙන තිබුණේ. ඒ දවස්වල අපි දෙන්නා විටින් විට කතා බස් කරනවා. ඒත් ආදරය කළේ නැහැ. ගම්පෙරළිය මංගල දර්ශනය දා ලෙස්ටර් මහත්තයාගේ ගෙදර උත්සවයක් තිබුණා. ඒකට දයා ආවා. මට තාත්තා දුන්න අයිස් ක්‍රීම් කප් එක මට දයාට දෙන්න හිතුණා. ඒ අයිස්ක්‍රීම් කප් එක දයා ගෙදර ගිහින් තබාගෙන තිබුණා. පස්සේ තමයි ආදරයකට පෙරළුණේ. මුණ ගැහිලා වසර 6කට පසු විවාහ වුණා. ගොළු හදවත තිරගත කළේ 1968 අප්‍රේල් 20 වැනිදා මම විවාහ වුණේ 1968 මාර්තු 18 වැනිදා.

මම ජනප්‍රියත්වයට පත්වෙමින් සිටි අවදියක විවාහ වුණේ. විවාහ වෙද්දී මට අවුරුදු 22යි. දයා ඇත්ත පත්තරේ ඡායාරූප ශිල්පියා. ඇත්ත ඒ දවස්වල අතිශයින් ජනප්‍රිය පත්තරයක්. විවාහ මංගල්‍ය උත්සව ඡායාරූපගත කිරීම ඔහු ‍පෞද්ගලික ආදායම් මාර්ගයක් ලෙස කරගෙන ගියා. අපේ විවාහයට බෙහෙවින් උදවු කළ පිරිසක් ඉන්නවා. ඒ මල්කාන්ති නන්දසිරිගේ මමී - ඩැඩී ඇතුළු නිර්මලා, නිරංජලා - සකුන්තලා සහ මනෝජ් ඇත්තටම මට සහෝදරයෝ වගේ උදවු කළා. මල්කාන්තිගේ මමී තමයි මගේ මඟුල් ඇඳුම් කට්ටලය මසා දුන්නේ. ගෙදරට අවශ්‍ය කොට්ට උර, බේඩ් ෂිට් ආදී සියලුම ආම්පන්න ගෙනත් දුන්නේ මල්කාන්ති. විවාහ වෙලා අපි දෙන්නගේ පදිංචියට මල්කාන්තිලාගේ මහ ගෙදර ළඟ ගෙයක් සොයලත් දීලා, අපි දෙන්නාගේ ඕනෑ එපාකම් බොහෝමයක් ඉටු කරලා දුන්නා. මල්කාන්තිගේ පවුල මට කළ උදවු උපකාරවලට මම ණය ගැතියි.

 

ඔබ නිළියක් - සැමියා ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක්. විවාහ මංගල්‍යයට කලාකරුවන් රැසක් සහභාගි වෙන්න ඇති?

නැහැ. ඉතා චාමෙට සුළුවෙන් මංගල උත්සවය පැවැත්වුණේ. ලේක් හවුස් එකේ ච්චඪතර ව්ඥඹඵ පත්තරේ මුල් පිටුවේ අපේ මංගල ඡායාරූපය පළ වී තිබුණා. මින් පෙර කිසිම මංගල ඡායාරූපයක් පත්තරයක මුල් පිටුවේ පළ වී තිබුණේ නැහැ. අපි දෙන්නා ඒකට වාසනාවන්ත වුණා.

 

ඔබ කාලයක් රඟපෑමෙන් ඉවත් වී සිටියා නේද?

ඔව්. මට දරුවෝ දෙන්නා ලැබුණාට පස්සේ අවුරුදු 10ක් රඟපෑමෙන් ඉවත් වෙලා හිටියා. අපි විවාහ වෙලා ටික කලක් යනතුරු දරුවෝ ලැබුණේ නැහැ. අපි දෙන්නා කේන්දර විශ්වාස කරනවා. දරුවෝ නැති නිසා කේන්දර බලන්නත් ගියා. අපි පසුතැවිල්ලේ ඉන්නකොට කරුණරත්න අබේසේකර මට කිව්වා දුක් වෙන්න එපා අනුලා මම හොඳ වෙදමහත්තයෙක් සොයලා දෙන්නම් කියලා. පණ්ඩිත විලියම් අල්විස් ළඟට මාව එක්කන් ගියා. එයාගේ බෙහෙත්වලින් පස්සේ තමයි මට ලොකු පුතා ලැබුණේ. ඊට පස්සේ කාලයක් දරුවෝ නැතිව හිටියා. දෙවැනි වරටත් විලියම් අල්විස්ගේ බෙහෙත් අරන් තමයි දෙවැනි පුතා ලැබුණේ.

 

සැමියාගේ හදිසි වියෝවට ඔබ කෙලෙසද මුහුණ දුන්නේ?

දයා හෘදයාබාධයකින් මිය ගියේ. එයාට පපුවේ වේදනාව තිබිලා තියෙනවා. මට ඇඟෙව්වේ නැහැ. දයාට අමාරු නිසා මම කෝපි එකක් හදන්න ගියා. ඒ ටිකකට එයා නැතිවෙලා. මට දුක දරාගන්න බැරුව පිස්සු හැදිලා වගේ හිටියේ. දයාගේ මිනිය ගෙදර. මාව පුතලා ඇඳක නිදි කරවලා තිබ්බා. පුතලා හොඳටම බය වෙලා සැරින් සැරේ ඇවිල්ලා බලනවා මම හුස්ම ගන්නවා ද කියලා. මගේ පුතාලා හිතුවේ මමත් මැරේවි කියලා. දයාගේ කේන්දරේ තිබුණා එයාගේ ආයුෂ අවුරුදු 55ක් කියලා. නමුත් අවුරුදු 61 වනතුරු එයාව ජීවත් කරවන්න මට හැකි වුණා. උපන් දිනයට දවස් 10ක් තියෙද්දී මිය ගියා.

 

අම්මෙකුට පුතෙක් රටක් රාජ්‍යයක්. බිනර ඔබව ආදරයෙන්ම බලා ගන්නවා ඇති?

සත්තකින්ම පුතාලා දෙන්නම මට පණ වගේ ආදරෙයි. පුතාලා පොඩි කාලේ මම වැටිලා මගේ දණහිස කැඩුණ නිසා පාදයක අපහසුතාවයක් තිබෙනවා. බිනර තමයි මාව දොස්තරලා ළඟට ගෙනියන්නේ. බෙහෙත් අරන් දෙන්නේ. ඒ විතරක් නොවෙයි. මගේ කුකුලට තෙල් ගාලා සාත්තු කරන්නෙත් බිනර. තවමත් මගේ අත පය හයියයි. උයන පිහන කටයුතු මගේ අතින් කරන්නේ. ඉඳී ආප්ප, ආප්ප, පිට්ටු ඕනෑම දෙයක් හදාගෙන කනවා තනියම වැඩපළ කරනවා. අපේ වත්ත විශාලයි සුන්දර පරිසරයක්. වත්තේ කෙළවර පොඩි වැවක් තියෙනවා. සැරයටියක් අරගෙන මම වත්තේ ඇවිදින්න යනවා. අදටත් මට රඟපෑමට ඇරයුම් ලැබෙනවා. ඒත් මම කැමති නැහැ. මගේ කකුලේ ආබාධය නිසා අනුන්ට කරදරයක් දෙන්න.

මම වාසනාවන්ත නිළියක්.

වාසනාවන්ත ගැහැණියක්.

වාසනාවන්ත අම්මා කෙනෙක්.

වාසනාවන්ත මිත්තනියක්.

 

 

සේයාරූ - දයාන් විතාරණ