‘ගෑනු දුසිමක්’ නව ප්‍රවණතා හඳුන්වා දෙන නාට්‍යයක්

පූජිත ද මෙල්
අප්‍රේල් 27, 2023

අප්‍රේල් 10 වැනිදා සරසවිය හැට වැනි වියට පා තැබුවාය. දශක හයක් සපුරන එකම ශ්‍රී ලාංකේය කලා පුවත්පතේ අතීත කතා පිළිබඳ මතකාවර්ජනයක යෙදී සිටියදී මගේ දුරකථනයේ පණිවිඩ සේවයේ සිහි කැඳවීමක් නාද කරන්නට විය. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ‘ඩෝසන් ඔෆ් විමෙන්’ නාට්‍යය සවස 6.30ට වේදිකාගත වන බැවින් වීදියගොඩ වලව්වට යා යුතු බව එහි සටහන් විය. ආරාධනය තිබුණේ නාට්‍යවේදියකු, රංග ශිල්පියකු මෙන්ම එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ද වන පූජිත ද මැල් විසිනි.

රංජිත් අසංක ද සමඟ එහි යන අතර අප කතා වුණේ විදියගොඩ වලව්වේ නාට්‍යයක් වේදිකාගත කරන්නට හැකි ආකාරය කුමක්ද යන්න පිළිබඳවය. වලව් වත්තේ පෝටිකෝව දෙපස පුටු කීපයක අසුන්ගෙන සිටින මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාම ඇතුළු ශාස්ත්‍රාලීය පිරිසද ප්‍රවීණ රංගවේදී ජනක් ප්‍රේමලාල් ඇතුළු රංගවේදීන් හා තවත් නරඹන්නන්ගේ සිත් තුළ ද ඇත්තේ අපේ පැනයම බව ඔවුන්ගේ රොක් වූ දෙබැමවලින් පැහැදිලි වේ.

වේලාව සවස 6.30 පසු වද්දී නාටකය ඇරැඹීමේ සීනු නාද විය. ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් කුඩා තිරය මත නාට්‍යයේ ප්‍රධාන භූමිකා පිළිබඳ හැඳීන්වීමක් දැක්විණි. ඉන්පසු අවසන් වසරේ සිසුන් වෙනුවෙන් කතා කළ සිසුවා පැහැදිලිව පැවසුවේ එකම අසුන මත හරිබරි ගැසී ප්‍රොසීනියම් වේදිකාවක ප්‍රේක්ෂකයන් මෙන් මේ නාට්‍යය නරඹන්නට සිතා පැමිණියා නම් නාට්‍ය කණ්ඩායමට කමා කොට ඒ අදහස අතහැර ගන්නා ලෙසයි. ඊළඟට කැලිප්සෝ කණ්ඩායමක් මෙන් පැමිණි ගායන - වාදන වෘන්දය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කළේ හුනස්නෙන් නැඟිට වලව්වේ මැද මිදුලට ගොඩවන ලෙසය. ඒ අතර සිසිල් පැන් බෝතල ද අප අත රඳවන්නට පිරිසක් කටයුතු කළේය. අපි ඒවා රස විඳීමින් මැද මිදුල වටේ රොක් වීමු. නිරූපිකාවන් පිරිසක් පැණිබීමවලට වඩා රස චලනයන් සමඟ මැදමිදුල වටා කණුවල එතෙමින් ඇඳුම් මෝස්තර පෙළක් ඉදිරිපත් කිරීමත් සමඟ නාට්‍යය ඇරැඹිණි. ඉන්පසු දර්ශන නැරඹීම සඳහා සාලයටද, විසිත්ත කාමරයට ද නැවත ගෙමිදුලටද ආදී වශයෙන් ප්‍රේක්ෂක සමූහයා මෙහෙයවනු ලැබුවේ කළේ ගායක කණ්ඩායම විසිනි. සුපුරුදු ඒකාකාරී අසුන්ගත ක්‍රමයෙන් තොරව ‘ගෑනු දුසිමක්’ තමන් විශ්වාස කරන විමුක්තිය වෙනුවෙන් කරන අරගලය පිළිබඳ පැයක පමණ කාලයකදී දැක බලා ගන්නට හැකි විය.

ඒ පිළිබඳ පූජිත ද මැල් නාට්‍යවේදියාගෙන් විමසුවේ ඔහු මේ සරසවි සිසුන්ගේ උපදේශක ලෙස කටයුතු කළ බැවිනි. මේ වෙනස් නාට්‍යයේ ආකෘතික ස්වභාවය සහ අනෙක් තොරතුරු ද සමඟ ඔහුගේ පෞද්ගලික විස්තර කිහිපයක් ද සරසවිය පාඨකයන් වෙනුවෙන් මෙසේ සටහන් කරමු.

ඔහු සිය අත්දැකීම මෙසේ විස්තර කළේය.

‘ශ්‍රී පාලි මණ්ඩපයේ සෑම අවසන් වසරකදීම සිසුන් නිෂ්පාදනයක් කළ යුතුයි. මේ ශිෂ්‍ය කණ්ඩායම නම් මට පළමු වසරෙන් පසු හමු වුණේ අවසන් වසරෙදි මොකද මම ඉන්දියාවේ ගියා මගේ පශ්චාත් උපාධිය කරන්න. අවසන් වසර කණ්ඩායමට සිටියේ ගැහැනු ළමයින්ම 12දෙනෙක්. අධ්‍යක්ෂවරිය හැරුණු විට අනෙක් සියලු දෙනා අංශ දෙකකින් නිර්මාණයට දායක විය යුතුයි. මේ සිසුවියන්ට අවශ්‍ය වුණා සමාජ දේශපාලන ආර්ථික වශයෙන් පවතින තත්ත්වය පිළිබඳ කතාවක් තෝරාගන්න. ඒ අනුව මීට පෙර මර්වින් පීරිස් විසින් පිටපත් රචනය කර අරුණ ජයවර්ධන විසේකාරියෝ නමින් කළ නාට්‍යයට වගේම ධර්මප්‍රිය ඩයස් විසිනුත් වරක් නිර්මාණයකට දායක කරගත් ඇරිස්ටොෆානිස්ගේ ලයිසිස්ට්‍රාටා ඇසුරින් මේ නිර්මාණය කළ යුතු බවට තීරණය වුණා. මුල් කතාවේ තිබෙන්නේ යුද්දෙට නොයන පිරිමින් සමඟ ගැහැනුන් යහන්ගත නොවී සිටීම පිළිබඳවයි. මෙය නිර්මාණය කරන සමයේ අරගලයේ ස්ත්‍රී භූමියකාව ප්‍රබලවත් පිරිමින් ඇල්මැරුණු ස්වභාවයකුත් දැක්වූ නිසා වගේම අර්ථික ප්‍රශ්නය, මුළුතැන්ගේ සමඟ සිටින කාන්තාවන්ට දැනෙන නිසා සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණයට මැදිහත් නොවන පිරිමින්ට ආමන්ත්‍රණය කරන ආකාරයට ලයිසිස්ට්‍රාටා අනුවර්තනය කර ගැනීම සුදුසුයි කියන එකඟතාවක් ඇති කරගත්තා. අපේ සිසුවියන් මේ පිළිබඳ පර්යේෂණ කරගෙන යන විට ඔවුන්ට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන විවිධ සමාජ තලවලට අයත් කාන්තාවන් 12ක් හමු වී තිබුණා. ලයිසිස්ට්‍රාටා කෘතියේ කාන්තාවන් පූජාසනය අත්පත් කරගන්නවා වෙනුවට මේ නිරූපිකාවන් ඔවුන්ගේ නවාතැන් පරිශ්‍රය අත්පත් කරගතහොත් කෙබඳු වේද යන උපකල්පනය අනුව නිර්මාණය ගොඩනඟන්න කටයුතු කළා. එහිදී අතුල පතිරණගේ 12ක් නාට්‍යයේ පිටපතත් අපට වැදගත් වුණා.

මේ සිසුවියන්ගේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කළේ මම. ඒ වගේම අපට උදවු කළා බාහිර කථිකාචාර්ය සමන් ලියනගේ, සහ ප්‍රගීත් අලුත්වත්ත සහ වොෂිකා රුචිරාණි යන කථිකාචාර්යවරුන්.

අපට මූලිකව අවශ්‍ය වුණේ මේ ශිෂ්‍ය ප්‍රජාවට නාට්‍යකරණයේ අලුත් ප්‍රවණතා හඳුන්වා දෙන්න. ප්‍රොසීනියම් ආකෘතියෙන් බාහිර ස්ථානවල නාට්‍යකරණයක යෙදිය හැකි ආකෘති සොයා ගන්න පොලඹවන්න.

විශේෂයෙන් විශාල ශාලාවලට ලොකු ආර්ථික පිරිවැයක් කළ යුතු නිසා මහජනතාව ගැවසෙන ඔවුන්ට සමීප විය හැකි තැන්වල නාට්‍ය පෙන්වීමට අවශ්‍ය ආකෘතියක් ලෙස ක්ෂේත්‍ර විශේෂී ක්‍රමය (ඉඪබඥ ඉනඥජඪටඪජ) සලකන්න පුළුවන්. එහි මූලික අර්ථය තමයි අදාළ ක්ෂේත්‍රය විසින් නාට්‍යයට අවශ්‍ය අවකාශය සකසා දීම.

මේ ආකෘතියට මම බක්මහ අකුණු කැලණිය විශ්වවිද්‍යාලයේත්, සොක්‍රටීස් පේරාදෙණියේත්, රත්නවල්ලි හොරණ විල්මට් පෙරේරා නිවෙසේත් ප්‍රදර්ශනය කළා. යුරෝපයේ යුද්ධය පැවැති භූමිවල නාට්‍ය පෙන්වූයේ මේ ආකාරයට.

එය ක්‍රම දෙකකට සිදු කළ හැකියි.

1. ඒ ස්ථානයේ ඇති කොටස් එකතු කරගෙන නාට්‍යය කිරීම

2. පිටපතක් සකසාගෙන එය අදාළ ක්ෂේත්‍රයට අනුගත කරමින් නාට්‍යය කිරීම වශයෙන්.

ඉතින් මේ ශ්‍රී පාලි මණ්ඩපයේ ගැහැනු දුසිමක් කෘතියට අපි වලව්වක් තෝරාගත්තේ පුරුෂ මූලික හෝ සාම්ප්‍රදායික බව දැක්වීමට. ඒ පරණ ලොජ් බවට පත් වන්නේ ආර්ථික ප්‍රශ්නය මත. පරණ බලය ගරා වැටිලා චෙකෝෆ්ගේ චෙරි උයන දී වගේ ඒවා විකිණීමට ලක් වෙනවා. රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවෙස හෝටලයක් වෙලා. ආර්ථික ධාරාව සමඟ බලය පිළිබඳ ප්‍රශ්නය තමයි මෙයින් මතු කෙරෙන්නේ. සාලිය කියන්නෙ ඒ ලොජ් එකේ නව අයිතිකරු. ඔහු අලුත ධනවත් වුණු පුද්ගලයෙක්. ඔහුගෙන් නිරූපණය වන්නේ මුදල් හම්බකරගත් පාදඩ සමාජය ආර්ථිකය හසුරුවන බවයි. මේ සමාජ බලවේගය හමුවේ කාන්තාව හරිවිදිහට පෙළ ගැසුණොත් ක්‍රමය පෙරළන්න පුළුවන් කියන පණිවිඩය දීමට අපට අවශ්‍යව තිබුණා.

ලංකාවේ කාන්තාවන් සියයට 55ක් විතර ඉද්දි කාන්තාවක් ප්‍රථම අගමැති, ප්‍රථම විධායක ජනාධිපති වෙද්දි, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ගැන කතා කරන්න වෙලා තිබෙනවා. විවියන් ගුණවර්ධනලා වගේ අය සිටිය රටක් වෙද්දි සබුද්ධික කාන්තාව ඉදිරියට ගෙන ඒමට නොහැකි වී තිබෙන්නේ කණ්ඩායම් හැඟීම කියන දේ සමාජයේ අඩු වීම නිසා. බහුතරයක් දෙනා පෞද්ගලික දේ මත ජාතික වගකීම අතහරිනවා.

මේ නිර්මාණය ඒ සියල්ල කතාබහට ලක් වන ආකාරයේ ගැඹුරක් සහිත කෘතියක් මිස හුදෙක් මතුපිටින් ගලා යන ප්‍රචාරකවාදී නාට්‍යයක් නොවිය යුතුයි යන මතය සිසුවියන්ගේ මෙන්ම අපේ ද මතය වුණා.

මෙහිදී නිර්මාණාත්මක සන්නිවේදනය පැහැදිලි කිරීමට බ්‍රෙෂ්ටියන් එපික් කියන ක්‍රමවේදය අපි භාවිත කරන්න හිතුවා. විවිධ දැනුම් මට්ටම්වල අය නාට්‍යය නැරඹිය හැකි නිසා පූරකයෙකු විසින් කතාව පැහැදිලි කරන්න අවශ්‍යයි.

මේ සියල්ල සඳහා ප්‍රාසංගික අධ්‍යයන අංශයේ අවසන් වසර කණ්ඩායමේ සිසුවියන් 12ට අමතරව පළමු, දෙවැනි සහ තෙවැනි වසරවල සිසු සිසුවියන් වගේම මාධ්‍ය අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් ද ඇතුළු සමස්ත විශ්වවිද්‍යාලයම එකතු කරගෙනයි අප මේ නිර්මාණය කළේ.

ලෝකයේ මේ ආකෘතිය ඔහු දුටු අවස්ථාද ඔහු සිහිපත් කළේය.

ඔගොස්තෝ බුවා මූලිකව යු‌රෝපයේ මේ සයිට් ස්පෙසිෆික් (ඉඪබඥ ඉනඥජඪටඪජ) ඩාන්ස් කියන නැටුම් වර්ගය කර තිබෙනවා. 2018 වසරේ ආසියානු විශ්වවිද්‍යාල තරුණ සමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ මැදිහත් වීමෙන් පවත්වන අවස්ථාවේ සංස්කෘතික කටයුතු භාරව සිටිය අපි කැලෑවේ නැටුමක් කළා. එය දවල් කාලයේත් ඉදිරිපත් කළා.

මෙහි වීථි නාට්‍යවල ලක්ෂණ සහ ආභාසය තිබෙනවා. ලෝකයේම නිර්මාණකරුවන්ට ආර්ථික ප්‍රශ්නය නිසා විවිධ ක්‍රමවේදවලට අනුගත වන්න සිදුවෙලා. බ්‍රෝඩ්වේ වගේම ඕෆ් බ්‍රෝඩ්වේ නාට්‍ය විශාල වශයෙන් නිෂ්පාදනය වන්නේ නිර්මාණකරුවා කෙසේ හෝ තමන්ගේ කෘතිය පෙන්වාගන්න අවකාශයක් ලබා ගන්නා නිසයි. පල්ලියක, දුම්රිය පොළක වැනි ස්ථානයක නාට්‍යය පෙන්වීම ඔස්සේ ඇතිවන සමාජ කතිකාව, මානයන් සහ ගන්නා අත්දැකීම අපට තව තැනක ලබන්න බෑ. ප්‍රේක්ෂකයාට නාට්‍ය කියූ පමණින් මැවෙන වේදිකාව නිසා අප කොටු වෙලා ඉන්නේ. එය වික්ටෝරියානු ආභාසය නිසා වුණු හිරවීමක්. නැත්නම් අපේ කෝලම් මඩු වැනි දේ ප්‍රේක්ෂකයා නැරඹුවේ අප මේ කියන ආකෘතියට සමාන ක්‍රමවලින්.

අප්‍රිකානු නාට්‍ය ඉතිහාසයේත් දින තුන-හතර පුරා නාට්‍ය පෙන්වලා තිබෙනවා. පාපන්දු තරග අතරත් නාට්‍ය පෙන්වා විකල්ප වැඩ කරනවා. මෑතකදි එක්සත් රාජධානියේ උද්‍යානයක කළ එවැනි ඉදිරිපත් කිරීමක් නැරඹුවා. උයනේ තැනින් තැන සිටින අයට එකම දේ පෙනෙන කෝණය වෙනස්. නළුවා ප්‍රේක්ෂකයාට වඩාත් සමීප නිසා මේ නිරූපණයන් මඟින් ප්‍රාසංගික සන්නිවේදනය අතින් ප්‍රබල පණිවිඩ දිය හැකියි.

ඇමෙරිකාවේ පෙදෙසක ජනතාව ආර්ථික ප්‍රශ්න නිසා පාන් පරිභෝජනය නොකර ඉද්දි එක් බක්කරේ කෙනෙක් අඩි 15-20 පමණ උස පපට් හදලා ඒ සන්දර්ශනය බලන්න එන අයට පාන් කන්න දුන්නා. එය නම් කළේ බ්‍රෙඩ් පපට් මූමන්ට් කියලා. කොවිඩ් කාලේ අපේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ළමයින් යෝධයෝ වීදි බසී කියලා දැනුම්වත් කිරීමේ නාට්‍ය කළා. මෙවැනි අලුත් මාවත් නාට්‍ය ක්ෂේත්‍රයේ අපි සොයා යන්න ඕනේ. සමහර විට අතිශය සාර්ථක නොවෙන්න පුළුවන්. ඒත් අත්හදාබැලීම් කළ යුතුයි.

මේ නාට්‍යයත් අපි රඟදක්වන්න හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් එකේ. ඒත් හොරණ සිට කොළඹ ඇවිත්පුහුණු වීමේදී ඇතිවන ආර්ථික සහ වෙනත් විවිධ අපහසුතා නිසා තමයි මේ වීදිය ගොඩ වලව්ව යොදා ගන්න තීරණය කළේ.

 

ශ්‍රීපාලි මණ්ඩපාධිපති සිය දෙසුමේදී මෙය කොළඹ රඟදැක්වීම ගැන පැවසුවා?

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියූ පරිදි ලයනල් වෙන්ඩ්ට් වැනි ප්‍රොසීනියම් වේදිකාවක රඟ දක්වන්න ගියොත් මෙහි ආකෘතියේ යම් යම් වෙනස්කම් කරන්න වෙයි. කොළඹ ආර්කේඩ් එක, පදනම් ආයතනය, රේස්කෝස් එක වැනි තැන්වල නම් මේ ආකාරයටම රඟදැක්විය හැකියි.

ඉන්පසු ඔහුගේ පෞද්ගලික තොරතුරු කීපයක් විමසීම වැදගත් යැයි සිතිණි. පසුගිය කාලයක් පුරා ඔබ සිටියේ ඉන්දියාවේ අධ්‍යයන කටයුතුවල නිරත වෙමින්?

ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ බරෝඩාහි මහරාජා සයජිරාවෝ විශ්වවිද්‍යාලයේ නාට්‍යකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවා. එහිදී ඉන්දියානු ජන නාට්‍ය ආදිය පිළිබඳ හැදෑරීම් කළා. මගේ පාඨමාලාවට නාට්‍ය හතරක් කළ යුතුයි. එහිදී පියුස් මිශ්‍රා විසින් ලියන ලද බටහිර ලෝකයේ රෝමියෝ ජුලියට් හා සමාන ජබ්ෂෙරා නාට්‍යය විවිධ ප්‍රාන්ත, සමාජ තල, විවිධ වසරවල ළමයින් සමඟ එක්ව කරන්න ලැබීම සන්නිවේදනයේ වෙනස්ම අත්දැකීමක් වුණා. ඉන්දියාවේ ගෝත්‍රික ජනවර්ග දහඅටක් පමණ සමඟ වැඩකරන්න ලැබුණා. ප්‍රජා නාට්‍ය කණ්ඩායම්වල වැනි කලාකරුවන් අඩු ආදායම් ලාභීන්ට කලා රසඥතාව සපයන්න නිර්මාණ කරන ආකාරය, කලාකරුවන් රජයේ තීන්දුවලටම හිස නොනමා තමන්ගේ අයිතිවාසිකම් සහ නිවැරැදි දේ වෙනුවෙන් පෙළ ගැසෙන ආකාරය අත්දුටුවා. ඉන්දිරා ගාන්ධි පදනම සමඟ එක්ව පැවැත් වූ නාට්‍ය උලෙළට මුළු ඉන්දියාවෙන්ම නියෝජිතයන් සහභාගී වූ ආකාරය දුටුවා. ඒ වගේම ටෙනිසි විලියම්ස්ගේ ග්ලාස් මිනාජරී ඇසුරින් කළ නාට්‍යය සාර්ථක වීම නිසා ඒ සිසුන් විසින්ම සංවිධානය කර එය දිල්ලියේ සහ අහමදාබාද්වල ප්‍රදර්ශනයට කටයුතු කළා. ඒ නාට්‍ය දෙක සඳහාම උපාධි ප්‍රදානෝත්සවයේදී ශ්‍රී විවේක් ෂින්ඩේ අනුස්මරණ රන්පදක්කම සහ හරිවාදන් ජිවාන්ලාල් පාරික් රන් පදක්කම ලබා දෙමින් ඉහළම ලකුණු සහිතව සමත් වන්නට මට අවස්ථාව ලැබුණා.

 

ලංකාවේ තරුණ කලාකරුවන් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

ලංකාවේ ලොකුම ප්‍රශ්නය තරුණ පිරිස් දායක වෙලා නිර්මාණ කළාට ඒවා සමාජගත කිරීමේදී සුපුරුදු ප්‍රශ්නවලටම මුහුණ දෙන්න සිදුවීමයි. නාට්‍ය හුදු විනෝදාස්වාදය සඳහාමයි කියා සිතීම වැරැදියි. අඩුම ගානේ විෂය නිර්දේශවලට හෝ නව ප්‍රවණතා ඇතුළත් විය යුතුයි. අද නිර්මාණය වගේම හැමදේම අලෙවිකරණයට යට වෙලා. ඒ අර්ථපතීන් පිනවන්න කරන නිර්මාණ පමණයි ඉදිරියට එන්නේ. නාට්‍ය ශිල්පීන්ට විශේෂයෙන් නළු නිළියන්ට වෘත්තීයභාවය ලබා දීම වැදගත්. ඒවා අපට කළ හැකි දේවල් නෙවෙයි. රජයක් විසින් කළ යුතු දේවල්. ඩීල් සමාජයක අඩුම ගණනේ තරුණ ජවයෙන් යුතු අයට තැනක් ලැබෙන්නේ නෑ. එවිට ඔවුන් රට අතහැර යනවා. ඉන්දියාව වැනි රටවල් වගේම යුරෝපීය රටවල් පිළිගන්නවා නාට්‍ය වැනි දේ රටක තිබිය යුතුබව. අපේ සංස්කෘතික ප්‍රතිපත්තිවලිනුත් ඒ දේ කළ යුතුයි. මේ රටේ පසුගිය කාලය පුරාම රජයන්, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කළේ ජනතාවගේ විචාර බුද්ධිය හීන කිරීම.

සංස්කෘතික ක්‍රියාවලිය රටකට වඩාත් වැදගත් වන්නේ කෙසේද යන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූයේ ඉහළම තාක්ෂණික දැනුමක් ඇති අය වීමෙන් අවබෝධ කරගත හැකියි. ඔවුන් ප්‍රාසංගික කලා මාධ්‍යයකට සම්බන්ධ කළා නම් මෙවැනි දේට පෙලඹෙන්නේ නෑ. පින්ලන්තය වැනි රටවල අධ්‍යාපනය හොඳයි කියන්‌නේ මෙවැනි දේ ඒ ක්‍රමවේදයට ඇතුළත් නිසා. අද අපේ සමාජයේ සීසීටීවී නැත්නම් අල්ලපු ගෙදර අයවත් අඳුනන්නේ නෑ. වෙළෙන්දන් සමාජය පාලනය කරනවා. වෙළෙඳාම නරක දෙයක් නොවේ, එහෙත් එහි සීමාවක් තිබිය යුතුයි. කලාව මිනිසාට අවශ්‍ය රස්සාවක් ලෙස හෝ සල්ලි හම්බකරන්න නෙවෙයි. මනුෂ්‍යත්වය දියුණු කරන්නයි.

 

ඔබ උගත් නාට්‍ය කලාවෙන් අනාගත පරපුරට දෙන දායාදය කුමක්ද?

ග්ලාස් මිනාජරී නාට්‍යය හෙන්රි ජයසේන නාට්‍යවේදියා පුංචි පළිඟු රෑන නමින් කර තිබූ නිසා ලංකාවට ආ පසු එය නැවත නිෂ්පාදනයට සුදාරක ජයසේන මා හට අවසර දුන්නා. මේ වන විට එහි නළුවරණය කර අවසන්. මැයි මාසයේ පුහුණුවීම් ආරම්භ කර දෙසැම්බර් පමණ වන විට වේදිකාගත කරන්න අපේක්ෂා කරනවා. ශෛලී ආයතනය සංජය හෙට්ටිආරච්චි, තරංග ගුණසේකර, අජිත් සිරිමාන්න, කාවින්ද්‍යා සංජිලා, රෝහිත කරුණාරත්න සමඟ මම කරගෙන යන්නේ ළමා ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සලසන්න. එයින් ජූලි මාසය වන විට ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න කටයුතු යොදා තිබෙනවා. ශෛලී මඟින් අප උත්සාහ කරන්නේ හැල්මේ දුවන සමාජයේ අඩුම තරමේ අපේ කාලයේ වගේ විවේකී මනසකින් රට ලෝකය ජීවිතය දෙස බැලිය හැකි ළමා පරපුරක් බිහි කිරීමයි.

 

 

සේයාරූ - රංජිත් අසංක

[email protected]