බොලිවුඩ් ‘නයිට් මැනේජර්’ මේ දිනවල ලංකාවේ

ලාල් හරීන්ද්‍රනාත් විස්තර කරයි
මාර්තු 3, 2022

'ද නයිට් මැනේජර්' ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ප්‍රශංසා මැද 2016 වසරේදී බීබීසි වන් ඔස්සේ නිකුත් වූ සම්මානනීය බ්‍රිතාන්‍ය රූපවාහිනී කතාමාලාවකි. ජෝන් ලී කේරි විසින් 1993 වසරේදී එනමින් නිකුත් කළ අපරාධ කතා පුවතක් ගෙන එන කෘතියෙන් නිර්මාණය වූ 'ද නයිට් මැනේජර්' කතාපුවත හෝටලයක රාත්‍රි කළමනාකරුවකු ලෙසින් සේවයේ යෙදන හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවකු වන ජොනතන් පයින් සහ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වළාගත් ආයුධ වෙළෙන්දෙකු වන රිචඩ් නැමැත්තෙකු වටා ගෙතී ඇත. මෙහි ජොනතන් පයින් ලෙස ටොම් හිඩ්ල්ස්ටන් සහ රිචඩ් ලෙස හියු ලෝරි චරිත නිරූපණය කළහ.

මේ වන විට 'ද නයිට් මැනේජර්' හින්දි අනුවර්තනයේ කටයුතු ආරම්භ වී තිබේ. එහි ටොම් හිඩ්ල්ස්ටන් විසින් රඟපෑ ජොනතන් පයින් ගේ චරියට ආදිත්‍ය රෝයි කපූර් විසින් පණ පොවන අතර හියු ලෝරි විසින් කරන ලද භූමිකාව අනිල් කපූර් නිරූපණය කරනු ඇත. මුල් කතා මාලාවේ ජෙමීමා ලෙස එලිසබෙත් ඩෙබෙකි නිරූපණය කළ චරිතයට හින්දි ප්‍රතිනිර්මාණයේදී පණ පොවනු ලබන්නේ නිළි සෝභිතා ධුලිපාලා විසිනි. මේ වසරේ අගභාගයේදී ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙහි එක් කතාංගයක රූගත කිරීම් කරන ලද්දේ ශ්‍රී ලංකාවේදීය. 

එහි කලා අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළේ ලාල් හරීන්ද්‍රනාත් ය. විජය ධර්මශ්‍රීගේ 'සිටුකුමරියෝ' චිත්‍රපටයෙන් කලා අධ්‍යක්ෂණ කටයුතු ආරම්භ කළ ඔහු මේ වන විට දේශීය මෙන්ම විදේශීය චිත්‍රපට රැසක් ඔපවත් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ. ලාල් 'වලාපටල' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේය. 'ද නයිට් මැනේජර්' හින්දි අනුවර්තනයේ කලා අධ්‍යක්ෂණ කටයුතු ගැන ලාල් පැවසුවේ මෙලෙසින්.

"මේ නිර්මාණය අපේ රටට පැමිණියේ යසස් රත්නායකගේ සර්කල් 360 ආයතයේ සංවිධාන කටයුතු සමඟින්. ඉන්දීය නිෂ්පාදක කණ්ඩායම මා මේ නිර්මාණයට තෝරා ගෙන තිබෙන්නේ ම විසින් පෙර කළ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. මේ නිර්මාණයේදී අපි දර්ශනතල නිර්මාණය කළේ අපේ රටේ විදියටයි. ඒ වෙනුවෙන් යොදා ගත්තේ වැලිගම සහ අම්බලංගොඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක්. එහිදී සුපිරි හෝටලයක් ධනකුවේරයෙකුගේ නිවසක් බවට පත් කළා. වැලිගම වරායේ දර්ශන කිහිපයකුත් යොදා ගත්තා. ඒ වගේම දර්ශන තලයේ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු උපරිමයෙන් ක්‍රියාත්මක වුණා. ඒ වගේම බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන අනිල් කපුර් දායක වන නිර්මාණයක කලා අධ්‍යක්ෂණය කිරීමට ලද අවස්ථාවත් මට විශේෂයි".

මේ වෙනුවෙන් අපේ රටේ ශිල්පීන්ගේ දායකත්වය කොහොමද?

මේ නිර්මාණ කටයුත්තට ඉන්දියාවෙන් ශිල්පීන් 168 දෙනෙකු පැමිණියා. මෙරට රූගත කෙරුණු විදෙස් නිර්මාණයක් සඳහා පැමිණි වැඩිම පිරිසත් මෙය බව කිව හැකියි. ඕනෑම රටක විදෙස් රූගත කිරීමක් සිදු කෙරෙන විට විදෙස් රටේ ශිල්පීන් සියයට පනහක් සහ සත්කාරක රටේ ශීල්පීන් සියයට පනහක් වශයෙන් දායක වීම නීතියක්. උදාහණයක් විදියට අපි එච්. ඩී. ප්‍රේමරත්නගේ 'මන්දාකිණි' චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේදී රූගත කළා. එහි කලා අධ්‍යක්ෂණ කටයුතු භාර වුණේ මට. එහිදී එරට අදාළ අංශ ඒ වෙනුවෙන් නීතිරීති පද්ධතියක් දන්වා සිටියා. ඒ වෙනුවෙන් අපේ කණ්ඩායමට කාර්මික ශිල්පීන් දස දෙනෙකු ඇතුළත් වූ නිසා අපට එරට කාර්මික ශිල්පීන් දස දෙනෙකුත් සහභාගි කරවා ගැනීමට සිදු වුණා. ඒක ඔවුන්ගේ නීති අතර එකක්. මෙවැනි විදෙස් නිර්මාණ අප රටට පැමිණීමේදී අපේ රටෙත් එවැනි නීති පැවතීම ගොඩක් වටිනවා. ඒ ඔස්සේ අපේ නළු නිළියන්ට මෙන්ම කාර්මික ශිල්පීන් හටත් විදෙස් නිර්මාණවලින් අත්දැකීම් ලබා ගැනීමට ලැබෙන අවස්ථා විශේෂයි. ඒ වෙනුවෙන් නව නීති ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. මේ වන විට අපේ නව ජාතික ප්‍රතිපත්තියටත් මෙරට ශිල්පීන්ගේ දායකත්වය සියයට පනහ ලෙසින් වන නීතිය ඇතුළත්. ඒ නිසා විදෙස් නිර්මාණ පැමිණි විට අපේ ශිල්පීන්ටත් ඒ වෙනුවෙන් දායක වීමට අවස්ථා සලසා දිය යුතුයි.

මේ වන විට තවත් විදෙස් නිර්මාණ කටයුතු කිහිපයක්ම මෙරටදී සිදු කරන්න නියමිතයි නේද?

ලංකාව කියන්නේ චිත්‍රගාරයක්. රූගත කිරීමේ පහසුකම් තියෙන සුන්දර පාරාදීසයක්. ඒ වෙනුවෙන් දර්ශනතල ඕනෑ තරම් තියෙනවා. මේ වන විට තවත් විදෙස් නිර්මාණ කිහිපයකම රූගත කිරීම් මෙරටදී සිදු කිරීමට නියමිතයි. එයින් එකක් වෙනුවෙන් මරදාන දුම්රිය ස්ථානය හතළිහ දශකයේ ඉන්දියාව මෙන් සැකසෙනවා. ස්පාඤ්ඤ චිත්‍රපට සමාගමකින් සිදු කෙරෙන රියලිටි වැඩසටහනකුත් මේ අතරට ඇතුළත්. එය සැඟ වූ කැමරා යොදා ගනිමින් සිදු කරන්නක්. එහි ස්වීඩන බසින් කෙරෙන නිර්මාණය වෙනුවෙන් ස්වීඩන නිර්මාණ ශිල්පීන් ලබන අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි. එය රූගත කෙරෙන්නේ මිරිස්සේදීයි. මුරලිගේ ජීවිත කතාව ගෙන එන 800 චිත්‍රපටයේත් රූගත කිරීම් අප්‍රේල් මාසයේ මෙරටදී ආරම්භ කරන්න නියමිතයි. මේ නිර්මාණ සියල්ලේම කලා අධ්‍යක්ෂණ කටයුතු භාර වෙලා තියෙන්නේ මටයි.

ඡායාරූපය - මාලන් කරුණාරත්න