වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ත්‍රිමාණ අංගරචනය ලංකාවට තවම අලුත්

ආධුනිකත්වයේ සිට ප්‍රවීණත්වය කරා ළඟා වීමට ඇත්තේ රෝසමල් ඇතිරූ සොඳුරු සුන්දර මාවතක් නොව අනේක දුෂ්කරතාවයන්ගෙන් යුත් අති දුෂ්කර, කටුක මාවතකි. එම දුෂ්කර මාවත තරණය කිරීමට නම් උට්ඨාන වීර්‍ය, කැපවීම, ධෛර්යය, විෂයට දක්වන ආදරය මෙන්ම අවංක භාවය ද තිබිය යුතුමය. අද සරසවිය සමඟ රසබර පිළිසදරකට එක් වූයේ තවත් එවැනිම ප්‍රවීණයෙකි. ඔහු වෙන අන් කවුරුත් නොව අංගරචන ශිල්පියකු ලෙසින්ද, අභිරූපණ ශිල්පියෙකු ලෙසින්ද, රංගන ශිල්පියෙකු ලෙසින් ද මෙරට කලා කෙත අස්වැද්දූ ජයන්ත රණවක නම් කලාකරුවාය.
සරසවිය සමඟ මතක මාවත දිගේ පිය නඟද්දී තම පාසල් ජීවීතයේ රසමුසු මතකයන් සිහිපත් කළේ මෙලෙසිනි.
"මම කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලෙ දි පවා කලාවට ලොකු නැඹුරුවක් තිබුණා. ඒක උපතින්ම ආව එකක්. මට මතකයි මං පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයකුව සිටි කාලේදි දියතලාව කඳවුරේ දී ශිෂ්‍ය භට කණ්ඩායමේ මූලිකත්වයෙන් කළා නාට්‍යක්. එතනදී මම දිනාගන්නවා හොදම අංගරචනා ශිල්පියාට ලැබෙන සම්මානය. ඒක තමයි මගේ පටන් ගැන්ම."
පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු තම දිශානතිය ඉලක්ක කරන්නෙ නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය වෙතටයි.
"මං පාසල් අධ්‍යාපනයෙන් පසුව තීරණය කරා නාවික ඉංජිනේරුවෙකු වෙන්න. ඒ අරමුණ ඉටු කරගන්න මං පුහුණුවක් ලැබුවා. ඒත් මහ මුහුදේ මිනිස් කටහඩක් තියා මිනිස් සේයාවක් වත් නැති සාගරයක් මැද තනි වෙලා ඉන්න එක වේදනාකාරී අත්දැකීමක් වුණා. ඒ නිසා මං නාවික ජීවිතයට සමු දුන්නා."
කලාකරුවෙකුට මිනිස් වාසෙන් තොරව සාගරයක් මැද ජීවත් වීමට නොහැකි බව අත්දැකීමෙන්ම ජයන්තට වැටහුණේ පුහුණු කාලය තුළදීමය. පසුව ඔහු තීරණය කළේ තමා තුළ සැඟවී සිටින කලාකරුවා කවුරුන් දැයි හඳුනා ගැනීමටය.
"මම ලයනල් වෙන්ඩ්ට් රංගශිල්ප ශාලිකාවට සම්බන්ධ වෙලා අග්‍රගණ්‍ය නාට්‍ය කරුවෙක් වෙන ධම්ම ජාගොඩ මහතා යටතේ රූපණය හැදෑරුවා. එහිදි අපිට විවිධ නාට්‍ය රග දක්වන්න අවස්ථාව උදා වුණා. එහෙම කළ එකක් තමයි "මූදු පුත්තු" නාට්‍යය. මං ඒ නාට්‍යයට රංගනයෙන් දායක වුණා. පස්සෙ "යාත්‍රාවක මිනිහෙක්" කියලා නාට්‍යක් කළා. එකේදි මට ප්‍රධාන චරිතය නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා.
පස්සේ සුනේත්‍රා ජාගොඩ මහත්මිය මට ආරාධනා කළා දරුවන්ගේ රසවින්ඳනය උදෙසා නිර්මාණ කරන්න."
ලයනල් වෙන්ඩ්ට් රංගශිල්ප ශාලිකාව
ඔස්සේ පුහුණුව ලබා, තමා තුළ සිටින කලාකරුවා සොයා ගිය ගමන මල්ඵල දැරුවේ රණවකයන් ගේ සිය කුලුඳුල් වේදිකා නාට්‍ය නිර්මාණය එළිදැක්වීමත් සමඟය.
" මගේ ප්‍රථම වේදිකා නාට්‍ය " හය දෙනෙක්". මං ඒ නාට්‍යයේම අංගරචනා ශිල්පියත් වෙනවා."
රණවකයන් සිය හඹා යෑම නිම කළේ නැත. ඔහු අංගරචනය, රූපණය, අභිනය යන විශයන් පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමේ අධිෂ්ඨානය ඇතිව ජර්මනිය බලා පිටත් විය. ජර්මනිය රණවකයන් ට විශ්වවිද්‍යාලයක් විය.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද තිරපිටපත් රචකයෙකු ද නවකතාකරුවෙකු ද වන ආචාර්ය තිස්ස අබේසේකර සූරීන් වරක් මෙසේ පවසා ඇත. " සිනමාව වනාහී සංස්ලේශී කලාවකි. එනම්, විවිධ කලාංගන්ගෙන් සුපෝෂිත වූවකි."
රංගනය, ගායනය, වාදනය, නර්තනය, තිරපිටපත් රචනය, අධ්‍යක්ෂණය, අංගරචනය, කැමරාකරණය, ආලෝකකරණය සහ තවත් බොහෝ ක්ෂේත්‍රයන් වල සංස්ලේශී බවක් සිනමා කලාව තුළ ගැබ්වී ඇත. සිනමාවේ බැබළෙන තරුවක් වීමට නම් මෙකී ශිල්පීය දැනුම සහ පරිචය ඉතා වැදගත් වෙයි. නිරූපණයට අමතරව අංගරචනා ශිල්පය කෙරෙහි ද රණවකයන් ගේ සිත ඇදී ගියේ කලාවට ඇති ආදරය නිසාවෙනි.
"කැමරා කාචය හරහා මවන මිථ්‍යා ලෝකය යථාර්ථයක් ලෙස ප්‍රේක්ෂකයා වෙතට ගෙන යන එක් ප්‍රධාන අංගයක් ලෙස අංගරචනා ශිල්පය හඳුන්වා දෙන්න පුළුවන්. එනම්, මිථ්‍යාව යථාර්ථයක් කරන එම විජ්ජා කරුවා වෙන අන් කවුරුත් නොව අංගරචනා ශිල්පියාය. අංගරචනා ශිල්පියාගේ දැනුම, අත්දැකීම සහ ශිල්පීය හැකියාව සිනමා නිර්මාණයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඍජුව බලපානවා."
ඔබ ජර්මනියෙන් සහ ඇමරිකාවෙන් අභිනයත්, අංගරචනයත් කියන විෂයන් දෙකම ඉගෙනගත්තා.ඒ ගැන කතා කළොත්?
"මං විදේශීය රටවල් ගණනාවකම අංගරචනා ශිල්පියෙකු ලෙස නිර්මාණ රැසකට දායක වෙලා තියෙනව.
ඇමරිකාවේ ජුරාසික් පාක් චිත්‍රපටය අති දැවැන්ත නිර්මාණයක්. මං ඒ කාලේ ඇමරිකාවේ ත්‍රිමාණ අංගරචනා ශිල්පය ඉගෙනගන්න ශිෂ්‍යයෙක්. ඉතිං සිසුන් කිහිප දෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා ඒ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ අංගරචනා ක්ෂේත්‍රය හරහා දායක වෙන්න. මටත් ඒ අවස්ථාව ලැබුණා.
ඒ වගේම ඇමරිකාවේ "කාමන්" ඔපෙරාවෙත් මට අංගරචනා ශිල්පියෙකු ලෙස සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඇමරිකාවේ දි මට වැඩ කරන්න තිබුණේ පැය 3 යි. පැය 3 ට ඩොලර් 100යි."
ජයන්ත රණවකයන් තම නිර්මාණ කුසලතාවය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ද නිර්මාණ ඔස්සේ ද සනාථ කර ඇත.
සරසවිය සම්මාන උලෙළවල් රැසකදීම විශිෂ්ට අංගරචනා ශිල්පියාට හිමි සම්මානය ඔහු දිනාගන්නේ තම නිර්මාණ ප්‍රතිභාව පිළිඹිබු කරමිනි.
ආලෝකා උදපාදී, මහරජ ගැමුණු ආදි සිනමා නිර්මාණ ඊට උදාහරණ ලෙස නම් කළ හැකිය.
හිරු ගෝල්ඩන් සම්මාන උලෙළේදී ද ඔහු විශිෂ්ට අංගරචනා ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වෙයි. ඒ "නිකිණි වැස්ස" චිත්‍රපටය සඳහාය.
ඔහු රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය නිර්මාණ අතර සිකුරු තරුව, තිසරවී ආදී නිර්මාණ සදහන් කළ හැකිය.
ඇමරිකාව, ජර්මනිය ඇතුළු තවත් බොහෝ විදෙස් රටවල සංචාරය කරමින් ඔහු ලැබූ දැනුම සහ අත්දැකීම් ලාංකික සිනමා ලෝලීන්ට ලබා දීමේ අරමුණින් ඔහු නිර්මාණ රැසක් සිදු කළේය. විශේෂයෙන් ත්‍රිමාණ අංගරචනය හඳුන්වා දීමට ඔහු ගත් වෑයම සුළුපටු නොවේ. එනමුත් සිදු වුණේ ඔහු සිහිනෙන් වත් නොසිතූ දෙයකි.
" මං "අන්තර්ජාන මිනිසා" කියල නාට්‍යක් කළා. මං බලාපොරොත්තු වුණේ ඒ නිර්මාණය හරහා ත්‍රිමාණ අංගරචනය ලංකාවට හඳුන්වා දීලා නව රැල්ලක් ඇති කරන්න. ඒත් අවාසනාවකට අපේ රටේ ලොකු පුටුවල ඉන්න අයට ඒ නිර්මාණවල වටිනාකම තේරෙන්නෙ නෑ. ඒ නිසා මගේ දැනුමෙන් මෙහෙ වැඩක් කරන්න බැහැ. ත්‍රිමාණ අංගරචනය ලංකාවට තවම මැජික් එකක්. ලොකුම ගැටලුව තමයි ශිල්පීන් යාවත්කාලීන නොවීම. නව තාක්ෂණය පිළිබද ඇති අල්ප දැනුම. අපේ රටේ අංගරචනා ශිල්පය තියෙන්නෙ එක කොනක හිර වෙලා. මූණේ පාට උලන එක අංගරචනය කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ. ඇත්තෙන්ම ඒක විශාල වපසරියකින් යුත් විෂයක්.
"අන්තර්ජාන මිනිසා" නාට්‍ය නිර්මාණය කළේ මගේ අවුරුදු ගණනාවක අත්දැකීම් සහ දැනුම යොදාගෙන ගොඩාක් මහන්සි වෙලා.
ඒත් ඒක විකාශය කරන්න මගෙන් මුදල් ඉල්ලුවා. ඒ මුදල නොදුන්න නිසා මගේ නිර්මාණය පොරොත්තු ලේඛනගත කරල තියෙනවා. ඒ ගැන මට තියෙන්නෙ ලොකු කනගාටුවක්."
ඔහුගේ මුවින් ඒ වචන ගලා ආවේ බලවත් ශෝකයකිනි.
එයින් නොනැවතුණු ඔහු ත්‍රිමාණ අංගරචන තාක්ෂණය විධිමත් ලෙස ඉගැන්වීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් ව්ඍQ පාඨමාලවක් ආරම්භ කර ඇති අතර සියලූම ව්ඍQ පාඨමාලාවන් ඒර්ඒඊඊ ආයතනය හරහා පවත්වයි.
" මගේ අරමුණ වුණේ මගෙන් පස්සෙ බද්ධ අංගරචනය නැතිනම් ත්‍රිමාණ අංගරචනය ඉදිරියට ගෙන යන්න පුළුවන් දක්ෂ ශිල්පීන් පිරිසක් බිහි කරන එක. මට හිතෙනවා දක්ෂ ශිල්පීන් පිරිසක් රටට දායද කරන්න පුළුවන් වෙයි කියලා."
තවත් රසවතෙකු සමග සත් දිනකින් යළිත් හමුවෙමු.
ඉසුරු තඹවිට