රහසිගතව මෝක්ෂයට ගිය ජනකාන්ත සිනමා තාරකාව

නොවැම්බර් 2, 2023

ලොව සෑම රටකම ස්ථාපිතව තිබෙන මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ඉටුවෙන මෙහෙවර අමිලය. ඕනෑම ශිල්පියකු ගේ මූලික හඳුන්වාදීම කෙරෙන්නේ එමගිනි. විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ නොනැසෙන මතක ජනපි‍්‍රයත්වය රදා පවතින්නේ ඒ තුළය. ඔවුන්ගේ හැකියාව, දක්ෂතාවය, නිපුණත්වය වර්ණනාත්මක පවසන්නේ මාධ්‍යයයි. කොටින්ම ඔවුන්ට මාධ්‍යයෙන් තොර පැවැත්මක් නැත. ඇයත් තම මුල් යුගයේ බහුලව මාධ්‍ය තුළින් ඉස්මතු වූ සිනමා ශිල්පිනියකි. තමන් ඔසවා තැබූ මාධ්‍යයෙන් සැඟව රහසිගතව ඇය ඉකුත් ඔක්තෝබර් 21 වැනිදා බොරැල්ල කනත්ත සුසාන බිමේ මිහිදන් වූවාය. ඒ නිසා සෑම මාධ්‍යයකින්ම ලැබීමට තිබුණු ගෞරවාන්ත දැවැන්ත ප්‍රචාරය ඇය අහිමි කරගත්තාය. අවිවාහක පැරැණි සිනමා නිළියන් දෙතුන් දෙනාගෙන් කෙනකු වන ඇයට මේ ඉරණම කාගේ වරදින් සිදුවුණාදැයි මම නොදනිමිනි. එහි සුලමුල දැන් සෙවීමෙන් ද පලක් නැත.

පුරා සතියකට පසුව ඇගේ වියෝව හෙළි කරගත් මාධ්‍ය සමුහය තම යුතුකම නොපිරිහෙලා ඉටු කළහ. 1932 බොරැල්ලේ ජන්මලාභය ලැබූ ඇය ජීවත්ව සිටියා නම් එළඹෙන නොවැම්බර් 06 වැනිදාට ඇගේ 91 වැනි උපන් දිනය සමරන්නට තිබුණි. අතිශයෝක්තියෙන් තොරව පවසනවා නම් ඇය ලාංකේය සිනමාවේ පළමු දශකය ඔපවත් කළ දක්ෂ චරිතාංග නිළියකි. තමන්ට ලැබුණු සිනමා භූමිකාවට සාදාරණ තාත්විකත්වය මුසු කළ ඇය මෙරට ප්‍රථම සිනමා ත්‍යාග තරගය ලෙස සැලකෙන, 1956 ලේක්හවුස් ආයතනය සංවිධානය කරන ලද දිනමිණ රඟමඬල චිත්‍රපට තරගයෙන් තෙවැනි ස්ථානය ලබාගත්තාය. සරසවිය සම්මාන උලෙළින් පසුකලෙක රණතිසර සම්මානය ද ලබාගත්තාය. 1997 පැවැති එකළොස්වෙනි ජනාධිපති සම්මාන උලෙළේ ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුම් ලද පිරිසෙන් කෙනෙක් ඇය වූවාය.

1956 චලන චිත්‍ර සඟරාව මඟින් මෙහෙය වූ පාඨක ඡන්දයෙන් චිත්‍රපටයක ප්‍රධාන නිළිය තේරීමේ තරඟයෙන් පළමු ස්ථානය ලැබුවේත් ඇයයි. එම චිත්‍රපටයේ සම ප්‍රධාන චරිතය ලැබීමත්, චිත්‍රපටය එම චරිත නාමයෙන් නම් කිරිමත් සුවිශේෂ අතීත සිද්ධියකි. ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය ඇය සුමති සම්මාන උළෙලේදී ලබාගත්තේ 2009 වර්ෂයේය.

අනුරාධපුර ශුද්ධ පවුලේ කන්‍යාරාමයෙන් නාවලපිටිය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් සිප් සතර හැදැරූ ඇය අනිකකු නොව මැටිල්ඩා සී. ද සිල්වාය. නැතිනම් ක්ලැරිස් ද සිල්වාය. අතීත සටහන් විමසා බලන විට ඇය චිත්‍රපට නිළියක වී ඇත්තේ නොසිතූ වීරූ ආකාරයට අහම්බෙනි. රුක්මණී දේවිගේ සිනමා රැඟුම් දැකිමෙන් උද්දාමයට පත් ක්ලැරිස් ඇය දකින රීසියෙන් මීගමුවට ගියාය. එහිදී සිදුවුණු වැරදීමකින් ඇය ගොස් තිබුණේ රුක්මණිගේ නිවසට නොව ඩී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ නිවසටය. ක්ලැරිස්ව දුටු ඔහුගෙන් උමතු විශ්වාසය (1952) චිත්‍රපටයේ දඟකාර චරිත නිරූපණයට ඇරයුම් ලැබිණ. මෙලෙස අහඹු අයුරින් නිළි වරම ලැබු ඇගේ දෙවන චිත්‍රපටය පුදුම ලේළි (1953) තිරගත විය. එහි උපප්‍රධාන චරිතය ධර්ම ශ්‍රී රණතුංග සමඟ රඟපෑවාය. එතැන් සිට ක්ලැරිස්ට ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට සමාගමේ තමන් නිෂ්පාදන හතරකට සම්බන්ධවීමට ලැබිණ. ඉන් අහංකාර ස්ත්‍රී (1954) චිත්‍රපටයෙන් ලැබුණේ දෙවැනි ප්‍රධාන චරිතයයි. එය සමඟ අතිරේකව පෙන්නු ලංකාවේ පළමු වෙළෙඳ ප්‍රචාරක චිත්‍රපටය වු රාණි වර්ණ චිත්‍රපටයේ පෙනී සිටියේත් ඇයයි. ඒ ස්ටැන්ලි පෙරේරා සමඟය.

ක්ලැරිස්ගේ ආන්දෝලනාත්මක භූමිකාව දක්නට ලැබුණේ මාතලන් (1955) චිත්‍රපටයෙනි. ඉන්දියාවේ තන්දොර් ග්‍රාමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොට ගත් මංගම්මා සපකට් (1943) දෙමළ චිත්‍රපටයේ වසුන්දරා දේවිගේත්, මංගලා (1950) හින්දි චිත්‍රපටයේ පී, භ්‍යාමතිගේත් රංගනය අබිබවා ඇය මාතලන් චිත්‍රපටයේ චිත්‍රවල්ලි ලෙස වරෙක ගොවි ළියක්, තවත් වරෙක රාජ කුමාරියක්, සිරකාරියක්, මවක් වුවාය. ශේෂා පලිහක්කාරගේ ද්විත්ව චරිතයත් සමඟ ඈදුණු එම චරිත නිරූපණය යළි ප්‍රතිනිර්මාණය කිරීමට සමත් නිළියක් වත්මනින් සොයා ගැනීමට නුපුළුවන.

ක්ලැරිස්ගේ තෙවැනි චිත්‍රපටය වන රම්‍යලතා 1956 තිරගත වුවාය. දේවදාස් (1955) දෙමළ චිත්‍රපටය අනුකරණය කළ එහි එන නාට්‍යාංගනාවගේ ප්‍රබල චරිතය ඊට පෙර 1928 හින්දි බසින් පරුල්බාලා, 1935 බෙංගාලි බසින් චන්ද්‍රබාතිදේවි, 1953 දෙමළ හා තෙළිඟු බසින් ලලිතා, 1955 යළිත් හින්දි බසින් වෛජයන්තිමාලා යන නර්තන හැකියාවන්ගෙන් පරිපුර්ණ නිළියන් අතර ක්ලැරිස්ගේ රම්‍යලතා චරිත නිරූපණය ඔවුන්ට වඩා ඉහළ තලයක තිබුණි. ඊළඟට රඟපෑ සොහොයුරෝ (1958) ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපටයක් වුවත් ඇය එම සමාගමට පමණක් කොටු වුණේ නැත. 1959 නිෂ්පාදිත පුරුෂ රත්නය වෙනත් චිත්‍රපට සමාගමක ඉදිරිපත් කිරීමකි.

ක්ලැරිස් ප්‍රධාන මෙන්ම උප ප්‍රධාන චරිත රඟපෑ සුන්දර බිිරිඳ, වීර වි්ජය (1960) කළ කළ දේ පල පල දේ, සුලලිත ශෝභනි (1964) තවත් චිත්‍රපට කිහිපයකි. සුහද දිවි පිදුම( 1962) සුහද සොහොයුරෝ (1963) ඇගේ රංගනයන් මතක ආවර්ජනය කළ හැකි චිත්‍රපට ද්විත්වයක් වෙයි. සාර්ථකම විකට සිංහල චිත්‍රපට වශයෙන් සැළකෙන අල්ලපු ගෙදර (1965) චිත්‍රපටය ඇඩුත්වීට්ටු පෙන් (1960) දෙමළ චිත්‍රපට ප්‍රති නිර්මාණයකි. එහි අංජලි දේවි මෙන්ම ඉන් පෙර 1952 හා 1953 තිරගත බෙංගාලි, තෙළිගු චිත්‍රපට නිළියන් පරදා ක්ලැරිස් සිය රංගනය සිංහල චිත්‍රපටයට එක් කළාය. එලෙසම ඇගේ ආත්ම පුජා (1970) චරිත නිරූපණය එම කතාව රැගත් ද කොසිකන් බ්‍රදර්ස් (1941) ඉංගි‍්‍රසි චිත්‍රපටයේ රූත් වර්රික්ගේත්, දෙමළ හා හින්දි චිත්‍රපටවල පී.භානුමතිගේත් රංගනය සමඟ සැසදිය නොහැකි තත්ත්වයකට පත් කළාය. ආදරයයි කරුණාවයි (1965) - ඉවසන දනා (1967) ලන්ඩන් හාමු, අටවෙනි පුදුමය (1968) කොහොමද වැඩේ, හරි මඟ, උතුම් ස්තී‍්‍ර, පැංචා (1969) ඇය කතා නායිකාව වූ චිත්‍රපට වේ. අවසන් භාගයේ ඇය රෝසි (1985) ගෙදර බුදුන් අම්මා (1988) මමයි රජා (1989) ධවල පවුර (2011) ආදි චිත්‍රපටවල වයසට ගැළපෙන සැලකිය යුතු වැඩි හිටි චරිත තුළ සිය දක්ෂතාව පෙන්නුවාය.

මෙම චිත්‍රපට අතරින් ලන්ඩන් හාමු චිත්‍රපටයේ ශ්‍රී රංජනී (රත්නකන්නීර්) අටවැනි පුදුමය චිත්‍රපටයෙන් කේ.ආර්. විජය (පෙන්නිනී වාසග) කොහොමද වැඩේ හා පැංචා චිත්‍රපටවලින් සාවිත්‍රි (ආයිමේ රුබායි - යාර් පයින්) යන ඉන්දීය දෙමළ නිළියන්ගේ චරිත රංගනයන් ප්‍රතිනිර්මාණය කළාය. එඩී යාපා, අරුණ ශාන්ති, පේ‍්‍රම් ජයන්ත්, රවීන්ද්‍ර රූපසේන, ආනන්ද ජයරත්න, ස්ටැන්ලි පෙරේරා, බොනිෆස් ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, අශෝක පොන්නම්පෙරුම, සේනාධීර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, ටෝනි රණසිංහ ඇගේ සහායක නළුවන් වූවාය. ඒ.එස්.නාගරාජන්, ඒ.බී.රාජ්, එල්.එස්. රාමචන්ද්‍රන්, ටී. යෝගානන්දන්, කේ.එස්.සේතු මාදවන්, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, රොබින් තම්පෝ, එම්.මස්තාන්, ගාමිණි ෆොන්සේකා, ආනන්ද ජයරත්න, එච්.ඊ. ජයසිංහ, චුන්ඩුකිලි ටී. සෝමසේකරන්, එස්. රාමනාදන්, කේ.වෙන්කට්, වින්සන්ට් ඩේවිඩ්, ඩී.එම්.දාස්, යසපාලිත නානායක්කාර, රෝයි ද සිල්වා, ලක්ෂමන් ආරච්චිගේ ඇයව මෙහෙයවන ලද අධ්‍යක්ෂවරු පිරිසයි.

ක්ලැරිස් ද සිල්වා දක්ෂ චරිතාංග නිළියක වුවාසේම සුමියුරු ගායිකාව ද වූවාය. ඇගේ හඬින් මුලින්ම ගීත ඇසුනේ සිංහල දෙබස් කවා පෙන්නු වීර වික්‍රම (1958) චිත්‍රපටයෙනි. එහි ශෂිකලා නම් හින්දි නිළිය වෙනුවෙන් පසුබිම ගායනයත්, හඬ කැවීමත් කළේ ඇයයි. පුරුෂ රත්නය, සුහද දිවි පිදුම, ලන්ඩන් හාමු යන චිත්‍රපටවල රංගනයට අදාළ ගීතත් ගැයුවාය. මේ චිත්‍රපට හතරේම සංගීත අධ්‍යක්ෂවරයා මුත්තුසාමිවීම විශේෂත්වයකි.

රූපසේන සිල්වා