රේඛාව චිත්‍රපටයේ රඟපාන්න නොලැබීම ගැන අම්මා දුක්වුණා

රීටා රත්නායකගේ දියණිය සධානා කියයි
නොවැම්බර් 2, 2023

" අපෙ අම්මා ඔය චිත්‍රපටවල හඬා වැටෙන චරිත..අවිහිංසක චරිත රඟපෑවාට සැබෑ ජීවිතයේ දි අපෙ අම්මා හිත ශක්තිමත් ඕනෑම අභියෝගයකට බය නැතිව මුහුණ දෙන ස්ට්‍රෝං චරිතයක්..පහසුවෙන් සැලෙන චරිතයක් නම් නොවෙයි...එඩිතර හොඳ ආත්ම ශක්තියක් තිබුණු කාරුණික හදවතක් හිමි කාන්තාවක් ...""

අපේ සරසවිය පාඨකයන් වෙනුවෙන් මෙවර ඔබට හමුවන්නේ අතිශය රූ සම්පත්තියකට හිමිකම් කී අපේ හෙළ සිනමාවේ නොමැකෙන ආදරණීය සටහන් රැසක්ම තබා ඇති සම්මානිත රූපණවේදිනියකි...ඕ තොමෝ අපේ සිනමා රසික සමූහයාගෙන් දුරස්ව..සිනමාවෙන්ද මෑත්ව දිගු කලක් නිහඬව සිටියාය... ආදරණීය පාඨක ඔබට තොරතුරක් සපයා දෙනු රිසියෙන් මාස කිහිපයක්ම ඈ පිළිබඳ වංහුං සොයමින් කල්ගත කළෙමි...මේ අපේ සොඳුරු රුවැත්තිය පිළිබඳව නොසිතූ මොහොතක තොරතුරක් ලදිමි..මසිතේද මේ රූපණවේදිනිය පිළිබඳව තිබූ ආදරය නිසාම ලද තොරතුරින් ලද සන්තුෂටිය අපමණය... 

"අමල් මල්ලි ..මට දැනගන්නට ලැබුණා ඔයා අපේ රීටා රත්නායක මහත්මිය ගැන සරසවිය ට ලියන්නට එතුමිය සොයමින් සිටින බවක්.. එතුමියගේ දියණිය ඉන්නෙත් මේ ප්‍රංශයේ..මම සධානා මහත්මිය සම්බන්ධ කර දෙන්නම්.."

මුව නොසෑහෙනසේ මම ඔහුට ස්තුතිවන්ත වීමි..

ඒ අන් කවරකු හෝ නොව සිනමාවට "පූජා " චිත්‍රපටය කැන්දා පැමිණි චිත්‍රපට ..ටෙලි හා වේදිකා යන ත්‍රිත්වයේම නිෂ්පාදකවරයකු වන කාගේත් හොඳ හිත දිනූ අපේ ආදරණීය ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු සහෘදයාණෝය..එතුමා දිගු කලෙක සිට පදිංචිය ප්‍රංශයේය..වසරකට වරක් මවුරට පැමිණෙයි...එතුමා එසේ කියූ ලෙසින් ම නොපමාවම මට මුණගැස්වූ සධානා මහත්මිය ප්‍රංශයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ දැන් මා සමඟ සුහද පිළිසඳෙර්ය...

"සරසවිය පත්තරේ කියන්නෙ එදා පටන්ම අපේ විතරක් නෙවි හැම ගෙදරකම තිබුණු පත්තරයක්නෙ..අපේ ගාමිණී ලක්ෂ්මන් අයියාට..අපි නම් කියන්නෙ පූජා ගාමිණී කියලා..බොහොම සුන්දර මනුස්සයෙක් ..මං එතුමාටත් සරසවිය කර්තෘතුමාටත් ඔබටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා..අපෙ අම්මා ගැන කතා කරන්නට මේ අවස්ථාව ලබාදීම ගැන.."

සධානා මහත්මිය රුවැතිය..වදන් පෙළ කාරුණික ය.. ඕ නිහතමානීය..මේ වනවිට ඇය සේවය කරන්නේ ප්‍රංශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගුරුවරියක් ලෙසිනි..

එදා අපේ සහසක් සිනමා රසික රසිකාවියන් අදරින් වැලඳගත් සුරූපී රීටා රත්නායක මහත්මියගේ ආදරණීය දියණියයි..මේ...!

"ඉතිං..අපෙ අම්මා ගැන මම කියන්නම්කො.. ඕන දෙයක් අහන්න.."

සුවපහසු අසුනකට බරදුන් ඕ පිරුණු සිනහවකින් මුව සරසා මදෙස බලා සිටිනු මට මැනවින් පෙනේ..

ගාමිණී ..මාලනී..විජය..මාලනී..සේම හෙළ සිනමාවේ තවත් රසාස්වාදනීය යුගයක අශෝක ..රීටා යුගයද ඔබ මතක තිරයේ තවමත් රැඳී ඇතිවාට සැක නැති..

රිදී තිරය ඔපකළ ඕ තොමෝ කඳුළු වගුරා හඬනයුරු මා මතක තිරයේ දිස්වෙයි..සැමියා ඉදිරියේ අසරණ වන..බැගෑපත් වන රඟ සොබාව තුළින් ඇය මට පෙනෙයි..

"අපෙ අම්මා අම්මාගේ චරිත නිරූපණය කළ හැටි මට අදත් හරිම අගෙයි..අපෙ අම්මාගෙ රඟපෑම්වලට මං හරිම ආසයි..හරීම තාත්විකයි.."

අපේ ආදරණීය සධානා අප පිළිසඳරට මුල පුරන්නීය..

බදුල්ලේ උපත ලද අපේ සොඳුරු කතා නායිකාවගේ උප්පැන්නයේ නම රීටා විලොෆිනා රත්නායක ය..ඇයගේ මවුපියන් වූයේ එමිල් රත්නායක සහ මේරි රත්නායක ( ප්‍රනාන්දු ) ය. පියාණන් වූ එමිල් මහතා වෘත්තීයෙන් ගුරුවරයෙකි.. 1934 ක්වූ පෙබරවාරි මස 18 වනදා මෙලොව එළිය දුටු ඕ තොමෝ සහෝදර සහෝදරියන් පස් දෙනකු අතර තෙවැන්නිය වූවාය..

ලොකු අයියා ටෙරන්ස් රත්නායක ය..දෙවැන්නා අයිවෝ රත්නායක ය..තෙවැන්නිය අපේ කතා නායිකාව රීටාය..සිවිවැන්නිය මාලින් ය..පස්වැන්නිය වෙරෝනිකාය...

මූලික අධ්‍යාපනයට පිවිසියේ මාතලේ කොන්වන්ට් එකටය..ශාන්ත තෝමස් විද්‍යාලයටය..පාසල් වේදිකාවේ දී අපේ රීටා ගැයුමින්ද රංගනයෙන්ද ඉදිරියෙන්ම කැපී පෙනුණාය..

අතිශය රූසිරියෙන් යුතු වූ ඇය අවුරුදු 16 වන වියට ළං වූවා පමණි.. එකල බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන් ඩබ්ලියු ඒ.සිල්වා ශූරීන්ගේ ජනප්‍රිය කෘතියක් වූ "කැලෑහඳ" චිත්‍රපටයට නගන්නට ලකලෑස්ති වෙමින් සිටියේය..

අපේ සධානා සිනාවතිනි..ඈ යමක් කියන්නට සැරසෙයි..මම ඈ දෙස බලා හිඳීමි..

"ඒක වුණේ මෙහෙමයි..අපෙ අම්මා කතෝලිකනෙ..මඩුපල්ලි එහෙම යනවා..ඒ වගේ මඩුපල්ලි ගිය දවසකදි එතැනට එඩී ජයමාන්න මහත්තයා එක්ක රුක්මණී දේවි මහත්මියත් ඇවිත් ඉඳල තියෙනවා..අපෙ අම්මා දිහා ඒ දෙන්නාම බලා ඉඳල තියෙනවා..රුක්මණී දේවි මහත්මිය දැක්ක ගමන් අපෙ අම්මාට සන්තෝසෙ වාවාගන්න බැරි තරම්ලු..පස්සෙ ..ඒ දෙන්නම අම්මා ළඟට ඇවිත් අහල තියෙනව අපි කැලෑහඳ කියල චිත්‍රපටයක් හදනවා..ඔයා රඟපාන්න කැමතිද කියලා.....අපෙ අම්මාත් එකපාරටම හා කිව්වලු...එතකොට පත්තර වලත් දාල තිබිල තියෙනව කැලෑහඳ චිත්‍රපටයට කෙනෙක් සොයනවා කියලා.

ඔන්න ඔහොමයි අපෙ අම්මා නිළියක් වුණේ.."

සධානා හිනැහෙන්නීය ..

අපේ ආදරණීය කතා නායිකාව රීටා සැබැවින්ම අවිහිංසක ය..මහත්සේ කරුණාබරය. එහෙත් ඇවැසි තැනදී එඩිතරය...දුකටපත් කෙනකු වෙනුවෙන් ඈ දෑසේ කඳුළු මතුවන්නීය..කෙනකුට උදව් උපකාර ඇවැසි තැනදී තමන් ළඟ තිබුණිද නොතිබුණිද කාගෙන්..කොහෙන් හෝ සොයා සපයා දී පිළිසරණ වන්නීය...අනතුරුව ඒ ගැන සිත සිතා අපමණ ව තනිවම සතුටු වන්නීය..

කැලෑහඳ සිනමා සිත්තමේ ප්‍රධාන චරිතය රඟපෑවේ රුක්මණී දේවියය..එහි උප ප්‍රධාන චරිතයක් වූ ඩේසි අත්තනායක නම් චරිතයට එදා ජීවය දුන්නේ අපේ සොඳුරු කතා නායිකාව රීටාය..

දැන්..දැන් ඇය පිළිබඳව සිනමා රසික තුඩ තුඩ රැව්දෙයි..තව තවත් චිත්‍රපට ඈ වෙතට ගලා එන්නීය..

"ඉතිං අමල් ..අපෙ අම්මා විවාහ වුණා කියමුකො... ඒ 1963 දි විතර..සිනමාවට එකතුවීමෙන්මයි අම්මා ගෙ විවාහයත් ළඟට ආවෙ..ඒ තමයි විල්ෆ්‍රඩ් සිල්වා මහත්තයා ..එයා තමයි මගේ තාත්ති .."

සිනමාවට එක්වූ විල්ෆ්‍රඩ් සිල්වා මහතා පාඨක ඔබට අහඹු චරිතයක් නොවෙි..හෙතෙම මුලදී ගීත රචකයෙකි..එකල ඉමහත් ජනාදරයට පාත්‍රවූ සුනීතා..සුන්දර බිරිඳ ..සුරතලී..ආදී තවත් චිත්‍රපට රැසකටද ගී පද රචනයෙන් සම්බන්ධ වූ ඔහු පසුකලෙක චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙසින් ද නමක් දිනා ගත්තේය..ශාන්ති ..රන්තිලකා..අම්මෙ මට සමාවන්න ..ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන මහත්මියගේ දෑසේ මල් පිපිලා ..සිනමා සිත්තමටද දායක වූයේය..එහි ගීත රචනාද ඔහුගේ ය..චිත්‍රපට දහයකට පමණ අධ්‍යක්ෂණයෙන්ද..ගීත රචනාවෙන්ද එකතු වූවද හෙතෙම එකම තැනකදීවත් රඟපෑවෙි නැත.

"අපෙ තාත්තිට හොඳට ලිවීමේ හැකියාවක් තිබුණා ..ඉතිං ඒ කාලෙ චිත්‍රපට හදන්නෙ ඉන්දියාවට ගිහින්නෙ..ඉන්දියාවෙදි තමයි අපෙ අම්මායි තාත්තියි හාද වෙලා තියෙන්නෙ ...තාත්ති හදපු චිත්‍රපටවලත් අම්මා රඟපෑවා..ඒත්..ඒත්..."

අපේ සධානා එක්වරම නිහඩ වූවාය..

ඕ බිම බලාගත්වනමය ..

"ඔබතුමිය ඇයි ඒත්..කියලා කතාව නැවැත්තුවෙ .."

මම විමසුවෙමි..

"අපෙ අම්මායි අපෙ තාත්තියි වෙන්වුණා...තාත්ති අම්මා ව විවාහ කරගන්න ඉස්සෙල්ල නිමාලි අතපත්තු කියල කෙනෙක් එක්ක විවාහ වෙලා ඉඳලා තියෙනවා..තාත්තිගෙ ඒ විවාහයෙන් සේමාලි අක්කා මට ඉන්නවා.. පස්සෙ මමයි..මගෙ බන්දුල මල්ලි විතරයි.. අම්මා නැවත විවාහයක් ගැන නම් හිතුවේම නැහැ..අපෙ අම්මා අපිට ගොඩාක් ආදරයෙන් හිටියේ..අප ගැන අම්මාගෙ ලොකු උනන්දුවක් තිබුණා .."

මා හා සුහද කතබහේ පසුවන විලොෆිනා ඇග්නස් සධානා මහත්මියගේ කටහඬ බිඳුණු ස්වරයකි..ඒ තම ප්‍රේමණීය මව කෙරෙහි ඈ මතක තිරයේ නිදන් වූ මතකයන් සිහිපත් වීමෙන් යැයි මට සිතේ..

වෙනතකට කතාව යොමුවී නැවතත් මව පිළිබඳ කතාවට හඬ අවදිකළ ඕ මදෙස බලා මඳ සිනාවක් පෑවාය..

"අම්මාගෙ හිතේ කාලයක් ගතවනතුරාවට ම ලොකු දුකක් තිබුණා ..ඒ ගැන මා එක්කත් නිතරම අම්මා කීවා..

රේඛාව චිත්‍රපටය අමල්ට මතකයිනෙ..ඉතිං ඒ රේඛාව චිත්‍රපටයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අපෙ අම්මාව තෝරාගෙන තියෙනවා..හැබැයි ඒ වෙද්දි වෙනත් චිත්‍රපටයකට අම්මා ගිවිසුම් අස්සන් කරලා.තිබුණෙ ...ඒ නිසා රේඛාව මග හැරුණා..මට රේඛාව චිත්‍රපටයට යන්න බැරි වුණානෙ කියමින් අම්මා ගොඩක් කනගාටු වුණා.."

අපේ ආදරණීය රීටා රත්නායක සිනමාව වෙනුවෙන් දිවිමඟෙහි අවසානය දක්වා ම රඟපෑවාය..අතරින් පතර වේදිකා නාට්‍ය රංගනයට එක්වූ ඕ ටෙලි නාට්‍ය වලද..විවිධ චරිත නිරූපණය කළාය..

ඇයගේ සිනමා ආගමනයට පෙරදී බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන්ගේ නාට්‍ය වලටද සම්බන්ධ වී ඇති බවද කීයේ අපේ සධානාය..

අපේ රීටා රූපගත කිරීම් අහවර වී නිවසට පැමිණ දිනෙක දියණියට මෙසේ කියන්නට වූවාය..

"අපෝ..ලැඩී රණසිංහ එක්ක රඟපාන එක නම් ලේසි නැහැ ළමයො..රංගනය තිතටම තියෙන්ඩ ඕනා..නැතිනම් යකා වැහෙනවා. දීලා අදිනවා..මට නම් එයා එක්ක රඟපාන්න බයත් හිතෙනවා..."

සිය මවගේ ඒ කතා අසා සිටි සධානාද පසුව බියට පත්වෙයි..

දැන් අපේ සොඳුරු කතා නායිකාව ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය..රුක්මණී දේවිය..එඩී ජයමාන්න..ලීනා ද සිල්වා ..අසෝක පොන්නම්පෙරුම...රවීන්ද්‍ර රූපසේන..ගර්ලි ගුණවර්ධන ..ආදී සහෝදර නළු නිළියන් ඇයගේ සමීපතම මිතුරු මිතුරියන් ය...වඩාත්ම ළඟින්ම පසුවූ සෝමා එදිරිසිංහ මහත්මිය ගැනද සධානා මතකයට නඟන්නීය..

" අපෙ අම්මා විවාහයෙන් පස්සෙ කොළඹ පදිංචියට ආවනෙ...කොහුවල බලපොකුණෙ...ජුබිලි කණුව..කෝට්ටේ..අපි හිටියා...මට නැන්දා වන කෙනෙක් උන්නා..එයා අවිවාහක කෙනෙක්..අම්මාගෙ පැත්තෙ ඥාතිවරියක්...එයාගෙ නම බර්තා රුද්‍රිගු ...එයා තමා අම්මාගෙ ගමන් බිමන්වලදි..වගේම ඉන්දියාවෙ රූගත කිරීම් වලට යද්දිත් හැමදෙයකදීම තනි නොතනියට කියල උන්නෙ..ඒ නැන්දා අපවත් රැකබලා ගත්තා .."

මේ වනවිට අපේ ආදරණීය සධානා ගායන ලොවට පිවිස සිටී...කොළඹ බිෂොප් විදුහලේ ආදි සිසුවියක වන ඈ පාසලේ නාට්‍ය වේදිකාවේ රංගනයෙන් හපන්කම් පෑ..ගායනයෙහි සමත් ව අද පසුවන්නීය ..

"මටත් නිළියක වන්නට ආසාවක් තිබුණා ..අම්මාත් කැමැත්තෙන් හිටියෙ.. අම්මාගෙ නම ගෙනියන්න මාව සිනමාවට එකතු කරවන්නට ..ඒත් තාත්ති එහෙමට කැමැත්තක් දැක්වූයෙ නැහැනෙ..කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහත්තයා කැලෑහඳ 2 නැවත කරන්න සැලසුම් කරගෙන අම්මාගෙ ගීතයකට ගන්න ඕනෑකමකින් උන්නා..අනේ ඉතිං..අපෙ තාත්ති මං රඟපානවාට සතුටක් තිබුණේම නැහැ..ඒක තාත්තිගෙ විදිහ වෙන්නැති ..මාව ඉදිරියට යවන්න තාත්ති අකමැති වුණා..

ඒ අවස්ථාවන් මට ලැබුණෙ මම ප්‍රංශයට ආවාට පස්සෙ . මෙහෙට අපි ඇවිත් අවුරුදු 30 ක් විතර වෙනවා...ප්‍රංශයට ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් ආවොත් ඔහු සමඟ ගයන්න මට ආරාධනා ලැබෙන්නෙ.."

සධානා ප්‍රංශයේ පැරිස්හීදී "සධානා ගී දැහැන "නමින් ගී ප්‍රසංග පවත්වමින් නමක් දිනා සිටින්නීය..

"අවුරුදු 15 කටත් එහාගිය මිතුදම් ඇති ගාමිණී ලක්ෂ්මන් අයියා හදවතින්ම මනුස්සකම පුදන කෙනෙක්..උපාලි අයියත් පූජා ගාමිණී අයියත් මගෙ කුසලතා දැක මට බොහොම උපකාර කළා.".

අපේ කතා නායිකාවගේ විවාහය දෙදරා යනවිට දියණිය සධානාට වයසින් අවුරුදු එකොළහකි..

විල්ෆ්‍රඩ් සිල්වා මහතා නිහඩ චරිතයකි..කතාබහ අවශ්‍ය විටකදී පමණෙකි..අම්මා හා තාත්තාගේ වෙන්වීම අම්මා තුළ රහසේ සඟවාගත් දුකක් තිබුණු බවද ඈ කීවාය..

"අම්මා නිතර තාත්තිගෙ තිබුණු අඩුපාඩු ගැන මා එක්කළ කතා කරනවා..ඒ දෙන්නාට එකට ගමන යාගන්න බැරි තත්ත්වයක් තියෙන්න ඇති මගෙ හිතේ.."

විල්ෆ්‍රඩ් සිල්වා මහතා සිය දියණිය කැඳවාගෙන චිත්‍රාගාර වෙත යන්නේය..යම් අවස්ථාවල දෙබස් කැවීම් සඳහාද දායක කරගනී..කාර්මික පැත්තේ යම් කටයුතුද පවරයි..වරෙක තම මව සමඟ ද එක්ව යන්නේ චිත්‍රපට රූපගත කිරීම් බලන්නටය..

"අම්මාගෙ රඟපෑම් හරිම තාත්විකයි ..බලන් ඉන්න ආසයි..අපෙ අම්මාට හොඳ පෞරුෂයක් තිබුණාය කීවොත් වඩාත් නිවැරදියි..ඕනම දෙයකට මුහුණ දෙන සවිමත් ගැහැනියක් ...බය අඳුරන්නෙ නැහැ...අසෝක පොන්නම්පෙරුම අන්කල් එක්කනෙ වැඩිපුරම රඟපෑවේ..ඇල්.ඇම් පෙරේරා අන්කල් හෙම ළඟින්ම හිටියා..

ඔය ගාමිණී මාලනී..විජය මාලනී වගේ අසෝක රීටා යුගයකුත් එදා සිනමාවෙ තිබුණානෙ..හැමෝම අපෙ අම්මා එක්ක හරිම එකමුතුයි.."

සධානා කීවාය...

අපේ ආදරණීය රීටා ගීත ගායනයෙහිද සමත්ය..ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමග .."කෝ ..මා මල් නැන්දගෙ මාලී.." යුග ගීතය ගැයුවේ අපේ රීටාය..

"කුල්ලෙන් පොලා..පොලා "ගීතයට සමූහ ගායනයට එක්වූයේද ඇයමය...

අධික රුධිර පීඩනයට ගොදුරුව ගිලන්ව පසුවූ අපේ විල්ෆ්‍රඩ් සිල්වා මහතා හදිසි හෘද රෝගාබාධයකින් වයසින් අවුරුදු 58 දී ජීවිතයෙන් සමුගෙන ගියේ 1988 ක්වූ දෙසැම්බර් මස 27 වනදාය..

අපේ කතා නායිකාව රීටා ඇමෙරිකාව බලා ගියාය..ඒ 1985 වසරේදීය..එහිදී ඈ තුළ නිරතුරුවම තිබූ නීරෝගී බව කෙමෙන් ඈ කෙරෙන් ගිලිහෙමින් වරින් වර රෝගාතුර වන්නට වූවාය...

ඇය දියවැඩියාවට ගොදුරු වූවාය..

කැලිෆෝනියාවේ පොළඟුන් බහුලය...අපේ ආදරණීය රීටා සිය මල්වත්තේය..මලක් නෙළන කළ පොළඟකු ඈ අතට දෂ්ට කළේ නමුදු කිසිවකු හට නොකියා නිවසට විත් අත සෝදා ජංගම වෛද්‍ය රියට කතාකොට ප්‍රතිකාර ලබා ගත්තා ය.

"ඒ සර්ප විෂ අක්මාවට ශේෂ වෙලා. අවුරුදු පහළොවක් විතර ගියාට පස්සෙ අම්මාගෙ අක්මාව නරක් වී ඇති බවක් අපි දැනගත්තෙ..ඒක දැනගත්තෙත් අපේ අම්මා මං ළඟට ආවාට පස්සෙ."

සධානාගේ කටහඬ දුබලය..බිඳුණු හඬකි..

අසනිප තියාගෙන වුවත් හිත සවිමත් ඕ තොමෝ තම දියණිය සධානා දැකුමට ප්‍රංශයට පැමිණියාය... 74 වන වියෙහි පසුවන ඇය දැන් දැන් උණ ගතියකින් නිතර පෙළෙන්නීය...

2006 වසරේදි ඈ ලංකාවට ආවාය.. දියණිය සධානාද..පුතු බන්දුල ද අම්මා ළඟමය..ප්‍රතිකාර කළද උණ ගතිය නොවේ ඈ ගතින් ඉවතට ගියේ..වෛද්‍යවරුන් කීවේ අක්මාවේ නරක තත්ත්වයක් නැති බවමය..එහෙත් අපේ රීටා බරපතළ ලෙස රෝගාතුර වූවාය...

"මගෙ මල්ලි බන්දුල කිව්වා අක්කෙ අම්මා ට අමාරුයි කියලා..ඉන්පසුව අම්මා ව රෝහලට ඇතුළත් කළා.."

මේ වනවිට සිනමාව ඔපකළ අපේ කතා නායිකාව ජනාධිපති සම්මාන ඇතුළු තවත් සම්මාන රැසකින් පිදුමට බඳුන් ව පසුවුවාය..ඇය තවත් සම්මානයකින් පිදුම් ලබන්නට තිබුණේ 2006 වසරේ ඔක්තෝම්බර මස 30 වනදාය..එහෙත් එම සම්මානය තම දෝතින් පිළිගන්නට තරමට සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිහී ඇති නිසාවෙන් ඊට වරම් නැති ඕ තොමෝ රෝහල් වාට්ටුවේ ගිලන් යහනක් මත දිගැදී පසුවන්නීය .

එදින සධානා තම මල්ලි ද සමඟ සම්මානය රැගෙන එන්නට පිටත්ව ගියාය..

ජයවර්ධනපුර රෝහල් වාට්ටුවක අපේ සොඳුරු කතා නායිකාව එලොව මෙලොව සේය...සධානාගේ දියණිය සුලක්ඛනා ද..පුතු දිමිත්‍රි මිගාර ද තම ආච්චි අම්මා ලද සම්මානය දැක ඉමහත් සතුටකින් පසුවීය..

."මේ සම්මානය ආච්චි අම්මා දැක්කාම ඒ සතුටට අසනීපත් අඩුවෙලා යාවි..නේද "

සධානා තම දුවට..පුතාට කීවාය...

තම මව නමින් ලද සම්මානය ද රැගෙන ඉක්මන් ගමනින් රෝහලට පැමිණෙන අතරමගදී මව ගිලන් යහන මත මහත් වේදනාවකින් පසුවන්නට වූවාය...

ඈ නෙත කඳුළින් වැසී තිබිණි .. වෙනදා මෙන් නොවේ...තනියට ළඟම සිටි කාන්තාව ඒ දැක බියපත් වූවාය.

"මගෙ දරුවන් .කෝ...මගෙ දරුවෝ..කෝ....my..children.."

තොල් මතුරමින් වේදනාබර හඬකින් අපේ රීටා රත්නායක නම් සොඳුරු කතා නායිකාවගේ මුවින් පිටවූයේ එපමණෙකි..ඈ හිස පැත්තට වැටිණි...ඈ නෙත පියවිණි...

ඒ වනවිට සම්මානයද අතැතිව මව සමීපයට පැමිණි දියණිය සධානා ද පුතු බන්දුල ද වාවාගත නොහැකි සොවින් අම්මා දෙස ගල්ගැසී බලාගත්වනම සිටියහ..

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල