වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ලංකාවේ ප්‍රේක්ෂකයන් කතුරු මිතුරු නොබැලුවොත් ඒ ඇස් දෙක අපරාදේ

වේදිකා නාට්‍ය කලාවේ දැවැන්තයන්ගේ ආභාසය ලබමින් විශිෂ්ට නිර්මාණ තුළින් සිය රංගන ප්‍රතිභාව පෙන්වමින් රංගනය, ගායනය යනාදී ඉසව් ස්පර්ශ කරමින් යන ගමනේම සිය කලා දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් නවතම ග්‍රන්ථයක් එළිදක්වන රොඩ්නි වර්ණකුලයන් මේ දිනවල තිරගත වන "කතුරු මිතුරු" සිනමාපටයෙන් ද රංගන අනන්‍යතාව සනිටුහන් කරමින් සිටියි. ස්වකීය නිර්මාණ චාරිකාව පිළිබඳවත් ඔහුගේ නවතම ග්‍රන්ථය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම මෙසේ සරසවිය හා එක්විය.
මොකද්ද මේ ඔබේ නවතම ග්‍රන්ථය. ඒ පිළිබඳ හැඳීන්වීමක් කළොත්...?
ඒක තමයි "රොඩ්ඩාගේ වර්ණකුලය" නමින් එළිදැක්වෙන්නේ. එය තවමත් මුද්‍රණය වෙමින් පවතිනවා .මේ පොත සාහිත්‍ය මාසයේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් මගේ කාර්යබහුලත්වය එක්ක ඒක කරගන්න බැරිවුණා. "රොඩ්ඩාගේ වර්ණකුලය"ට කතාංග 40ක් එකතුවී තිබෙනවා. මගේ කලා දිවියට වසර 40ක් පිරීමත් එක්ක මේ පොත එළිදක්වන්නයි මගේ වුවමනාව, ආසාව තිබ්බේ. 2021දී මේක කරන්නයි හිටියේ. 2021ට තමයි මගේ කලා දිවියට අවුරුදු 40ක් පිරුණේ. මේක පාඨකයන්ට , රසිකලෝලීන්ට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වේවි.
2021දී එළිදක්වන්න හිතාගෙන හිටිය "රොඩ්ඩාගේ වර්ණකුලය" වසර කිහිපයකින් කල්ගියා නේද....?
ඔව්, කොවිඩ් ගෝලීය වසංගතය පැමිණීමත් සමඟ මේ සියල්ල වෙනස් වුණා. නැත්නම් මීට වසර 2කට විතර කලින් "රොඩ්ඩාගේ වර්ණකුලය" එළිදැක්වෙනවා. මෙය තවමත් මුද්‍රණයේ පවතින්නේ. මගේ කලා දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් පොත එළිදක්වන්න හිටියට මේ වසර වෙද්දී මගේ කලා දිවියට වසර 42කුත් වෙනවා. කොහොමත් මේ වසර ඇතුළත මෙය ජනගත කරන්න හැකිවේවි කියා මම විශ්වාස කරනවා .
ඔබ රංගනයෙන් දායකවන මේ දිනවල තිරගතවන "කතුරු මිතුරු" චිත්‍රපටය ගැන යමක් කීවොත්...?
ගිරිරාජ් කෞශල්‍යගේ 03 වැනි සිනමා නිර්මාණය "කතුරු මිතුරු"මේ දිනවල ලංකාව පුරා සාර්ථකව තිරගත වෙනවා. මට මතක හැටියට 2017-2018 කාලයේ වගේ මෙහි රූගතකිරීම් කළේ. මේ චිත්‍රපටය 2020දී ප්‍රදර්ශනයට නියමිතව තිබුණේ . ඒකටත් බාධා වුණේ කොවිඩ් වසංගතයයි. ඊටපසුව කාලයක් එහාට මෙහාට වෙලා තිබිලා දැන් මේක ප්‍රදර්ශනයට වාසනාවන්ත අවස්ථාව උදාවෙලා තියෙනවා . මේක ගිරිරාජ්ගේ හොඳම චිත්‍රපටය ද කියලත් මට හිතෙනවා . ඊටකලින් අපි දැක්කා ඔහුගේ "සිකුරු හතේ" සහ "සුහද කොකා" චිත්‍රපටත්. ගිරිරාජ්ගේ තිර රචනය, අධ්‍යක්ෂණය . "කතුරු මිතුරු" සඳහා වේදිකාවෙන් උපන් රංගන ශිල්පීන් බොහෝමයක් සම්බන්ධ වුණා. ඒකත් සාර්ථකත්වයට හේතුවක් වුණා. ගිරා "කතුරු මිතුරු" කියලා නම් කළ මේ චිත්‍රපටයටත් ඔහුගේ මිතුරු හවුල තමයි වැඩිවශයෙන් සම්බන්ධ වෙන්නේ.ගිරා අපට සිටින හොඳම හාස්‍යජනක ශිල්පියෙක්. ඔහුගේ රචනා ශෛලිය ඉතා ඉහළයි. ගිරිරාජ් මෙහි මංගල දර්ශනය දා ඉතාමත් සතුටට පත්වෙනවා. මමත් ඒකට සහභාගි වුණා. මෙහි ආචාර්ය ජයලත් මනෝරත්නය ප්‍රධාන චරිතය කරනවා. ආචාර්ය මනෝරත්නයන්ට අමතරව මහේන්ද්‍ර පෙරේරාත් ප්‍රියන්ත සෙනෙවිරත්නත් රංගනයේ යෙදෙනවා. මටත් එහි සෑහෙන ලොකු චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා .
"කතුරු මිතුරු" කතාවත් එහි ඔබේ චරිතයත් එහි ඇති වෙනස්කම් සහ සුවිශේෂත්වය පැහැදිලි කළොත්....?
මෙහි කියැවෙන්නේ මිත්‍රත්වය පිළිබඳ කතාවක්. එහි ප්‍රධාන පාඨයක් තියෙනවා "කතුරෙන් නොකැපෙන මිතුරුදම" කියලා. මිත්‍රත්වය ගැන කියැවෙන අපූරු කතාවක් වගේම මේක පරම්පරා දෙකක හරිම ලස්සන ගැටුමක් තුළින් මතුවෙන ආදරයක් මෙහි කියැවෙනවා. මෙහි තාත්තලා දෙන්නා, කතුර භාවිත කරන ටේලර් කෙනෙකුයි බාබර් කෙනෙකුයි. ඒ දෙන්නාගේ දුවයි පුතයි නවීන පන්නයට හැඩගැසිලා. ඔවුන් ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගන්නවා අර ශාස්ත්‍ර දෙකෙන්ම. ඒ කියන්නේ ටේලර් සහ බාබර් කටයුත්තෙන්. ඒකෙන් දියුණු තත්ත්වයට පත්වෙලා තාත්තලා දෙන්නව සිංහාසනාරූඪ කරන හැටි මෙයින් කියැවෙනවා. මෙහි මගේ චරිතය බාබර්ගේ ගෝලයා .ඒ බාබර්ගේ පවුලේ සියලු දුක්ඛදෝමනස්සයන් අපිත් දරාගන්නවා. ටේලර් ෂොප් එකේ ගෝලයා ප්‍රියන්ත සෙනෙවිරත්න. ඉතින් අපි දෙන්නත් යාළුවෝ. අපි දෙන්නම ජීවිතයේ විවිධ හැලහැප්පීම් අත්විඳීනවා. ගමේ තියෙන නපුරු සහ සතුටුදායක අවස්ථාවන්ට මුහුණදෙනවා. ඒකයි කිව්වේ හැලහැප්පීම් මැද දිවෙන ලස්සන චරිතයක් කියලා. මෙය වේදිකා නාට්‍ය චරිතයකට වඩා බොහෝ වෙනස්. මෙහි අධි රංගනයක් නැහැ. සාමාන්‍ය රංගන ශෛලියක් මේ චරිතය තුළ තියෙන්නේ. ගිරිරාජ්ගේ අධ්‍යක්ෂණය , රුවන් කොස්තාගෙ දක්ෂ කැමරාකරණය , අනෙකුත් කාර්මික ශිල්පීන් සහ සහෝදර නළුනිළි පිරිස සමඟ කළ සාර්ථක නිර්මාණයක් වශයන් "කතුරු මිතුරු" හඳුන්වා දෙන්න පුළුවන්. මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂකයන් "කතුරු මිතුරු" නොබැලුවොත් ඒ ඇස් දෙක අපරාදයක් කියලා. මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක්. මුල සිට අග දක්වාම සිනහවෙන්න පුළුවන් නිර්මාණයක් වගේම ආනන්දයෙන් ප්‍රඥාවට අපව රැගෙන යන නිර්මාණයක්. මෙහි අවසානය වනවිට අපිව කිසියම් සුන්දර වූ වටිනා මනෝ ලෝකයකට ගෙනියනවා . එය ජීවිතයේ යථාර්ථය පෙන්වන තැනක්.
මේ දිනවල රංගනයෙන් දායක වන වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය ගැන සිහිකළොත් ..?
මේ දිනවල මම සම්බන්ධ වෙන වේදිකා නාට්‍යය තමයි දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා" . ඒවගේම මට අලුතින්ම සම්බන්ධ වෙන්න ලැබුණා ඔහුගේම නිර්මාණයක් වුණු "බක්මහ අකුණු" වේදිකා නාට්‍යයට. හරිම සුන්දර නාට්‍යයක් . "නරිබෑනා" මේදවස්වල වැඩි වශයෙන් වේදිකගත වෙනවා. ඊට අමතරව හෙක්ටර් කුමාරසිරිගේ " දෙව්ලොව දෝණි" වේදිකා නාට්‍යයටත් සම්බන්ධවී ඉන්නවා ..සාහිත්‍ය මාසය නිසාදෝ මන්දා වෙනදාට වඩා වේදිකා නාට්‍ය රංගගත වුණා පසුගිය දිනවල. එය සතුටට කරුණක්. මම බොහෝකාලයක ඉඳන් ටෙලිනාට්‍යවලට නම් සම්බන්ධ වුණේ නැහැ. මෑතකදී සම්බන්ධ වුණා "දෙවරක් චක්කරේ" ටෙලිනාට්‍යයට. එය යම් සංයමයකින් කරන වැඩක් කියා මට තේරෙනවා. ඒක මෙගා වගේ ඇදෙන ටෙලිනාට්‍යයකුත් නෙවෙයි. "දෙවරක් චක්කරේ" හොඳ නිර්මාණයක් කියා මට හිතෙනවා
රසවින්දන වැඩසටහන් සහ විදෙස් සංචාරවලටත් ඔබ ඉකුත් දිනවල සහභාගි වුණා නේද....?
පසුගිය සමයේ සාහිත්‍ය මාසය නිසා බොහෝ රසවින්දන වැඩසටහන්වලට මට ආරාධනා ලැබුණා. බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය සහා, නගර සභාවල, පාසල්වල රසවින්දන වැඩසටහන්වලට සහභාගි වුණා. පසුගිය දවස්වල ස්වීඩන් සංචාරයකටත් සහභාගි වුණා. එහි මගේම ප්‍රසංගයක් පැවැත්වුවා .කලා ශිල්පියෙක් විදිහට මම විතරයි එයට සහභාගී වුණේ. ඉතින් එයත් අලුත් අත්දැකීමක්. එරට සිටින ලාංකිකයන් සමඟ එම සංගීත රසය, නාට්‍ය රසය, හාස්‍ය රසය බෙදාගන්න අවස්ථාව ලැබුණා
ඔබ කලාවට යොමුවූ අයුරු කෙසේද...?
මට කලාවට යොමුවෙන්න ආභාසය ලැබුණේ මගේ තාත්තාගෙන්.ඔහු ඇලෝයි වර්ණකුල. ඔහු පැරණි ටීටර් - ටවර්හෝල් නළුවෙක්. තාත්තා මාව කුඩා කාලයේ ටීටර් පුහුණුකිරීම් බලන්න එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ ඔස්සේ මටත් ආසාවක් ඇතිවුණා තාත්තා වගේ රංගන ශිල්පියෙක් වෙන්න. තාත්තා මට ඒ සඳහා අවස්ථාව සලස්වා දුන්නා. 1980 ටවර්හෝල් පදනම විසින් පැවැත්වූ මුල්ම රංගන පාඨමාලාවටම මම යොමුවුණා . ඒක මෙහෙයවූවේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ලංකාවට පැමිණි ආචාර්ය , මහාචාර්යවරුන් පිරිසක්. ඒ පාඨමාලාව හදාරද්දී මට ඇසුරු කරන්න ලැබුණා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් බොහෝදෙනෙක්. එහිදී අනුලා බුලත්සිංහල අක්කා මගේ යම් දක්ෂතාවක් දැකලා මාව සම්බන්ධ කළා මා ගැන කියලා ලූෂන් බුලත්සිංහල මහත්තයාට. "තාරාවෝ ඉගිළෙති" වේදිකා නාට්‍යයට එසේ මට සම්බන්ධ වෙන්න ලැබුණා ඒ 1981දී. මගේ ප්‍රසිද්ධ වේදිකාවේ ආරම්භය සිදුවෙන්නේ 1981දී "තාරාවෝ ඉගිළෙති" වේදිකා නාට්‍යයත් එක්ක.එතැනින් පටන්ගන්න මගේ ගමනේදී හොඳ , විශිෂ්ට නිර්මාණකරුවන් ඇසුරු කරන්න මට ලැබුණා . ඒ නිසා තමයි මේ අවුරුදු 42 පුරාවට හොඳ වේදිකා නාට්‍ය 60කට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය දෙන්න පුළුවන් වුණේ.
"තාරාවෝ ඉගිළෙති" සමඟම ඔබට වේදිකාවේ හොඳ නිර්මාණ රැසක්ම ලැබෙනවා...?
ඔව්. "තාරාවෝ ඉගිලෙති" එක්ක ආරම්භ වුණු මගේ වේදිකා නාට්‍ය දිවියේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා", "මධුර ජවනිකා" , "ආනන්ද ජවනිකා" , ලූෂන් බුලත්සිංහලයන්ගේ "රතු හැට්ටකාරී", බන්ධුල ජයවර්ධන මහතාගේ "බෙරහඬ" , ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ "ගුරු තරුව", "සුදු රෙදි හොරු", "මනෝ රම්‍ය ගී" , සෝමරත්න දිසානායක මහතාගේ "මීපුර වැසියෝ" , හෙක්ටර් කුමාරසිරි මහතාගේ "දෙව්ලොව දෝණි" , "බිසෝ" , උපාලි අත්තනායක මහතාගේ "මේක යස කතාවක්" වගේ විශිෂ්ට වේදිකා නිර්මාණ රැසකට මට දායකවෙන්න අවස්ථාව ලැබුණා. අපිට හොඳ ඉවුරකට සේන්දුවෙලා වේදිකා නාට්‍ය ඔස්සේ ආදරණීය රසිකයන්ට ළංවෙන්න් අවස්ථාව ලැබුණා.
සිනමාවට ප්‍රවිෂ්ට වූ ආකාරය කීවොත්..?
2002දී උදයකාන්ත වර්ණසූරිය මහතාගේ "බහුභූතයෝ" චිත්‍රපටයෙන් මගේ සිනමා ගමන ඇරඹුණා. මේ වනවිට මට චිත්‍රපට 20කට වැඩි ප්‍රමාණයකට දායක වෙන්න ලැබුණා. ඒ අතර උදයකාන්ත වර්ණසූරිය මහතාගේ "ගින්දරී 1,2, 3" විශේෂයි. මේ චිත්‍රපටවල බන්ටිගේ චරිතය මම කළේ. ඒ චරිතය ප්‍රේක්ෂකයාත් ආදරයෙන් වැලඳගත්තා . ගිරිරාජ් කෞශල්‍යගේ "සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු" , රෝයි ද සිල්වා මහතාගේ චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. "ක්ලීන් අවුට්" චිත්‍රපටයටත් දායක වුණා.
වේදිකාවේ ඔබ ගුරුහරුකම් ලැබූ ගුරුතත්හිලා සැලකිය හැකි විශිෂ්ටයන් ගැනත් ඔවුන්ගේ ආභාසය ඔබේ රංගනයට ඉවහල් කරගත් අයුරුත් පැහැදිලි කළොත්...?
මම හැමදාමත් වේදිකාවේ මගේ මව සහ පියා ලෙස සැලකුවේ ලූෂන් බුලත්සිංහල මහතායි, අනුලා බුලත්සිංහල මහත්මියයි. ඒ වගේ ජ්‍යෙෂ්ඨයන් ළඟට සමීප වෙන්න ලැබීමම භාග්‍යයක්. ඒ හරහා මගේ රංගනයන් දුටු පිරිස මාව හොඳ නිර්මාණවලට තෝරාගත්තා. දයානන්ද ගුණවර්ධනයන් කියන්නේත් මම ඉතාම ගරු කරන නිර්මාණකරුවෙක්. ආචාර්ය ජයලත් මනෝරත්න, බන්ධුල ජයවර්ධන, සෝමරත්න දිසානායක, හෙක්ටර් කුමාරසිරි, උපාලි අත්තනායක යන ජ්‍යෙෂ්ඨයන්ගේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා . රංගනයේදී අපි අරුමපුදුම ලෙස බලාගෙන ඉඳලා ඔවුන්ගෙන් යමක් අපේ රංගන දිවියට එකතු කරගන්නවා. ඒ අතර විශිෂ්ටයන් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නයන් , යූ. ආරියවිමල් , විජය නන්දසිරි , විජේරත්න වරකාගොඩ වැනි විශිෂ්ටයන්ගේ රංගනයන් හරහා අපි විශාල වශයෙන් ගුරුහරුකම් ලැබුවා. විශේෂයෙන් වේදිකා නාට්‍යවලදී මට ලැබුණු ලොකුම වාසනාව තමයි ගායනය. ඒ හරහා මගේ ගායන හැකියාව හඳුනාගත්ත කෙනා තමයි වේදිකාවේ බොහෝ නාට්‍යවලට සංගීතය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ඔස්ටින් මුණසිංහ මහතා. ඔහු මගේ ගායන හැකියාව හොඳීන්ම හඳුනාගත්තා. ගුණදාස කපුගේ, ඔස්ටින් මුණසිංහ වගේ අය නිසා මගේ ගායන දිවිය ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණා. මම ඒ විශිෂ්ටයන්ට ගරු කරනවා. ඔවුන් මගේ රංගන, ගායන දිවියට බොහෝසේ බලපෑවා. විශේෂයෙන් නිශ්ශංක දිද්දෙණිය ශූරීන් , සුමින්ද සිරිසේන මහතා, ඊටපසු සමකාලීනයන් ලෙස ජැක්සන් ඇන්තනි වගේ අය. මොවුන් අපේ ගුරුවරුන් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මගේ නාට්‍ය දිවියේ මුල් ගුරුවරයා මගේ පියා ඇලෝයි වර්ණකුල. රංගනයේ පළමු පාඩම මම ඉගෙන ගත්තේ ඔහුගෙන්.
ඔබේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය ගැන කිව්වොත්..?
මගේ නාට්‍ය දිවියට අවුරුදු 30ක් පිරෙද්දී ලද අත්දැකීම්, ගුරුහරුකම් ආදී සියල්ලම එකතු කර මම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එය අජිත් මෙන්ඩිස් සහ මම රචනා කළේ. මම නිර්මාණය කළ එකම වේදිකා නාට්‍යය "සාරංගා නැවෙන් ඇවිත්". ඒක ඇත්තෙන්ම විශේෂයි. මම එක් එක් නාට්‍යවල රඟපාද්දී ගායනා කළ ගීත ගොන්නක් මට තිබුණා . ඒ ගීත ගොන්නෙන් ගීත 22ක් තෝරාගෙන ඒ ගීත 22 පෙළගස්වා එයට සරිලන පෙළක් හදා පිටපතක් හදලා "සාරංගා නැවෙන් ඇවිත්" නාට්‍යය මම නිෂ්පාදනය කළා. එය 2002 දී වේදිකා ගතවුණේ . 2003දී මංගල දර්ශනය නිල වශයෙන් තිබ්බේ. මෙය ලංකාව පුරා වේදිකාගත වුණා. මෙහි දෙවැනි නිෂ්පාදනය දිගටම කරගන්න බැරිවුණා. දෙවැනි නිෂ්පාදනයේදී සම්බන්ධ වුණු බොහෝදෙනා කාර්යබහුලයි. ඔවුන් මේ නාට්‍යයට දීපු ඉඩ හරිම අඩුයි. ඔවුන්ට වෙනත් වැඩ සහ ටෙලිනාට්‍ය තිබ්බා. ඒ නිසා මම ඒ අපහසුතාව අත්වින්ඳා. බොහෝ අධ්‍යක්ෂවරු ඒ අපහසුතාව අත්විඳීනවා. තවත් අලුත් නාට්‍යයක් කරන්නත් අදහසක් තියෙනවා . නාට්‍යකරුවෝ විදිහට අපිට එහෙම ඇතියි කියලා හිතෙන්නේ නැහැනේ. ඒ නාට්‍යයට අමතරව නිර්මාණ අධ්‍යක්ෂවරයා විදිහට මගේම නිර්මාණයක් මම ඉදිරිපත් කළා. ඒකත් මගේ සරල ගී, නාට්‍ය ගී ආදී සියල්ල අනුසාරයෙන් 3 ටචජඥ කියලා. ඹ්ඪමඥ ඪද ඛ්ධදජඥපබ කියන්නේ. ඒ ප්‍රසංගය නිර්මාණය කරලා ඉදිරිපත් කළේ. මෙය 2018 මැයි 18 ඕ.ර්.ධ්.ඛ්.ඩ් එකේ පෙන්නුවා.
ටෙලිනාට්‍යවලට සම්බන්ධ වූ අයුරු පැහැදිලි කළොත්....?
මම මුලින්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නේ 1988දී ඇන්ඩෘ ජයමාන්න මහතාගේ "ගමේ විත්ති" ටෙලිනාට්‍යයට. ඒක පර්යේෂණාත්මක ටෙලිනාට්‍යයක් ලෙස පටන්ගත්තේ. මේකෙදී මට මුණගැසුණා හියුගෝ ප්‍රනාන්දු , සිරිල් වික්‍රමගේ, ගාමිණී සමරකෝන්, මැණිකේ අත්තනායක , මර්සි එදිරිසිංහ , ආනන්ද සිරිසේන , යසී අබේරත්න වගේ පිරිසක්. ඊටපස්සේ 1989දී "බෝඩිම" ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවා. ඒකෙන් තමයි මම ප්‍රේක්ෂකයා අතරට යන්නේ. දයා අල්විස් එය රචනා කළා. බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළා. මාර්ක් ඇන්ටනි නිෂ්පාදනය කළා. හේමසිරි ලියනගේ , ජයලත් මනෝරත්න, දයා අල්විස්, බන්දුල විජේවීර, චන්ද්‍රා කළුආරච්චි, සුනිල් හෙට්ටිආරච්චි , නිල්මිණී තෙන්නකෝන් , කුමාරි පෙරේරා, දීපානි සිල්ව වැනි පිරිසක් එහි රඟපෑවා. එය සාර්ථක නිර්මාණයක් වුණා. අදටත් "බෝඩිම" ගැන ප්‍රේක්ෂකයා කතා කරනවා. එය හාස්‍යෝත්පාදක නිර්මාණයක් ලෙස අගය කරනවා. "එතුමා, මෙතුමා, නෝනාවරුනි මහත්වරුනි, සයවෙනි පටුමග, සෙදෝනා, නාන කාමරේ, දර ගැරේජ්" වැනි ටෙලිනාට්‍ය 20කට වඩා මට රංගනයෙන් දායකවෙන්න ලැබුණා
ටෙලිනාට්‍ය රංගනයේදී සුවිශේෂී චරිතයක් වේද...?
ටෙලිනාට්‍ය රංගනයේදී මම වඩාත් කැමැතියි බෝඩිමේ පියදාසගේ චරිතයට. එය තමයි මට ප්‍රේක්ෂකයා අතරට යන්න ඉනිමඟක් වුණේ. ඊට අමතරව හාස්‍යෝත්පාදක චරිතවලට කොටුවුණු මම ඊට පරිබාහිරම චරිතයක් රඟපාන්න ලැබුණා "සෙදෝනා" ටෙලිනාට්‍යයේ. වසන්ති චතුරාණි මහත්මිය නිෂ්පාදනය කළා, ප්‍රේමකුමාර ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කළා, ඊවා රණවීර මහත්මියගේ "සෙදෝනා" නවකතාව ආශ්‍රයෙන් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය තිර රචනය ලිව්වා. එහි "බබානිස්"ගේ චරිතයට මම බොහෝම කැමැතියි. එක්තරා සම්මාන උළෙලකදී ඒ චරිතය හොඳම සහය නළුවාට නිර්දේශ වෙනවා. සිනමාවේ නම් "කතුරු මිතුරු"හි බාබර්ගේ චරිතයටත් "ගින්දරී"හි බන්ටිගේ චරිතයටත් මම වඩාත් කැමැතියි
ඔබ මෙතෙක් කළ චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට ගිය චරිත සහ එම නිර්මාණ, අධ්‍යක්ෂවරුන් පිළිබඳ යමක් කිව්වොත්..?
"ගින්දරී 1,2,3" චිත්‍රපටවල බන්ටිගේ චරිතයත් ඒ චිත්‍රපට මාලාවම ප්‍රේක්ෂකයා වැලඳගත්තා, ඒ වගේම ඉහළ ආදායම් ලබන්නත් සමත් වුණා. එයට හේතුව උදයකාන්ත වර්ණසූරිය වගේ අධ්‍යක්ෂවරයෙක් ඉතාම වුවමනාවෙන් තිර පිටපත සකසා ගන්නවා. ඊටපසුව ඔහුම ඒ තිර පිටපත අධ්‍යක්ෂණය කරද්දී සීමාමායිම් ඇතිව ඉතාම සංයමයෙන් ඒ දේවල් සිදුකරන්නේ. අපට පුළුවන් ඒ චරිත සංයමයෙන් තොරව වුණත් රඟපාන්න. ඒත් අධ්‍යක්ෂවරයාගේ කටයුත්ත අපිව නිසිපරිදි හැසිරවීම..ඒ දේ මම ඉතා හොඳීන් දැක්කා බන්ටිගේ චරිතය රංගනයේදී . අධ්‍යක්ෂගේ මනසේ මැවී ඇති ආකාරයට ඔහු ඉතා සංයමයෙන් එය අධ්‍යක්ෂණය කරනවා. ඒ නිසයි "ගින්දරී" චිත්‍රපට මාලාව සාර්ථක වෙන්නෙත්. ඒවගේම ගිරිරාජ් කෞශල්‍ය ගැන කිව්වොත් තිර පිටපත් රචනයට ගිරාගේ ඇති විශාල හැකියාව හරිම අගෙයි. විශේෂයෙන් හාස්‍යෝත්පාදනයට. ඔහුගේ දෙබස් රචනය හරිම ඉහළයි. ඊට හොඳම උදාහරණ ඔහු අධ්‍යක්ෂණය කළ "සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු" වැනි නිර්මාණ . ඒ නිර්මාණවලින් අධ්‍යක්ෂවරයා යම් සමාජ දර්ශනයක් විදහාපානවා. ඔහුගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය ඉතා ඉහළයි. ඒවගේම ඔහු සහභාගි කරගන්න චරිත. විශේෂයෙන් වේදිකාවේ හපන්කම් දැක්වූ අයව යොදාගන්නවා. ගිරා සහ මම හඳුනගන්නේ සෝමරත්න දිසානායක මහතාගේ "මීපුර වැසියෝ" නාට්‍යයේදී. ඒ හැඳුනුම්කම තවත් ශක්තිමත් වෙන්නේ මගේ "සාරංගා නැවෙන් ඇවිත්" නාට්‍යයෙන්. මම එයට යොදාගන්නේ මගේ මිතුරු හවුල. ගිරා, ප්‍රියන්ත, ඇන්ටන් ජූඩ්, ජීවන් හඳුන්නෙත්ති, ලක්ෂ්මි දමයන්ති, ආනන්ද අතුකෝරල, කුමාර ලියනගේ වගේ පිරිස. ලස්සන මිතුරු හවුලක් එක්ක "සාරංගා නැවෙන් ඇවිත්" වේදිකාගත කරන්න වසර ගණනක් රට වටේ යද්දී අපි අතර සැබෑ හඳුනාගැනීමක් සිදුවුණා. ඒ හඳුනාගැනීමත් එක්ක පසුව එකඑක්කෙනා නාට්‍ය කළා. ගිරිරාජ් ෆිල්ම්ස් කළා. ඔහු ඒ ෆිල්ම්ස්වලට අපිවම තෝරාගත්තා. ඔහු දන්නවා එකිනෙකා ළඟ තියෙන රංගන ශක්‍යතාව මොනවගේද කියලා. ඒ ගිරාගේ හැකියාව.
විජය නන්දසිරි සමඟ ඔබ බොහෝ නිර්මාණවලට දායක වුණා. විජය සහ ඔබ අතර සුසංයෝගය සිහිකළොත්...?
විජය අයියාව මම හඳුනාගන්නේ 1981දී "තාරාවෝ ඉගිළෙති" වේදිකා නාට්‍යයේදී. "එතුමා" ටෙලිනාට්‍යයේ විජය අයියා මන්ත්‍රී මම ඔහුගේ ගෝලයා සුමනසිරි . එයට මඟපෑදුණේ "නෝනාවරුනි මහත්වරුනි" ටෙලිනාට්‍යයෙන් පසුවයි.එහි ඔහු ප්‍රේමචන්ද්‍ර මම රත්නපාල. ඒ සුසංයෝගයම තමයි වෙනත් විදිහකට "එතුමා" සඳහා යෙදුණේත්. ඊටපසුව "මෙතුමා" . වේදිකාවේත් අපි දෙන්නා එකට රඟපෑවා. මේක විජය අයියයි මමයි හරිම අපූරුවට තේරුම් ගත්තා. විජය අයියාගේ රංගන පරාසය මොකද්ද මගේ රංගන පරාසය මොකද්ද කියලා අපි දෙන්නා අවබෝධ කරගත්තා. ඒ නිසා ටෙලිනාට්‍යවලදී අපි එක්කෙනෙක් පාගාගෙන ඉහළට යන්න උත්සාහ කළේ නැහැ. අපි ඒ අවස්ථාව , ජවනිකාව අනුව තේරුම්ගත්තේ මෙතනදී මතුවෙන්නේ කවුද කියලයි. ඒ නිසා අපි දෙන්නා අවබෝධයෙන් රඟපෑවේ. ඔන්න එක්තරා තැනකදී සමහරවිට මම පන්දුව ඔසවනවා විජය අයියා ඩෑෂ් කරනවා. තව තැනකදී විජය අයියා පන්දුව ඔසවනවා මම ඩෑෂ් කරනවා. අන්න ඒ විදිහටයි අපි ලකුණු ලබාගත්තේ. ඒ නිසා සමස්ත ටෙලිනාට්‍යයම සාර්ථක වුණා කියලා හිතෙනවා . හරි අවබෝධයෙන් රඟපෑමයි එතැනදී වැදගත් වුණේ. විජය අයියා වගේ ජ්‍යෙෂ්ඨයෙක් එක්ක රඟපාද්දී අපිත් නිරායාසයෙන්ම තවතව මුවහත් වෙනවා. මනෝ අයියා, වරකාගොඩ මහත්තයා වගේ එහෙම කිහිපදෙනෙක් ඉන්නවා. අන්න එහෙම තමයි මේ මිත්‍රත්වය එක්ක රංගනයේදී සහයෝගයෙන් වැඩ කරන්න ලැබුණේ.