නව සිනමා විලාසය නිසා අවධානයට ලක්විය යුතු චිත්‍රපටයක්

ආසු
ඔක්තෝබර් 26, 2023

 

මැදිවියට එළඹෙමින් සිටින සැමියා එක් දරු පියෙකි. වෘත්තියෙන් සංගීත ශිල්පියකු බව පෙනේ. චිත්‍ර ශිල්පිනියක වන බිරිඳ රූමත්ය. ඈ සිටින්නේ දෙවන දරුවා මෙලොවට බිහි කිරීමේ බලාපොරොත්තුවෙනි. නැඟෙනිය ඇයට දක්වන සෙනෙහස අතිමහත්ය. කුඩා දියණිය සුරතල්ය. පියා කාරුණිකය. වියපත්ය. පැරණි තාලයේ කුඩා හා හුරුබුහුටි නිවස කලාගාරයක් සිහිගන්වයි. මේ යමක් කමක් ඇති පවුලක්ය යන අදහස නොපමාව පැමිණේ.

සිනමාකරු සංජීව පුෂ්ප කුමාර සිය ‘ආසු’ සිනමාපටය මෙසේ අරඹන්නේ මන්දගාමීවය. මන්දගාමී රිද්මය සාපේක්ෂය. එනමුදු එසේ නොවන සිනමාපට නරඹන්නවුන් මෙහි එන මන්දගාමී බව නිශ්චය කර ගන්නේ නිරපේක්ෂ අදියරක් කරා සමීප වෙමිනි. සිනමාපටය පුරාවටම මෙම රිද්මය නොබිඳී පවත්වා ගැනුමට ඔහු සමත් වෙයි. ධාවන කාලය දෙහෝරාවක් නොඉක්මවීම මෙතැනදී ඔහු ලබා ගන්නා වාසියකි. ප්‍රේක්ෂකයන් සපුරා බැහැර කරලීම ඔහුගේ අභිලාසය නොවේ. සිනමාකරුවකු බොහෝ විට ප්‍රේක්ෂකයා නොතකා නොහරියි. කෙසේ නමුදු සංජිවගේ පූර්ව සිනමා භාවිතය වෙතින් වරෙක දත හැක්කේ තමා සමීපයට පැමිණෙන ප්‍රේක්ෂකයන් සමඟම රැඳෙන්නට ඇති සූදානමයි.

‘ආසු’ හි එන සෝබර පුවත තුළට සංජීව පිවිසෙන්නේ යට කී රිද්මයට අනුගතව හෙමින් සීරුවේය. මෙහෙයින් පළමු කොටම පෙනී යන්නේ අදාළ පුවත මතුපිටින් ගෙන හැර පාන්නට සංජීව යත්න දරන බවයි. මෙය කිසියම් විස්මයක්ද දනවන්නේ සංජීව සතු සිනමාකරණ සමත්කම් කෙරෙහි සැලකිලිමත් වීමේදීය. කෙසේ වුවත් සංජීව ‘ආසු’ අවධානයට ලක් විය යුතු මාදිලියේ සිනමාපටයක් බවට පත් කරයි.

පුවත, එය දිග හැරෙන විලාසය හා පසුබිම අතර අවියෝජනීය සබඳතාවක් වගා කර ගැනීමේ වුවමනාව සිනමාපටයේ සමස්තය විසින් ඉස්මතු කරනු ලබන්නේ අතිශයෝක්තියකින් තොරවය. සංජීව සිය අතීත සිනමා අධ්‍යක්ෂණ අත්දැකීම් පමණක්ම මෙහිදී භාවිත කරන සෙයක් නොපෙනේ. නව සිනමා විලාසයක් අරභයාද ඔහු සිය අවධානය යොමු කරයි. ‘ආසු’ මෙහි පළමු අවස්ථාව වන්නේද යන්න තවමත් නොවිසඳෙන ගැටලුවකි. මෙසේ වෙනත් සිනමා ආරක් කෙරෙහි සංජීව සැලකිලිමත් වන්නේ අතීත සිනමා විලාස ප්‍රමාණවත් නොවන බව පවසමින් නොවේ. තේමාවට හා අරමුණ සමඟ බැඳුණු විලාසයක් සමඟ ගමන් කිරීමේ හැකියාව වටහා ගනිමිනි.

‘ආසු’ හි පුංචි පවුල අනපේක්ෂිතව බරපතළ අර්බුදයකට මුහුණදීම සංජීව විසින් නිරූපණය කරනු ලබන්නේ ප්‍රේක්ෂකයා හැඟීම්බර තැනක් කරා ගෙන යමින් නොවේ. එසේම ප්‍රේක්ෂකයා හඬා වට්ටවමින් නොවේ. විශේෂඥ වෛද්‍යවරයා, සැමියා හා බිරිඳ අමතා පවසන්නේ සියොළඟ කිළිපොලන කාරණාවකි.සංජීව මෙය ප්‍රේක්ෂක දෑස් කඳුළින් පුරවන අවස්ථාවක් බවට පත් නොකරමින් සිනමාපටයට ලබා දෙන්නේ වඩා ඉහළ ප්‍රමිතියකි. සිනමාපටය පුරාම මෙම ලක්ෂණය දැක ගත හැකිය. මෙහිදී පුංචි පවුලේ සාමාජිකයන් හා ප්‍රේක්ෂකයා අතර පරතරයක් නිර්මාණය කිරීමට ඔහු උත්සාහ කරයි. මෙය සාර්ථක උත්සාහයක් වන බව වටගා ගන්නට නම් සිනමාපටය නිමවන තෙක්ම සිනමාශාලාවේ රැඳී සිටීමට සිදුවේ. සිනමා බස පිළිබඳ සංජීව සතු වැටහීමේ ප්‍රමාණයයි මෙයින් කියවෙන්නේ.

දෙමහල්ලෝ ගැටලු ද්විත්වයක් අබියසය. මෙය සිනමාපටය ඉදිරියට රැගෙන යාමේ උපක්‍රමයක් බවට සංජීව විසින් පත් කරනු ලබන්නේ සිනමාකරණයෙහිලා උපයා ගත් වැටහීමේද පිහිටෙනි. දරුවා සුරක්ෂිත කළ යුතු නම් බිරිඳ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගත යුතුය. වෛද්‍ය මතය සේම සැමියාගේ මතයද වන්නේ ඇය වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි. නමුත් බිරිඳ තීන්දු කරන්නේ නිරෝගී දරු උපතක් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර මේ මොහොතේදී ලබා නොගන්නටය.

මෙම උභතෝකටිකය මධ්‍යයේ මොවුනගේ ගෘහ පරිසරය නොවෙනස්ව පවත්වා ගැනීමට සංජීව සැලකිලිමත් වෙයි. ගෘහ පරිසරය අකම්පිතව මේ දෙස බලා හිඳී. වෙනස් වන්නේ පුංචි පවුල හා ආශ්‍රිතයන් පමණි. සංජීව සිය රූප රචනය වඩා සියුම්ව ප්‍රකට කිරීම අරඹන්නේ මෙතැන් සිටය. රූපණවේදීන් හා රූපණවේදිනියන් නිසොල්මන්ව තබා ගන්නටයි ඔහු වෑයම් කරන්නේ. එක අතකට ඔවුන්ද ගෘහය හා ගෘහ භාණ්ඩ මෙනි. ප්‍රේක්ෂකයා හැඟීම්බර නොකරනු පිණිස මෙම පිළිවෙත වෙසෙසින් ඉවහල් වෙයි.

ප්‍රේක්ෂකයා වෙත කුතුහලය මුසු උනන්දුවක් සිනමාපටයට අදාළව සපයා දීම සඳහා සංජීව නොවෙහෙසෙයි. බොහෝ ප්‍රේක්ෂකයන් සිනමාපටයේ අවසානය පිළිබඳ මඳ තොරතුරක් හෝ දන්නා බව යටපත් නොකරන්නට සංජීව දරන උත්සාහය සටකපටකමක් නොවේ. අවසනදී රූමත් බිරිඳ රෝගීව, මහත් වේදනා ලබමින් මියයන බවද, දරුවා සුරක්ෂිත බවද වටහා ගනිමිනුයි ප්‍රේක්ෂකයා සිනමාපටය නරඹන්නේ. මෙයට අතිරේකව සැමියා, බිරිඳගේ බාල සොහොයුරිය හා විසීමට පියවර ගන්නා බවද සංජිව ඉඟි කරයි. කවර හෝ හේතුවක් නිසා පියා දසවසකට පසුව වුව නොවෙනස්ව සිටින බව පෙනේ. වැඩිමහලු දියණියද උස්මහත් වී නොමැති හැඩය.

‘ආසු’ මුල් අඩ තුළදී සංජීව අවධාරණය කරන්නේ සැමියාගේ අදහස යුක්ති සහගත වන බවයි. තර්කානුකූල වන බවයි. වෛද්‍ය මතයද ඔහුගේ ආකල්පයට රුකුලකි. ප්‍රේක්ෂකයාද මෙතැනදී කල්පනා කරන්නේ එසේමය.

මෙහෙයින් ‘ආසු’ තවදුරටත් තිරය මත පතිත කරලීමට අවශ්‍ය සිනමාපටයක්දැයි යන ගැටලුව අවධාරණය කෙරේ. අවසානයේදී රෝගී කාන්තාව මිය යන නිසා ඊළඟට සිදුවන්නේ කුමක්ද යන ගැටලුව නොසලකා හරින්නට පුළුවන. සංජීවගේ රූප සත්කාරය එහි කෙළවරටම පැමිණ ඇති සැටියකි. නමුත් සංජීව ප්‍රේක්ෂක කල්පනා අභිබවා යමින් බිරිඳගේ මතය දෙස සානුකම්පිතව බලන්නට ප්‍රේක්ෂකයාව පොළඹවන බව පෙනේ. එනම් වඩා වැදගත් මවගේ ජීවිතාරක්ෂාව නොව නිරෝගී දරු උපතක්ය යන්නයි. මේ සඳහා ඔහු සහභාගී කරගන්නේ දැන් වසර දහයක් වයසැති දරුවාය. ඔහු සිය මව ලියූ ලිපියක් කියවයි.

ලිපිය දීර්ඝය. එහි අන්තර්ගතය වන්නේ දරු ප්‍රසූතිය වෙනුවෙන් තමා අකාලයේ දිවි අහිමි කර ගත් බවය. මව් ගුණය. ප්‍රේක්ෂකයා මේ වග හොඳීන්ම දනී. එසේනම් මේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමක් විය යුතුය. සංජීව මෙබඳු අවසානයක් සිනමාපටයට එක් කරන්නේ මේ වන විට හැඟීම්බර බව මනාව පාලනය කර ගැනීමට සමත්ව සිටි නිසා විය යුතුය. මෙහෙයින් පුතු කියවන මවගේ ලිපිය ප්‍රේක්ෂකයන් සසල නොකරන වග පැහැදිලිය. මෙතැනදී උද්ගත වන වෙහෙසකාරී බව සම්බන්ධයෙන් සංජීව සැලකිල්ලක් නොදැක්වූයේය යන අදහස බැහැර කළ හැකි නොවේ.

කෙසේ වුවද ‘ආසු’ විචක්ෂණශීලීව නරඹන්නවුන් සැමියාගේ මතයද, බිරිඳගේ මතයද බැහැර නොකරනු ඇත. සංජීවටද ඇවැසි වී ඇත්තේ මෙයම බව පෙනේ. බිරිඳ වහා සිය දිවි බේරා ගැනුමට කටයුතු කළේ නම් දියණියට මවක සිටී. සැමියාගේ හුදෙකලාව හෝ ඔහු බිරිඳගේ නැගෙණිය සමීප කර ගැනීම ප්‍රකාශයට පත් නොවනු ඇත. අනෙක් අතට මවගේ නොපැකිලීම නිසා මෙලොවට ආ දරුවා දැන් සුවසේය. මව නොමැති අඩුවක් ඔහුට නොදැනෙන සුලුය. ‘ආසු’ නැරඹීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයා මේ දෙකරුණ කිරා මැන බැලීමේ කාර්යයෙහි නිරත වීමට ඇත්තේ වැඩි ඉඩකි. එනමුදු ඇවැසි වන්නේම පවුලෙන් ඔබ්බට මෙම කතිකාව රැගෙන යාමය. සංජීව ඊට අකමැති බවක් නොපවසයි. එහෙත් එබන්දකින් සිනමාපටයේ වපසරිය පුළුල් වන්නේ නම් සැමියා, බිරිඳ, නෑණන්ඩිය හා දියණිය පිළිබඳ සංවේදී කාරණා මෙලෙසින් පැවසීම අසීරුය.

සංජීවගේ මෙම ප්‍රයත්නයට ඉමහත් සවියක් ගෙන දෙන්නට උදාරි වර්ණකුලසූරිය සමත් වෙයි. ඇගේ චරිතයේ විවිධ අවස්ථා හසු කර ගැනීමේදී වේශ නිරූපණ ශිල්පියා දක්වන අවධානය සැලකිය යුතු තරම්ය. අවසනදී උදාරි රූපණය හා සිනමාව පිළිබඳ වර්ධිත අදහසක් ඉදිරිපත් කරයි. නැගෙණියගේ චරිතය නිරූපණය කරන ඩිනාරා පුංචිහේවාද ඇය හා එක්වෙයි. සැමියාගේ චරිතය නිරූපණය කරමින් ශ්‍යාම් ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු ලෙසින්ම සිනමාපටයට සිය දායකත්වය දක්වයි. මේ සිනමා රූපණයේදී ඔහු විසින් කල් නොයවාම අබිබවා යා යුතු තත්ත්වයක් වේ.

‘ආසු’ හිදී මිනිස් සබඳතා පිළිබඳ පුළුල් සිනමාත්මක කියවීමකට සංජීව අවතීර්ණ වූයේ යැයි පැවසීම අසීරුය. නමුත් ඊට සමගාමීව රැඳී සිටිමින් දරු සෙනෙහස හා එහි සීමා පිළිබඳ සාකච්ඡාවකට නම් ඔහු අවකාශ සලසයි.

 

 

[email protected]