සුපුරුදු කියවීමෙන් ඔබ්බට ගියා නම්...

කදිර දිව්‍යරාජ
ඔක්තෝබර් 12, 2023

හැකිලෙමින් පවත්නා වත්මන් ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ප්‍රබෝධයක් ද, උද්යෝගයක් ද , නව ජවයක් ද ගෙන දෙන සිනමාපට කිහිපයක් ම මෑතදී හඳුනා ගත හැකි ය. විදෙස් සිනමාපට ද සමඟිනි. ‘ඕපන්හයිමර්’, ‘බාර්බි’ හා ‘ජේලර්’ ඉන් දෙක තුනකි. කලාත්මක හා සම්භාවනීය සිනමාපට , සිනමාවේ ප්‍රමුඛ මාදිලිය විය යුතු යැයි අදහන හා අපේක්ෂා කරන පාර්ශ්ව කෝප ගන්වමින් ද, විපිළිසර කරමින් ද ප්‍රදර්ශනය කෙරෙන සනත් අබේසේකරගේ ‘ගුත්තිල’ හා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කදිර දිව්‍යරාජ’ ලාංකේය සිනමාපට ය.

‘ගුත්තිල’ මෙ සමයේ හැටියට සාර්ථක සිනමාශාලා ප්‍රදර්ශනයක් තව දුරටත් වාර්තා කරමින් සිටී. පාසල් හා දහම් පාසල් සිසුන් ද, ආගමික ඇසකින් සිනමාව දකින්නට අදි මදි නො කරන උදවිය ද ‘ගුත්තිල’ නරඹනු පිණිස සිනමාශාලා පැමිණෙමින් සිටින්නේ ලාංකේය සිනමාවේ අතීතය සිහි ගන්වමිනි. කලකට පසුව පාසල් දර්ශන සංවිධානය වීමෙන් ‘ගුත්තිල’ විසින් ජනිත කරනු ලබන අවධානය අතිමහත් ය. කිසිදා සිනමාශාලාවකට නො පැමිණි ඈත දුෂ්කර පෙදෙස්වල සිසු දරු දැරියෝ ‘ගුත්තිල’ නරඹා ලබන්නේ සිනමා අත්දැකීමක් ම නො වේ. ඒ හා බැඳුණු තවත් අත්දැකීම් ය.

තවදුරටත් ‘ගුත්තිල’ සිනමාශාලා අරක් ගෙන ඇති පසුබිමක මහාචාර්ය සුනිල් ආරියරත්න ‘කදිර දිව්‍යරාජ’ සිනමාපටය ගෙන එන්නේ යට කී ප්‍රබෝධය, උද්යෝගය හා ජවය තවත් වටයකින් තහවුරු කරමිනි. සිනමාව නො තකන, සිනමාව බැහැර කරන, සිනමාව අරභයා කවර අදහසක්වත් පළ නො කරන පිරිස් පවා ‘කදිර දිව්‍යරාජ’ නරඹනු පිණිස සිනමාශාලා කරා පැමිණෙන්නේ ‘ගුත්තිල’ ද අයත් සිනමාපට මාදිලිය කිසිසේත්ම කල් ඉකුත් නො වූ වග අවධාරණය කරමිනි.

මේ සිනමාපට මාදිලිය සිනමා විචාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ දෙවරක් නොසිතා ය. ඊට තුඩු දෙන හේතු බැහැර කිරීමට නුපුළුවන. මෙතැනදී එල්ල වන බරපතළ ම චෝදනාව වනුයේ මෙහෙයින් ප්‍රේක්ෂක රසඥතාව කප්පාදු වන බව යි. ඔවුනගේ විචාරශීලි පිවිසුම් යටපත් වන බව යි. ඊට සමගාමී ව කලාත්මක හා සම්භාවනීය සිනමාපට හා සිනමාපට මාදිලි නො තකා හැරෙන බව යි.

රජ සමය, බුදු සමය හා ඊටත් පෙර සමය විෂය වූ මෙම සිනමාපට මාදිලියට ‘කදිර දිව්‍යරාජ’ සමඟ දේව කතා ද විෂය වන්නට ඉඩ ඇති බව පෙනේ. එසේ වුවහොත් එය ලාංකේය සිනමාවේ කර්මාන්තමය පදනම සවිමත් කිරීමට ඇති අවකාශය සැලකිය යුතු තරම් ය. සිනමාකරු මහාචාර්ය සුනිල් ආරියරත්න මිට වසර සයකට පමණ පෙරාතුව අධ්‍යක්ෂණය කළ ‘පත්තිනි’ සිනමාපටය ඉක්මවා ගිය තත්ත්වයකු යි ‘කදිර දිව්‍යරාජ’ වෙතින් දැක ගත හැකි වන්නේ. දේව කතා පිළිබඳ ජන විඥානය තුළ පවත්නා සංකල්ප රූප ආදිය සිනමා තිරයට ප්‍රක්ෂේපණය කිරීමේ දී ‘පත්තිනි’ අබිබවා ගිය වුවමනාවක් එහි අන්තර්ගත වන වග පැහැදිලි ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න ‘කදිර දිව්‍යරාජ’ නිර්මාණයේ දී මූලික පිවිසුම් ද්විත්වයක් කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන්නේ තමාට එල්ල විය හැකි විචාරාත්මක චෝදනා සම්බන්ධයෙන් ද සැලකිලිමත් වෙමිනි. මෙයින් එක් පිවිසුමක් වන්නේ ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියනට බිරින්දෑවරුන් දෙදෙනෙකු සිටි බවත්, ඔවුන් එකිනෙකා පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සාමකාමී ව කල් ගෙවූ බවත් ය. අනෙක් පිවිසුම වන්නේ සමකාලීනව ලාංකේය භුමිය මත ස්වීයත්වය හා රාජ්‍ය බලය ද අරමුණු කොට ගෙන සිදු වූ බිහිසුණු යුද්ධය පිළිබඳ සඳහන යි. එහි ජයග්‍රාහකයා වන ගැමුණු රජ පවසන පරිද්දෙන් ඉන් ජීවිතක්ෂයට පත් වූ මිනිසුන් සංඛ්‍යා අතිවිශාල ය. එනමුදු සිය ප්‍රතිවාදියා වන අනුරපුර සිට බලය පැතිර වූ එළාර රජ යහපත් පුද්ගලයකු බව ද ඔහු නොපමාව පවසයි. පරම්පරා ගණනාවක් තිස්සේ ම කියැවෙන ගැමුණු - එළාර සටන අන්තර්ගත පුවත මෙ කරුණු සඳහන් කරයි.

මේ පිවිසුම් ද්විත්වය අතර මනා එකඟතාවක් සිනමාපටය විසින් ඉල්ලා සිටිනු ලබයි. ඒ වෙනුවෙන් තිරනාටකය ද රචනා කරන්නට සිනමාකරු මහාචාර්ය සුනිල් නො වෙහෙසෙනවා ම නො වේ. එනමුදු එය මනාව සාක්ෂාත් කර ගැනීමේ සමත්කමක් ඔහු වෙතින් විද්‍යමාන නො වන තරම් ය. ඊට හේතුව සේ පෙනෙන්නේ තිරනාටකය අබිබවා යාමට ඔහු තුළ එපමණ කැමැත්තක් නොමැති බව වන්නට පුළුවන.

කතරගම දෙවියන්ගේ එක බිරිඳක් වෙසෙන්නේ දෙව්ලොව යන්න පැවසීමට අදාළ රූපමය සත්කාරය සිනමාකරු මහාචාර්ය සුනිල් ට අභියෝගයක් වන අන්දම බව පෙනේ. වර්තමාන ලාංකේය සිනමාව සතු තාක්ෂණික හැකියා සමඟ ජන විඥානය තුළ නිදන් ගතව ඇති දෙව්ලොව යන්න ප්‍රතිනිර්මාණය පහසු නො වූවකි. නිල් පැහැය වැඩිපුර භාවිත කරමින් කාල්පනික අදියරක් සේ මහාචාර්ය සුනිල් දෙව්ලොව ප්‍රතිනිර්මාණය කරයි. මනු ලොවට යාම හා ඊම දෙව් ලොව වසන දෙවිවරුනට අපහසු නැත. සියලු හැකියා ඔවුන් සතු ය. එහෙත් මනු ලොවේ දී ඔවුන් අබියස ද ගැටලු මතුවන අවස්ථා පැන නැඟෙයි. සිය බලය හා වුවමනාව භාවිත කරමින් එම ගැටලු නිරාකරණයට ඔවුන් මුළුමනින්ම උත්සුක නො වන සැටියකි. වෘත්තාන්තය කියා පෑමේදී වැදගත්වන මෙබඳු සාධක කෙරෙහි සිනමාකරු හා තිරනාටක රචක මහාචාර්ය සුනිල් දක්වන අවධානයේ ප්‍රමාණය යි මෙයින් පෙන්නුම් කරන්නේ.

කෙසේ නමුත් සිය ඉලක්ක ප්‍රේක්ෂක පිරිස සම්බන්ධයෙන් තමා තුළ පවතින විශ්වාසය කිසි විටෙකත් පලුදු කර නො ගන්නට ඔහු හැම වෑයමක් ම දරයි. මෙ මඟ ඔස්සේ ගමන් කිරීමට නම් එම විශ්වාසය සුරැකීම අතිශය වැදගත් වන වග ඔහු විසින් වටහා ගනු ලබා ඇත්තේ මිට පෙරාතුව නිමවූ සිනමාපට වෙතින් ය.

ගැමුණු රජු, අනුරපුර වෙසෙමින් රාජ්‍ය විචාරන එළාර රජු සමඟ කෙරෙන මහා යුද්ධය හා ඉනික්බිතිව එළැඹෙන සමය සිනමාපටයේ පසුබිම සේ හුවා දැක්වීමට සිනමාකරු මහාචාර්ය සුනිල් දක්වන උනන්දුව ප්‍රකාශයට පත්වන්නේ නො ගැලපීම් ආදිය ද සමඟිනි. ගැමුණු රජ මෙලොව ය. කතරගම දෙවියන් හා පළමු බිරිඳ දේවයානි පැමිණෙන්නේ දෙව්ලොව සිට ය. මෙලොව හා දෙව්ලොව මෙතරම් සරල අර්ථකථනයකින් හඳුන්වා දීම මහාචාර්ය සුනිල් වැන්නකුට නොතරම් යැයි ද සිතේ. ඔහු වඩා තාර්කික පදනමක පිහිටා සිටිය යුතු ය. කෙසේ වුවද එසේ වූයේ නම් සිනමාපටයට මෙතරම් ප්‍රේක්ෂක සහභාගිත්වයක් නො ලැබෙන්නට වුව ඉඩ තිබේ.

සිනමාපටයට අදාළ මෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර තුළ පවත්නා වැදගත් සාධකයක් වනුයේ කතරගම දෙවියන්ගේ බැතිමතුන් තෘප්ත වන්නේ ද යන්න යි. එසේ නො වන්නේ ද යන්න යි. තෘප්ත වන්නේ නම් ඒ කවර ප්‍රමාණයකට ද යන්න යි. දේවකතා සිනමාවට නැඟීමේ නැඹුරුවක් සවිමත් කරලීමට මෙම විමසුම ද සැබවින්ම පිටිවහලක් වනු ඇත.

මහාචාර්ය සුනිල් ආරියරත්න ‘කදිර දිව්‍යරාජ’ ප්‍රදර්ශනයට එක් කරන්නේ විචාරක හා විද්වත් ප්‍රේක්ෂක අවධානයට ද, වරෙක පැසසුමට ද ලක් වූ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ සිනමාපටයේ පළමු වටයේ ප්‍රදර්ශනයෙන් අනතුරුව ය. ‘ක්ෂීර සාගරය කැලඹිණ’ ත් සමඟ මහාචාර්ය සුනිල් එසේ ලබා ගත් සැලකිල්ල ‘කදිර දිව්‍යරාජ’ නිසා හෑල්ලුවට ලක් වීමේ ඉඩක් ද පවතී. මෙහිලා ඔහු නා නා විධ මූලාශ්‍ර උපකාර කොට ගත් බව සත්‍යයකි. නමුත් සිනමාපටයේ සමස්තය පවසන්නේ කතරගම දෙවියන් සම්බන්ධයෙන් වන සුපුරුදු කියැවීම ය. බහුතර ප්‍රේක්ෂක විරෝධයක් මේ මොහොත වන විටත් පළ නො වීමෙන්ම ඒ බව පැහැදිලි වේ. මහාචාර්ය සුනිල් වැනි සිනමාකරුවකුගෙන් ඊට වඩා යමක් මේ අවස්ථාවේ දී අපේක්ෂා කිරීම යුක්ති සහගත නො වේ. කතරගම දෙවියන් පිළිබඳ නව හා වෙනස් අරුතක් ගෙන එන්නට ඔහු උත්සුක වූයේ නම් ‘කදිර දිව්‍යරාජ’ නියත වශයෙන්ම විචාරක හා විද්වත් ප්‍රේක්ෂක අවධානයට හා ගෞරවයට සැලකිය යුතු අන්දමින් ලක් වන සිනමාපටයක් වන්නට ඉඩ තිබිණි.

රූපණ කාර්යයේ දී ඉන්දියානු යුවළක් ප්‍රමුඛ චරිත සඳහා එක් කර ගැනීම මහාචාර්ය සුනිල් ගත් නැණවත් තීන්දුවකි. හුරුපුරුදු හෝ නුපුරුදු ලාංකේය යුවළක් එක් කර ගත්තේ නම් සිනමාපටය වෙත මෙතරම් පැහැදීමක් බහුතර ප්‍රේක්ෂක සමාජය වෙතින් නො ලැබෙනු ඇත. රූපණ සමත්කම් ඒ හැටි නො තිබුණ ද මෙසේ ආ ඉන්දියානු යුවළ සිනමාපටය වර්ණවත් කිරීමේ නිර්මාපක අභිලාසය සමඟ එක් වෙති.

 

[email protected]