වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
ලොක්ඩවුන් හැදුවේ බාධක ගොඩක් මැද්දේ

ලොක් ඩවුන් චිත්‍රපටය ඇත්තටම හැදුවේ ලොක් ඩවුන් කාලෙද?
කොරෝනා අවසාන කාල පරිච්ඡේදයේදී තමයි ‘ලොක් ඩවුන්’ සිනමා පටය රූ ගත කිරීම් සිද්ධ වෙන්නේ. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේ මූලික වස්තු බීජය නිර්මාණය වෙන්නේ කොරෝනා දරුණු ලෙස අප රට තුළ ව්‍යාප්තව රට වසා දමා තිබු කාලය ඇතුළතයි.
මේ චිත්‍රපටය නිර්මාණය වීමේ මුලික පසුබිම සැකසෙන්නේ කොහොමද?
පසුගිය කොරෝනා කාලපරිච්ඡේදය අපි සියලු දෙනාටම මහා අඳුරු කාල පරිච්ඡේදයක් වුණා. රට ලොක් ඩවුන් කළාට පස්සේ අපි හැම දෙනාම හිටියේ නිවෙස් ඇතුළට හිර වෙලා. අපි හැම දෙනාම ගෙවල් ඇතුළේ හුදකලා ජීවිත ගෙවන්න පටන් ගත්තා. ඔය කාලේ තමයි මට හිතුණේ පිටපතක් ලිව්වොත් හොඳයි කියලා. මේ මොහොතේ මට මතක් වුණා අපේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතාව. එතුමා මම නිර්මාණය කළ ‘ටවුමේ ඉස්කෝලෙ’ චිත්‍රපටය බලලා ළමයෙක් පිළිබඳ තවත් එවැනි සංවේදි කතාවක් තිබුණොත් ඔහුට කියන්න කියලා මට කියලා තිබුණා. ඔහු ඒක නිෂ්පාදනය කරන්නට කැමැති වෙලා හිටියා. ඉතින් ගෙදර ඉන්න කාලේ මට ඒකත් මතක් වෙලා මගේ හිතට කතාවක් ආපු නිසා අලුත් කතාවක් ලියන්න ඕන කියලා මට හිතුණ. නැත්නම් ඒ වනවිට මම ලියපු තිර කතා දෙකකුත් මගේ ගාව තිබුණා.
මම ඒවෙනවිටත් මගේ හිතට ආපු කතාව සුනිල් ටී ට දුරකතනයෙන් කතා කරලා කිව්වා. ඔහු මට කිව්වා කතාව හොඳයි. කතා සාරාංශය ලියාගෙන එන්න කියලා. මම කතා සාරාංශය ලියාගෙන ගියා. ඊට පස්සේ ඔහු මට ඇඩ්වාන්ස් එකකුත් දිලා මේ චිත්‍රපටය කරමු කියලා හිටියා. නමුත් චිත්‍රපටයේ තිර පිටපත සකසා ගෙන චිත්‍රපටය කරන්න ලැස්ති වෙන මොහොත වනවිට එතුමා වෙනත් චිත්‍රපට දෙකකට මුදල් යොදවා තිබුණ නිසා මේ චිත්‍රපටය කරන්න අපහසු වුණා. නමුත් ඔහු මට ඒ වෙනුවෙන් නිෂ්පාදකවරු දෙදෙනෙක් හොයලා දුන්නා. ඒ තමයි සංගීත් අල්ගම සහ නීල් සංජිව. ඊට පස්සේ මම ඔවුන් දෙදෙනා සමඟ චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන ගියා. ඇත්තටම ඔවුන් දෙදෙනා මට මේ චිත්‍රපටය නිම කර ගන්න හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසාම චිත්‍රපටය ඉතා ඉක්මනික් නිම කර ගැනීමේ හැකියාව ලැබුණා.
මේ චිත්‍රපටය පවුලේ චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන් නේද?
ඔව්. මේ චිත්‍රපටය විතරක් නොවෙයි. මෙතෙක් මම කරපු හැම චිත්‍රපටයක්ම පවුලේ චිත්‍රපට කියලා කියන්න පුළුවන්. මට හිතෙනවා පවුලේ චිත්‍රපට කරන්න මා තුළ වැඩි නැඹුරුතාවයක් තියෙනවා කියලා. මම විශ්වාස කරනවා පවුලේ චිත්‍රපට තුළින් සිනමාවේ දිර්ඝ කාලයක් රැඳී සිටින්න පුළුවන් වගේම දිර්ඝකාලිනව ඒ තුළ සිනමාවත් රැඳී පවතිනවා කියලා.
අපි අතීතයට හැරුණොත්, චිත්‍රපට කලාවට යොමු වෙන්න ඔබට හේතු වෙන්නේ මොකක්ද?
මම මුලින්ම සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කිහිපයක වැඩ කළා. ඉන් පස්සේ තමයි මම අධ්‍යක්ෂ කාර්යයට යොමු වෙන්නේ. නමුත් මම මුලින්ම යොමු වෙන්නේ පිටපත් රචනයට. මම හිතන්නේ ඒක මට ඉස්කෝලෙ යන කාලේ ඉඳන් පැවතුණු හැකියාවක් කියලා. ඉස්කෝලෙ යන කාලේ අපේ සර් නාට්‍ය කරනකොට මට කියනවා පිටපත ලියන්න කියලා. ඒක තුළින් පිටපත් ලිවීමේ හැකියාව මම දිනෙන් දින දියුණු කර ගත්තා. ‘ලොක් ඩවුන්’ කියලා කියන්නේ මගේ හත්වැනි තිර පිටපත. මම ලියපු තිර පිටපත් පහක් දැනට තිර ගත වෙලා තියෙනවා. මගේ පළවෙනි තිර පිටපත වුණේ ‘අඟර දඟර’ . ඊට පස්සේ මම ලිව්වා ‘රන් දේදුන්නක්’. මේ තිර පිටපත් දෙකම අධ්‍යක්ෂණය කළේ නලින් රාජපක්ෂ විසින්. මම ඒ සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා.
මගේ පළමුවැනි අධ්‍යක්ෂණය වුණේ ‘ටවුමේ ඉස්කෝලේ’ චිත්‍රපටය. ඊට පස්සේ මම ‘වැලි පවුරු’ චිත්‍රපටය කළා. වැලි පුවුරු ගැන ක්ෂේත්‍රය පුරාම ලොකු කතා බහක් ඇති වුණා. ඊට පස්සේ මම ‘නිහඬ සෙවණැලි’ කියලා චිත්‍රපටයක් කළා.
වැලි පවුරු ඔබේ සිනමා ජීවිතයේ සුවිශේෂ සංධිස්ථානයක්. අපි ඒ ගැන කතාබහ කළොත්?
මම ‘ටවුමේ ඉස්කෝලේ’ චිත්‍රපටයෙන් කතා කළේ ගමේ ඉඳලා කොළම ඉස්කොලෙකට එන කුඩා දරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන සංසිද්ධින් පිළිබඳ. ඒකත් අපේ දරු පරපුර අතර යම්කිසි කතා බහකට හේතුවුණ චිත්‍රපටයක් වුණා. ඉට පස්සේ කරපු වැලි පවුරු’ තුළින් සාකච්ඡාවට බඳුන් කළේ වර්තමාන සමාජ වටපිටාව තුළ දෙමව්පියන්ගේ ඉරණම පිළිබඳ. විශේෂයෙන් අපේ මව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් සිදු නොකරන කැප කිරීමක් නැහැ. ඔවුන් තමන්ගේ සියලු සේසත වියදම් කරන්නේ තමන් ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඔවුන් යම් තැනකට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්. නමුත් දරුවන් මේ තැනට එනකොට වර්තමානයේ පවතින කාර්ය බහුල වටපිටාව තුළ මව්පියන් ඔවුන්ට අත හැරෙනවා. මේ ඛේදවාචකය තමයි මම වැලි පවුරු චිත්‍රපටයෙන් සාකච්ඡාවට බඳුන් කළේ. බොහෝ දෙනෙක් කියන්නේ මගේ චිත්‍රපට අතරින් ‘වැලි පවුරු’ තමයි හොඳම චිත්‍රපටය කියලා.
ලොක් ඩවුන් හදද්දි ලැබුණු අත්දැකීම් මොනවාද?
චිත්‍රපටය අපි පටන් ගත්තේ කොරෝනා කාලයේ අවසානයට වුණාට චිත්‍රපටයේ වැඩ ඉවර කරගෙන යද්දි මේ සඳහා ආර්ථික අර්බුදයත් බලපාන්නට පටන් ගත්තා. ආර්ථික අර්බුදය නිසා අපි දැඩි ලෙස පිඩාවට පත්වුණා. ඒකාලේ ෂූටිං අතරතුර අපි පුදුම දුකක් වින්ඳේ. විශේෂයෙන් අපේ නිෂ්පාදන කළමණාකාර තුමා දැඩි විදියට අපහසුතාවයට පත් වුණා. අපේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න අපිට පෙට්‍රල් ලබා ගැනීමේ අර්බුදයකට අපි මුණ දුන්නා. ඒ වගේම ගෑස් හිඟය නිසා ආහාර ලබා ගැනීමේ අපහසුතාවයන්ටද පත් වුණා. ඒ වෙනුවෙන් අපිට පැය ගණන් පෝලිම්වලත් ඉන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ බාධක රැසක් මැද්දේ තමයි අපි මේ චිත්‍රපටය ඉවර කර ගත්තේ. තව වතාවක් මට මතකයි අපේ ඩ්‍රෝන කැමරාවක් මුහුදටත් කඩාගෙන වැටුණා.
චිත්‍රපටය තිරගත කරත්දිත් ඔබ දුෂ්කරතා රාශියකට මුහුණ දුන්නා කියලා ආරංචියි?
ඔව් අපිට මේ චිත්‍රපටය තිරගත කරන්න නියමිත දින දීලා තිබුණේ මාර්තු මාසයේදී. නමුත් එතැනට වෙන චිත්‍රපටයක් ඇවිත් අපේ චිත්‍රපටය ජුනි මාසය දක්වා කල් ගියා. ජුනි 14 වැනිදා අපිට දෙන්නම් කියලා තමයි තිබුණේ. නමුත් සුනිල් සර් ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ චිත්‍රපටයට තව ටිකක් ඉඩ ඕන කියලා තව ටිකක් පස්සට ගියා. අන්තිමට අපිට ජූලි 28 වැනිදා තිරගත කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් අගෝස්තු 3 වැනිදා ‘කදිර දිව්‍යරාජ’ තිරගත කිරිම ඇරඹුණා. ඒ නිසා එතැනත් පොඩි ගැටලුවක් ආවා. ඊට පස්සේ අපි කිව්වා ඒකත් තිරගත කරලා ඉවර වෙලා අපිට දිනයක් දෙන්න කියලා. ඒ අනුව තමයි අපිට අගෝස්තු 18 වැනිදා දිනය ලැබුණේ. මේ සඳහා ඔක්කොම සුදානම් කරලා තිබුණත් හුඟත් දෙනෙකුගෙන් ඉල්ලීම් ආව ‘කදිර දිව්‍යරාජ’ හොඳට දුවන නිසා තව ටිකක් ප්‍රමාද කරන්න කියලා. අපිත් කැමැතියි චිත්‍රපටයක් හොඳට දුවනවා නම්. කර්මාන්තයේ රැඳී ඉන්න පුද්ගලයන් හැටියට කාගේ හෝ චිත්‍රපටයක් දුවනවා කියන්නේ ඒක සිනමා කර්මාන්තය රඳා පවතින්න ලොකු රුකුලක්. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙනුත් කල් දුන්නා. ඒ අනුව තමයි අපිට සැප්තැම්බර් 1 දා සිට තිරගත කිරීමේ අවස්ථාව ලැබෙන්නේ.
අමාරු කාලයක චිත්‍රපටයක් හදලා ඔබ අමාරුවෙන් ඒක තිරගත කරලා තියෙනවා කියල අපට පෙනෙනවා. දැන් මොනවද ප්‍රතිචාර?
චිත්‍රපටයට නම් ඉතාම හොඳ ප්‍රතිචාර තිබෙනවා. මගේ කිසිම චිත්‍රපටයකට එහෙම නරක ප්‍රතිචාර නම් කවදාවත් ලැබිලා නෑ. නමුත් මම නිර්මාණය කරපු හැම චිත්‍රපටයකටම මට කුමක් හෝ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.මට මතකයි වැලි පවුර හදලා තිරගත කරලා දින 40ක් යන්නත් ඉස්සර තමයි සහරාන් ගේ බෝම්බය පිපුරුණා. ඒක නිසා ඒ චිත්‍රපටයත් කඩාගෙන වැටුණා. ඊට පස්සේ හදපු ‘නිහඬ සෙවණැලි’ චිත්‍රපටයට කොරෝනා නිසා ප්‍රශ්න ආවා. මේ චිත්‍රපටයට වුණේ වෙනත් දෙයක්. කදිර දිව්‍යරාජ චිත්‍රපටය හොඳට දුවන නිසා සිනමා ශාලා හිමියෝ අපට දීලා තියෙන්නේ එක ෂෝ ටයිම් එකයි. ඒ ෂෝ ටයිම් එක දුවන සිනමාශාලා වල චිත්‍රපටය හොඳට වැඩ කරනවා.
මෙවැනි බාධාත් එක්ක තවදුරටත් සිනමාවේ රැඳෙන්න කලකිරිමක් ඇති වෙන්නේ නැත්ද?
කලකිරෙන එක නම් අද ඊයෙක සිද්ධ වෙන දෙයක් නොවෙයි. ඒක බොහොම ඈතක පටන් සිද්ධ වෙන දෙයක්. අනිත් එක ඒක මට විතරක් සිද්ධ වෙන දෙයක් නොවෙයි. බොහෝ දෙනකුට මේ කලකිරිම් තිබෙනවා. ඇත්තටම චිත්‍රපට බෙදා හැරීමේදි අපට කිසිම ක්‍රමවේදයක් නෑ. චිත්‍රපටයක් මුදාහරින්න කිසිම ගැප් එකක් නෑ. ඉස්සර තුන් සිය ගණනක් වුණු චිත්‍රපටශාලාවලින් දැන් තියෙන්නේ 60 ට ආසන්න ප්‍රමාණයක් විතරයි. අපි හිතමු සර්කිට් තුනක් තියෙනවා කියලා. සර්කිට් තුනට චිත්‍රපට දුන්නම එක්කෙනකුටවත් වැඩක් නෑ. සැලකිය යුතු චිත්‍රපට ශාලා ප්‍රමාණයක් අපිට මේ වනතුරු ලැබිලා නෑ. වෙනත් චිත්‍රපට දිවීම සම්බන්ධයෙන් අපි සන්තෝෂයි. නමුත් අපිත් චිත්‍රපටයක් කරන්නේ මුදල් වියදම් කරලානේ. අපේ නිෂ්පාදකවරුත් අපිව රැක ගන්න ඕනනේ. ඉස්සරහට ඇත්තටම නළුනිළියොයි, අධ්‍යක්ෂවරුයි, පිටපත් රචකයොයි ඉඳීවි. නමුත් නිෂ්පාදකවරු නැතිව යාවි. මොකද මේ ක්‍රමවේදය නිසා ඔවුන් කැමති නෑ අපහසුතාවයට පත්වෙන්න. උදාහරණයක් ලෙස පසුගිය කාලය ගත්තොත් දැවැන්ත චිත්‍රපට සමඟ පොඩි පොඩි චිත්‍රපටත් ආවා. ඒක ලංකාවට විතරක් පොදු දෙයක් නොවේ. මුළු ලෝකෙම එහෙම සිද්ධ වෙනවා. දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව චිත්‍රපටයක් මුදා හරින්න තියෙන හෝල්වලට ලොකු මුදලක් යොදවලා චිත්‍රපටයක් කළොත් මම හිතන්නේ නෑ ඉන් ලාභයන් ලැබිය හැකියි කියලා. හුඟක් වෙලාවට සිනමාහල් හිමියට, බෙදා හරින සමාගමට යම්කිසි හොඳක් වෙන්න පුළුවන්. නමුත් නිෂ්පාදවරයාට ඉන් ප්‍රතිලාභ ලැබෙයි කියලා හිතන්න අමාරුයි. හේතුව විශාල ධනස්කන්ධයක් වැය කළාට ඉන් ලාබ ලබන්න නම් තුන් ගුණයකින් යුත් ආදායමක් වත් ලබන්න ඕන. ඒක කරන්න අපේ සිනමා ශාලා මදි.
පසුගිය කාලයේ මම දැනුවත්ව සෝමරත්න දිසානායකගේ ‘ජංගි හොරා, ආදරණිය ප්‍රාර්ථනා, ගජමැන්, සහ ගින්දරී යන චිත්‍රපට විතරයි ලාභයක් ලැබුවේ. අනෙක් චිත්‍රපට කොච්චර දිව්වත් වියදම් කරපු මුදල කවර් කර ගන්න ඇති කියලා මම හිතන්නේ නෑ. අනිත් පැත්තෙන් අපි චිත්‍රපට ප්‍රචාරණයටත් ලොකු මුදලක් වියදම් කරන්න ඕන. නැත්නම් චිත්‍රපටය වැටෙනවා. සමහරුන්ට නම් සිංහල සිනමාව තිබුණත් එකයි, නැතත් එකයි. එහෙම වාතාවරණයක් තියෙන්නේ. නමුත් මම කියන්නේ සිංහල සිනමාව හදන්න රාජ්‍ය මට්ටමින් මැදිහත් වෙලා ක්‍රමවේදයක් හදන්න ඕන කියලයි. අද අපේ රූපවාහිනිය දිහා බැලුවොත් කිසිම සිංහල චිත්‍රපටයක් ඉන් පෙන්වන්නේ නෑ. ඔක්කොම පෙන්වන්නේ හින්දි සහ දෙමළ චිත්‍රපට. දවසින් දවස සිංහල ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඉවත් වෙනවා. ඒ විදියට තමයි වාතාවරණය හැදි ගෙන එන්නෙ.
ඉස්සරහට ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මට දැනට ආරාධනාවක් ලැබිලා තියෙනවා පිටපත් දෙකක් රචනා කරන්න. ඒ දෙක කරගෙන යනවා. අධ්‍යක්ෂණය පැත්ත ගැන හිතන්න මේ යන විදියට හරි අමාරුයි. ඒනිසා ඒ ගැන ටිකක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් චිත්‍රපට කරන එක මගේ රැකියාව නොවෙයි. මම පාසල්වල සංගීත පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරනවා. මම මුලින් රැකියාව කළේ ශී‍්‍ර ලංකා යුද හමුදා තුර්ය වාදක කණ්ඩායමේ. ඊට පස්සේ මම එයින් අයින්වෙලා සංගීත පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. සිනමාව කියන්නේ මගේ හිනයක් ඒක නිසා ඒ අතරතුර මම ඒක හැබෑ කර ගත්තා. මට දෙමළ කතා කිරීමේ හැකියාව හොඳට තිබෙනවා. ඒ නිසා මම දෙමළ චිත්‍රපට දෙකක් පරිවර්තනය කරලා තිබෙනවා. එකක් සදේෂ් කුමාර් සහ අනෙක ඩොනල්ඩ් ජයන්තට දිලා තිබෙනවා. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.
කොහොමද ඔබ දෙමළ ඉගෙන ගත්තේ?
මගේ ගම නාවලපිටිය. අපේ අසල්වැසියෝ බොහොම දෙනෙක් දෙමළ ජාතිකයෝ සහ මුස්ලිම් ජාතිකයෝ. ඉතින් පොඩි කාලේ ඉදන්ම මේ පරිසරය තුළ ජිවත්විම නිසා ඉබේම දෙමළ ඉගෙන ගත්තා. මේ හැකියාව පසු කලෙක මගේ ජිවිතයේ විවිධ අවස්ථාවන් සඳහා ප්‍රයෝජනවත් වුණා. මම කලා කටයුතුවලට ඉන්දියාවේ ගිහින් ඉන්නකොට දෙමළ ජාතීන් සමඟ කටයුතු කරත්දි ඒක මට විශාල පහසුවක් වුණා.
සේයාරූ - තිලක් පෙරේරා