වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා

හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ
නිමා වී යයි මේ වසන්තේ
යළිත් නොම ඒ කිසි දිනේ
ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුණා...//
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ...//
එදා මතකය සිතේ අහුරා...//
කාටවත් නොපෙනී අඳුරේ
ඉකි බිඳීමි රහසේ ...
නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුණා...//
සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ....//
ඈත මීදුම් අතර සඟවා...//
යන්න ප්‍රිය ලදුනේ
හද සුසුම් පවනේ ...
රැගෙන මා සුබ පැතුම්....
හද තුටින් යනු මැනේ.....////
ගී පද - ආරියසිංහ පෙරේරා
ගී නද - මහේෂ් දෙණිපිටිය
ගී හඩ - අමිල පෙරේරා
චිත්‍රපටය - ආසයි මං පියාඹන්න
2007 වසරේ නොවැම්බර් මස 01 දින තිරගත වූ ‘ආසයි මං පියාඹන්න’ සිංහල රිදී තිරය හැඬගැන් වූ ජනපි‍්‍රය ධාරාවේ චිත්‍රපටයකි.
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ, උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නිෂ්පාදක ධම්මික සිරිවර්ධන ය. වාණිජ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වෙමින් ආදායම් අතින් සාර්ථක වූ මේ චිත්‍රපටය එවකට වානිජ සිනමාවේ නිහඬ බව බිඳදැමීමට සමත් විය.
ජනප්‍රිය හින්දි සිනමාපටයක් වූ ‘තාල්’ චිත්‍රපටයේ කතාව ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කර ඇතත්, මෙහි ඇතුළත් ගීත දේශීය ආරට, දේශීය සංගීතය මුසුකර නිර්මාණය කර තිබේ. එහි ඇතුළත් වූ ගීත අතිශයින්ම ජනප්‍රිය වූ අතර, සංගීතමය චිත්‍රපටයක් ලෙස මෙය වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගන්නට සමත් විය. අදටත් මෙහි ඇතුළත් වූ බොහෝ ගීත රසිකයින් අතර ජනප්‍රිය වී තිබේ.
තමන්ට දැනෙන ප්‍රේමයක් හිමි වූ විට, ඒ හදවතට දැනෙන සොම්නස සැනසීම කෙතරම් ද? ඒ දැනෙන සෙනෙහස තුළ විඳීන සුවය කෙතරම් ද? එය සැබැවින්ම විඳී හදවත් ම පමණක් හොඳීන් හඳුනන හැඟීමකි. ඒ පිළිබඳව විටෙක වචන ඇමිණිය නොහැකි, පද ගැළපිය නොහැකි තරම් ය. අප්‍රමාණ වූ ප්රහර්ශය විසින් හදවත පුබුදාලන අරුමය කෙතරම් මිහිරි දැයි හඳුනන්නේ එය සැබැවින්ම විඳී හදවත් ම පමණි. ප්‍රේමයේ සම්භෝගයේ ස්වභාවය එයයි.
ඒත් එලෙස හදවතින් විඳී එවන් ආදරයක් ඇස්පනා පිට අහිමි වුවොත් , එය පෙම් කළ සිතකට කෙලෙස දැනෙණු ඇති ද? ඒ අහිමි සෙනෙහස දෑස මානයේ ම වෙනත් හිතකට හිමිව, ඔහුගේ පතිනිය වී යන මොහොත පැමිණියහොත් එය කෙතරම් රිඳුම් දෙන මොහොතක් වේ ද? මේ ගීතය එවන් රිඳුමක් හිමි වූ හිතක ශෝකී වැලපුමකි.
ආදරයෙන් හමුවුණු , ආදරය විඳී දෙදෙනෙකුට ඒ ආදරයේ ගැඹුර, වටිනාකම මෙන්ම මිහිරියාව ද ලෝකයාට පැවසිය නොහැකි ය. මන් ද ඒ සෙනෙහස හිමි ඔවුනටම පමණක් වන බැවිනි. එය ඔවුනගේ හදවත් තුළ ම සිර වූ සොඳුරුතම හැඟුම් වේ.
ඔහු අත හැර වෙනත් අයෙකු හා සරණ යන ඈ දෙස බලා ඔහු ගයන්නේ එකී හැඟීම්වල අංශු මාත්‍රයක් පමණි. දෑස මානයේ තමන් විඳී ප්‍රේමය අහිමි වූ පෙම්වතකු එකී ආදර සැමරුම් සිහිකොට වෙන්ව යන ඇයට සහ ඇයගේ නව දිවියට සුබ පැතුම් එක් කරයි.
ගිනිකඳු පුපුරා ගලන ලෝ දිය කෙතරම් දරුණු ද? ඔහුගේ හදවත පෙළෙන වේදනාව ද එවන් රිදුමක් වැනි ය. එය දරාගත නොහැකි ය. ඒත් එවන් වේදනාවක් අබියස වුව ඒ වේදනාව ඈ වෙනුවෙන් ඔහු දරාගෙන පෙම් කළ සිතට සාප නොකර ඇයට සුබ පැතුම් එක් කරයි.
එදා මතකය සිතේ අහුරා...//
කාටවත් නොපෙනී අඳුරේ
ඉකි බිඳීමි රහසේ ...
හැමෝම ඉදිරියේ ඇයගේ වෙන්ව යාමට ඔහු සුබ පැතුම් එක් කළ ද, ඒ ප්‍රේමනීය හදවත කෙතරම් රහසේ වැලපේ ද යන වග ඔහු පවසයි. ඔවුනගේ ප්‍රේමයට බාධක නොතිබුණා නොවේ. ඒත් සිනහව, කඳුළ සියල්ල ඔවුන් එක්ව සමසේ විඳගෙන ආදරයෙන් සිටි බවත්, එය අද දෙනෙත් මත සැඟවුණු සිහිනයක්ම පමණක් වී තිබේ.
සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ....//
ඈත මීදුම් අතර සඟවා...//
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ ...
ඔවුනොවුන් මුණගැසුණු මීදුම් සේල එලූ ඒ සුන්දර මිටියාවතේ ම ඒ සොඳුරු ප්‍රේමය මතක සියල්ල සඟවා තබා නික්ම යන ලෙස ආදරයෙන් ඔහු ඇයට පවසයි. ඔහු අතැර ගිය ද ඈ කෙරේ කිසිදු වෛරයක් තරහක් ඔහුගේ හදවතේ නොමැති බව ඔහු ඇයට හඟවන්නේ තවමත් ඔහුට ප්‍රිය වූ ළඳ ඇය ම බව ‘යන්න ප්‍රිය ළඳුනේ...’ ලෙස අමතමිනි. ඔහුගේ හදවතේ නැගෙන සුසුම් පවා ඇයට සිහිලසක් වේවා යන්නයි ඔහුගේ ප්‍රාර්ථනය.
ඇස් පනා පිට ප්‍රේමය අහිමි වුව ද, අතින් ගිලි හුණ ද ප්‍රේමය සදා හිතින් අල්ලාගත් පෙම්වතුන්, තමන් හැරගිය පසු පවා හැර ගිය කෙනාට වෛර නොකරයි. පළි නොගනී. මෙම චිත්‍රපටයේ මේ ජවනිකාව ප්‍රේමයෙන් පැරදුණු පෙම්වතා ඔහු අතහැර වෙනකකු හා සරණ යන්නට සැරසෙන සුබ මොහොතේ ඇය වෙනුවෙන් ගයන ගීතයකි.
මතකයේ රැඳී හැගුම්බර. ආදරණීය විරහ ගීතයක් ලෙස ඉතා ම ජනප්‍රිය වුණු මේ ගීතය එවක තරුණ තරුණියන්ගේ සිහින කුමරා වූ රියැලටි තරඟයකින් කලාලෝකයට එක් වූ අමිල පෙරේරා නම් නවක යොවුන් ගායකයා විසින් ගැයූ ගීතයකි. ඔහුගේ ළයාන්විත හැඟුම්බර හඩ පෞරුෂය ගීතයට උපරීම සාධාරණයක් ඉටු කර තිබේ. ගීතයේ අදහස වඩාත් ඉස්මතුවන ලෙස ඔහුගේ ගායනය ප්රබලව දැනේ. විරහවත් රසයක් ලෙස අංකාරව ලියූ ආරියසිංහ පෙරේරාගේ පද රචනයට සංගීතය මුසු කළ මහේෂ් දෙණිපිටිය ද සංගීත සංයෝජනයෙන් ගීතයේ රසය තවදුරටත් ඉස්මතුකර තිබේ.