වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ක්ෂීර සාගරය කැලඹිණ මා මෙතෙක් අත නොගැසූ වර්ගයේ චිත්‍රපටයක්

විද්‍යෝදය විභූෂණ සාහිත්‍ය කලා ශිරෝමණී සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හමුවට අප යන්නේ ඔහු පිළිබඳ නවතම පුවත් දෙකක් රැගෙන එන්නටය. එකක් වනුයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් පිදුම් ලැබීමයි. අනෙක ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටය ලබන ඉරිදා සිට තිරගත කිරීමට නියමිත වීමයි. පළමුව අපි සරසවිය පුවත්පත වෙනුවෙන් සහ පාඨක සහෘදයා වෙනුවෙන් එතුමන්ගේ නව පදවියට සුබ පැතුම් එක් කළෙමු.
නිහතමානීව සුපුරුදු සුහද සිනාවෙන් මුව සරසාගත් මහැදුරාණෝ 'සුබ පැතුමට බොහොම ස්තූතියි... ඒත් චිත්‍රපටය ගැන තමයි වැඩිපුර කතා කරන්න හිතුවේ...' කීහ.
එනිසා අපි චිත්‍රපටය පිළිබඳ අවධානය යොමු කළෙමු.
කවදාද ඉතින් අපට ක්ෂීර සාගරය කැලඹිණ නරඹන්නට ලැබෙන්නේ?
මැයි 18 වැනිදා සිට රිත්මා මණ්ඩලය ඇතුළු සිනමා ශාලා 50ක චිත්‍රපටය තිරගත වනවා.
මේ චිත්‍රපටයත් නවකතාවක් ඇසුරින් නිර්මාණය වූවක්?
ඔව්. මෙය සයිමන් නවගත්තේගම සාහිත්‍යකරුවා ලියූ ක්ෂීර සාගරය කැලඹිණ කතාව ඇසුරින් නිර්මාණය වන්නේ. සයිමන් මෙය මුද්‍රණය කරන්නේ 1989 වසරේ. එහි පිටපතක් ඔහු මටත් පරිත්‍යාග කළා. ඒ අතර ඔහු කීවා 'මම මුලින් මේ කතාවෙන් තිරනාටකයක් ලීවා, ඒත් කවුරුවත් එයින් චිත්‍රපටයක් නොකළ නිසා නවකතාවක් ලියන්න හිතුවේ' කියලා. එ නිසාම මට මේ කතාව දැනුණේ හරියට තිරනාටකයක් කියවනවා වගේ. එය ආසාවෙන් කියවා මම පොත් රාක්කයේ තියාගත්තා. මේ සිදුවීම වන විට මම 1978 වසරේ අනූපමා චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබුණා. ඒත් මට ක්ෂීර සාගරය කැලඹිණ කෘතියෙන් චිත්‍රපටයක් කරන්න අදහසක් පහළ වුණේ නෑ.
පසු කාලීනව මට ඒ කතාවෙන් චිත්‍රපටයක් කළ යුතුයි කියා සිතිවිල්ල ඇති වන විට කතාවේ අයිතිය 1995 සිට ආනන්ද අබේනායක අධ්‍යක්ෂවරයා විසින් ලබාගෙන තිබුණා. එහෙත් ඔහු 2002 පමණ වන තුරු එයින් චිත්‍රපටයක් කර තිබුණේ නෑ. එනිසා මම ඔහුට කීවා 'ඔබ චිත්‍රපටයක් නොකරනවා නම් එහි අයිතිය මට දෙන්න' කියලා.
ඔහු බොහොම කැමැත්තෙන් මට ඒ නව කතාව සමඟ තිර පිටපතත් ලබා දුන්නා. කතාව පරණ නිසා අලුත් එකක් ලීවත් කමක් නෑ කීවා.
ඒ නිසා අලුතෙන් තිර රචනය කළා?
ඔව්. ගාමිණි ෆොන්සේකා අධිරාජයා ලෙසත් ජැක්සන් ඇන්තනී කැරැලිකාරයා ලෙසත් යොදාගෙන මේ චිත්‍රපටය කරන බව තමයි ඒ දිනවල කවුරුත් දැනගෙන සිටියේ.
ඒත් මට එය ලැබුණු පසු ජැක්සන් අධිරාජයා ලෙසත්, හේමාල් රණසිංහ කැරැලිකරු ලෙසත් යොදා ගන්න තීරණය කළා. ජැක්සන් ඇන්තනීගේ ඥාන සම්භාරය සහ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ඇති පරිණත බව නිසා ඔහු මේ චිත්‍රපටයේ සංවාද රචනය සහ තිර රචනය සඳහා යොදා ගත්තා. මමත්, කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියත්, ජැක්සනුත් අතර තැබූ සාකච්ඡා වට රැසක් ඔස්සේ තමයි අවසාන පිටපත සකසා ගත්තේ.
නවකතාව සහ තිරරචනය අතර වෙනස්කම් ඇති වන්නත් ඇති?
සැබැවින්ම නවකතාවේ අවසානයේ ව්‍යාකූල බවක් තිබුණා. ආනන්ද අබේනායකත් කීප වතාවක් තිර රචනා ලියූවත් ඔහු ඒ කිසිවක අවසානය පිළිබඳ සතුටු වුණේ නැහැ. එනිසා අපේ කතාවේ අවසානය නවකතාවේ අවසානයට වඩා වෙනස්. එය සාමාන්‍ය දෙයක්. මොකද නවකතාවක් සිනමාවට පරිවර්තනය කිරීමේදී බොහෝ වෙනස්කම්වලට භාජනය කරන්න සිදු වනවා.
ඔබ නවකතා ඇසුරින් චිත්‍රපට කිරීමට රුසියෙක්? එහිදී තිරපිටපත් රචනය අභියෝගාත්මක නොවේද?
අභියෝගාත්මකයි තමයි. (සිනාසී) හැබැයි මම ඩබ්ලියූ. ඒ. සිල්වා සූරීන්ගේ විජයබා කොල්ලය කරද්දි ඒ අභියෝගයට මුහුණ දි තිබුණේ ආචාර්ය තිස්ස අබේසේකර. මෙවර සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගරය කරද්දී ඒ අභියෝගයට මුහුණ දුන්නේ ජැක්සන් ඇන්තනි. නවකතාවේ යම් යම් තැන් වෙනස් කිරීමේ වගේම කොටස් එකතු කිරීමේ අභියෝගය ඔහු සතුටින් බාර ගත්තා. (කනගාටුවෙන්) ඒත් අද ඔහු ගිලන් වී සිටින නිසා මේ පිළිබඳ වග උත්තර කියන්න ඔහුට නොහැකි වීම පිළිබඳ විශාල කම්පාවක් අපට තිබෙනවා.
ක්ෂීර සාගරය කැලඹිණ කියන්නේ සරල තේමාවක් නොවේ?
ඇත්තෙන්ම අපට සාමාන්‍ය නව කතාවක් තිර පිටපතකට නඟනවාට වඩා ක්ෂීර සාගරය අසීරු වන්නේ එය ඉන්ද්‍රජාලික නැත්නම් මායා යථාර්ථවාදී ශෛලියකින් ලියැවුණක් නිසා. ඒ ශෛලිය සිනමාවටත් ආදේශ නොකොට මේ නිර්මාණය කරන්න බෑ. ඒ නිසා වෙනත් කතාවක් ගොඩනඟනවාට වඩා මේ අභියෝගය වඩාත් තීව්‍ර වුණා.
අනෙක තමයි මේ කතාවේ පරිදි අධිරාජයන් අපේ රටේ ඉඳලා නෑ. ඒත් මෙහි ප්‍රධාන චරිතය අධිරාජයෙක්. මේ කතාව සිදු වුණු නිශ්චිත කාලයක්, දේශයක් නෑ. එවිට මේ චරිත කොහෙද ස්ථානගත කරන්නේ? මොකක්ද ඔවුන්ගේ පසුබිම? සිංහාසනයක්, රජ මාලිගයක්, අධිරාජයෙක් පරිහරණය කරන භාණ්ඩ, ස්ථාන, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර මොනවාද? අපි දන්නේ නෑ. ලංකා ඉතිහාසයේ කිසිම පසුබිමක් මෙයට ආරෝපණය කරන්න බෑ. ඇඳුම් පැලඳුම් අපේ රටට අයත් නෑ. මෙහි හාමුදුරු නමක් සිටිනවා. ඒත් ඒ අපේ බෞද්ධ භික්ෂුවක් නොවේ. ඒ නිසා මෙය කල්පිතයක්. කොච්චර කල්පිතයක් ද කීවොත් චිත්‍රපටය නිර්මාණය කර එය අප නරඹන තුරු අපටත් විශ්වාසයක් තිබුණේ නෑ අප මේ කියන දේ ගැන ප්‍රේක්ෂකයන් විශ්වාස කරයිද කියලා.
එසේ නම් ඔබ මෙය වර්ගීකරණය කරන්නේ කුමන ප්‍රවර්ගයක් යටතේද?
මේ චිත්‍රපටය මගේ චිත්‍රපට අතර විශේෂ කෘතියක්. මෙය අයත් වන්නේ දේශපාලන ශානරයට. චිත්‍රපටයේ යටි පෙළ අර්ථයේ දේශපාලන කියැවීමක් තිබෙනවා. එය මෙතෙක් මගේ චිත්‍රපටවල නොතිබුණු දෙයක්. ඒ වගේම එවන් තේමාවක් මා මීට පෙර ස්පර්ශ කර නෑ.
ඒ වගේම කෙසේ හෝ කාලය ගත වී ගොස් මේ චිත්‍රපටය තිරගත වීමට උචිතම පසුබිමක තමයි ප්‍රදර්ශනය වන්නේ. මෙහි එන අත්දැකීම්වලට මෑත අතීතයේ අප සමීප වුණා. එනිසා මීට වඩා සුදුසු කාලයක් මේ චිත්‍රපටය තිරගත කරන්න තවත් නෑ.
මෙය දැවැන්ත නිර්මාණයක්. සිනමා ශාලාවලට ඇදෙන ප්‍රේක්ෂක පිරිස පිළිබඳ සැකයක් ඇති යුගයක මෙවන් නිර්මාණයකට අතගැසීම අවදානමක් නොවේද?
මේ සරසවි ප්‍රකාශන හිමිකරු එච්. ඩී. ප්‍රේමසිරි මහත්මා මා සමඟ කළ තෙවැනි සිනමා නිර්මාණය. බිම්බාදේවී හෙවත් යශෝධරා කළ පසු ඔහු විජයබා කොල්ලය නිර්මාණය කිරීමට ඉදිරිපත් වුණා. ඒ චිත්‍රපට දෙක සමඟ මා කෙරෙහි තැබූ විශ්වාසය නිසයි ක්ෂීර සාගරය කැලඹිණ වැනි දැවැන්ත නිර්මාණයක් සඳහා ඔහු දැවැන්ත අවදානමක් ගත්තේ. ඒ වෙනුවෙන් මා ප්‍රේමසිරි මහතාට ස්තුතිවන්ත වනවා. මෙහි සමහර දර්ශනවල අතිරේක නළු නිළියන් 500ක් පමණ යොදා තිබෙනවා. පිටපතේ සිටම ඒ බව අපි දැනගෙන සිටියා. අද වගේ නම් සමහර විට මේ නිර්මාණය කරන්න මමවත් ඉදිරිපත් වන එකක් නෑ. ඒත් මෙය පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින්.
කාලයත් සමඟ සිංහල සිනමාව පත්ව ඇති තත්ත්වය ගැන ඔබ හිතන්නේ කොහොමද?
සිනමා ශාලා වැසී යන බව ඇත්ත. ඒත් යහපත් දේවලුත් සිදු වුණා. මීට පෙර අවසන් වශයෙන් 2019 ප්‍රදර්ශනය වුණු මගේ සිනමා පටය වන විජයබා කොල්ලය තිරගත වීමෙන් පසු වසර කීපය තුළ ඒ බව මා දකිනවා. විශේෂයෙන් පීවීආර්, ස්කෝප්, කැන්ඩි සිටි සෙන්ටර් වගේම අනුර ජසෙන්තු ලියනගේ ඉදි කරන ලයිට් සිනමා වැනි සිනමා සංකීර්ණ බිහි වීම නිසා සිංහල සිනමාවට හොඳ ලකුණු පහළ වුණා. ගජමෑන් සාර්ථකව ප්‍රදර්ශනය වුණා. ගාඩි දින 100ක් දුවනවා. මේවා සිනමාවේ යහපත් දේවල්.
අද තරුණ පිරිස කලාත්මක සිනමාවටම ඇදෙන බවක් පේනවා?
මම මගේ චිත්‍රපට නම් කරන්නේ වාණිජ නිර්මාණ හැටියට. කුසපබා පවා එහෙමයි. තරුණ පරපුර කලාත්මක චිත්‍රපට කරන්න ඉදිරිපත් වන එක යහපත් ලකුණක්. ඒත් සිනමාව කර්මාන්තයක් ලෙස පවතින්න අවශ්‍ය කෙබඳු චිත්‍රපටද යන්න ප්‍රශ්නයක් වුවත් කිසිවකුගේ රුචිය අපට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ඕනෙත් නෑ. තරුණයන්ගේ රුචිය කලාත්මක නිර්මාණ වෙත නම් එයට අප අකුල් හෙළිය යුතු නෑ. මමත් 1982 සිරිබෝ අයියා සඳහා සරසවිය සම්මානත්, සුදු සෙවණැලි සඳහා ජනාධිපති සම්මානත් දිනා ගත්තා. ඉතින් මේ අංශ දෙකේම නිර්මාණ මා ඉදිරිපත් කර තිබෙනවා. කර්මාන්තයටත් සියලු අංශවල චිත්‍රපට අවශ්‍යයි. තරුණයන් කලාත්මක නිර්මාණ ඔස්සේ සිනමාව ජය ගන්නවා නම් වඩාත් හොඳයි. අප ඒ පිළිබඳ සුබවාදීව බැලිය යුතුයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න