වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
අවසන් රජ කිරුළේ අතීතානුස්මරණය

ප්රවීණ තිර රචකයකු , අධ්යක්ෂකවරයකු හා නිෂ්පාදකවරයකු වන මොහොමඩ් මොහාන් නියාස් තිරයට ගෙන එන නවතම සිනමා නිර්මාණයයි ‘ශ්රී වික්රම’ . ඔහු මෙයට ප්රථම , ‘යසෝමා’ (1997) , ‘Blendings’ (1997) , ‘අනුරාගයේ අනන්තය’ (2000) සඳ යහනට (2000), කළු සුදු මල් (2003), එක මලක පෙති (2006), ‘අපි මැරෙන්නේ නෑ’ (2014) යන චිත්රපට ප්රේක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ‘බඹර වසන්තය’ සහ ‘මායාවී’ යන චිත්රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත . උසාවි තහනමකට ලක්වූ, ‘ගිණි සිළුව’ චිත්රපටය ද ඔහුගේ නිර්මාණයකි. රිදී තිරයේ මෙන්ම පුංචි තිරය තුළින්ද ප්රේක්ෂකයා හමුවට ආ ඔහු, ‘පාට පාට හීනයක්’, ‘ලොක්කයියා’ , ‘මං නැතිදා’ , ‘හිතට වහල් වීමි’ , ‘ගිනි දළු මැද’ , ‘සිහින ඉසවිව’, ‘ගජමුතු යාය’ , ‘සිටු දියණියෝ’, ‘සීතාම්බර සළු’, ‘සමනලයා’ වැනි ටෙලි නිර්මාණ හතළිහකට ආසන්න ප්රමාණයක් නිර්මාණය කර ඉදිරිපත් කර ඇත. අඛණ්ඩව නිර්මාණකරණයේ නියැළෙන ඔහු, මේ දිනවල, ‘මළ දරුවෝ’ නමින් නවතම චිත්රපටයක වැඩකටයුතු කරමින් සිටී.
ක්රි.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජකමට පත්වීමත් සමඟ කන්ද උඩරට රාජධානි සමය ඇරඹෙයි. ක්රි.ව. 1739 දී විජය රාජසිංහ සෙංකඩගල රජකමට පත්වන්නේ එතෙක් පැවැති රාජ්ය උරුමය පිළිබඳව නීති රීතින් හා සම්ප්රදායන්ට පටහැනිව යමින්, භාරතයේ මදුරාපුරයෙන් පැමිණි රජුගේ බිසවගේ සහෝදරයාට රජකම ලබාදීම මඟිනි. එතෙක් පටන් රජකමේ උරුමයේ නව සම්ප්රදාය මත දිගින් දිගටම කන්ද උඩරට රාජධානියේ කිරීටය අත්පත් කර ගනු ලැබුවේ ස්වදේශිකයන් නොව මේ රටට ආගන්තුකයන් වූ නායක්කර් වංශිකයන් විසිනි. එලෙස නායක්කර් වංශිකයන් අතට පත් වූ කන්ද උඩරට කිරුළ නැවත ස්වදේශිකයන් අතට පත්කර ගැනීම සඳහා උඩරට රදළ සිංහල ප්රභූවරුන් කටයුතු කරමින් සිටියහ. ක්රි.ව.1798 දී රජකම හිමි කරගන්නා කන්නසාමි හෙවත් ශ්රී වික්රම රාජසිංහ රජකමෙන් පහ කරවා ගැනීමට පිළිමතලාවේ සහ ඇහැලේපොළ වැනි සිංහල ප්රභූවරුන් මුල් තැන ගනිමින් කටයුතු කලහ. ශ්රී වික්රම රාජසිංහ සිංහල ජනයා අතර ජනප්රියව සිටීම ඒ සඳහා බාධාවක්ව පැවැති අතර, ඇහැලේපොළ කුමාරිහාමි හා දරුවන් ඝාතනය කිරීමත් සමඟ රජු සිංහල ජනයාගෙන් දුරස්විය. එය ඉතා සූක්ෂම ලෙස උඩරට රදලයන් විසින් භාවිත කරමින් ක්රි.ව. 1815 දී ඉංග්රීසින්ගේ සහය ඇතිව උඩරට අත්පත් කරගන්නේ සිංහලයන්ගෙන් ගිලිහී ගිය කිරීටය නැවත සිංලයෙකුගේ හිස මත පලඳවා ගැනීමේ යටි අදහස ඇතිවය. විවිධාකාර කුමන්ත්රණ හේතුවෙන් ඒ සිහිනය බොඳවී යන අතර, මේ කාලවකවානුවේ විවිධ කැරලි කෝලාහල ඇති විය. කෙසේ නමුත් සිංහලයේ අවසාන රජු ලෙස ශ්රී වික්රම රාජසිංහ ඉතිහාසයට එක්විය.

ඇන්ටන් ජේ.ප්රනාන්දු