ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමඟින් ආවා

පෙබරවාරි 23, 2023

 

කොතැනක සිටියත් ඔබ මෙලොවේ

දිගුකල් ජීවත් වෙන්න කෝ

ඔබේ සිතට සැනසුම ගෙන දී

දිගුකල් ජීවත් වෙන්න කෝ

රැකගෙන මංගල මුදුව අතේ

දිගුකල් ජිවත් වෙන්න කෝ

සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා

දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා

සිහිකෙරුවත් පසුගිය දේ සිතලා

සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා

ඔබ වෙන කිසිවෙකු සමඟින් ආවා

ඔහු දිවි රැකුමට මට වර ලැබුණා

පිරිසිඳු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

දැල් වූ පහන දැල්වෙන්නට හැරලා

අඳුරු නිවස ආලෝකය කරලා

ඔබේ පෙම්බර සැමියගේ පණ රැකලා

ගුණවන්තියේ ඔබ දිගුකල් ජීවත්වෙන්නකෝ

ගී පද - චිත්‍රානන්ද අබේසේකර

ගී නද - මොහොමඩ් සාලී

ගී හඬ - එච්. ආර්. ජෝතිපාල

චිත්‍රපටය - සැමියා බිරිඳගේ දෙවියාය

 

 

වර්ෂ 1964 දී සිංහල සිනමා වංශකතාවේ 102 චිත්‍රපටය ලෙස ‘සැමියා බිරිඳගෙ දෙවියාය’ චිත්‍රපටය තිරගත විය. දමිළ චිත්‍රපටයක් වූ ‘නෙන්ජල් ඔර් ආරයම්’ චිත්‍රපටය ඇසුරින් මෙම චිත්‍රපටය නිපදවා තිබේ. එම දමිළ චිත්‍රපට කතාවම එලෙසම නොයෙන, මෙරට සිනමා පේ‍්‍රක්ෂකයන්ට වඩාත් සමීපවන ලෙසම මෙහි කතාව ගොඩනඟා තිබේ.

එවක සිංහල සිනමාවේ ඉතාම ජනපි‍්‍රය වූ චිත්‍රපටයක් මෙන්ම ආදායම් අතින් ඉතාම සාර්ථක වූ චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය වාර්තා වේ.

ඩොමි ජයවර්ධන, රුක්මණී දේවී, අශෝක පොන්නම්පෙරුම මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක විය.

යුග යුග අදවන විට මෙම ගීතය ගායනා කර දශක 6ට ආසන්නව ඇතත්, අදටත් මෙම ගීත නොනැසී පවතී. වර්තමාන තරුණ පරම්පරාවේ පවා රසවින්ඳනයට මෙම ගීතය පාත්‍ර වීමෙන්ම මෙම ගීතවල ඇති සර්වකාලීන බව මානව පැහැදිලි වේ. චිත්‍රපට කතාවේ තේමාවට අදාළවම මෙම ගීතය ලියැවී ඇතත්, ඒ කතාව පිළිබඳව නොදන්නා රසිකයින් හට වුවත්, එය ගීතය රසවිඳීමට බාධාවක් නොවේ.

එවක මෙම ගීතය සේම මෙම චිත්‍රපටයේ ඇතුළත් වූ සෙසු ගීත ද එකසේ ජනපි‍්‍රය විය. මෙම ගීතය රසාස්වාදයට පෙර මෙම චිත්‍රපට කතාව සැකවින් පැහැදිලි කිරීම අවශ්‍ය වේ. මන්ද මෙම ගීතයේ අරුත වටහා ගැනීමට එය බොහෝ සේ උපකාරී වේ.

විවාහක යුවළක් වූ චන්ද්‍රා සහ විමල් තරුණ අඹුසැමියන් ලෙස සතුටින් ජීවත් වෙති. එසේ වුවත් නොසිතූ මොහොතක විමල් හදිසියේ රෝගාතුරවන අතර, ඔහුට පිළිකාවක් ඇති බව සොයාගනියි. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඔහුව රෝහල් ගත කරයි.

මෙම රෝහලේ සේවය කරන නිහාල් නම් වෛද්‍යවරයා වෙත විමල්ව සුව කිරීමේ කාර්ය පැවරේ. මෙම කතාවේ වැදගත්කම හා උච්චතම අවස්ථාව මතුවන්නේ මෙහිදීය. එනම් සිය සැමියාව සුව කිරීම සඳහා භාරදෙන්න වෛද්‍යවරයා චන්ද්‍රාගේ කලින් පෙම්වතා වූ නිහාල්ය. වසර ගණනාවක ඇවෑමෙන් ඔවුනොවුන්ගේ මේ හමුව සිදු වේ.

චන්ද්‍රාට බොහෝ සේ පේ‍්‍රම කළ නිහාල්ට ඇයගේ පේ‍්‍රමය හදිසියේම අහිමි වේ. ඒ ඔහු වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන්නට පෙරය. කිසිවක් නොදන්වා ඔහු හැර ගිය ඇයව නැවත හමුවුණු තැන ඔහු විසින් මෙම ගීතය ගයයි.

ඔහු ඇයට දැක් වූ පේ‍්‍රමය ස්ථිරය. ඇයගෙන් තොර වූ ආදරයක් ගැන තවමත් ඔහුට සිතී නැත. ඒ නිසාම තවමත් ඔහු ඇයට පේ‍්‍රම කරයි. නමුත් ඇයව ඇගේ සැමියගෙන් වෙන්කර අයිතිකර ගැනීමේ පහත් හැඟීමක් ඔහු තුළ නොවේ. ඔහු ඇයට, ඇයගේ පේ‍්‍රමයට ආශීර්වාද කරයි. ඇයගේ විවාහය රැකගෙන, සැමියත් සුවපත් කරගෙන සතුටින් දිගුකල් ජීවත් වන ලෙස පිවිතුරු ප්‍රාර්ථනයක් ඔහු කරයි.

මේ ලෝකේ කොතැනක ඔබ සිටියත්, හිතේ සැනසුම ඇතිව බොහෝ කල් ඔබ ජීවත් වෙන්න. ඔබේ අතරැඳි මංගල මුදුව එලෙසම රැකගෙන, සැමියත් සමඟම, සතුටින් සැනසීමෙන් දිගුකල් ජීවත් වෙන්න.’ ලෙස ඔහු අවංක පැතුමක් පතයි.

කවදා හෝ ඇය ඔහුට හමුවේ යැයි සුන්දර පැතුමක් ඔහුගේ හදවතේ නොතිබුණා නොවේ. ඒ යටගිය සුන්දර අතීතය හෝ ඇයගේ සුන්දර වත ඔහුට කිසිකලෙකත් අමතක නොවුණි. ඇගේ හමුවෙන් ඔහුගේ මතකයන් පෑරුණ ද, ඇය ශ්‍රීයාකාන්තාව සේ ඇගේ පවුල රැකගෙන දිගුකල් ජීවත්වන ලෙසට නැවතත් ඔහු ප්‍රාර්ථනය කරයි.

‘තවමත් මං ඔබ වෙනුවෙන් තනිකඩව සිටිනවා. හදිසියේ නැවතත් ඔබ හමුවුණේ වෙනත් අයෙකුගේ බිරිඳ ලෙසයි. ඒ විතරක්ම නෙමෙයි, රෝගාතුරව සිටින ඔහුගේ ජීවිතය රැකදීමේ වගකීමක් මට දුන්නා. ඔව්. ඒ වගකීම මම හරියටම ඉටු කරනවා. ඔබ ඒ ගැන නොසිතා සතුටින් හොඳින් දිගුකල් ජීවත් වෙන්න ඕනේ.’

ඔහු නැවත නැවතත් ඇය කෙරෙහි ඇති නොවෙනස් ස්නේහය හමුවේ ඇයට යහපතක්ම ප්‍රාර්ථනය කරයි.

ඔබ දැල් වූ පහන, එනම් ඔබේ විවාහ දිවිය හැමදාම සතුටින් පවතින්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබේ සැමියාව සුවපත් කර දෙන්න මං සුදානම්...’ බව ඔහු ඉතාම හැඟුªම්බරව ගයයි.

ගීතයේ සමහර කොටස් රසවිඳීමට චිත්‍රපටයේ කතාව දැන සිටීම ඉතා වටී. මන්ද මෙය වෛද්‍යවරයෙක් මෙන්ම පේ‍්‍රමය අහිම වූ පෙම්වතෙකුගේ හෘදයාංගම සිතිවිලි සමුදායක් වන බැවිණි. එච්.ආර්. ජෝතිපාලයන්ගේ භාවමය හඬ මුසුව හා අශෝක පෙන්නම්පෙරුමගේ රංගනයෙන් මෙම ගීතයේ අර්ථය වඩාත් සාර්ථකව නිරූපණය කෙරේ.

ඉතාම සංවේදී කතා තේමාවක් ඔස්සේ නිපදවන ලද මෙම චිත්‍රපටය සිංහල සිනමාවේ සන්ධිස්ථානයකි. ඒ තරමටම මෙම චිත්‍රපටය හා මෙහි ඇතුළත් වූ ගීත එවක ඉතා ජනපි‍්‍රය වු අතර නොමද පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් හිමි විය.

 

 

[email protected]