වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
අන්තර්ජාතික සම්මාන 6ක් මගේ විසංගමනය මේ වසරේ එනවා

කැමිලස්ගේ ගජමෑන් මේ දිනවල සිනමා ශාලා සිනා සාගරයක ගිල්වමින් පවතී. එසේම ගාඩි ඉතිහාසයේ වෙනස් කතාවක් ගැන අපේ අවධානය යොමු කරයි. මේ චිත්‍රපට දෙකටම දායකත්වය දක්වන අතර ඉදිරියේදී තිරගත වීමට නියමිත තමන්ගේ කුලුඳුල් චිත්‍රපටයට විදෙස් සම්මාන උලෙළ හයකින් සම්මාන ලැබූ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න සරසවියට ගොඩවැදුණේ අප සමඟ සුහද කතාබහකටය. අපි ඔහුගෙන් ඔහු සම්බන්ධ වුණු චිත්‍රපට ගැනත් ඉදිරියේ කරන්නට සූදානම් කරගෙන කටයුතු ගැනත් විමසුවේ සරසවිය පාඨකයන් වෙනුවෙනි
රන්ජන් ප්‍රසන්න කතාව ඇරඹුවේ මෙසේය.
"මට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ 'ගාඩි' චිත්‍රපටයේ පළමු සහාය අධ්‍යක්ෂ හැටියට කටයුතු කරන්න වගේම චානක පෙරේරාගේ ගජමෑන් චිත්‍රපටයේ නිෂ්පාදන සම්බන්ධීකාරක සහ නළුවරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න වාසනාව ලැබුණා".
එය ඇත්තෙන්ම දුර්ලභ අවස්ථාවකි. හේතුව මෙරට පළමු කාටූන් චිත්‍රපටය ලෙස වාර්තාගත වන්නේ 70 දශකයේ මැද භාගයේ ගිවන්ත අර්ථසාද් මහතා නිර්මාණය කළ දුටුගැමුණු පුවතයි. එහෙත් එය ද ද්විමාන කාටූන් චිත්‍රපටයකි. ගජමෑන් වාර්තාගත වන්නේ මෙරට ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ වෘත්තාන්ත චිත්‍රපටය ලෙසය. ඔහු එහි තම වගකීම මෙසේ විස්තර කළේය.
"චානක පෙරේරා අධ්‍යක්ෂණය කළ ගජමෑන් ලංකාවේ පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය. කැමිලස් පෙරේරා මහත්මයා කාටූන් කතාවක් ලෙස පුවත් පතක පළ කළ ගජමෑන් කතාව ඇසුරින් කළ ඇනිමේෂන් චිත්‍රපටයක්.
එහිදී චානක මගෙන් විමසුවා මේ සජීවීකරණ චරිතවල චලන සකසා ගන්න ඒ චරිත ලක්ෂණවලට ගැළපෙන රංගනයක් ලබා දිය හැකි නළුනිළියන් කවුද යනවග. සජීවීකරණ චරිත ගොඩනැඟීමේදී අපි ඩිජිටල් විදිහට චරිතය රූපගත කරනවා, කාටූන් චරිතයේ හැසිරීම සඳහා වයර් ෆ්‍රේම් සකසා ගන්නට අවශ්‍ය නිසා. ඒ ඒ චරිත විස්තර කරන අතර ඊට ගැළපෙන අය පිළිබඳ ඔවුන්ට හඳුන්වා දීමයි මගේ පළමු වගකීම වුණේ. නළුවාගේ ශරීරයේ ප්‍රධාන ස්ථාන කීපයකට හරියට ඊසීජී එකක් ගන්නවා වගේ කී පොයින්ට්ස් වලට අදාළ බොත්තම් වැනි උපකරණ සහිත වයර් ෆ්‍රේම් යොදලා තමයි මේ රූපගත කිරීම කරන්නේ. ඉන් පසු අපිට සිදු වෙනවා හඬ කැවීම් සඳහා ඒ් චරිතවලට ගැළපෙන ශිල්පීන් යොදාගන්න.
චානක සමඟ එක්ව පිටපත ලිවීමේදී පොඩි මල්ලි සහ චූටි මල්ලි ලෙස කවුරුත් අඳුනන සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් මෙහි විශාල කාර්යභාරයක් කළා. මේ අප සියලු දෙනා එකතු කිරීමේ ගෞරවය හිමිවන තවත් පුද්ගලයෙක් තමයි තුසිත් රුවින් බණ්ඩාර කියන්නේ. ඇත්තෙන්ම මේ කටයුත්තට අප අතගැසුවේ මීට අවුරුදු දොළහකට පමණ පෙර සිටයි. මේ චිත්‍රපටය මට ලොකු අත්දැකීමක්. මීට පෙර මම විවිධ චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට වගේම රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සහාය අධ්‍යක්ෂණයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් එක් වුවත් කාටූන් නැත්නම් සජීවීකරණ චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබී නැහැ. ඒ නිසයි මම කීවේ අපේ රටේ මුල්ම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයට දායක වන්න ලැබීම මම ලැබූ භාග්‍යයක් කියා.
ගජමෑන් පවුලේ සැමට නැරඹිය හැකි කතාවක් වගේම දරුවන්ට විශාල අත්දැකීමක් වෙයි. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයටත් වෘත්තාන්ත සජීවීකරණ චිත්‍රපටයක් මේ රටේ නිර්මාණය වීම වැදගත් වෙනසක්."
ඊළගට ඔහු පිවිසුණේ ගාඩි වෙතය.
"ගාඩි පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කරන කාලේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියේ අපේ දමින්ද මඩවල සොහොයුරා. ඔහුගේ දෙවැනියා ලෙස මම අස්වැසුම, බොරදිය පොකුණ, මගේ වම් අත, ඉරමැදියම, මිල්ලෙ සොයා ආදි චිත්‍රපට විස්සක පමණ කටයුතු කර තිබුණා. ඒ විශ්වාසය මත ඔහු මට ගාඩි චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න මේ වගකීම පැවරුවේ ඔහුගේ හදිසි අසනීප තත්ත්වය සහ ප්‍රසන්න විතානගේ මහතා සමඟ ඉර මැදියමේ කටයුතු කර තිබුණු අත්දැකීම හේතු කරගෙනයි. මට ඒ වගකීම පැවරෙන්නේ චිත්‍රපටය රූගත කරන්න මාස එකහමාරකට පමණ කෙටි කාලයක් තිබියදියි. අතරමඟ නතර වී තිබූ බොහෝ දේවල් ආපසු පණගන්නවා ගන්න මට මාසයක් වැනි කාලයක් වැඩ සමඟම අවදි වී ඉතා කෙටි නින්දක් පමණක් ලබමින් කටයුතු කරන්න සිදු වුණා. දෙවැනි සහාය අධ්‍යක්ෂ නිරෝෂන් එදිරිමාන්න සමඟ එකතුව විශාල වැඩකොටසක් කරන්න හැකි වුණා. ප්‍රසන්න විතානගේ මහත්මයා සමඟ වැඩ කිරීම මටත් අත්දැකීම් සමුදායක් ලබාගන්න හේතු වුණා.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන බූඩි කීර්තිසේන, බෙනට් රත්නායක, සනත් ගුණතිලක, ලින්ටන් සේමගේ, විජිත ගුණරත්න වගේම ප්‍රසන්න විතානගේ මහත්මා සමඟත් මම මීට පෙර වැඩ කර තිබුණා. ඒත් ප්‍රසන්න අයියාගේ ක්‍රමවේදය වන්නේ ඔහුගේ ඇසින්ම සියල්ල දැක නිශ්චිත කරගන්නා තුරු රූගත කිරීම් ආරම්භ නොකිරීම. උදාහරණයක් ලෙස කණ්ඩායම් දර්ශනයක යන්තම් පෙනී සිටින අතිරේක චරිතයක් පවා ඔහුගේ ඇසින්ම දැක සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අවසානයේ තමයි චරිතයට ගන්නේ. ඒ වගේම සෑම පසුතල භාණ්ඩයක්ම පවා ඔහුට පෙන්වා ඔහුගේ අනුමැතිය ඇතිව පමණයි දර්ශන තලයට ගෙන යා යුත්තේ. කිසිදු දෙයක් සැලසුමකින් තොරව ගෙන යෑමට හැකියාවක් නෑ. ඒ වගේම කැමරා අධ්‍යක්ෂ සමඟ මුල සිට අගටම දර්ශන සැලසුම් කරලා, සියලු දේ නිසි විදිහට තිබෙන බව දැනගත් පසුවයි රූපගත කිරීම අරඹන්නේ. අපි කොයි තරම් කලින් සැලසුම් කරලා සංවිධානය කර තිබුණත් ඔහුට එය තහවුරු වුණේ නැත්නම් රූගත කිරීමකට යන්නේ නෑ.
ඒ වගේම ඔහු ශිල්පීන් හසුරුවන ආකාරය හරිම සුමටයි. රූගත කිරීම් කරන විට දර්ශන තලයේ කිසිදු අමතර ශබ්දයක් නෑ. ඔහුට අවශ්‍ය දේ නළු නිළියන් ළඟට ගොස් ඉතා මෘදු ලෙස අදාළ ශිල්පියාට පමණක් ඇසෙන අයුරින් පමණයි ඔහු උපදෙස් දෙන්නෙ. ඒ වැනි හැසිරීම් අපට විශාල අත්දැකීම් බවට පත්වුණා.
අනෙක බොම්බේ වෙල්වට් වැනි චිත්‍රපටවලට දායක වුණු රජුරවී නම් ඉන්දියානු කැමරා ශිල්පියා තමයි ගාඩි චිත්‍රපටයෙත් කැමරා අධ්‍යක්ෂ. ඔහු සමඟ වැඩ කිරීමත් අපට විශාල අත්දැකීමක්. ඒ වගේම අපේ රටේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයකු වන එම්. ඩී. මහින්දපාල මහත්මයා තමයි දෙවැනි කණ්ඩායමේ කැමරා අධ්‍යක්ෂ වුණේ. නළුවරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ දමයන්ති ෆොන්සේකා මහත්මිය. රේඛීය නිෂ්පාදිකා ඉරන්ති අබේනායක. ඔවුන් දෙදෙනාගෙනුත් මට විශාල සහායක් ලැබුණා.
මේ චිත්‍රපටයෙත් පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන්නෙ වසර දහයකට පමණ පෙර සිට. ලංකාවේ මෑත කාලීනව කෙරුණු දැවැන්ත චිත්‍රපටයක් වන ගාඩි සඳහා පළමු සහාය අධ්‍යක්ෂ ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම මගේ වාසනාවක් ලෙස සලකනවා. ඒ වගේම ඒ අවස්ථාව මට සලසා දුන් දමින්ද අය්යාටත් ප්‍රසන්න විතානගේ අය්යාටත් මගේ අවංක ස්තූතිය පළ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ගාඩි ටීම් එකේ කටයුතු කළ සියල්ල කලින් පුහුණුවීම් කළා. සමහර දාට අපට වේශ නිරූපණ කටයුතු අරඹන්න සිදු වුණේ හෙට උදේ හයාමාරට රූගත කිරීම් අරඹන දර්ශනය සඳහා අද රාත්‍රී දහයේ දොළහේ පමණ සිටයි. විශේෂයෙන් රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන්ට යෙදූ රැවුල් සහිත වේශ නිරූපණය නිසා ඔවුන්ට සමහර ආහාර වේල් පවා මඟහරින්න සිදු වුණා. එවැනි කැපකිරීම් අපට විශාල ශක්තියක් වුණා. ඒ වගේම මගේ සහාය අධ්‍යක්ෂ අංශයේ සේවය කළ තිදෙනාගෙන් ලද සහයෝගය මෙතෙකැයි කියන්න බැහැ."
ඔහු පැවසුවේ ස්තුති පූර්වක ස්වරයෙනි. ඉන් අනතුරුවය ඔහු සිය කුලුඳුල් නිර්මාණය පිළිබඳ තොරතුරු අප වෙත හෙළි කළේ.
"මගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය 'විසංගමනය' මේ වසරේ අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙහි නිෂ්පාදක මහේෂ් විජේරත්න මහත්මයා ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටින්නේ. ඒ වගේම උපාලි ගම්ලත් මහත්මයා මේ චිත්‍රපටය අන්තර්ජාතික උලෙළවලට යොමු කිරීමේදී විශාල සහයෝගයක් අපට ලබා දුන්නා. මේ වෙද්දි එය අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා නිර්මාණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන හයක් ලබා තිබෙනවා."
යහපත් උසස් මහත්මයකු සේ හැසිරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පවුලේ සාමාජිකයන් ඔහුටත් නොදැන පරිදි ඔහුගේම මත්ද්‍රව්‍ය ජාවාරමට හසුවන අයුරු පෙන්වන කාලීන මාතෘකාවක් ඔස්සේ විහිදුණු කතා තේමාවක් අධ්‍යක්ෂණය වෙනුවෙන් විසංගමනයට ඔහු සම්මාන හිමිකර ගැනීමට සමත්ව ඇත. ඔහු බොහෝ කාර්යබහුල කලාකරුවෙකි. ඒ බව තහවුරු වන්නේ ඔහුගේ දායකත්වය ලද නිර්මාණ පිළිබඳවත්, ඉදිරියට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදී ඇති නිෂ්පාදනත් පිළිබඳ විමසන විටය.
"පසුගිය වසර පුරා චලෝ, ඇස්, පෝක් වීදිය, හාට් කාට්, දෙවෙනි ඉනිම, සංගීතය වැනි ටෙලි නාට්‍ය කීපයක රේඛීය නිෂ්පාදක ලෙස කටයුතු කළා. මේ වෙද්දි මම සති අන්තයේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා තාක්ෂණය සම්බන්ධ උපාධිය හැදෑරීමට කාලය වෙන් කරන නිසා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණ කටයුතුවල යෙදෙන්න වෙලාව මදි වුණා. ඒ වගේම මම සම්බන්ධ වුණු චිත්‍රපට කීපයක් ගිය වසරේ තිරගත වුණා. ඉන් මා බොහොම අගය කරන චිත්‍රපටයක් ලෙස කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල දෙපළගේ 'ද නිවුස් පේපර්' චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි කුමාර අයියාත්, සරත් අයියාත් වෙන වෙනම චිත්‍රපට දෙකක් නිර්මාණය කරනවා. ඒ දෙකේම සහාය අධ්‍යක්ෂණය සඳහා මට ආරාධනා කර තිබෙනවා. ඒ ගැනත් මම සතුටු වෙනවා. ප්‍රවීණ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහත්මයාත් අලුතින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් ඉන්නේ. එහි සහාය අධ්‍යක්ෂණයටත් මට දායක වන්න හැකි වීම භාග්‍යයක් ලෙස සලකනවා. සාරංග මෙන්ඩිස් අලුතින් චිත්‍රපටයක් කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි සහාය අධ්‍යක්ෂණයටත් මට අවස්ථාව ලැබී තිබෙනවා. ඔහුගේම නිෂ්පාදන ආයතනයේ තමයි මේ වන විට මම කළමනාකරු ලෙස සේවය කරන්නේ. මගේ අනෙක් නිර්මාණ කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා නිදහස ලබා දෙන නිසා මම ඔහුට විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ආසිරි සමරසිංහ ඉතාලියේ නිර්මාණය කළ 'නිර්වාණ දූපත' නම් චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. එය මට විශාල අත්දැකීමක් වුණා. කෞශල්‍යා වික්‍රමසිංහ සමඟ පකිස්තානයට ගොස් එරට බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වාර්තා වැඩසටහනක් කරන්න ලැබුණා. එයත් අමුතුම අත්දැකීමක්."
පසුගිය වසරෙන් ඔහු ඉදිරි කාලය වෙත ගමන් කළේය.
"ඉදිරියේදී විදේශීය සිනමා නිර්මාණ කීපයකටත් සම අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වීමට මූලික සැලසුම් සූදානම් කරමින් ඉන්නවා. උපාලි ගම්ලත් මහත්මාගේ තිරරචනයකට 'දැවුණු කුසුම' නමින් තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කටයුතු සියල්ල දැන් සූදානම්. එහි රූගත කිරීම් ජූනි මාසයේ පමණ ආරම්භ කරන්න කටයුතු යොදා තිබෙනවා. එය සත්‍ය කතාවක් ඇසුරින් ලියැවුණු නිර්මාණයක්.
'පුංචි කෝකිලාවී' නමින් තවත් ළමා චිත්‍රපටයකුත් අධ්‍යක්ෂණය කරන්න සූදානම් කර තිබෙනවා. සඳුන් දොලමුල්ල එහි නිෂ්පාදක ලෙස කටයුතු කරන්නේ. මාර්තු මස අග එහි රූගත කිරීම් ආරම්භ කරන්න නියමිතයි."
එසේ කියමින් ඔහු මඳක් අතීතයට පිය මැන්නේය.
"මම මුලින්ම වීදි නාට්‍ය කළා. ප්‍රසන්න ජයකොඩිගේ සෙවණැලි සහ මිනිස්සු වැනි නාට්‍යවල පොඩි කාලේ ඉඳන් වැඩ කළා. සුගතපාල ද සිල්වා, ෂෙල්ටන් පයාගල වැනි ගුරුවරුන් ඇසුරු කරන්න ලැබුණා. මාව පොඩි කාලේ ඉඳන් නාට්‍යවලට යොමු කළේ, පියල් ප්‍රනාන්දු, මංගල ප්‍රනාන්දු, නාලන් මෙන්ඩිස්, සන්ධ්‍යා මෙන්ඩිස්, නලීන් ප්‍රදීප් උඩවෙල, දමිතා අබේරත්න, බන්දුල වීරක්කොඩි වැනි අය.
මට නිර්මාණකරුවකු ලෙස මේ සියලු දේ කරගන්න මගේ බිරිඳ සුචරිතා නදීෂානි මට දෙන සහයෝගය නොකියාම බෑ. මොකද කාර්යබහුල මගේ දින චර්යාවට ගැළපෙන අයුරින් අඩුම ගණනේ දුරකථන ඇමතුමකින් හෝ කරදර නොකර වෘත්තීය ජීවිතය ගෙවා ගන්න මට ඇය පූර්ණ සහයෝගය දෙනවා. මගේ දුව රුසඳී සෙනායාත් තාත්තාගේ වෘත්තීය ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නවා. අපේ අම්මා ඩී. පී. ලලිතා පද්මිණිත් අහිංසකව මගේ කටයුතුවලට ආශීර්වාද කරනවා. ඉතින් සැමියෙක්, පියෙක්, ශිෂ්‍යයෙක් වගේම නිර්මාණකරුවකු ලෙස මේ සියලු කටයුතු කළමනාකරණය කරගන්න හැකි වීම ගැන මම අහිංසකව සතුටු වෙනවා."
සේයාරූ - නිශ්ශංක විජේරත්න