වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී පයෝධර තුඩු ඉකිබිඳිද්දී...

මිනිසා... මරණ තුනක් ඇති
මිනිසා... බලා සිටි
නිරුවත් දෑසින් බලන්න කන්‍යා වී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී... සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ... රිද්මයෙන්
වයන්න වීණා... කන්‍යා ... වී
නියඟලා මල්... පාට දේදුනු
දෙබෑ කර එන... ගිරා කොවුලන්
සියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුුබුදන හංසයා..
බලන්න.. නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්...
රසාතලය කල එළි ගන්වා...
වයන්න වීණා... කන්‍යා වී..
මිනිසා... මරණ තුනක් ඇති
මිනිසා .... බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යා... වී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුªඩු ඉකි බිඳිද්දී... සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ... රිද්මයෙන්
වයන්න වීණා... කන්‍යා වී
ගී පද - ලූෂන් බුලත්සිංහල
ගී නද - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
ගී හඬ - අමරසිරි පීරිස්
චිත්‍රපටය - සිරිමැදුර
1989 වසරේ දෙසැම්බර් 29 දින තිරගත වූ පරාක්‍රම නිරිඇල්ල විසින් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය ‘සිරිමැදුර’ යි. එය සිංහල සිනමා වංශකතාවේ 679 වන චිත්‍රපටයයි. සයිමන් නවගත්තේගම විසින් තිර රචනය ලියා ඇති මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ, ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ය.
සම්මානීය සිනමාපටයක් ලෙස 1990 වසරේ පැවති 18 වැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ නිළියට හිමි සම්මානය, පරාක්‍රම නිරිඇල්ල, රවීන්ද්‍ර රන්දෙණිය සහ අනෝජා වීරසිංහට හිමිවිය. හොඳම චිත්‍රපටයට හිමි සම්මානය එහි නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ට පිරිනැමිණි.
එසේම හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස ආචාර්ය කේමදාසටත්, හොඳම ගීත රචක ලෙස මෙම ගීතය රචනා කළ ලූෂන් බුලත්සිංහලටත්, ගීතය ගායනා කළ අමරසිරි පීරිස් හොඳම ගායනයටත් සරසවිය සම්මානය හිමිවිය.
හොඳම කැමරාකරණට (වර්ණ) හිමි සම්මානය ඇන්ඩෲ ජයමාන්නට හිමිවිය.
එසේම OCIC සම්මාන උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය අනෝජා වීරසිංහටත්, හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටත් සම්මාන හිමිවිය. එසේම කුසලතා සම්මානයක් සිරිල් වික්‍රමගේට හිමි වුයේ මෙම චිත්‍රපටයේ ඔහුගේ රංගනය උදෙසාය.
1991 වසරේ පැවති ස්වර්ණ සංඛ සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම ගීත රචනය හා ගායනය උදෙසා මෙම ගීතයට දායක වූ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස, ලූෂන් බුලත්සිංහල හා අමරසිරි පිරීස් සම්මානයට පාත්‍ර විය.
විශිෂ්ට ගායකයකු ලෙස, අමරසිරි පීරිස් නම් ගායන ශිල්පියා මතුවීමට මෙම ගීතය ඉවහල් විය.
අනෝජා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනි ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ලකි ඩයස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක විය.
වනේ ගිජිදාස දුටුවොත් වනසාය
ළිදේ පනිදාස වැටුණොත් වූ කාය
අතකින් කරවැලයි අතකින් දඩුබෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
ජනකවියක් ඇසුරු කරගනිමින්, චිත්‍රපටයේ කතා තේමාවට උචිත ලෙස ගීතය රචනා කර තිබේ.
මෙම ගීතය රචනා කිරිමේදී ලූෂන් බුලත්සිංහලයන් මුලින්ම යොදාගත් ගීත රචනාව වුයේ,
දඬුවැල් බෑයයි - සේද සළුවයි
දරා දෝතින් - මේ බලන්න සරස්වති
මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී - සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා... කන්‍යා වී
නමුත් සංගීත අධ්‍යක්ෂවරයා වූ පේ‍්‍රමසිරි කේමදාසයන් විසින් මෙම ගීත රචනාව ඇසූ මොහොතක එය යම් වෙනසකට ලක්කර තිබේ. එනම් ගීතයේ ස්පන්දනය හොඳින්ම රසිකයාට දැනෙන වචන වලින් ගීතය ආරම්භ කරන ලෙස ඉල්ලා ඇති බව හැඟෙන්නේ, මෙම ගීතයේ ආරම්භය විඳින විටය.
මිනිසා... මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී...
නිරුවත් දෑසින් බලන්න කන්‍යා වී...’
මෙහි ගීත රචක ලූෂන් බුලත්සිංහලයන් පවසන පරිදි චිත්‍රපට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි චිත්‍රපට කතාවේ තේමාවට අදාළව ඔහු විසින් ගීතය රචනා කර තිබේ. සාහිත්‍ය ඇසුරු කළ, විශිෂ්ට පරිකල්පනයෙන් යුතු ඇසූ පිරූ තැන් ඇති කලාකරුවන් අතින් නිර්මාණය වන කලා නිර්මාණයක ඇති ගැඹුර හා විශිෂ්ටත්වය ගීත රචනාව තුළින් මනාව ඉස්මතු වේ.
මෙම ගීතය රසවිඳින විට චිත්‍රපටය නරඹා ඇති ප්‍රේක්ෂකයකුට එම ගීතයේ හරය හා එහි චිත්‍රපට කතාවට කෙතරම් බද්ධව ඇද්ද යන්න නැවත නැවතත් මනසින් වින්දනය කළ හැකි වේ. කෙසේ වුවත් අදවන විට මෙම ගීතය පොදු රසික සමාජය රසවිඳින්නේ චිත්‍රපයෙන් වියුක්තවය. එය මෙම නිර්මාණය තුළ පවත්නා සර්වකාලීන බව හා ගීත රචනාව, ගායනය මෙන්ම සංගීත සංයෝජනයේ ඇති විශිෂ්ටත්වය නිසාය.
ගීතය විවරණයට පෙර චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේය. කඩවසම් තරුණයකු වූ සම්පත් හදිසියේ ඇති වූ අනතුරක් හේතුවෙන් කොඳුනාරටිය කැඩී යයි. ඔහු සංගීතඥයෙක්. ඔහුව බලාගන්නා ලීලා නම් මෙහෙකාරියත්, නිතීඥයෙක් වූ සම්පත්ගේ සොහොයුරා හා ඔහුගේ අලුත ගෙනා මනමාලිය වූ නිර්මලා අතර කතාව ගලා යයි.
සම්පත් හා ලීලා අතර පවතින අනියම් ඇසුරත් ඒ අනියම් ඇසුරට අනියමේ එක්වන නිර්මලා හා සම්පත්ගේ ඇසුරත් මරණ තුනකට පාර කපයි.
මෙම ගීතයෙන් ගැයෙන සෑම වචනයක්ම, රූපයක්ම, සංකේතාර්ථයක්මක චිත්‍රපටයේ කතා තේමාවට ප්‍රස්තුයට උචිත ලෙස නිර්මාණය කර තිබේ.
‘මරණ තුනක් ඇති මිනිසා... බලා සිටී.’
තමන්ගේ ජීවිතයත්, මෙහෙකාරියගේ ජීවිතයත්, සොහොයුරාගේ බිරිඳගේ ජිවිතයත් අනතුරේ හෙළා, තමන්ගේ ආශාවන් මුදුන් පමුණුවා ගන්නත්, කාමය හමුවේ අසරණ වූ තරුණයෙකුගේ ඛේදවාචකයක් පිළිබඳව ඉඟිකරයි. එසේම තමන්ගේ ජීවිතය මෙන්ම අනාගතයද අනතුරට ලක්කර ගනිමින් තරුණ මෙහෙකාරිය ඔහුව කායිකව සනසයි.
මෙය සම්භෝගය පිළිබඳව කියැවෙන ගීතයකි. නමුත් මෙහි තේමාව තුළ සම්භෝගය ස්වභාවිකව, යුවළක් වින්දනය කරන ආකාරයෙන් වියුක්තව පුරුෂයාගේ තෘප්තිය උදෙසා ගැහැනියක් ඔහුව සතුටු කරවන බව ඉතාම ව්‍යංග්‍යයෙන්, සංගමයෙන්, රූපක භාවිතයෙන් දෙනු ලබන අර්ථයෙන්. ගීතය නිර්මාණය වී තිබේ.
තහනම් පෙම සුන්දරයි. රසවත්, පේ‍්‍රමණීයයි. නමුත් හැමවිටම ඒ සමඟම බිය සංත්‍රාසය, ගලායයි. මේ පේ‍්‍රමයටත් ඒ දේ පොදුයි. ඇය ඒ සියල්ල දරාගෙන ඔහුගේ සතුට වෙනුවෙන් කැපවෙයි.
අසංවාදී සුසුම්වේගේ...රිද්මයෙන්
වයන්න වීණා... කන්‍යා වී
සංවාදයක් නැති එක්වීමක් තුළ ඔහුගේ සතුට වෙනුවෙන් ඇය කටුයතු කරයි.
ගීතයේ සෑම පද පේළියක් තුළම මෙම ඒකපාර්ශ්වික සම්භෝග ක්‍රියාවලිය පිළිබඳව ව්‍යංග්‍යයෙන් පවසා ඇති අයුරු අපූරුය. එය සාහිත්‍යකරුවා සතු විශිෂ්ටත්වය මොනාවට කියාපායි.
අචලා මුතුතන්ත්‍රි