සමහර සිනමා විචාරකයෝ කීවා මේ චිත්‍රපටයේ දෙබස් විතරයි කියල

ප්‍රකට හඬකැවීම් ශිල්පීන් වන ගාමින්ද ප්‍රියවිරාජ්/සුනෙත් චිත්‍රානන්ද
පෙබරවාරි 9, 2023

 

මල්ලිල නම් අප සමාජයේ කොතෙක් හිටියත් මේ කියන්න යන මල්ලිල නම් නොදන්න කෙනෙක් නැති තරම්. ගාමින්ද ප්‍රියවිරාජ්, (පොඩි මල්ලී) සුනෙත් චිත්‍රානන්ද (චුටි මල්ලී) මේ දෙපළ ආරම්භ කළ අපි නොදන්න ලයිව් හරහා ලංකාවේ හාස්‍ය වැඩසටහන් කලාවේ වෙනසක් ඇති කළ පුද්ගලයන් දෙපළක් කිව්වොත් නිවැරදියි. මේ දවස්වල චුටි මල්ලියි, පොඩි මල්ලියි හරි හරියට ජනප්‍රියයි. මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් නිර්මාණය වූ මුල්ම ශ්‍රී ලාංකීක චිත්‍රපටය වන ගජමෑන් හි අපුරු චරිත දෙකකට හඬ මුසු කරනුයේ මේ දෙපළයි. ගජමෑන් සඳහා ගාමින්ද ප්‍රියවිරාජ් ද ඇම්ඩා සඳහා සුනෙත් චිත්‍රානන්ද ද හරි අපුරුවට හඬ මුසු කරමින් දෙබස් සංයෝජනයේ නියැ‍ෙළන්නේ වයස් භේදයකින් තොරව කා අතරත් කතා බහට ලක්වෙමිනි.

ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින්ට අපුරු අත්දැකීමක් එක්කළ චිත්‍රපටයක් ලෙස මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වන ගජමෑන් චිත්‍රපටය හැඳින්විය හැකිය. චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් එළි දකින ගජමෑන් චිත්‍රපටය බිහිවනුයේ මෙරට හැත්තෑව දශකයේ පුවත්පත් කලාවේ අතිශයෙන් ජනප්‍රිය වූ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා ගේ තෙලි තුඬින් නිර්මාණය වූ ගජමෑන් ඇතුළු අතිශ‍ෙයන් ආකර්ෂණය දිනූ හාස්‍ය ජනක කාටුන් චරිත සමුහයක් සමඟිනි.

ත්‍රිමාණ සජිවිකරණ ගජමෑන් චිත්‍රපටයේ ‘ගජමෑන්’ සමඟත් ‘ඇම්ඩා’ සමඟත් අපි මෙසේ කතාබහට මුල පුරමු.

 

මේ දවස්වල ගජමෑන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම හොඳින් තිරගත වෙනවා. බාල මහලු තරුණ සියලු දෙනාම ඇවිත් චිත්‍රපටය නරඹනවා. අපි දෙන්නත් සිනමා ශාලා කිහිපයකටම ගිහින් පිටිපස්සේ ඉඳලා බැලුවා. කොහොමද අපේ වැඩේට ප්‍රතිචාර කියලා. හැමෝම හිනාවෙලා සතුටු වෙනවා. අත්පුඩි ගහල බලනවා. චිත්‍රපටය විදිනවා. අපි දැක්ක විශේෂත්වය තමයි ගජමෑන්ව දන්නැති අය ඒ කියන්නේ ගජමෑන් චිත්‍රකතාව කියවල නැති අය වයස් භේදයෙන් තොරව ඇවිත් මේක නරඹනවා. ඒකත් අපිට සුවිශේෂී දෙයක්. මේ වන විට ගජමෑන් ආදායම් වාර්තා පවා බිද හෙළල තියනවා. ලංකාවේ සිංහල චිත්‍රපටයක් බලන්න රාත්‍රී 10.15, 9.30 ෂෝ එකක් මේ මෑත ඉතිහාසයේ තිබුණේ නෑ. නමුත් සිනමා ශාලා හිමියන් අත්හදා බැලීමක් වශයෙන් මේ චිත්‍රපටය අත්හදා බැලුවා. 90%ක් පමණ ප්‍රවේශ පත්‍ර මේ ෂෝටයිම්වලට අලෙවි වෙලා තියෙනවා. මේ වගේ කාලෙක ඒක හොඳ ප්‍රවණතාවක්. සිංහල සිනමාව සම්බන්ධයෙන් ගැටලු තියන කාලයේ.

ප්‍රේක්ෂකාගාරය පිටුපස සිට ඔබ දෙපළ පේ‍්‍රක්ෂකයන්ගේ ප්‍රතිචාර පමණද නිරික්ෂණය කළේ ඔවුන් සමඟ කතා බස් කළේ නැද්ද?

නෑ. අපි චිත්‍රපටය ඉවර වෙලා ඔවුන්ව හමුවුණා. ඒ අය අපි ඇවිත් සිටීම ගැනත් බොහෝ සතුටු වුණා. ගොඩක් අය දැනන් හිටියා චුටි මල්ලි පොඩි මල්ලි තමයි මේ දෙබස් පිටපත ලියලා තියෙන්නේ කියල ප්‍රධාන චරිත හඬ කවන්නේ අපි කියලත් ඔවුන් දැන සිටියා. මේ චිත්‍රපටය පැය 1 1 /2ක වගේ කාලයක චිත්‍රපටයක්. බොහෝ දෙනෙක් අපිට කිව්වේ තව වැඩි කාලයක් මේ චිත්‍රපටය බලන්න තිබුණා නම් හොඳයි කියලා තමයි. මෙච්චර කොටට හැදුවේ තවත් ගජමෑන් චිත්‍රපටයක් හදන්න ද කියලත් සමහරු ඇහුවා. තවත් ගජමෑන් චිත්‍රපටයක් ආවත් බලන්න පේ‍්‍රක්ෂකයෝ ඉන්නවා කියන දේ අපිට දැනුණා.

ඒ කියන්නේ ඔබලාගේ ඉදිරි බලාපොරොත්තුවක් තියනවද? ගජමෑන් 2 නමින් පියවරක් ඉදිරියට තියන්න?

අපිට නම් කරන්න පුළුවන් ඒත් ඒක කළයුත්තේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමා අධ්‍යක්ෂතුමා එහෙම දේකට ගියත් අවුලක් නෑ. මොකද දැන් මේ තාක්ෂණය තවත් දියුණුයි. අපිට තවත් වැඩකටයුතු ඒ තාක්ෂණයත් එක්ක පහසු වෙලා අපිට කිව්වොත් තවත් එකකට පිටපත ලියන්න කියල අපි දෙන්නා ලෑස්තියි ඒ අභියෝගය භාරගන්න. අපි අමුතුවෙන් ආයාසයක් අරන් චිත්‍රපටය ගැන කියන්න අවශ්‍ය නෑ. මේ වගේ කාලයක චිත්‍රපටය බලන්න උත්සාහ කරන පේ‍්‍රක්ෂකයන්ගෙන්ම ඒක සනාථ වෙනවා. ප්‍රවේශ පත්‍ර අලෙවියෙන්ම අද මේ ගැන නගරයේ කතා වෙන්න මාතෘකාවක් වෙලා. විශේෂයෙන් සිංහල චිත්‍රපටයක් පිළිබඳ. ඒක හොඳ ප්‍රවණතාවක්.

ගජමෑන් කිව්ව ගමන් අපේ මනසේ ඇදෙන්නේ කාටුන් වැඩසටහනක චිත්‍රයක් නොවේද?

කාටුන් චිත්‍රපට වෙනුවට අපි රූපවාහිනියෙන් දකින්නේ කාටුන් නාට්‍යය. නමුත් කාටුන් 3ච් ඇනිමේෂන් චිත්‍රපට කියන්නේ ඊට වෙනස් දෙයක්. අපි මීට පෙර ඔය තාක්ෂණයෙන් නිර්මාණය වූ කාටුන් දැකල තිබුණා. නමුත් ඒවා පිටරට නිෂ්පාදනය වූ ඒවා. ඒ අයගේ සංස්කෘතික වටපිටාව තුළ හැදිච්ච ඒවා. නමුත් ඒවාට අපි කොච්චර හඬ කැවුවත් ඒවායේ ලක්ෂණ අපිට මහ හැරල යන්න බෑ. සමහර ඒවා තිබුණා අපිට ගලපලගන්න පුළුවන් දේවල්. අපි කළ සුරපප්පා ඒ වගේ ලක්ෂණ මත නිර්මාණය වූවක්. අපේ හඬ ඒ සඳහා යෙදෙව්වත්. නමුත් ගජමෑන්වල තියෙන්නේ අපිම හදපු කතාවක්. අපිම සිද්ධි එකතු කරල දෙබස් ලියල අපිම හඬ කවල කරපු දෙයක්. වෙනත් රටකින් ආපු දෙයක් නොවෙයි. ඒක නිසා මේ නිර්මාණයේ බරපතළකම අපිට දැනුණා වගේම ඒ උත්සාහය සාර්ථකවීම තව පැත්තකින් සතුටක්.

ඔබ දෙපළ කැමිලස් පෙරේරාගෙන් ලබා ගන්නේ ඔහු ළඟ තිබූ චරිත පමණ ද?

අපිට චරිත දුන්නා. ඔහු ළඟ චරිත ගණනාවක් තිබුණා. මගෝඩිතුමා, ස්වීටි, දැක්කොත් පද්මාවතී, ලපයා, ටික්කා, සිරිබිරිස්, සෙල්ලංසේන මේ වගේ චරිත ගණනාවක් ඉන්නවා. නමුත් කැමිලස් මහත්තයා තමයි මේ චරිත ගොඩනගපු නිර්මාතෘවරයා. අපි මේ චරිත සියල්ලම ගජමෑන් චිත්‍රපටයට අරගත්තේ නෑ. කැමිලස් මහත්තයාගේ ගජමෑන්, මගෝඩිතුමා කියන චරිතයට විරුද්ධ කෙනෙක්. අපේ නිර්මාණයේදී ගජමෑන් මහෝඩිස්තුමාට උදව් කරන කෙනෙක්. ඒ සැකැස්ම හැදුවේ කැමිලස් මහත්තයා. එතුමා අපිට කිව්වා මේ චරිත අරගෙන ඕනෙ විධියට පිටපත ලියන්න. කැමැති දෙයක් කරන්න කියලා. දැඩි විශ්වාසයකින් අපිට ඒ චරිත භාර දුන්නා. මේ චිත්‍රපටයේ 3ච් ඇනිමේෂන් කරපු අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම ගැන විශේෂ යමක් කිව යුතුයි. මෙහි අධ්‍යක්ෂ චානක පෙරේරා තමයි. ගජමෑන් ඉල්ලගෙන කැමිලස් මහතා ළඟට ගිය හත්වැනියා. මීට පෙර පුද්ගලයන් හයදෙනෙක් කැමිලස් මහතා ළඟට ගියත් ඒ චරිත ඔහුගෙන් ලබාගන්න කාටවත් බැරි වෙලා තියෙනවා. චානක පෙරේරා ඕස්ට්‍රේලියාවේ තමයි මේ සිනමාකරණය ගැන හැදෑරීමක් කරල තියෙන්නේ 3ච් ඇනිමේෂන් පිළිබඳ කරල තියෙන්නේ. ඔහු තමන්ගේ උපාධියට කරපු ඇනිමේෂන් පිළිබඳ කැමිලස් මහතාට පෙන්නපුවහම තමයි එතුමා චානක ගැන සතුටු වෙලා මේ චරිත ටික ඔහුට දීල තියෙන්නේ. චිත්‍රපටයක් සඳහා ගජමෑන් ඉල්ලගෙන කැමිලස් ළඟට ගිය හත්වැනියා වූ චානකට මේක දීලා තියෙන්නෙත් චානක මෙයින් යමක් කරයි කියන විශ්වාසයෙන්.

ඇයි ඔබ පිටපත සඳහා ගජමෑන් වටා සිටි කැමිලස්ගේ අනිකුත් චරිත නොගත්තේ?

මේ අපේ කතා සැකිල්ලට ප්‍රධාන වුණේ ගජමෑන්, පත්මාවතී, ස්වීට්, මගෝඩිස්තුමා,ලපයා, ටික්කා, සෙල්ලං සේන, ඇම්ඩා චරිත ගත්තා. ඊට අමතරව ගමේ කම්මල්කාරයා, ගොවියා, වගේ කැමිලස්ගේ නොවන චරිතත් කීපයක් අපි මේ සඳහා එකතු කළා. කතා සැකිල්ල මත සිට අපි තිර රචනය ලිව්වා. අපි දෙන්නා ඒ සඳහා පිවිසෙන්න කලින් තීරණය කළා. මේ කතාව ඉතා සරල විය යුතුයි කියලා. සරල කතාවකට ආකර්ෂණීය සිදුවීම් හා දෙබස් එකතු කිරීම පමණයි කළ යුත්තේ කියල බොහෝ 3ච් ඇනිමේෂන් චිත්‍රපට බලපුවහම පේන දෙයක් තමයි ඒ තුළ තියෙන්නේ ඇක්ෂන් ත්‍රාස්ජනක ක්‍රියාකාරකම් වගේ දේවල් ඇවට වගේ දෙයක් ගත්තම ඒක අපට පේන දෙයක් රියෝ, ශේක් වගේ කතාවක් ගත්තොත් ඒවායේ තියෙන්නේ දෙබස් අපි කොච්චර මොෂන් කැප්චර් තාක්ෂණය හරහා චරිතවලට පණ දුන්නට ඒවායේ ඉන්නේ ඇත්ත මිනිස්සු නෙවෙයිනේ. ඒ නිසා පේ‍්‍රක්ෂකාගාරය ග්‍රහණය කරගන්න නම් හොඳ දෙබස් තියෙන්න ඕනේ. වේගයෙන් කතාව ගලා යන්න ඕනේ. ඒක අපි හිතලම මේ ගජමෑන් වල කළා. සමහර සිනමා විචාරකයෝ කිව්වා මේ චිත්‍රපටයේ දෙබස් විතරයි කියල. අපිට ඕනෙ වුණේ අන්න ඒක නැත්තම් ඇනිමේෂන් එක්ක පේ‍්‍රක්ෂකාගාරය අපෙන් ගිලිහෙනවා. අපි මේ පැය 1 1/2 තුළ පේ‍්‍රක්ෂකයා තියාගන්න දෙබස් වගේම සිද්ධි ගොඩක් එකතු කරල තියනවා. කතාව ගත්තොත් සරල දෙයක් ඒක අපි සාර්ථකව කරල තියනවා. ලැබෙන ප්‍රතිචාර මත.

සාම්ප්‍රදායික සිනමා රීතින් වලින් ඔබ්බට ගොස් ඔබ දෙපළ මේ නිර්මාණය කර තිබෙන බවක් දකින්නත් තියෙනවා. නොවේද?

සිනමාව ගැන හදාරද්දී පොඩි ව්‍යාකරණ ටිකක් තියනවා. ඒ ව්‍යාකරණ ටිකක් පරණයි. අපි අප්ඩේට් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. සංගීතය සිනමාව නොයික්මවා යා යුතුයි. සංගීතය සිනමාවට බද්ධ වී තිබිය යුතුයි කියල තිබුණා. ඒ කාලෙට ඒක හරි එඩිටින් ගැන කතා කළොත්. එහෙම දෙයක් නොකළාසේ සැලකිය යුතුයි. සංස්කරණය නොකළා වගේ පේන්න ඕනේ. මෙන්න මේ වගේ තියරි ටිකක් තියෙනවා. නමුත් අද ඩොල්බි ඩිජිටල් සරවුන්ඩ් සවුන්ඩ් යුගයක ඒ තියරිය තුළ ඉන්න අපහසුයි. සිනමාවට සපෝට් කර කර ඒක අපි පිළිගන්න ඕනේ. කැමති වුණත් අකැමැති වුණත් ගෙදර ටී.වී. එකේ තියරිය මත ඉඳගෙන යමක් රසවිඳින්න පුළුවන්. සිනමාව අද තාක්ෂණික මෙවලමක් බව පත්වෙලා ඉවරයි. අපි සිනමාශාලාවකට යන්නේ ඒ ශාලාවත් එක්ක බද්ධ වෙලා ඒ අත්දැකීම හොඳට පුර්ණ වශයෙන් ග්‍රහණය කරගන්න. ඒක නිසා අපි මෙහිදී තාක්ෂණික පැත්ත ගොඩක් විශ්වාස කළා.

චුටි මල්ලියි පොඩි මල්ලියි මෙතැනදි උත්සාහ කරල තියෙන්නේ. අපේ රටේ දේශපාලන ප්‍රහසනයක් තිරයට ගේන්න නේද ගජමෑන් හරහා?

අපි ඒක බලහත්කාරයෙන් කළා නොවෙයි. හැමදේටම දේශපාලනයක් තියනවා. විශේෂයෙන් අපේ මේ මගෝඩිස් කියන චරිතය කැමිලස් මහත්තයා ගොඩ නඟල තිබුණේම දේශපාලනඥයෙක් විධියට. ඒකට හානියක් කරන්නත් බෑනේ. අපි පිටපත ලිව්වට අපි තිර රචනය ලියනකොට නිරායාසයෙන්ම ඒ දේශපාලනය මෙතනට ආවා. කැමිලස්ගේ ගජමෑන් තුළ ඒ දේශපාලන ප්‍රහසනය තියනවා. ඒක අපිට ගලවන්න බෑ. අපි ඒකට යමක් එකතු කළා හැරෙන්න. එදා මගෝඩිස්තුමා කළේ කාන්තාවක් අරගෙන තානායමට යන එකනේ. අපිට සිද්ධ වුණා මගෝඩිස් තුමාව අපේ පිටපතේ හැටියට අද ඉන්න තැන තියන්න.

සිනමාවේ නැවුම් ක්‍රියාදාමයකට ඔබලා මුහුවෙන්නටම පෙලඹෙන්නේ ඇයි?

මේකේ ගෞරවය හිමිවිය යුත්තේ චානක පෙරේරා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට. ඔවුන් කැමිලස් මහතාගෙන් චරිත ටික ගත්තාම. මේකට පිටපත ලියන්න තෝරගත්තේ සාමුහික එකඟතාවයකින් අපි දෙන්නව. මේක අපි කරන්න පටන් ගත්තේ අපිට භාර වුණේ 2010 වසරේ.

2010 වසරේ පටන් ගන්නා නිර්මාණයක් 2023 වසරේ එළියට එන්නේ ඇයි මේ තරම් කාලයක් මේ සඳහා වැය වුණේ?

මුලින්ම අපි තිරරචනයක් ලිව්වා. දෙබස් ඇතුළුව ඒ සඳහා මෙයට රඟපාන අය මෝෂන් කැප්චර් තාක්ෂණය මත ඒ දෙබස් කියමින් රඟපෑවා. ඊට පස්සේ තමයි මේ සඳහා හඬකැවීමේ වටපිටාව සකස් කළේ. මේ සඳහා ලොකු කාලයක් යනවා. තාක්ෂණය පැත්තෙන් වුණත් විශාල උපකරණ ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ සඳහා කාලය යනකොට යම් යම් තැන් වෙනස් වුණා. සමහර තැන් ආපහු අරගෙන නැවත හඬකවල ඒ තැන්වලට අනුගත කළා. පරණ කොටස් කීපයක් අපි ඉවත් කළා. චිත්‍රපටය අද ඊයේ කළා වගේ නව මුහුණු වරකින් ප්‍රේක්ෂකයාට ඉදිරි පත්කරන්න.

චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි දෙබස් රචනයේ තියන සුවිශේෂී බවේ රහස මොකක්ද?

අපි දෙන්නාම සමාජයට වගකියන පුරවැසියෝ හැටියට තමයි කටයුතු කරන්නේ. සමහරුන්ට හිතෙන්න පුළුවන්. මේක ළමයින්ට සුදුසු නෑ. කාටුන් එකක් කියල එහෙම දෙයක් මෙතන නෑ. සාමුහිකව කාටත් ලොකු කුඩා භේදයෙන් තොරව රසවිඳිය හැකි කෘතියක් මේ චිත්‍රපටය. අපේ මීට කලින් නිර්මාණවලවත් අසභ්‍ය දෙයක් තිබුණේ නෑ. ඉදිරියටත් ඒවැනි දෙයක් කරන්න බලාපොරොත්තුවකුත් නෑ. අපි දෙන්නගේ හැම නිර්මාණයක්ම අපි කරන්නේ අපේ පවුලට කියල හිතාගෙන තමයි කරන්නේ. අපේ පවුල්වලට නරකක් අපි කරන්න කැමති නෑනේ. ඉතිං ඒ දෘෂ්ටිකෝණයෙන්ම තමයි අපි සමාජය දෙස බලන්නේ. අපි දෙන්නා මාධ්‍ය තුළ ගනුදෙනු කරන කොට අපි තුළම හික්මීමක් ඇතිවුණා. අපි කවදාවත් කෙටි මාර්ග වලින් ජනපි‍්‍රය වෙන්න උත්සාහ ගත්තේ නෑ.

ඔබ දෙපළගේ ඉදිරිපත් කිරීම් සමඟ හාස්‍ය කලාවේ වෙනෙසක් අත්දුටුවා නේද?

අපි කළ ‘අපි නොදන්න ලයිව්’ හරහා ලංකාවේ හාස්‍ය වැඩසටහන් කලාවේ වෙනසක් ඇතිවුණා. අපි දෙන්නා තමයි එතැන ටෙ‍්‍රන්ඩ් එක හැදුවේ. අපි දෙයක් කරල සමහර විට ටික කාලයක් නිහඬ වෙන අවස්ථාත් තිබුණා. දැන් අපිට හිතෙනවා එහෙම නොවුණා නම් හොඳයි කියල. දැනටමත් අපි චිත්‍ර පටයක් කරමින් ඉන්නවා. මේ කටයුත්ත අපි මීට කලින් කළා නම් හොඳයි කියලත් දැන් හිතෙනවා. අපි දෙන්නම ලියල අපි දෙන්නම ප්‍රධාන චරිත රඟපාන අපේම නිෂ්පාදනයක් අධ්‍යක්ෂණයක් ලෙස තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. හැබැයි වෙලාවකට හිතෙනවා. මේ වෙනකොට අඩුම තරමින් දෙවන චිත්‍රපටයවත් කළා නම් හොඳයි කියලා.

හැමදාම දකින කුකුළගේ කරමල සුදුයි කියනවා නේද?

චූටි මල්ලියි පොඩි මල්ලියි හැමදාම දකින්න නොලැබුණා වෙන්න පුළුවන්. අපි කළ අපි නොදන්න ලයිව් ඉල්ලුම තියෙද්දී තමයි අපි හිතලා නතර කළේ. මේ වැඩසටහන අපේ මාස්ටර් පීස් එකක් වුණ නිසාම අපි හිතුවා ඊට වැඩිදෙයක් අපි කළ යුතුයි කියලා. සමාජ මාධ්‍යයන්ගේ අපි ඉඳල හිටල ක්ලීප් එකක් හදල දානවා. චුටි මල්ලි පොඩි මල්ලි ඛ්ර් ර්‍ථර් කියලා අපි යු ටියුබ් චැනල් එකක් කරනවා මීට අවුරුදු හයකට විතර උඩදී තමයි මේක අපි පටන් ගත්තේ. ඒ සඳහාත් ලක්ෂ 1 1/2 ක විතර පිරිසක් අපිට එකතු වෙලා ඉන්නවා. නිතර නිතර අපි යුටියුබ් චැනලයට අපේ නිර්මාණ දැම්මේ නෑ. ටෙලි නාට්‍ය රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?

රඟපාන්න නම් අපේ අදහසක් තිබුණේම නෑ. මුලදී නම් අපිට රඟපාන්නත් ආරාධනා නම් ආවා. පුද්ගලික අදහසක් විධියට අපි ඒවාට ගියේ නෑ. චිත්‍රපටවලටත් ආරාධනා ආවා. ගියේ නෑ. සුනෙත් නම් ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ රඟපෑවා. ඉදිරියේදී අපි දෙන්නා ගේ චිත්‍රපටයෙන් පස්සේ කවුරු හරි හොඳ දෙයක් වෙනුවෙන් කතා කළොත් හරි යන්නේ. අපේ එක කරල ඊට පස්සේ තමයි හොඳ දෙයක් වෙනුවෙන් දායක වෙන්න කැමති. ඒත් ඒ රඟපෑම අපේ විනෝදාංශයක් හැටියට පමණයි.

ඇයි අද විමෝදාංශයකට හරි රඟපෑමට යන්න අදහස් කරල තියෙන්නේ?

අපේ කැපෑසිටි එක අනුව. විහිළු වර්ග කළාම ක්ලවුන් ජෝක් කමඩි කියල වර්ග තුනක් තියනවා. ක්ලවුන් කියන්නේ වැටිල දඟලල කරනදේට ජෝක් කියන්නේ ඩබල් මීනින් දාල කරන දේ. කමඩි කියන්නේ පොඩි යටි අරුතක් එක්ක මිනිස්සුන්ට හිතල හිනාවෙන්න තියන එකක්. අපි විශ්වාස කරනවා. කමඩි කියන දේ තමයි අපිට හරියන්නේ කියල අපි දෙයක් කළත් මේ කොමඩි තුළ තමයි යන්න අදහස් කරන්නේ. වැටිල දඟලල දෙපැත්ත කැපෙන ඩබල් මීනීන් කියල කරන දේවල් මේ කොමඩි එක්ක පටලවගෙන තමයි අපේ අය ඉන්නේ. ක්ලවුන් සහ ජෝක් කියන දෙකට අපි දෙන්නා යන්න කොහෙත්ම කැමැත්තක් නෑ. කොමඩි නම් අපි දෙන්නට අවුලක් නෑ.

ජනපි‍්‍රයත්වය පසුපසම හඹා යන්න ඔබලා උත්සාහ නොකළේ ඇයි?

අපි දෙන්නට ජනපි‍්‍රයවෙන්න වුවමනාවක් තිබුණේම නෑ. අපිට ඕනෙ කළේ කරන වැඩෙන් ජනපි‍්‍රය වෙන්න. ජනපි‍්‍රය වෙන එක හොඳයි.

අතිශයින් ජනාදරය දිනූ හාස්‍ය ප්‍රසංගයක් ඉදිරිපත් කළ ඔබ දෙපළ ඇයි එවැන්නකින් යළිත් නොඑන්නේ?

අපේ මිත්‍රයකුගේ ඉල්ලීමකට තමයි පැය දෙකක විතර ෂෝ එකක් හදාගෙන අපි ඕස්ට්‍රේලියාවේ ගියේ ඒක ඉතාම ජනප්‍රිය වුණා. ඒ රටේ ඊට පස්සේ අපි මේ ෂෝ එක අරන් ඉඟිළෙන්නෙ අමෙරිකා, නවසීලන්තය, සිංගප්පුරුව, කටාර්, තායිලන්තය, කුවේට් ආදී රටවල් ගණනාවක. අපිට හිතුණා. මේ රටේම ෂෝ එකක් කරන්න. 2015 දී තමයි අපි මුලින්ම මේ ෂෝ එක කළේ. ඊට පස්සේ 2019 දීත් ඒ වගේම ෂෝ එකක් කළා. අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් නමින් තමයි ප්‍රධාන ෂෝ දෙකට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී කළේ. අපි නැවතත් බලාපොරොත්තු වෙනවා මේ වසරේ මැයි මාසයේ අපි දෙන්නාගේ අලුත්ම ප්‍රසංගයක් අරන් ඕස්ට්‍රේලියාවේ යන්න. ආපහු ඇවිත් ලංකාවෙත් කරන්න බලාපොරොත්තුවක් තියනවා. දැනටමත් මේ ෂෝ එක සඳහා කටාර්වලින් නවසීලන්තයෙන් ආරාධනා ලැබිල තියෙනවා.

ජනපි‍්‍රයත්වයත් සමඟ එකිනෙකා පරයා යන සමාජ වටපිටාවක් තුළ අදත් ඔබ දෙපළ නොවෙනස් ගමනක් යන රහස මොකක්ද?

අපි දෙන්නාගේ චූටි මල්ලි පොඩි මල්ලී බ්‍රෑන්ඩ් එකක්නේ. චූටි මල්ලිත් ඒකේ ඉන්න ඕනෙ. පොඩි මල්ලිත් ඒකේ ඉන්න ඕනේ. ඒක හරියට සඳ නිසා රෑ බැබළෙනවා. රෑ නිසා සඳ බැබළෙනවා වගේ ඒ වගේම මුද්ද නිසා ගල බැබළෙනවා. ගල නිසා මුද්ද බැබළෙනවා වගේ තවත් කිව්වොත් අභිගුණ්ටිකයයි නයයි. ඒ වගේ අභිගුණ්ටිකයා ඉන්න එපැයි නයාට නටන්න. නයාට තනියෙන් නටන්න බෑනේ. එහෙම කරන්න ගියොත් මිනිස්සු පොල්ලෙන් ගහනවනේ. අභිගුණ්ටිකයාට තනියෙන් නටන්නත් බෑ. ඒ වගේ සම්බන්ධතාවක් තියන බ්‍රෑන්ඩ් එකක්. අපි අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිව ඉස්මතු වෙලා ආවට. අපි ඊට පසු ගොඩනඟාගත්තේ හෙමින්. සන්නාමයක් විධියට අපි ඒක පාවිච්චි කරන කොට අපේ යම් යම් තීරණවලදී අපි දෙන්නාම තීරණය කරල තියෙනවා අපි දෙන්නාටම සම අවස්ථා හිමිවිය යුතු කියලා. අපි අපේම වෙළෙඳ ප්‍රචාරක ආයතනයේ සම අධ්‍යක්ෂවරු. ලැබෙන ලාභයේ කොටස් අපි අතර සමව බේදී යනවා. අපි මොනයම් දේකට පෙනී හිටියත් ඉන්නේ එකට ගහට පොත්තයි පොත්තට ගහයි වගේ. අපි දෙන්නා සල්ලි බෙදාගන්නවා. ජනපි‍්‍රයත්වය බෙදාගන්නවා ඉතිං කොහෙද අපි දෙන්නට ප්‍රශ්න.

චූටි මල්ලියි පොඩි මල්ලියි දීග කන්න පටන් අරන් දැන් කොච්චර කල් ද?

අවුරුදු විසි හයක් මේ 2023 වසරේ ජනවාරි 15 වැනිදාට අවුරුදු 26ක් අපි දෙන්නා ගේ මුල්ම හමුවීම සිද්ධ වෙන්නේ මහරගම තරුණ සේවා සභාවේ ඉගෙන ගන්න ගිහින්. ජනවාරි 15 වැනි දිනක.

දේශීය සිනමාවේ සන්ධිස්ථානයක් තුළ තමයි ගජමෑන් 3ච් සිනමා අත්දැකීම ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නේ?

ලංකාවේ කථානාද සිනමාවට අවුරුදු 76 ක් පිරුණා. ඒ වසර 76 පුරාවට ආපු එකම සහ ප්‍රථම 3ච් ඇනිමේෂන් චිත්‍රපටය තමයි ගජමෑන් ඒක අපේ සිනමාවේ සන්ධිස්ථානයක්. මේක ඓතිහාසික කාරණයක්. සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඒ ඓතිහාසික කාරණාවේදී එහි සාක්ෂිකරුවන් වෙන්න කියල. අපේ දැන් ඉන්න පරම්පරාටව බැරිවුණා, අපේ මුල්ම කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව බලන්න. රේඛාව, රන්මුතුදුව බලන්න බැරිවුණා. ඒවා අපේ සිනමාවේ කඩයිම් නමුත්, අද ගජමෑන් බලන්න පුුළුවන්. ඒ නිසා සිනමා ඉතිහාසයේ සාක්ෂිකාරයෙක් වෙන්න කියල අපි ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]