වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
හුදු හාස්‍යයට පමණක් ලඝු වූ ‘ගින්දරී 3’

තුන් ඈදුතු සිනමාපට ලෝක සිනමාව පිරික්සන කළ හමුවන එක් සුවිශේෂ ප්‍රවේශයකි. ලාංකේය සිනමාව වෙතින්ද මෙයට අදාළ නිදර්ශන ඉදිරිපත් කළ හැකිය. හොඳම නිදර්ශනය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’,’කලියුගය’ හා ‘යුගාන්තය’ යි.
මෙහිලා දත හැක්කේ ක්‍රමිකව විකාශය වන පුවතකි. සිදුවීම් මාලාවකි. චරිත උපදිති. චරිත මිය යති. චරිත අතර සම්බන්ධතා නා නා ප්‍රකාරව ය. ඇතැම් අතුරුදන් වෙති. නව චරිත පැමිණෙති. කාල වකවානුව දීර්ඝය. විටෙක පරම්පරා කිහිපයකි. වසර සිය ගණනක් තිස්සේ වුව චරිත හා සිදුවීම විකාශය කෙරේ. සිනමාකරුවා මේ සියලු පරිවර්තන හසු කර ගන්නේ මහත් වූ ඉවසීමකිනි. විශ්වසනීයත්වය සුරක්ෂිත කර ගැනීමට හැකි සෑම වෑයමක්ම දැරිය යුතු ය.
මෙබඳු සිනමාපට බොහෝ විට සම්මත කලාත්මක ගුණාංග සහිත ව විදග්ධ ප්‍රේක්ෂකයන්ම අමතන වග පෙනේ. දේශීය හා අන්තර්ජාතික සම්මාන ද හිමි කර ගන්නා සුලුය. එනමුදු ආදායම් ඉපැයීමේදී සාර්ථක නොවන අවස්ථාද ගම්‍ය කරයි. සිනමාපටයක් යනු වෙළෙඳ භාණ්ඩයක්ද වන හෙයින් මෙසේ ආදායම් ඉපැයීමේ පසුබෑම් කෙරෙහි සැලකිලිමත් නොවීම දෙස විචක්ෂණශීලීව බැලීම අත්‍යන්තයෙන්ම වැදගත් ය.
වසර විසි පහක් තිස්සේ අඛණ්ඩව සිනමා අධ්‍යක්ෂණයෙහි නිරත ව සිටිමින් වරෙක විවාදාත්මක වූ ද, වරෙක රසාලිප්ත වූ ද සිනමාපට ගණනාවක්ම නිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරියද ‘ගින්දරී 3’ සමඟ තුන් ඈඳුතු සිනමාකරුවකු බවට පත් වෙයි. කෙසේ නමුත් ‘ගින්දරී 3’ කිසිදු මතභේදයකින් තොරව පවසන්නේ සිව් ඈඳුතු සිනමාපටයක් ය යන හඳුන්වාදීම කරා නො යාම ප්‍රඥාගෝචර වන බව ය. උදයකාන්ත මෙකරුණ අරභයා සවිඥානක වන්නේ නම් මේ දිනවල සිනමා ශාලා කරා පැමිණ සිටිනේ ගින්දරීගේ අවසාන පිවිසුමයි.
‘ගින්දරී’ තෙවන පියවර දක්වා ම උදයකාන්ත පැමිණෙන්නේ ප්‍රමාණවත් ප්‍රේක්ෂක සහභාගීත්වයක් සාක්ෂාත් වූ හෙයිනි. සත්‍ය වශයෙන්ම ‘ගින්දරී’ මුල් අදියර ද්විත්වයට එබඳු ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලැබුණේ යම් අපූර්වත්වයක් එහි රසාලිප්ත වුවමනාව හා එක්වූ හෙයිනි. මෙහිලා උදයකාන්ත ත්‍රාසය, භීතිය හෝ ප්‍රේමය බැහැර කරමින් හාස්‍යයට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ එය ප්‍රේක්ෂකයා ඇමතිය හැකි සාර්ථක හා පහසු මඟක් වන බව තීරණය කරමිනි. කෙසේ නමුදු මෙය අසීරු ව්‍යායාමයක්ද වේ. හාස්‍ය රසය අන්තර්ගත වුව ද එය ප්‍රේක්ෂකයන් වෙත සංජානනය කළ නොහැකි වූ සිනමාපට පිළිබඳ මතකයද මෙහිලා ඉස්මතු වෙයි.
‘ගින්දරී 3’ හි රසාලිප්ත බව නිර්ණය කරනු වස් එහි මුල් සිනමාපට ද්විත්වය විෂය කර ගැනීම සහේතුක ය. එහිදී උදයකාන්ත ප්‍රේක්ෂකයා වහා ඇඳ බැඳ තබා ගන්නා ආකාරයෙන් සිදුවීම් පෙළ ගස්වයි. කතා රසය දැන්වීම අතිශය වැදගත් ය යන්න ඔහු පිළිගෙන තිබූ සැටියකි. එහෙයින් සිදුවීම් අනුක්‍රමයෙන් පෙළ ගැස්වේ. චරිත පැමිණෙන්නේ එකඟතා හා බැඳීම් සහිතව ය. ආකස්මික චරිත හෝ සිදුවීම් නොමැති තරම් ය.
කෙසේ නමුදු ‘ගින්දරී 3’ හි දී උදයකාන්ත සිදුවීම් පෙළක් ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත් වෙයි. මේවා හුදෙක් එකිනෙකින් වෙන් කොට ගත හැකි , සමස්තය සමඟ ඒ හැටි සන්නිවේදනයක් නොපවත්වන ඒවා බව පැහැදිලි ය. පෙරදී ආ කතා රසය යටපත් වූ සෙයකි. හාස්‍ය රසය වඩා සියුම් ව දැනවීමේ අභිලාසයද යටපත් වෙමින් පවතී.දෙවියන්ගේ හා යක්ෂයන්ගේ සුපිරි සමත්කම් නිරූපණයට ඔහු වැඩි කාලයක් ගත කරයි. ආගන්තුක චරිත ගොඩ බසින්නේ නිරායාසයෙන් නොවේ. තාර්කික බව සැඟව යයි. ප්‍රේක්ෂකයා වෙත සුන්දර ලලනාවන්ගේ ඉඟි බිඟි නොඅඩුව ගෙන ඒමට නම් උදයකාන්ත උත්සුක වන බව පෙනේ. ප්‍රේක්ෂක නෙතට රසඳුනක් ගෙන දෙන්නට නම් මෙය උචිත ය. නමුත් සිනමාපටයේ ඉදිරි ගමනට ඉන් පිටිවහලක් නො ලැබෙන තරම් ය.
දෘෂ්ටි ප්‍රයෝග නිර්මාණයේදී උදයකාන්ත ඊට අදාළ පාර්ශ්ව සමඟ වාර්තා කරන්නේ සාර්ථකත්වයකි. තාක්ෂණික දුප්පත්කමකින්ද පීඩා විඳීන ලාංකේය සිනමා ශිල්පීන් මෙසේ සාර්ථක වන්නේ ප්‍රතිභාව සම්බන්ධයෙන් පවත්නා ඇතැම් සැක සංකා දුරු කරමිනි. එහෙත් මේ කිසිවක් වර්තමාන ප්‍රේක්ෂකයාට විමතියක් ගෙන නොදෙන වග නම් පැවසිය යුතුම ය. ලාංකේය සිනමාපටයක් වීමත්, සිංහල බසින් දෙඩීමත්, නළු නිළි කැල දුරස්ථ නොවීමත් උදයකාන්තගේ ජාම බේරා දෙන සාධක ත්‍රිත්වයකි. එසේම පුළුල් තිරයේදී මෙකරුණු වඩා හොඳීන් නිරීක්ෂණයට ලැබෙන අවකාශයද අත් හිටවිය යුතු නැත.
හාස්‍ය රසය හුදු මුවගට නැඟෙන සිනා රැල්ලකට ලඝු නොකරන්නට උදයකාන්ත දක්වන සමත්කම ප්‍රකට කළ අතීත අවස්ථා කිහිපයකි. ‘හිරිපොද වැස්ස ’,’කොස්තාපල් පුඥ්ඥසෝම’ සේම ‘ගින්දරී’ මුල් සිනමාපටය වන ‘බහුබූතයෝ’ උදාහරණ සේ ගත හැකි ය. ඇතැම් තැනකදී හාස්‍යයට නව අරුතක් සැපයීමට ද ඔහු යත්න දරා ඇති වග පෙනේ. ‘ගින්දරී 3’ හි දී ඔහු එබන්දක් කරා පැමිණීමට අදි මදි කරන සෙයකි. පවතින හාස්‍ය රසයෙන්ම සෑහීමකට පත්වීමට ඔහු තීන්දු කරන්නේ ඔහුගේම තිරනාටකය ඔහුව සිර කොට ඇති නිසාය.
කෙසේ නමුත් ආකර්ෂණීය රසාලිප්ත සිනමාපට ලාංකේය සිනමාවට අදාළ ව ප්‍රදර්ශනය වීම දුලබ නොවන සමයක යම් සුවිශේෂත්වයක් ගෙන හැර පෑමට උදයකාන්ත දක්වන මෙම ප්‍රයත්නය ලඝු කළ යුතු නොවේ. මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල හා පබෝධා සංදීපනී ගේ ප්‍රබෝධමත් රඟපෑම් මෙම සුවිශේෂත්වය තහවුරු කරන අන්දම පැහැදිලි ය.