වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මධු බඳුන ඉතිරී... ගලන ගී මිහිරී...

ගුමු ගුමුව වදුලේ
සිලි සිලියේ සුළඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගැඟුලේ
අදයි මට ඇසුණේ..//
විහඟ මිහිරාවී
මුදුහඬින රාගී...
‘ආ...ආ... ආ...’
විහඟ මිහිරාවී
මුදු හඬින රාගී
කොතැන තිබුණි ද ඒ
අද ගයන මේ ගී
මධු බදුන ඉතිරි
ගලන ගී මිහිරි...
(ආ... ආ... ආ...)
මධු බඳුන ඉතිරි
ගලන ගී මිහිරී
කොතැන නම් සැඟ වී
තිබිණි දැයි සොයමි...
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී නද - ආචාර්ය රෝහණ වීරසිංහ
ගී හඬ - විශාරද සමිතා මුදුන්කොටුව
චිත්‍රපටය - වීසිදැල
හෙළ සිනමා වංශකතාවේ 866 වන සිනමාපටය ලෙස රිදී තිරය වර්ණවත් කළ ‘විසිදැල’ 1997 වසරේ නොවැම්බර් 07 වන දින තිරගත විය.
මෙය සම්මානනීය, මැද මාවතේ සිනමාකරුවකු වූ එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වන අතර සෝමා එදිරිසිංහයන්ගේ නිෂ්පාදනයකි.
ඩබ්ලිව්. ජයසිරි, අනූෂා සොනාලි, ජැක්සන් ඇන්තනී, දයා තෙන්නකෝන්, ග්‍රේස් ආරියවිමල්, රාසි අන්වර්, රොබින් ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීහු රංගනයෙන් දායක වූහ.
එවක නවක රංගන ශිල්පිනියක වූ අනුෂා සොනාලි මුල්වරට කුසලතා පූර්ණ චරිතයක් නිරූපණය කළ සිනමාපටය මෙයයි.
දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවිකාව සරිකරගන්නට වෙහෙසන ගැමි චරිත කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් චිත්‍රපටය ගලා යයි. මව් සෙනෙහස අහිමිව පියා සහ සොහොයුරා සමඟ ජීවත් වු සුන්දර යුවතියකට මුහුණ පෑමට සිදුවන ඛේදනීය ඉරමණක් පිළිබඳවත් එවක සමාජ සන්දර්භයේ කේන්ද්‍රිය ලක්ෂ්‍යයක් වූ තරුණ අරගලය පසුබිම්කොට ඒ සමඟ මතුවන සමාජ විරෝධය චිත්‍රපටයට පාදක වී තිබේ.
තුරුණු වියේ පසුවන සුන්දර රූ සපුවක් හිමි සිරිමා කෙරෙහි, ගමේ පිරිමි පාර්ශ්වයේ විශේෂ අවධානයක් යොමු වේ. ඇගේ සොහොයුරා රැකියාවක් ලබාගැනීම උදෙසා ජීවන අරගලයකට මැදිවන අතර ඇයගේ ආරක්ෂාව සැලසීමට ඔහුට හෝ මහලු පියාට හැකියාවක් නොවේ. ගිලිහී ගිය රැකවරණය හමුවේ අසරණ වන මේ යුවතියගේ ජිවිතය විනාශ වන්නේ ඇයට සමීප, කුඩා කල සිට ඈ බලා කියාගත් සමීප ඥාතියකු වූ ‘ගුණපාල මාමා’ අතිනි. තම දියණියක හා සමාන සිරිමා අනාථ කිරීමට සට කපට, අණක් ගුණක් නොහඳුනන ගුණපාල පෙලඹේ.
මුල පටන් ඔහු කෙරෙහි දැඩි අප්‍රසාදයකින් හා බියකින් පසුවන යුවතිය අවසානයේ ඔහුගේ ග්‍රහණයට නතු වේ. ජීවන අරගලය හා ඇය ජීවත්වන සමාජ පරිසරය අනුව අවසානයේ ඔහුට අවනතව ජීවත් වීමට ඈ හිත හදාගත් බවක් පෙනේ.
කෙසේ හෝ කතාව අවසානයේ මෙම සියලු චරිත විවිධාකාර ඝට්ටනයන්ට මුහුණපාන අතර ඇයගේ පෙම්වතා වූ ගාමිණී අතුරුදන් වේ. ගුණපාල, නිමල් අතින් මරණයට පත්වන අතර නිමල් ද පොලිස් වෙඩි පහරින් මියයයි. මේ සියලු ඛේදවාචක අවසානයේ දරුවකුත් සමඟ සිරිමා තනිවන්නේ ඇයගේ ජීවිතය තවදුරටත් ඛේදයක් බවට පත්කරමිනි.
චිත්‍රපටයේ එන මෙම මියුරු ගීතයට පාදකවන පසුබිම් දර්ශනය මනස්කාන්තය, උදෑසන අවදි වී, කඩපිල වෙත යෑමට සැරසී එළියට බැස යන මෙම සොඳුරු යුවතියකගේ පි‍්‍රය දසුන කාගේත් නෙත් සිත් පැහැර ගනී. ඇයගේ සුන්දර රූ සපුව කෙරෙහි කාගෙත් අවධානය යොමු වේ. විශේෂයෙන්ම ඇය ගැමි පුුරුෂයින්ගේ නෙතට රසඳුනකි.
දැඩි ශුෂ්ක පරිසරයක, රළු පොළොව හා ගැටෙමින්, දරිද්‍රතාවයෙන් පෙළෙමින් ජීවත් වුවත් ඇය උදයේ පිපුණු රතු නෙළුමක් සේ සුන්දරය. යොවුන් වියේ ආදර හැඟුම් ඇයට ද පොදුය. ඇයගේ සිත්ගත් පෙම්වතෙක් ඈට සිටි. දුෂ්කරතා මැද පේ‍්‍රමය රහසේ ගලායයි. එවන් පසුබිමක ඇයගේ හදේහි පේ‍්‍රමණීය හැඟුමන් මතු වූ මොහොතක ඇය ඒ මිහිර තනිවම විඳගන්නා මොහොතක හිතට දැනෙන සිතිවිලි ගීතයක් වී තිබේ.
ඇය සැමදා ජීවත් වූ පරිසරය ගහකොළ, කුරුලු හඬ, ඇලේ දොලේ හඬ පවා ඇයට වෙනස් වී අසෙයි. වෙනදාටත් ඇය ඇවිද ගිය ලදු කෑලෑ, වන වදුල් පවා ඈ දැක ඈ ගැන හෙමිහිට කතාකරන බවක් ඇයට සිතේ. හැමදාම හැමුව මදනලේ පෙර නොවිඳි සිසිලසක් අද ඇයට දැනේ. ගලා බසින ඇල, දොළ පවා ඈ දැක ඇගේ රහසිගත පේ‍්‍රමය ගැන දැන කසු කුසු ගැන බවක් ඇයට හැගේ.
වෙනදාට ඇයට නොඇසුණු මිහිරක්, අද දැනෙන විහඟ ගීතයේ ඇතැයි ඇයට සිතේ. ඒ මෘදු ගීත රාවය ගයන විහඟ මිහිරාවගේ හඬෙහි ආදරය, ශෘංගාරය මතු වී ඇසෙයි. මෙච්චර කාලයක් මේ තරම් ආදරණීය ගී රාවයක් කොතැන සඟවාගෙන තිබුණි දැයි ඇය කිරිල්ලියගෙන් අසයි.
ඒ හඬ සැබැවින්ම ඇගේ හදවතේ නැගුණු පේ‍්‍රමණීය හැඟුමේ හෘද රාවයම විය හැකියි. පේ‍්‍රමයෙන් පිබිදුණු ඇගේ සවනට ඇසෙන විහඟ ගී රාවය එලෙස ඇසෙනවා විය හැකියි.
පේ‍්‍රමය නම් මධු බඳුන දොරේ ගලා යන විට දැනෙන මිහිර ගීතයක් සේ සුන්දර බව ඇයට දැනේ. මේ සියලු මිහිරි හැඟුමන් මෙතෙක් කලක් කොහේ සැඟව තිබුණා ද යන්න ඇයට ගැටලුවක් වී තිබේ.
පරිසරයේ සුන්දරත්වය හා පේ‍්‍රමණීය හැඟුමන් මුසුකොට ආදරයෙන් පිරුණු යොවුන් සිතක හැඟුමන් පිළිබඳව ඉතාම අලංකාර ලෙස පද රචනය කර ඇති මෙම ගීතය භූ පාලි රාගයෙන් ගායනය කරනු ලබයි.
පද රචනයත්, මියුරු සංගීතයත්, ගායනයත් ඉතාම සාධාරණ ලෙස චිත්‍රපටයේ අවස්ථා සම්බන්ධතා නිරූපණයට දායක වී තිබේ.
නවක රංගන ශිල්පිනියක ලෙස අනුෂා සොනාලි මෙම චිත්‍රපටයේ සිය දක්ෂතා මැනවින් නිරූපණය කරයි. මෙම චිත්‍රපටයේ එන ‘බිදුණා දැහැන් බිඳුණා’ ගීතය සඳහා ගුණදාස කපුගේ හොඳම ගායකයාට හිමි සම්මානයත්, එච්.ඩී. පේ‍්‍රමරත්න හොඳම පද රචනයට හිමි සම්මානයත්, හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය රෝහණ වීරසිංහයන්ටත්, හොඳම සහය නිළියට හිමි සම්මානය ග්‍රේස් ආරියවිමල්ටත් හිමි වුයේ 1998 පැවති 26 වෙනි සරසවිය සම්මාන උළෙලේ දීය.
හොඳම ගීත රචනයට හිමි ජනාධිපති සම්මානය ‘ගුමු ගුමුව’ ගීතය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නට හිමිවිය.