ඇදුරුතුමාට ආදරයෙනි To Sir With Love

නොවැම්බර් 24, 2022

 

එඩ්වඩ් රිකාඩෝ බ්‍රෙයිත්වෙයිට් හෙවත් ඊ.ආර්.බ්‍රෙයිත්වෙයිට් ගයානාවේ ඉපදී ඇමරිකාවේ ජීවත් වූ කළු ජාතිකයෙකි. වෘත්තියෙන් ලේඛකයෙක්, රචකයෙක්, හා ගුරුවරයෙකු ලෙස ඔහුව හඳුන්වාදිය හැකිය.

ඔහුගේ දෙමාපියන් ඉගෙනුම ලැබුවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේය. එහෙයින් ඔවුනට තම පුත් වූ එඩ්වඩ් රිකාඩෝ ට ද ඉහළටම ඉගැන්වීමට උවමනා විය. ඔහුගේ පියාට ඒ හැකියාව තිබුණේ ඔහුට රත්තරන් හා දියමන්ති පතල් තිබුණු නිසාය. එඩ්වඩ් රිකාඩෝ මුලින්ම ගයානාවේ සාන්ත ඇම්බ්රොස් ප්‍රාථමික පාසැලේ ඉගෙන ගත් පසු ගයානාවේම ක්වීන්ස් විදුහලට ඇතුළත් විය. ඉන්පසු ඔහු ඇමරිකාවේ නිව්යෝක් සිටි පාසැලේ උසස් අධ්‍යාපනය හැදෑරිය. ඔහු ඔහුගේ පශ්චාත් උපාධිය ලබා ගත්තේ කේන්බ්‍රිජ් හී ගොන්විලි සහ කෙයිස් විදුහලේය.

දෙවනි ලෝක මහා යුද්ධය පැමිණි කල ඔහු රාජකීය යුද හමුදාවට එකතුවී ගුවන් නියමුවෙක් ලෙස සේවය කළේය. ලෝක මහා යුද්ධය අවසන් වූ පසුව ඔහු තමා පුරුදු පුහුණු වූ ගුවන් නියමු වෘත්තියම ලබා ගැන්මට උත්සහ කළද, ඔහුට එය ලැබුණේ නැත. එහෙයින් ඔහු එංගලන්තයේ නැගෙනහිර ලන්ඩනයේ පාසැලක ගුරුවරයෙකු ලෙස සේවයට ගියේය. එසේ ගුරුවරයෙකු ලෙස ඔහු ඉගැන්වීමට එකතු වුණද, ඔහුට ගුරුවරයෙකු ලෙස උගන්වා පළපුරුද්දක් තිබුණේ නැත. නමුත් යුද්ධ කාලයේදී අවුලෙන් අවුලට පත් වූ මිනිස් ජන ජීවිත යථා තත්වයට ගැනීමට සුළු වශයෙන් හෝ උපකාර කිරීමට ඔහු උත්සාහ කළේය. එය ඉගැන්වීමට වඩා සමාජ මෙහෙවරක් ලෙසටය ඔහු දුටුවේ. එකී සමාජ මෙහෙවර ඔහුට කිරීමට හැකි වූයේ 2වන මහා ලෝක යුද්ධයට ඔහු සක්‍රීයව දායක වූ හෙයිනි. යුද්ධය, යුද්ධයේ අතුරු ඵල, යුද්ධ විනාශයෙන් බැට කන ජන ජීවිතවලට යළි ආරම්භයක් ලබා දෙන්නේ කෙසේද, එයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් කළ යුතු යුතුකම් මොනවාදැයි යන කරුණු මත සැකසුණු සැලැස්මක් අනුව උගන්වන්නට ගියද, ඔහුට ඉගැන්වීමේදී බොහෝ විට ලැබුණේ මිහිරි අත්දැකීම්වලට වඩා අමිහිරි අත්දැකීම්ය. සුදු හා සුදු නොවන සිසුන් සමඟ ඔහු ගැටෙන විට, තමාට උගැන්වීම නොගැළපෙන රැකියාවක් බව ඔහුට කීප වරක්ම වැටහුණද, ඔහු තම කාර්ය සාර්ථකව කර යෑමට හැකි හැම උත්සහයක් ම ගතී. බොහෝ සිසුන්ට ඔහුව ප්‍රසන්න නොවීය. ඒ ඔහුගේ වරදින්ම නොව, ඒ වාකවානුවේ බොහෝ බාල, තරුණ, මහලු අය සිටියේ යුදමය මානසිකත්වයෙනි. එහෙයින් සිසු සිසුවියන් පවා දැරුවේ රැඩිකල් පිළිවෙතකි. එහෙයින් උගන්වන විට සිසුන් සමඟ ඝට්ටනයන් ඇති කර ගැන්ම වැළැක්විය නොහැක්කක් විය.

නුපුහුණු ගුරුවරයෙකු ලෙස කළ ඒ ඉගැන්වීම ඔහුට ජීවිතයේ කිසිදු කාල වකවානුවක නොලැබුණු අත්දැකීම් රාශියක් ලබා ගත හැකිවූ අතර, ඒවා නිකම්ම බැහැර කිරීමට නොහැකි ඒවා විය.

බ්‍රෙයිත්වෙයිට් ගේ ප්‍රථම පොත ලියවෙන්නට ඒ ලැබූ අත්දැකීම් මහඟු ලෙස උපකාර විය. ඔහුගේ චරිතය ගැන අධ්‍යයනය කරන විට, ඔහු ලේඛකයෙකු වීමට මගපාදා දෙන්නට ඇත්තේද, ඒ අත්දැකීම් මත විය හැකිය. ඇතැම් විට ඔහු ඊට පෙර පොත් ලියන්නට ඇත. ඒවා ප්‍රකාශයට පත් කරන්නට ඇත. නොඑසේ නම් ප්‍රකාශයට පත් නොවෙන්නට ඇත. ඔහු ගැන ලියවූ කිසිදු ලියවිල්ලක නම් ඒ ගැන සඳහන් වී තිබු⁣ණේ නැත. එහෙයින් අපට නිත්‍ය ලෙස තහවරු වන්නේ ඔහු ගේ මුල් පොත අර ඔහු පාසැලක, හෝ පන්තියක උගන්වනවිට ලැබූ අත්දැකීම් අලළා වර්ෂ 1959 දී ලියවුණු කෘතියය. එය 1935 සිට අද දක්වා පවත්වා එන ඇමරිකානු සාහිත්‍යය සම්මාන උළෙලේ 'ඇනිස්ෆීල්ඩ් - වුල්ෆ් පොත් සම්මානය ලෙස හදුන්වන, සත්‍ය කථා අංශයෙන් 1961 වසරේ සම්මානය ලබා ගත්, ' ටු සර් විත් ලව්' සාහිත්‍ය කෘතියය.

සාහිත්‍ය කෘතියක් ලෙස ඊ.ආර් බ්‍රෙයිත්වෙයිට් ලියූ 'ටූ සර් විත් ලව්' බොහෝ අයගේ අවධානය දිනාගත් අතර එය සම්මානනීය වූ පසු ලොව වඩාත් ජනප්‍රිය වන්නට විය. පටුනු 22 කින් සමන්විත වුණු මෙම කෘතියේ අන්තර්ගතය වූයේ දේශපාලනීකව වර්ණ බේදයට බලපෑ අන්දම ගැනය. බ්‍රෙයිත්වෙයිට් වර්ණ බේදය දැඩි ලෙස පිළිකුල් කළ අයෙකි. කළු ජාතික ඔහුට මේ වර්ණබේදය නිසා සුදු ජාතිකයන් ගෙන් විඳීන්නට සිදුවූ අකටයුතු කම් හා අසාධාරණකම් ඔහු දිය කර හැරියේ තම කෘතිය වූ 'ටූ සර් විත් ලව්' හරහාය.මෙය සිය චරිතාපදානය ලෙසය බ්‍රෙයිත්වෙයිට් හැඳීන්වූයේ. එහෙයින් කෘතිය අයත් වූයේ් චරිතාපදාන 'කැටගරියට'ය.

කෘතිය ප්‍රකාශයට පත් කර, සම්මානනීය වී, ලොව ජනප්‍රිය කෘති ගොන්න අතරට වැටී අවුරුදු 8 කට පසු එනම් 1967 වසරේ දීය මෙය සිනමා පට නිර්මාණයකට උචිත බවක් හැඟුණේ. ඒ ලොව විශිෂ්ටත්වයට පත් නළුවෙකු, අධ්‍යක්ෂක වරයෙකු වූ 'සිඩ්නි පොයිටියර්' ටය. ඔහු ඒ බවක් කීවේ ඒ වන විට 'ද ෆ්ලයි' හා 'ද ග්‍රේට් එස්කේප්' යන චිත්‍රපටවල තිරනාටකය ලියා අතී සාර්ථක වූ 'ජේම්ස් ක්ලාවෙල්' ටය.

ජේම්ස් ක්ලාවෙල් 'බ්‍රෑන්ඩඩ්' වී තිබුණේ නවකථා රචකයෙකු හා චිත්‍රපට තිර පිටපත් රචකයෙකු ලෙසටය. එහෙත් ඔහු 1961 දී 'සී ප්‍රඩක්ෂන්' නමින් චිත්‍රපට සමාගමක් ස්ථාපිත කළේය. ඒ හරහා ඔහු ඔහුම ලියූ 'කිං රැට්' නම් නවකථාව සිනමා නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කළේය. එය බ්‍රයන් ෆෝබ්ස් විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ අතර ජේම්ස් වුල්ෆ් නිෂ්පාදනය කළේය. ජෝර්ජ් සීගල්, ජෝන් මිල්ස් හා පැට්‍රික් ඕ නීල් වැනි සුප්‍රසිද්ධ නළුවන් එහී රඟපෑහ . සී ප්‍රඩක්ෂන් හී නිර්මාණය වූ අනෙක් චිත්‍රපට වූයේ 'වයිට් ඇලිස්' හා 'නෝ හෑන්ඩ්ස් ඔන් ද ක්ලොක්' ය.

ජේම්ස් ක්ලාවල් 1962 දී කැනේඩියානු සමාගමක් සමඟ එක්වී 'සර්කල් ඔෆ් ග්‍රීඩ්', සහ 'ද ස්වීට් ඇන් ද බිටර්' යන චිත්‍රපට නිෂ්පාදන හා අධ්‍යක්ෂණය කිරීමට සැරසුනද, එයින් ඔහුට නිම කිරීමට හැකි වූයේ දෙවන චිත්‍රපටය පමණී. එයද තිරගත කළේ 1967 වර්ෂයේ ය.

1967 දී ක්ලාවල් නැවත චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්ෂණය ට පැමිණීයේය. බ්‍රෙයිත්වෙයිට් ගේ නවකථාව වූ 'ටූ සර් විත් ලව්' තිර නාටකය පරිවර්තනය කර, එය නිෂ්පාදන හා අධ්‍යක්ෂණ කර්තව්‍යට අත ගැසුවේ ඒ දෙවන ආගමනේදීය. ඔහුගේ ඒ දෙවනි ආගමන සිඩ්නි පොයිටියර් නිසා සිදුවූවා කිව හොත් වඩාත් නිවැරදි ය.

'ටූ සර් විත් ලව්' නිෂ්පාදනය කිරීමට ක්ලාවල් ජෝන් ආර්. ස්ලෝන් නම් බ්‍රිතාන්‍ය සිනමා නිශ්පාදකයාව එකතු කර ගති. 'බ්‍රාස් මන්කි', ' සර්කල් ඔෆ් ඩේන්ජර්', 'ද රනින් මෑන්' වැනි චිත්‍රපට ගනණාවක් නිෂ්පාදනය කළ ජෝන් ආර් ස්ලෝන් ලංකාවේ ප්‍රේක්ෂකයන් ට මතක ඔහු 1974 දී නිෂ්පාදනය කළ ජෝන් වොයිට් හා මේරි ටෑම් රඟපෑ 'ද ඔඩෙසා ෆයිල්' චිත්‍රපටයෙනි. 

 'ටු සර් විත් ලව් ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එනම් ගුරුවරයාගේ චරිතය වූ මාර්ක් තැකේරේ ට මුල සිටම තෝරා ගෙන තිබුණේ 'සිඩ්නි පොයිටියර්' වය. ඔහු මෙම පොත ක්ලාවල් ළඟට චිත්‍රපටයක් කිරීමට ගෙන ආවේ, එම චරිතය තමාම නිරූපණය කරන බව ස්ථීර කර ගෙනමය. ක්ලාවල්ට අවශ්‍ය වූයෙත් එය සිඩ්නිම රඟපානවා දකින්නටය. තමාගේම සැබෑ චරිතය වූ එම ගුරුවරයාගේ චරිතය තමා මෙන් කළු ජාතිකයෙක් වූ සිඩ්නි පොයිටියර්ම රඟපානවා දැකීම තමාගේ ද අභිලාෂය බව, එම පොතේ කර්තෘ ඊ.ආර් බ්‍රෙයිත්වෙයිට් ද කීවේය.

බහාමියන් ජාතිකයෙකු වූ සිඩ්නි පොයිටියර් ඉපදී ඇත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා නගරයේ මියාමි ප්‍රදේශයේය. ඒ 1927 පෙබරවාරි 20 වන දිනය. ඔහුට ඇමරිකානු පුරවැසිභාවය හිමි වූයේ ඔහුගේ දෙමාපියන් කිසියම් කටයුත්තකට බහාමා සිට ඇමරිනාවේ ෆ්ලොරිඩා හී මියාමි ප්‍රදේශයට පැමිණී අවස්ථාව ක් නිසාය. ඒ වන විට ඇය ගැබ්බර වී තිබුණි. දරු ප්‍රසුත්තියට දින ළංවී තිබුණද, මියාමි ආ දින කීපය තුළ දරුවා ලැබේවි යයි ඇය සිතුවේ නැත. එහෙත් අනේපේක්ෂිත ලෙස ඇයට මියාමි වලදීම දරුවා ලැබුණි. ඒ දරුවාය සිඩ්නි පොයිටියර්. මියාමි වල ඉපදුණු නිසා ඇමරිකා පුරවැසි බව ලැබීමට ඔහු වාසනාවන්ත වූවද, ඔහු වයස 15 වන තෙක් ජීවත් වූයේ බහමාස් වලය. අවුරුදු 15 දී ඔහු මියාමි නගරයට පැමිණ අවුරුදු 16 ලැබූ පසු නිව්යෝක් නගරයට ගියේය. එහිදී ඔහු 'ඇමරිකන් නීග්‍රෝ තියටර්' රංගන පාසැලට එක්විය. 

සිඩ්නි පොයිටියර් ගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1947 දී තිර ගත කළ 'සෙපියා සින්ඩ්‍රෙල්ලා' ය. එය පෙනී සිටීමේ දර්ශනයක් පමණක් විය. 1950 දී ඔහුගේ දෙවන චිත්‍රපටය වූ 'නෝ වේ අවුට්' තිරගත විය. එය අධ්‍යක්ෂණය කළේ පසු කලෙක 'ක්ලියෝපැට්රා' අධ්‍යක්ෂණය කළ ජෝශප් එල්. මැන්ක්වික්ස් ය.'නෝ වේ අවුට්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ රිචඩ් විඩ්මාර්ක් ය.එහී ඩොක්ටර් ලුදර් බෘක්ස් ගේ චරිතය රඟපෑවේ සිඩ්නි පොයිටියර් ය. ඔහුගේ නම ප්‍රථම වරට චිත්‍රපට පෝස්ටරයටද එක් විය. එතැන් සිට ඔහු 'ටු සර් විත් ලව්' චිත්‍රපටයේ රඟපාන තෙක් චිත්‍රපට 23 ක ප්‍රධාන, උප ප්‍රධාන චරිත රඟපෑවේය.

ඔස්කාර් ,ඇකඩමි සම්මාන උළෙලේ සම්මානයක් ලබා ගත් ප්‍රථම කළු ජාතිකයා ලෙස සිඩ්නි පොයිටියර් ඉතිහාස ගත විය. ඒ හොඳම නළුවා ලෙසින් 1963 දී ලබා ගත් සම්මානයය. එය ඔහුට ලැබුනේ 'ලිලීස් ඔෆ් ද ෆීල්ඩ්' චිත්‍රපටයටය. එය ඔහු දිනා ගත් එකම ඇකඩමි සම්මානය විය. එහෙත් 1958 තිරගත වූ 'ද ඩෙෆියන්ට් වන්ස්' චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට හොඳම නළු සම්මානයට නිර්දේශ විය. ඔහු බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙලවල් වලදී 1959 වර්ෂයේ 'ද ඩෙෆියන්ට් වන්ස්' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මානය හිමි කර ගත් අතර, 'එජ් ඔෆ්ද සිටි', 'අ රෙයිසින් ඉන් ද සන්' ' ලිලීස් ඔෆ් ද ෆීල්ඩ්', 'අ පැච් ඔෆ් ද බ්ලු', 'ඉන් ද හීට් ඔෆ් ද නයිට්' යන චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් නිර්දේශ විය. 

'ටු සර් විත් ලව්' චිත්‍රපටය ඇරඹෙනුයේ බ්‍රෙයිත්වෙයිට් ගුරුවරයෙක් ලෙස පත් වූ තැන සිටය. ඇත්ත බ්‍රෙයිත්වෙයිට්, චිත්‍රපටයට මාර්ක් තැකෙරේ විය. චිත්‍රපටයේ කථාවේ හැටියට මාර්ක් ගයනාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ ඉජිනේරු රැකියාවක් බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහුට එම රැකියාව ලබාගැන්මට මාස 18 ක කාලයක් බලා සිටිය යුතු වූ හෙයින් එම මාස 18 ට ඔහු කිසියම් රැකියාවක් තාවකාලිකව කළ යුතු විය. එසේ රැකියා සොයන විට, ඔහුට නැගෙනහිර ලන්ඩනයේ පාසැලක ඉගැන්වීමේ රැකියාවක් ලැබුණි. එතෙක් ඔහුට ගුරුවරයෙකු ලෙස අත්දැකීම් ⁣හෝ පළපුරුද්දක් නොතිබුණද, ඔහු එම අභියෝගය බාර ගත්තේ අර මාස 18 ගෙවා දැමිය යුතු හෙයිනි. ඔහු ඉගැන්වීමට ලැබුණේ 12 වන පන්තියටය. එලෙසම ඔහුට එහී උගන්වන්නට තිබුණේ සමාජ අධ්‍යාපනයයි. එහෙයින් එය ඔහුට පහසු විය. එහෙත් අපහසු වූයේ එහී සිටි සිසු සිසුවියන්ය. මාර්ක්ට පෙර මෙම පන්තියට උගන්වමින් සිටි ගුරුවරයා හදිසියේ මිය ගිය නිසා මාර්ක්ට ඒ හිස්තැන පියවන්නට සිදුවිය. එම පන්තියේ සිටි හැම සිසු සිසුවියෙක්ම වෙනත් පාසැල් වලින් නෙරපා දැමූ අය විය. ඔවුනට විනයක් තිබුණේම නැත. ඔවුන් පාසැලට පැමිණියේ නිවෙස් වලින් බල කරන නිසා මිස කිසිවක් ඉගෙන ගැන්මට නොව. මෙහි පිරිමි සිසුන්ගේ නායකයා වූයේ බර්ට් ඩෙන්හැම්ය. ගැහැනු සිසුවියන්ව පාලනය කළේ පැමලා ඩෙයා ය. ඔවුන් දෙදෙනා මාර්ක් තැකෙර්ට කෙලෙසකවත් කැමති වූයේ නැත. එයට හේතුව ඔවුන් දෙදෙනා සුදු ජාතිකයන් වීමත්, මාර්ක් කළු ජාතිකයෙක් වීමත්ය. ඔවුන් දෙදෙනා කළු ජාතිකයෙකුට යටත් වීමට කෙලෙසකවත් කැමති වූයේ නැත. පන්තියේ සුදු ජාතිකයන් වූයේ බර්ට් ඩෙන්හැම් හා පැමලා ඩෙයා පමණක් නොව. අනෙක් හැම සිසු සිසුවියක් ම පාහේ සුදු ජාතිකයන් විය. එහෙයින් මාර්ක් තැකෙරේ ට මොවුන්ව පාලනය කරමින් ඉගැන්වීම පහසු නොවීය. මාර්ක් ගේ පාලනය කෙසේ වෙතත්, ඔවුන් මාර්ක්ව පාලනය කරන්නට විය. කළු ජාතිකයෙකුට කළ හැකි හැම අපහසයක්ම බර්ට් ඩෙන්හම් මාර්ක්ට කරන්නට විය. එයට පැමලා ද හවුල් වූ අතර ඔවුන් දෙදෙනා විසින් අනෙක් සිසුන්ද ඔවුන්ගේ පැත්තට නම්මා ගෙන, මාර්ක්ට රිදෙව්වේ පාසැල එපා වී ඔහු යනු ඇතැයි බලාපොරොත්තුවෙනි. 

මාර්ක් මේ සියල්ල ඉවසුවද, එක් සිදුවීමකදී නම් ඔහුට ඔහුගේ කේන්තිය පාලනය කර ගැන්මට නොහැකි විය. ඒ බර්ට් ඇතුළු පිරිමි සිසුන්, ගැහැනු සිසුනගේ සනීපාරක්ෂක තුවා, පන්තියේ සීත කාලයට පාවිච්චියට සාදා තිබූ ගිනි උදුනට දමා ගිනිතැබූ සිද්ධියයි. ඔහු සියලු පිරිමි ළමුන්ව පන්ති කාම⁣රයෙන් එළියට දැමීය. ගැහැනු ළමයින්ට හොඳ හැටි දොස් කියා පන්තිය පුරාවට සුවඳ දුම් අල්ලන්නට කීය. ඔහුට කෙතරම් කේන්තියෙන් සිටියාද කිවහොත් ඔහු පොත් පත් වලින් ඉගැන්වීම නතර කළේය. එතැන් සිට ඔහු සිසුන්ට සැලකුවේ වැඩිහිටියන් පරිදීය. ඔහු, ඔවුන්ට තමාට 'සර්' හෝ තැකෙරේ මහතා කියා ආමාන්ත්‍රනය කරන ලෙස නීති දැමීය. එලෙසම ගැහැනු සිසුවියන්ට 'මිස්' කියාත් පිරිමි සිසුවන්ට තම වාසගම කියා කථා කළ යුතු බව ඔහු අවධාරණයෙන්ම කීය. එලෙසම ඔහු සියලු සිසු, සිසුවියන්ට තමාගේ ඕනෑම පුද්ගලීක ප්‍රශ්නයක් පන්තිය ඇතුළේ කථා කර විසඳුම් ලබාගැන්මට අවස්ථාවන් සලසා දුන්නේය. මේ හේතුවෙන් සිසු, සිසුවියන් සියල්ල පාහේ ඔහුට ඇලුම් කරන්නට විය. නමුත් බර්ට් ඩෙන්හම් ඔහුට දිගින් දිගටම විරුද්ධව සිටියේය.

ඒ අතර වාරයේ මාර්ක් තැකෙරේ පන්තියේ ළමුන් සමඟ විනෝද චාරිකාවක් යන්නට විය. වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාර, ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය, වැනි දේ නැරඹීම සඳහා මෙම විනෝද ගමන යොදා ගතී. විනෝද ගමනේදී සිසු සිසුවියන් ගී ගයමින් සතුටු වූ අතර, එහී එක් සිසුවියක් වූ බාබ්රා පෙග් 'ටු සර් විත් ලව්' ගීතය ගැයුවාය. ( මෙම ගීතය 'ලුලු' විසින් ගායනා කළ අතර, චිත්‍රපටයේදී බාබ්රා පෙග්ගේ චරිතය රඟපෑවේද 'ලුලු' විසින් වීම විශේෂත්වයක් විය).

පාසැලේ කාය වර්ධන උපදේශක බෙල් මහතා සමඟ මාර්ක්ගේ පන්තියේ 'පෝටර්' නැමැති සිසුවා රණ්ඩුවකට පැටලුණේ විනෝද ගමන ගොස් දින කීපයකට පසුවය. එම රණ්ඩුව තරමක් තදට ගිය අතර, එය සමතයකට පත් වූයේ මාර්ක් ගේ මැදිහත් වීමෙනි. පෝටර් තමන්ගේ නිවැරදි භාවය කොතෙක් මාර්ක්ට කීවද, මාර්ක් කීවේ බෙල් මහතා හරි හෝ වැරදි හෝ පෝටර් ඔහුගෙන් සමාව ගත යුතු බවය. මෙතනදී, බෙල් මහතා වැරදි බව මාර්ක් තැකෙරේ දැන දැනත් පෝටර්ට ඔහුගෙන් සමාව ගන්නට කීම ගැන සිසු සිසුවියන් මාර්ක් වෙත තම අප්‍රසාදය පළ කළේය. ඒ නිසා ඒ කිට්ටු දිනයක තිබූ පන්ති සාදයට ඔවුන් මාර්ක් තැකෙරේට ආරාධනා කළේ නැත . එලෙසම පන්තියේ සිසුවියක් වූ 'සීල්ස්' ගේ මවගේ මරණ කටයුතු සඳහා පන්තියෙන් එකතු කර ගන්නා ආධාර මුදල්, ලැයිස්තුවෙන් මාර්ක් තැකෙරේ ව අයින් කළහ. මාර්ක් මුදල් දුන්නද, ඔවුහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කළහ. 

කාය වර්ධන උපදේශක බෙල් මහතා පාසැලෙන් අස්වී ගිය අතර, වෙනත් කෙනෙක් එතැනට අනුයුක්ත කරන තෙක් පාසැලේ විදුහල්පති එම තනතුරට මාර්ක් තැකෙරේ ව පත් කෙරීය. 

පැමලා ඩෙයා සිසුවියගේ මව මාර්ක් තැකෙරේව මුණ ගැහෙන්නට ආවේ මේ අතරේදීය. ඒ ඇයගේ දියණිය නිවසේදී හැසිරෙන අසංවර, නපුරු පිළිවෙත නතර කිරීමට අවවාද කරන ලෙස මාර්ක්ගෙන් ඉල්ලන්ටය. ඇත්තෙන්ම පැමලා තමා ගැනත් උමතු වී ඇති බව මාර්ක් දැනන් සිටියද, ඔහු ඒ බවක් ඇයට කීවේ නැත. 

කායවර්ධන පන්තියේදී බර්ට් ඩෙන්හම් , මාර්ක් තැකෙරේ ට අභියෝගයක් කළේය. ඒ තමා සමඟ බොක්සිං තරඟයකට එන ලෙසටය. තැකෙරේ ඒ අභියෝගය භාර ගෙන ඔහු සමඟ බොක්සිං තරඟයට ඉදිරිපත් විය. එයින් සිද්ධ වුනේ බර්ට් ඩෙන්හමි සිසුවා මාර්ක් තැකෙරේ ගෙන් තම හොම්බ කඩා ගත් එක පමණි. එතනදී සුපිරි වීරයා වූයේද මාර්ක් තැකෙෙර්ය. නමුත් තැකෙරේ ඩෙන්හම්ගේ දක්ෂතාවය අගය කළා පමණක් නොව, ඔහු ඩෙන්හම් ව ඊළඟ අවුරුද්දේ සිට බොක්සිං උපදේශකයා ලෙස පත් කළේය. මේ හේතුවෙන් ඩෙන්හම් ට තැකෙරේ ගැන තිබූ තරහව, හා අප්‍රසාදය නැති විය.

සියල්ල හොඳ අතට හැරුණු නිසා, පන්තියේ සිසුන් සියල්ලෝම තම පන්තියේ වාර්ෂීක නැටුම් සාදයට මාර්ක් තැකෙරේ ට ආරාධනා කළහ. එම නැටුම් සාදයේ එක් අංගයකි 'ලේඩිස් චොයිස්' හෙවත් ශිෂ්‍යාවන්ගේ තේරීම. එහී අදහස, එහී සිටින ගැහැනු ළමුන්⁣ට එතන සිටින පිරිමියෙක්ව නැටුමට තෝරා ගැන්මට හැකි වන අතර, එකී පිරිමියා එම නැටුමට ඇයත් සමඟ සහභාගි විය යුතුමය. පැමලා ඩෙයා ගේ වාරයේදී ඇය තෝරා ගත්තේ මාර්ක් තැකෙරේ වය. ඔහුද ඇය සමඟ නැටීය. එතනදීද බාබ්රා පෙග් සිසුවිය විසින් 'ටු සර් විත් ලව්' ගීතය ගැයුවාය. ඉන්පසු සියලුම සිසුවියන් එකතු වී මාර්ක් තැකෙරේ ට ත්‍යාගයක් දුනී. එහී ද සඳහන් කර තිබුණේ 'ටු සර් විත් ලව් ' කියාය.

මේ වන විට මාර්ක් තැකෙරේ ගේ මාස 18 ගෙවී අවසන් වී තිබුණි. එවිට ඔහුගේ ඉජිනේරු රැකියාව බාර ගන්නට කියා ලිපියද පැමිණීය.

මේ මාස 18 තුළ ඔහු මේ සියල්ලටම කරදරයක්ව සිටි දඩබ්බර සිසු සිසුවියන්ව යහමඟට ගත් අයුරු සිහිපත් කළේය. එය කටුක වූවද, අපූරු ක්‍රියාදාමයක් විය. එසේ උගන්වන හා මේ දඩබ්බර සිසු පිරිස හා හැප්පෙන විට, ඔහුට මෙම උගන්වන රැකියාව එපා වුණු වාර අනන්තය. ඉක්මනටම තමාට ඉජිනේරු රැකියාව ලැබේවා කියා ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියේය. දැන් ඒ ලිපිය ලැබී තිබුණද, මේ සිසුන් තමාගේම ජිවිතයේ කොටසක් වී හමාරය. ඔහු ඔවුන් දුන් කුඩා ත්‍යාගය ⁣ගලවා බැලීය. එහී තිබුණේ රිදියෙන් සැදු කුඩා ටැංකියකට සමාන දෙයකි. එහී සඳහන් වී තිබුණේ ' අපව සිහි වීම පිණිස මේ කුඩා ත්‍යාගය' යනුවෙනි. එලෙසම එහී 'සර්ට ආදරයත් සමඟ' නොහොත් 'ටු සර් විත් ලව්' කියාද ලියා තිබුණි. 

ඔහු සුළු වේලාවක් කල්පනා කළේ තමා ගත යුතු තීරණය කුමක්ද කියාය. අවසානයේ ඔහු තමා අතට ආ ඉජිනේරු රැකියා ලිපිය ඉරා දැමීය. එයින් ඔහු ගත් තීරණය හැමෝටම පැහැදිලි විය.

සිඩ්නි පොයිටියර් ට අමතරව බර්ට් ඩෙන්හම් ගේ චරිතයට ක්‍රිස්ටියන් රොබට්ස් ද, පැමලා ඩෙයා ගේ චරිතයට ජූඩි ගීසන්ද, රඟපෑ අතර , බාබ්රා පෙග් ගේ චරිතයට ප්‍රසිද්ධ ගායිකා ලුලු රඟපෑවාය.

'ටු සර් විත් ලව්' චිත්‍රපටය ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් හය ලක්ෂ විසි පන් දහක්ය. එය ⁣ඇමරිකානු ඩොලර් මිලියන 22 ක්, එනම් ඩොලර් ලක්ෂ දෙසිය විසිදෙකකට වැඩි මුදලක් උපයා 'සුපර් හිට්' එකක් විය.

චිත්‍රපටයටත් වඩා ජනප්‍රිය වූයේ ලුලු ගැයූ 'ටු සර් විත් ලව්' ගීතයය. එය ඩොන් බ්ලැක් විසින් රචනා කෙරූ අතර, මාර්ක් ලන්ඩන් විසින් තනු නිර්මාණය කළේය. ගීතය, 1967 'ඇමරිකන් චාර්ට්' - බිල් බෝඩ් 100 ලැයිස්තුවෙ නොම්මර 1 ට සති පහක කාලයක් එක දිගට පත් වී තිබුණි.

'ටු සර් විත් ලව්' යනු හදවතට කා වැද්දු කිසිදු කාලෙකට අමතක නොවන චිත්‍රපටයක් විය. සිඩ්නි පොයිටියර් ගේ රඟපෑමත්, ලුලු ගේ 'ටු සර් විත් ලව්' ⁣නම් ගීතයත් වසර ගනණාවක් ගියද, සිතෙන් මකා දමන්නට නම් නොහැකි වනු ඇත.

 

'Those school girl day of telling tales
and biting nails are gone
But in my mind
I know they will still
live on and on
But how do you thank someone who
has taken you from
crayons to perfume
It isn't easy but I'll try,
If you wanted the sky I'd write across
the sky in letters
that would soar a thousand feet high
To Sir, With Love.'  

 

 

 

[email protected]