වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
“අතීතය විනිවිද අනාගතය දකින්නට” ගිරිවැසිපුර

සම්මාන රැසකට හිමිකම් කියූ “සදිසි තරණය” ටෙලි නිර්මාණය සමග පුංචි තිරය මතින් කලා ක්ෂේත්‍රයට අධ්‍යක්ෂවරයෙකු ලෙස පිවිසි දේවින්ද කෝන්ගහගේ දෙවන සිනමා නිර්මාණයයි “ගිරි වැසි පුර” . ඔහුගේ ප්‍රථම සිනමා පටය “භවතරණ” 2021 වර්ෂයේ දී තිරගත විය. කලාවේ විවිධ ඉසව් නියෝජනය කරන ඔහුගේ තෙවන සිනමා නිර්මාණය වූ “නාට්ටාමි ආමි” සිනමා පටයේ සියලු වැඩකටයුතු නිම කර තිරගත කිරීම සඳහා සූදානම්ව ඇත. වෙළෙද දැන්වීම් කිහිපයක් සඳහා ද තම රංගන දායකත්වය ලබා දී ඇති දේවින්ද , ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු ද වේ. 2017 වසරේ මාර්තු මස රූපගත කිරීම් ආරම්භ කළ “ගිරි වැසි පුර ” 2018 වර්ෂයේ දී සියලුම පසු නිෂ්පාදන කටයුතු නිම කර ඇති මෙය පැය දෙකයි විනාඩි 30ක ධාවන කාලයකින් යුක්තව තිරගත වීමට නියමිතව ඇත.
මේ එළැඹෙමින් පවතින්නේ , මහනුවර රජ පදවිය දරන තෙවැනි නායක්කර් වාංශික රාජාධි රාජසිංහ රජුගේ මරණ මංචක මොහොතයි. රජුගේ ප්‍රධාන අමාත්‍ය පිළිමතලාවේ මහාධිකාරම්ගේ සිත්හි කාලයක් පුරා නැගෙමින් තිබූ කුමන්ත්‍රණය මුදුන්පත් කර වන්නට ඔහු කල් බලමින් හිඳී. රජුගේ අග බිසවගේ නැගණියගේ පුතු වූ සොළොස් හැවිරිදි කන්නසාමි එවකට හඟුරන්කෙත වී කෙත් සහ ගබඩා භාරව සිටි අතර, පිළිමතලාවේ විසින් ඔහුව වහාම රජ වාසල වෙත කැදවීමට කටයුතු කරයි. රාජාධි රාජසිංහ රජුගේ මරණින් මතු කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක ගන්වනු ලබයි. ඒ 1793 වර්ෂයයි. නායක්කර් වාංශිකයනගේ සිව්වැනි රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ පාලනය ගෙන යයි. තමන් වෙනුවෙන් කැප වී ක්‍රියා කළ පිළිමතලාවේ වෙත බලතල රාශියක් ලබා දීමට රජු විසින් කටයුතු කරයි. ඉන් උද්දාමයට පත් පිළිමතලාවේ, පස් වසරක් නිල නොලත් රජු ලෙසින් බොහෝ දේ පාලනය කරයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නොදන්නා බොහෝ දේ සිදු වෙමින් පවතී. සමස්ත දේශපාලන පද්ධතියම පිළිමතලාවේ සිය පාලනයට නතු කර ගනී. ඔහුගේ ඉලක්කය සිංහාසනයයි. මේ අන්දමින් මෙම කතාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවසානය දක්වා ගලාගෙන යයි.
ගිරි වැසි පුර රංගන දායකත්වය
පුබුදු චතුරංග, මහේන්ද්‍ර පෙරේරා, නිරංජනී සම්මුගරාජා, බුද්ධික ලොකුකැටිය, අමිත්ත වීරසිංහ, කිංස්ලි ලෝස්, දයා තෙන්නකෝන්, සෝමවීර ගමගේ, රොෂාන් පිලපිටිය, සරත් ඒකනායක, මිල්ටන් සිරිමාන්න, කුමුදු නිශාන්ත, මහේන්ද්‍ර වීරරත්න, පවිත්‍රා වික්‍රමසිංහ, දයාසිරි හෙට්ටිආරච්චි, ලක්ෂාන් වත්තුහේවා, නයනතාරා වික්‍රමආරච්චි, අතුල ජයසිංහ, නලින් ලුසේනා, තුසිත ලක්නාත් ගලිදවත්ත, සෙනෙවි කුමාර සිටුබණ්ඩාර, වසන්ත රෝහණ, ආලෝක සම්පත්, එල්රෝයි අමලතාස්, ජුලියානා ජෝන් පිලිප්, නවයුගා රාඡ්කුමාර්, මාටින් බෙකර්, පිලිප් මෝටන්, පීටර් සෑම්, රිචඩ් මුංඩි, ටොම් පීටසන් සහ ළමා රංගන ශිල්පීන් වන කුසල් නිර්මල අභිලාෂ්, ගිණුක රන්දුල් වණසිංහ, කවීෂ් වෙනුර, අනුජ කෂ්මික ඒකාන්ත් ඇතුළු විශාල නළු නිළි පිරිසක් මේ සඳහා රංගන දායකත්වය දක්වා ඇත.

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු