තුන්කොන් ආදරයේ සප්ත ස්වරය ආදරණිීය ප්‍රාර්ථනා

ඔක්තෝබර් 27, 2022

සුන්දර යෞවනයේ විචිත්‍රත්වය යුරෝපයේ සිට විඳීමින් කෙළිලොල් දිවියක් ගත කළ රාහුල් (රාහුල් රිශික) යළි මව්බිමට පැමිණීමට අදහස් කරන්නේ තම දිවියට නැවුම් පරිච්ඡේදයක් එක් කර ගැනීමේ සොඳුරු වූ චේතනාවෙනි. විසල් මල් උයනක තනි වූ තනි බඹරෙකු සේ ආදර මලක නොව, මල් ගොමුවක සුවය විඳීන්නට ඔහුට හැකි වූයේ සොඳුරු දිවියේ සුන්දරත්වය තව තවත් ඔපවත් කරවමිනි. ආදරය කිරීමේ දී දෑස් පමණක් නොව හදවත ද අන්ධ වන බව ඔහුට නොදැණුනි. අනාගතය පිළිබඳව නොනිමි බලාපොරොත්තු දහසක් හද දල්වා ගනිමින් මේනකා (ශනුද්‍රි ප්‍රියසාද්) සහ පාරමී (නෙත්මි රොෂෙල්) රාහුල්ට ළං වූයේ ඔහුට ඇය පමණමයි යන හැඟුමෙනි. කිසිදු රහසක් සදා සඟවා තැබිය නොහැකි බව පසක් කරමින් දෛවයේ සහ ප්‍රේමයේ ගැටුමට ඔවුන් මැදි වන්නේ තිදෙනාගේම හදවත් තුළ මහා ප්‍රශ්නාර්ථයක් ඇති කරවමිනි. තිදෙනාගේ ආදරය එකිනෙකා අතර දෝලනය වෙමින්, හදවත් බිඳ වැටෙන බලාපොරොත්තු සුන්වන ගමනක අවසානය කෙබඳු වේ දැයි “ආදරණිීය ප්‍රාර්ථනා” තුළින් ප්‍රේක්ෂකයාට පහදා දෙනු ඇත. 

නවක නළු නිළි කණ්ඩායමක්, නවක තාක්ෂණික කණ්ඩායමක්, නවක සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නවක නිෂ්පාදකවරයකු පෙරටු කරගෙන තම කුලුඳුල් සිනමා වෘත්තාන්තය යෞවනත්වයට පිදෙන තිළිණයක් ලෙසින් ආදරණිය ප්‍රාර්ථනා නමින් ප්‍රේක්ෂක දෑස සමීපයට රැගෙන එන වාසල බදුගේ මහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණේ, සම්මානනීය රූප රචනා නිර්මාණකරුවකු ලෙසිනි. පසුගිය වසර 15 පුරාවට ඔහු නිර්මාණය කළ නිර්මාණශීලී රූප රචනා ප්‍රමාණයෙන් අති විශාලය. මාතර රාහුල විදු බිමෙන් ලද පන්නරය වඩාත් ඔපවත් කර ගැනීමට විදේශගත වන ඔහු, ඔහුගේ විෂය පථය ලෙස සිනමාකරණය හැදෑරීමේ අවසන් ප්‍රතිඵලය වුයේ, ආදරණීය ප්‍රාර්ථනා සිනමා සිත්තමයි. මේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට දීර්ඝ කාලයක් ඉවසීමෙන් යුතුව මෙම විෂය පිළිබඳව පුළුල් හැදෑරීමක් සිදු කිරීමට සිදු වූ බවද මේ තරුණ නිර්මාණකරුවා පවසයි. එසේම කැනඩාවේ සිංහල චිත්‍රපටයක් වැඩිම දර්ශනවාර ප්‍රමාණයක් තිරගත කරවීමේ වාර්තාවක් ද ආදරණීය ප්‍රාර්ථනා වෙත හිමි වීම විශේෂත්වයක් වන අතර , ඉදිරියේ දී ඕස්ටේලියාව සහ ලංකාවේ තිරගත වන දිනට සමගාමීව ජපානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම ද මෙම සිනමා නිර්මාණය ලද සුවිශාල ජයග්‍රහණයකි. “ආදරණීය ප්‍රාර්ථනා” ශ්‍රී ලාංකික සිනමා වංශකතාවට එක්වන නැවුම් ප්‍රාර්ථනාවක් ද වනු ඇත.

“ආදරණීය ප්‍රාර්ථනා” රංගන දායකත්වය
ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොසෙල් රොජස්, රාහුල් රිශික, නිමේෂ් වෙරංග, මිහිරංගි හෙට්ටිආරච්චි, පවිත්‍රා වන්නිආරච්චි, චන්දන එල්. රාජරත්න, අනෝමා වික්‍රමාරච්චි, ක්‍රිශාන්ත මෙන්ඩිස්, ඩෙනෝවන් අරුණාසලම්, තිළිණි ලියනාරච්චි, යුරන්දි ද සොයිසා, යශෝදා මැදගෙදර, අයේෂ් පෙරේරා, ප්‍රියංකා ප්‍රියදර්ශනී, ගයාත්‍රී රාසින්ගොල්ල, මිල්ටන් සෙබස්තියන්, දිල්හාන් රයන්, හරින්දි ද සොයිසා, හේමන්ත රත්නසේන 

“ආදරණිීය ප්‍රාර්ථනා” කාර්මික දායකත්වය
කතා සංල්පය, කැමරා අධ්‍යක්ෂණය, ශබ්ද පරිපාලනය
දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය, 5.1 ශබ්ද මිශ්‍රණය, සංස්කරණය
වර්ණ සංයෝජනය සහ අධ්‍යක්ෂණය
නිෂ්පාදනය - ඉෂාන්ත විතානගේ, යසස් මැදගෙදර, වාසව බදුගේ
තිර රචනය - මලිඳු ගජදීර, රංගනාත් වීරසිංහ, වාසව බදුගේ
අමතර දෙබස් රචනය - ශෙහාන් ගලහිටියාව
සහය අධ්‍යක්ෂණය - දනුෂ්ක එන්. පෙරේරා, සහය -
ඉෂාර මධුමාල්, චරිත් බ්‍රයන්, චවුල උදයංග
සංස්කරණ සහය - සඳරුවන් පෙරේරා
අංග රචනය - හර්ෂ මාධව, සහය -
වාසනා නවරත්න, සමිත ඩයස්, වාසව බදුගේ
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - යෂී සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය, නිෂ්පාදන සැලසුම
හා සම්බන්ධීකරණය - හරින්දී ද සොයිසා
නිෂ්පාදන කළමනාකරණය - නිරෝෂන් වෙලගෙදර
නිශ්චල ඡායාරූප - විරාජ් ප්‍රනාන්දු
පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු නිර්මාණය -
යසස් මැදගෙදර
ගීත ප්‍රබන්ධය - ශෙහාන් ගලහිටියා,
සජිත් අක්මීමණ, අයෝද්‍ය ප්‍රනාන්දු
ගීත ගායනය - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්,
යසස් මැදගෙදර, සුපුන් පෙරේරා,
ශානිකා මධුමාලි, යශෝධා මැදගෙදර,
කවි ගායනා - තිලානි එන්. ලියනාරච්චි
උපසිරැසි - හරින්දි ද සොයිසා, යසින්දි ද සොයිසා,
ඊ. ගුණවර්ධන
පසුතල අලංකරණය - ඉශාන් ජීවන්ත, බෝසුරු එරන්දික
ඩ්‍රෝන කැමරා මෙහෙයවීම - තරිඳු කොතලාවල
සහය කැමරා ශිල්පීන් - ඩී.ජී තිසර, තරිඳු කොතලාවල
අමතර හඬකැවීම් ශිල්පීන් -
මහින්ද කරුණාරත්න, ඉසංකා අබේසේකර, රසිත කාවින්ද
දෙබස් හා ගීත පටිගත කිරීම -
මිඩ්හවුස් ශබ්දාගාරය, සුසර ශබ්දාගාරය
දර්ශනතල කළමනාකරු - නාලක දලුවත්ත
ෆෝටි සෙවන් ඉදිරිපත් කිරීමකි.



ඇන්ටන් ජේ.ප්‍රනාන්දු