වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
ආගමික ප්‍රචණ්ඩත්වයට එරෙහි වූ ප්‍රාණ

රජ සමය,ඉන්දියානු හා යුරෝපිය බලපෑම් හා බ්‍රිතාන්‍ය පාලන සමය නන් අයුරින් පාදක කොට ගැනීමේ ප්රබලාකාර උනන්දුවක් වසර කිහිපයකට පෙරාතුව ලාංකේය වෘත්තාන්ත සිනමාව පෙන්නුම් කළේ ඉමහත් ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද සාක්ෂාත් කර ගනිමිනි. මෙතැන නව ප්‍රේක්ෂක කණ්ඩායම් ද වූ වග නොරහසකි. සෙසු විෂය පථයනට ආ සිනමාකරුවන්ට ද, සිනමා නිෂ්පාදකයන්ට ද මෙසේ හඳුනා ගැනුණු නව ප්‍රේක්ෂක කණ්ඩායම් ආසක්ත කර ගත හැකි වූයේ අල්ප වශයෙනි. ඊට තුඩු දුන් සුවිශේෂ හේතුවක් වන්නේ මේ නව ප්‍රේක්ෂක කණ්ඩායම් හා සිනමාව අතර තාර්කික හා යථාර්ථවාදී එකඟතාවක් නොපැවතීම යි.
මේ අනුව සංජය නිර්මාල්ගේ 'ප්‍රාණ' පළමු කොටම හඳුනා ගත හැක්කේ මෙරට රජ සමය හා පෘතුගීසි බලපෑම පාදක කොට ගත් සිනමාපටයක් වශයෙන් ම නොවේ. පෙර දැක්වූ පරිදි තාර්කික හා යථාර්ථවාදී එකඟතාවක් ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර තහවුරු කර ගැනීමේ සඵලදායී බව අවධාරණය කළ අවස්ථාවක් වශයෙනි. 'ප්‍රාණ' හි සීමා , නො පෑහීම් සේම පෙරට ඒම් ද හසු කර ගත හැක්කේ මෙ කරුණ කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරලන අවතීර්ණ වීමකදී ය.
'ප්‍රාණ' නිර්මාණය කිරීමේදී අවශ්‍යයෙන් ම සාක්ෂාත් කර ගත යුතු වූ දෑ කිහිපයකි. සිනමාකරු සංජය මේ සම්බන්ධයෙන් දක්වන අවධානය මුළුමනින්ම බැහැර කළ නොහැකිය. සිය අතීත සිනමා භාවිතය මෙහිදී ඔහුට පිටිවහලක් නො වන්නට ද පුළුවන. කෙසේ නමුත් ඉතිහාසයේ දැක්වෙන විෂයානුබද්ධ සනිටුහන් කිරීම් ඔහු වෙත ලබා දෙන අවකාශය අතිමහත් ය. මෙහෙයින්ම ඔහුගේ ස්ථාවරය ද, සාර්ථකත්වයේ ප්‍රමාණය ද තීරණය කිරීමේදී ඉන් සැපයෙන ඉඟි නො සලකා හැරීම අනුචිත වේ.
කිතුනු ආගමිකයන් සතුටු කරලීමේ සරල ස්ථාවරයක් කරා සංජය නොපැමිණීම වැදගත් ය. සිනමාපටයේ එන ආගමික මුහුණුවර හා ආගමික ලක්ෂණ සමුදාය පරිපාලනය කෙරෙහි ඔහු දක්වන උනන්දුවේ තරමයි ඉන් ප්‍රකාශයට පත් වන්නේ. සිනමාපටයේ කිසිදු තැනෙක සිංහල හෝ බෞද්ධ සංකේත ද, ආකල්ප ද සලකුණු නොවේ. හැම විටෙකම ඉස්මතු කෙරෙන්නේ වසර පන්සිය ගණනකට ඉහත උතුරුකරයේ දේශපාලන බලය හිමි කරගෙන සිටි සංකිලි රජුගේ හා පෘතුගීසි පාර්ශ්වයේ ගැටුම් බහුල හා එකඟතා අවම පසුබිම යි. බලය තහවුරු කර ගැනීම සඳහා ආගම දඩමීමා කර ගන්නා ආකාරය යි. මෙය සිනමාපටය පුරාම එක ලෙස පවත්වා ගැනීමේ සංජයගේ අභිප්‍රාය අසාර්ථක නොවූ වග පෙනේ.
'ප්‍රාණ ' හි දෘෂ්‍යමානය පවසන්නේ ආගමික ප්රචණ්ඩත්වය හා ආගමික සහජීවනය ද, යුරෝපීය බලපෑම් හා දේශීය අධිකාරිවාදී පාලන ව්‍යුහය ද පිළිබඳ නිරීක්ෂණයකට මෙන්ම විමර්ශනයකට අවශ්‍ය යම් ඉඩක් ප්‍රේක්ෂකයා වෙත ලබා දෙන බව යි. කිසියම් වාර්තානුරූපී බවක් නිරන්තරයෙන් ම දක්නට ලැබුණ ද, එයින් සිනමාපටයේ වෘත්තාන්ත ලක්ෂණ බරපතළ අන්දමින් යටපත් නොවූ බව සඳහන් කළ යුතුම ය. එසේ වුවද එයින් උපදින වෙහෙසකර බව පහසුවෙන් අමතක කර දැමිය යුතු නැත.
සිනමාපටයේ හැරවුම් ලක්ෂ්‍යය ද්විත්වයකි. සිනමාකරු සංජයගේ සමත්කමේ ප්‍රමාණය මෙන්ම අසමත්කමක් වේ නම් එහි ප්‍රමාණය ද නිශ්චය කර ගැනීමේ හොඳම හා සාර්ථකම අවස්ථා උදා වන්නේ මෙහිදී යි. 1544 වසරේ මන්නාරම ප්‍රදේශයේදී හින්දු සමය අතහැර කිතු සමය වැලඳගත් හත්සියයක පමණ ලාංකිකයන් පිරිසකට සිදු වන්නේ සංකිලි රජුගේ නියමයෙන් දිවි තොර කර ගන්නට ය. එබඳු ම සිදුවීමක් ඉන් වසර දහසයකට පසු 1560 වසරේ දී එහිදී ම වාර්තා වෙයි. මේ අවස්ථා ද්විත්වයේදී ම ප්රමුඛ මැදහත්වීමක් කිතුනු පූජකවරුන් දෙදෙනකු විසින් සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ.
සිනමාකරු මෙතැනදී කාරණා ද්විත්වයක් ගෙන හැර පායි. නමුත් මේවා ඔහුගේ දැක්ම ප්‍රකාශ කරන කාරණා නොවන බව පැහැදිලි කර ගැනීම අතිශයින්ම වැදගත් ය.
පළමු කාරණය වන්නේ යාපනයේ සිට උතුරුකරයේ බලය තහවුරු කර ගෙන සිටි රජු හා ඔහුගේ උපදේශකයන් හින්දු දහම අවියක් කොට ගෙන පුරවැසියන්ගේ මූලික අයිතීන් සාහසික ලෙස පාගා දමන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්ට පාර්ශ්වයක් ය යන්න යි. ඔවුන් කිතු දහම වැලඳගත් පුරවැසියන් අමානුෂික අන්දමින් පීඩාවට පත් කරන්නේ හා අවසන ඝාතනය කරන්නේ යළි හින්දු සමය වැලඳ නො ගන්නා නිසාවෙනි.
දෙවන කාරණය වන්නේ පූජකවරුන් දෙපළ මේ අවස්ථා දෙකේදී ම නො සැලී සිටීම යි. මෙල්කියෝ නමැති පියතුමා අපමණ ශාරීරික වධ බන්ධනයනට ලක් කෙරේ. එහෙත් කිසි විටෙකත් රජුගේ පාර්ශ්වයේ නියෝග ආදියට අවනත වන මෙන් පුරවැසියගෙන් ඉල්ලා සිටීමට පියතුමා සූදානම් නැත. රාත්‍රියේ පියතුමා දකින සිහිනයේ දී හමුවන්නේ තමාගේ ම පිළිබිඹුව යි. එය පියතුමාට පවසන්නේ පුරවැසියන්ගේ ජීවිත බේරා ගනු වස් රජුගේ පාර්ශ්වයේ නියෝගය ට අවනත වන ලෙස ය. මිනිස් ජීවිත සතු වැදගත්කම ද එම පිළිබිඹුව අවධාරණය කරයි.කෙසේ නමුත් උදෑසන මිනිස් සංහාරය සිදු වන විටදී වුව සිය පූර්ව ස්ථාවරය වෙනස් කිරීමේ ප්‍රබල තැතක් පියතුමා වෙතින් දක්නට නොලැබේ. සිය දෑස් අබියසම කිතු දහම වැලඳගත් පිරිස ඝාතනය කිරීමට එරෙහිව පෙනී සිටීමේ ලිසානෝ පියතුමාගේ වාචික තීරණය ද අනතුරුව සක්‍රිය නො වන වග පෙනේ.එතැන සිටි මිනිසුන් දෙදෙනා එය ක්රියාවේ යෙදවීම වළක්වාලන්නේ ඕනෑවට එපාවට ය.
උක්ත කාරණා ද්විත්වයෙන් අනතුරුව සිනමාකරු සංජයගේ අභිප්‍රාය නිවැරැදිව දත හැකි අවකාශයක් නිර්මාණය වේ. මේ අභිප්‍රාය සහේතුක ය. දේශපාලනික ය. ආගම හා දේශපාලනය අතර අනාදිමත් කාලයක පටන් පවත්නා එකිනෙකින් යැපෙන පිළිවෙතේ අගතිගාමී බව යළිත් වරක් ඉස්මතු කිරීමකි.
මේ අනුව 'ප්‍රාණ' හි අභිප්‍රාය මෙන්ම තේමාව වන්නේ අසීමාන්තික ආගමික විශ්වාස හා සෙස්සන්ගේ ආගමික අයිතීන් පිළිනොගැනීම වරප්‍රසාද අහිමි ජනයාගේ ජීවිත හා දේපළ විනාශවීමට හා අවභාවිත කිරීමට හේතුවන්නේ ය යන්න නිරූපණය කිරීම යි. ලෝකයේ සෑම කලාපයකදීම මෙය සනාථ කෙරෙන උදාහරණ ඉදිරිපත් කළ හැකි ය. බොහෝ යුද ගැටුම් පසුපස මෙකරුණ තිබෙන වග වටහා ගැනීමට ලාංකේය ඉතිහාසය හැදෑරීම වුව එක්තරා ආකාරයකින් ප්‍රමාණවත් වේ.
සංජය සිය අභිප්‍රාය මෙසේ කුළු ගැන්වීමේ දී පක්ෂග්රාහී නොවීම විශේෂයෙන් කැපී පෙනේ. සංකිලි රජු හා ඔහුගේ පාර්ශ්වයේ දැක්ම පමණටම පෘතුගීසි හමුදාවේ දැක්ම ද පුරවැසියන්ගේ ආගමික අයිතීන් උල්ලංඝනය කිරීමට හේතුවන අන්දම සංජය කිසිදු පමාවකින් තොරවම නිරූපණය කරයි. සංකිලි රජුගේ දැක්ම නිර්මාණය කරන්නේ ඔහුගේ ආගමික බලධාරියා ය. පූජකවරුන්ගේ දැක්ම යටපත් කරන්නට පෘතුගීසි යුද හමුදා නායකත්වය සමත් නො වේ. මෙය කියැවෙන අවස්ථා කිහිපයක් සංජය සිනමාපටයට එක් කරන්නේ අතිශයෝක්තියකින් තොරව ය.
කෙසේ වෙතත් සංජය තවත් වටයකින් සිය අභිප්‍රාය තියුණු කරන්නේ මෙල්කියෝ හා ලිසානෝ යන පියතුමන්ලා තමන්ගේ මෙහෙයවීමෙන් කිතු දහම වැලඳගත් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සූදානම් වන ප්‍රමාණය නිරූපණයේ දී ය. කටු අකුලක සැඟවී සංකිලි රජුගේ මිනිස් ඝාතනය නිරීක්ෂණය කරන ලිසානෝ පියතුමා නො පමාව ම එතැනින් පලා යයි. සහායකයන් අත හැර මිනිස් ඝාතනය වළකන එකඟතාවකට පැමිණීමේ උත්සාහයක් මෙතැන විද්‍යමාන නො වන තරම් ය. මෙල්කියෝ පියතුමා ද පෙර දින රාත්‍රියේ දුටු සිහිනය සිහිපත් කරමින් රජුගේ පාර්ශ්වයේ නියෝගයට අවනතව පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ වුවමනාව තිරසර ලෙස ප්‍රකාශ නො කරයි. එය කළ හැකි ඉඩ කඩ හොඳීන් ම විවර වී තිබිණි.
අවාසනාවන්ත ලෙස ප්‍රාණ පරිත්‍යාග කරන්නට සිදු වූ වරප්‍රසාද අහිමි කිතුනු ජනයා අරභයා සිය කනගාටුව පළ කරන්නට සංජය කිසි විටෙකත් අදි මදි නොකරයි. මේ කිසිදිනෙක නොසිදුවිය යුත්තක් ය යන ඔහුගේ අදහස කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඊට සමාන්තරව ඔහු සංකිලි රජුගේ ආගමික නායකත්වය හා පෘතුගීසින්ගේ ආගමික නායකත්වය එකම තලයක රඳවන්නේ ආගමික ප්රචණ්ඩත්වය කවර මුහුණුවරකින් පැමිණිය ද ඊට තමා මුළුමනින්ම එරෙහිය යන්න උත්කර්ෂයට නංවමිනි.
ඉතිහාසගත කරුණු විෂය කර ගැනීමෙන් නො නැවතී ඒවා ව්‍යවච්ඡේදනය කොට අභිනව නිර්මාණ කාර්යයකට ප්රචාරකවාදී නොවන ආකාරයකින් එළඹීමත් සමඟ සංජය ලාංකේය සිනමාවට දක්වන දායකත්වය ඉහළින් ම තක්සේරු කිරීමට පුළුවන. එසේම අතීත සමයක් ප්‍රතිනිර්මාණයේ දී අනුගමනය කළ යුතු වන පිළිවෙත් පිළිබඳ තමා තුළ යම් අවබෝධයක් ඇති බව ද ඔහු කියා සිටී.
'ප්‍රාණ' අධ්යක්ෂණ කාර්යය වෙහෙසකර බව සත්‍යයකි. ප්‍රධාන චරිතම කිහිපයකි . කුඩා චරිත ගණනාවකි. එළිමහන් දර්ශන විෂයෙහි ශුෂ්ක හා වියළි බව සනිටුහන් කළ යුතු ය. තාපසාරාම බඳු කිතුනු ආගමික සථාන නිරූපණයේදී ප්‍රවේශම් විය යුතු ය. රජ මාලිගා නිරූපණය නම් ලාංකේය සිනමාවට ආගන්තුක නො වේ. පෘතුගීසි හමුදාව නිරූපණයේ දී ද සැලකිලිමත් විය යුතුමය. ට්‍රේ හික්ස්, ශ්‍යාම් ප්‍රනාන්දු හා දර්ශන් ධර්මරාජ් සිනමාපටයේ වෘත්තාන්තමය බව සුරැකෙන අන්දමින් සිය චරිත නිරූපණය කරති. සංජයට ඉමහත් සහායක් වන්නට කැමරා අධ්යක්ෂ ස්ට්රිනර් ඇඩම්ස් සමත් වෙයි. භාවාතිශ අවස්ථා හේතුවෙන් සිනමාපටයේ දැක්ම යටපත් නො කිරීමට සංස්කාරක ශාන් අල්විස් සමඟ ඔහු ක්‍රියා කරන්නේ කැපී පෙනෙන අන්දමිනි. සිනමාකරු සංජය ලියූ තිරනාටකය ඉක්මවා යමිනුයි ඔවුන් මේ මැදහත්වීම ප්‍රකට කරන්නේ.