ජනකාන්ත සිනමා රූපණයක් පිටුපස කළු සුදු අභිනය

ඔක්තෝබර් 13, 2022

 

අප මොනතරම් අලුත් චිත්‍ර්‍රපට නැරඹුවත් අලුත් චිත්‍රපට නරඹමින් යාවත්කාලීන වන බව කියාසිටියත් සැබැවින්ම අපේ චිත්‍රපට රසවින්දනයේ් නියම හැඩතල නිර්මාණය වී ඇත්තේ අතීතයේ අපේ නව යොවුන් අවධියේ යම් යුගයක සිනමා මතකයන් ඇසුරෙන් බව අද සිටින චිත්‍රපට රසිකයන් වුවත් දැන හඳුනාගෙන ඇතැයි මා සිතනවා.

අප අද නරඹන අලුත්ම චිත්‍රපටයක් ඔස්සේ වුවත් අප අතීතයේ යම් යුගයක දැඩි ලෙස ආශාවෙන් බැඳුණු නැත්තම් සිත පතුලේ තැන්පත් වුණු විවිධාකාර සිනමා රූපමාලාවන් යම් යම් රංගන ශිල්පීන්ගේ රූපය සහිත රූපරාමු, සංගීත ඛණ්ඩ, ශබ්ද හෝ දෙබස් උච්චාරණයන් අපේ සිත මතුපිටට රැගෙන එන බව අපට තදින් දැනෙනවා. ඇතැම් විට අපේ චිත්‍රපට රසවිඳීමේ මිණුම් දඬු හෝ රසිකත්වයේ ස්වභාවය හා වින්දන රාමුව තනාදෙන්නේ අර පැරණි සිනමා මතකයන් මත විය හැකියි. අපේ අතීත චිත්‍රපට මතක සැමරුම් අද නරඹන චිත්‍රපටය ඔස්සේ පරීක්ෂා කිරීම හෝ නැවත මතකයට ගනිමින් යම් අතීතාස්වාදයක ගිලී යෑම වෙන්න පුළුවනි. මෙය පාලනය කළ නොහැකි පුද්ගල රසිකත්වය සමඟ පැන නඟින ගැටලුසහගත තත්ත්වයක් (බොහෝ චිත්‍රපට විචාරකයින් වැනි අය මේ මතකයට එකඟවෙන බවක් පෙනෙන්නේ නැහැ. ‘චිත්‍රපට රසවින්දන අත්දැකීම” ගැන වුවද මනා තාර්කික ආස්ථානයක සිට බලන්නට ඔවුන් පුරුදු වී සිටීම ඊට හේතුවක් විය හැකියි) ඒ කෙසේ වෙතත් පොදු චිත්‍රපට රසිකයා නම් තම අතීත චිත්‍රපට මතකය සමඟත් තදබල ලෙස සිතින් බැඳී සිටිමින් චිත්‍රපට රසවිඳින බව අපට තවමත් පෙනී යනවා. විශේෂයෙන් හැත්තෑව හා අසූව දශකයේ අවසාන භාගයේ දක්වාම වැඩිමනක් ලෙස කළු සුදු චිත්‍රපට වල රූපරාමු, රූප මාලාවන් හෝ චිත්‍රපට ගීත දර්ශන මෙන්ම තියුණු කළු සුදු රූප ලෙස මතකයට එක් වූ ප්‍රබල චරිතාංග රංගනයන් එදා පොදු චිත්‍රපට රසිකයාගේ චිත්‍රපට රසවින්දන තත්ත්වයන් ස්ථාවර ලෙස සකස් කළ බවක් පැහැදිලියි. කළු සුදු සිනමාවක් ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තර සිනමා රසිකයින්ගේ ද චිත්‍රපට රසවින්දන පරාසය දැනුම්වත් බව මෙන්ම සිනමාව කෙරේ වන ආකර්ෂණය හා ජීවිත අවබෝධය ද පුළුල් කළ ප්‍රබල කලාකරුවන් ගණනාවක් රසික අපගේ මතකයේ තැන්පත් සිටිනවා. ඒ අතරින් මේ ඔක්තෝම්බරයේ නැවත සැමගේ අපේම සිනමා ප්‍රතිරූපයක් වෙත අවධානය යොමු කරන්නට ස්වරූප සුදානම් වෙනවා.

1945 ඔක්තෝම්බර් 09 වනදා උපත ලබා හැටේ දශකයේ අගභාගයේ චිත්‍රපට රංගනය වෙත ප්‍රවේශ වුණු එක් විරල සුන්දරත්වයක් පෙන් වූ කඩවසම් තරුණයෙක්, ඊට දශයකට පසුව ශ්‍රී ලංකාවේ ජන ආකර්ශණය පිළිබඳ එතෙක් මෙතෙක් ලද ඉහළම පරාසය සලකුණු කළේ ඊට ඉහළින් ජනපි‍්‍රයත්වයක් අත්පත් කරගත හැකි කිසිවෙක් ඉතිරි නොකරමින්. මෙරට පොදු චිත්‍රපට රසිකයන්ගේත් සමස්ත පොදු ජනයාගේත් ඉහළම ආකර්ෂණය හා ආදරය දිනාගත් පොදු ජන තාරකාවක් සේ පිළිගැනෙන ඔහු ‘විජය කුමාරතුංග නම් වුණා. සිනමාතිරයේදී පේ‍්‍රක්ෂකයා දැඩි ලෙස ආකර්ෂණය කරගැනීමේ විස්මිත හැකියාවක් පෙන් වූ විජය කුමාරතුංග එදිනෙදා දිවියේ ද ඒ ආකර්ෂණය එලෙසම දිනාගත්තේ ඔහු නිසගයෙන් උරුම කරගත් ‘සුන්දරත්වය’ හා කඩවසම් බව ආත්ම කොටගත් දේහ භාෂාවන් හා චර්යා ලීලාවන් නිසා බව පැහැදිලිව පෙනෙනවා. ඔහු නිරූපණය කළ සෑම චරිතයක්ම රංගනයක්ම මෙරට පොදු පේ‍්‍රක්ෂකයා දෑස් දල්වා බලාසිටියේ මූලිකවම ඔහුගේ මුහුණවරත් දේහ භාෂාවත් කිසියම් පරමාදර්ශී පුරුෂ සුන්දරත්වයක් බවට සිතින් පත්කරගත් නිසයි. පසුකාලීනව විජය ද ඒ කඩවසම් රූපකයත්, තම චර්යාවන් ද ඇතුළත් දේහ භාෂාවත් දැඩි පේ‍්‍රක්ෂක අවශ්‍යතාව නිසාම කිසිදු වෙනසක් නොකර එලෙසම ප්‍රදර්ශනය කරන්නට උත්සුක වූ බවක් පෙනෙනවා. චිත්‍රපට රංගනය යනු ‘තමාවම ප්‍රක්ෂේපණය’ (Self Projection) කිරිම මූලික කොටගත් කාර්යයක් යන ජනපි‍්‍රය මුළාවට ඔහු පවා ගොදුරු වූවා ද යන ‘ගැටලුව විජයගේ පසුකාලීන ඇතැම් රංගනයන් ඇසුරේ විමසන්නට රංගනය පිළිබඳ තියුණු විමර්ශණාත්මක දැක්මක් ඇති විචාරකයකුට අවශ්‍ය නම් පුළුවනි. එහෙත් සිනමා තරුවක් හා ජනපි‍්‍රය සමාජ ප්‍රතිරූපයක් ලෙස ඔහු කුමන ප්‍රතිරූපයක් පවත්වාගෙන ගියත් තමා රඟපෑ ප්‍රබලම චරිත නිරූපණ සහිත චිත්‍රපට දහයක දොළහක් තුළ ඒ ඒ චරිත ලක්ෂණ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පේ‍්‍රක්ෂක සිතේ තැන්පත් කරන සුලු මනා රංගන හැකියාවක් පෙන්වන්නට ඔහුට හැකි වූ බව අපේ මතකයට නංවා ගත යුතුයි. ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයේ බන්දුගේ චරිතය ඔහු නිරූපණය කරන අයුරු මතකයට ගෙන බලන විට එහි කිසිදු ජනපි‍්‍රය ආකර්ෂණීය ප්‍රතිරූපයක් පවත්වාගෙන යාමක් දැකිය නොහැකියි. ‘අහස්ගව්ව, චිත්‍රපටයේ ‘මහතුන්’, ‘බඹරු ඇවිත්’ හී ‘වික්ටර්’, ‘පාරදිගේ ‘හී චන්දරේ, ‘පොඩි මල්ලී චිත්‍රපටයේ ‘ගුණපාල’, ‘කරුමක්කාරයෝ’, හී ‘එලිසොන්’, වැනි චරිත තුළින් සුපුරුදු විජය කුමාරතුංග නම් සිනමා තාරාකාවන් දැකිය හැකි ද? මේ චිත්‍රපට කිහිපයේ දී අප ඔහුගේ රූපකාය ඔස්සේ දකින්නේ ඒ චිත්‍රපටවල අත්දැකීම් හා එහි පරිසරයට අනුව හැසිරෙන චරිත කිහිපයක් පමණයි. (එහෙත් ඒ යුගයේ වුවද මෙරට වැඩි ප්‍රේක්ෂක පිරිසක් “බඹරු ඇවිත්” හෝ කරුමකකාරයෝ” වැනි චිත්‍රපට නැරඹුවේ ඒ ඒ අදාළ චරිත ලක්ෂණ හෝ ප්‍රබල සිනමාරංගනයන් නැරඹීමට නොව විජය කුමාරතුංග දැක ගැනීමට වීම විස්මයක් මෙන්ම අභාග්‍ය සහගත සිනමා රුචිකත්වයක් ද සලකුණු කරන බව පෙනී යනවා.

විජය කුමාරතුංග චරිතයක් නිරූපණය කිරීමට පිවිසෙන්නේ එම චරිතය පිළිබඳ දැඩි අනුරාගයකින් හෝ භාවමය බැඳීමක් ඔස්සේ නොවන බව පැහැදිලියි. සාමාන්‍යයෙන් චරිතයක් මුහුණදෙන තීව්‍ර මනෝභාවයන්වලට අවබෝධය සමඟ සංවේදී වෙමින් නිතර වෙනස් වන අභිනයන් ඔස්සේ තියුණු භාව නිරූපණයක් කරන රංගන ශිල්පියකු නොවන විජය තුළින් මතුවන්නේ සරල මෙන්ම වඩා ශාරීරික පිවිසුමක් සහිත රංගන ශෛලියක් බවයි. මා නම් සිතන්නේ ඔහුගේ චිත්‍රපට රංගනයේ මුල් අවධියේ සිටම ඔහු තුළින් පළ වූ ලක්ෂණයක් වුණේ චරිතයක් සමඟ තදබල භාවමය බැඳිමකින් තොරව චරිතයකට පිවිසීමයි. ඔහු අතින් සිදුවුණේ තමාට වඩා ආවේණික ඉංඟිත, අභිනයන් හෝ ශරීර චලන සමඟ චරිතය අර්ථකථනය කිරීමයි. ඔහුගේ වඩා ප්‍රබලම චරිත නිරූපණයක් ලෙස සැලකිය හැකි ‘පාරදිගේ’ මෙහිදී සුවිශේෂී වෙනවා. විජය මේ චිත්‍රපටයේදී නිරූපණය කරන්නේ තමාගේ ගැමි අත්මුල් මුළුමනින්ම සිඳගත් එමෙන්ම නාගරික ජීවන චර්යාවන් හා වටිනාකම් පවා තදින් බදා වැලඳ නොගත් කිසියම් පිටස්තර වාදී පැවැත්මක් ඇති කාර්සීසර් වරයකුගේ චරිතයක්. ඔහුගේ සුපුරුදු සරල හා ශාරීරික එළඹුමක් සහිත රංගන විලාසය, ‘පාර දිගේ’ චිත්‍රපටයේ ‘චන්දරේගේ චරිත ලක්ෂණ හා චර්යාවන් සමඟ මනාව සමජාගත වෙනවා. තමා ඉදිරියේ සිදුවන කිසිදු සිදුවීමකින් භාවමය සසලවීීමකට හෝ අවුලකට පත් නොවන පිටස්තරවාදී පැවැත්මක් ඇති චන්දරේගේ චරිතයට විජය බලවත් සාධාරණයක් ඉටු කරන්නේ තදබල වෑයමක් නොදරා නිරායාසයෙන් යුතුවයි.

‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ ‘විලිසොන්’ ගේ චරිතය, චන්දරේට වඩා වෙනස් ලෙසයි ලියැවි තිබෙන්නේ. තම සොයුරාගේ බිරිය සමඟ අනුරාගී පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වීමත්, ගමේ සිදුවෙමින් එන සමාජ දේශපාලන හා ආචාර ධාර්මික විපර්යාසත් නිසා ආධ්‍යාත්මික හා මානසික ප්‍රතිවිරෝධයකට මෙන්ම භාවමය කම්පනයකටත් ලක්වන විලිසොන්ගේ චරිතයට ද විජය එළඹෙන්නේ සියුම් හා චංචල අභිනයන්ගෙන් තොර යම් පිටස්තරවාදී සරල ශරීර චලන භාෂාවක් සමඟයි. එවැනි පිවිසුමක් සමඟ වුවත් විලිසොන්ගේ චරිතය මතකයේ රැඳෙන ලෙස නිරූපණය කරන්නට ඔහු සමත් වෙනවා. තම මුහුණුවර හා කඩවසම් රූපකාය අංග රචනා මඟින් තදබල ලෙස වෙනස්කොට ‘පොඩි මල්ලී’ චිත්‍රපටයේ ගුණපාල නම් රළු බියකරු පෙනුමක් ඇති ගැමි තරුණයකුගේ චරිතයට එළැඹෙන විජය නැවත වතාවක් තම රංගන කුසලතාව මනාව විදහා පාන්නට සමත් වෙනවා. ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටයේ සිරිපාලගේ චරිතයට අධ්‍යක්ෂවරයා (ටයිටස් තොටවත්ත) විසින්ම පනවන ලද කිසියම් අයරංගන රටාවක් තමාට උරුම සරල අභිනය හා දේහ භාෂාව මඟින් පාලනය කොට ඉදිරිපත් කරන්නට විජය උත්සාහ දරනවා.

හැත්තෑව දශකයේ වඩා සිනමානුරූපී ජනපි‍්‍රය වාණිජ සිනමාවක් වර්ධනය වූ අවධියේ විජය කුමාරතුංග නම් ආකර්ෂණීය කඩවසම් සිනමාකරුවා ඒ සිනමාවේ ප්‍රධාන ප්‍රකාශණ මෙවලමක් බවට පත්වෙනවා. එදා ඔහු මෙරට ජන ආකර්ෂණීය සිනමාවක් සමඟ වේගයෙන් ගොඩ නගාගත් ‘කඩවසම් අහිංසක පෙම්වතා’ පිළිබඳ ප්‍රතිරූපය තවත් දශකයක් ගෙවෙනතුරුම ‘පොදු රසිකයාගේ පරමාදර්ශී චරිත ලක්ෂණය ලෙස ලාංකික ජන සමාජය පුරා පැතිර ගොස් තිබුණා. ‘තුෂාරා, හතරදෙනාම සූරයෝ, සංගීතා, වාසනා, සුසී, පෙම්බර මධු, සැණකෙළිය, බඳු, චිත්‍රපට මෙන්ම ‘නැවත හමුවෙමු.’ ‘අංජානා’, මිහිදුම් සිහින, ‘නොම්මර 17, ‘ජය අපටයි’ වැනි චිත්‍රපට දක්වා ඔහු රැගෙන ආ වර්ධනය කළ ආකර්ෂණීය ජනපි‍්‍රය සිනමා ප්‍රතිරූපය මෙරට පරම්පරා තුනක ජනයා ආදරයෙන් වැලඳගත්තේ මෙරට සිනමා හා ජන සංස්කෘතික ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තබමින්. ශ්‍රී ලාංකික සිනමා සංස්කෘතික ඉතිහාසය පිළිබඳව සිහිපත් කිරීමේදී විජය කුමාරතුංග නම් කීර්තිමත් මිනිසාගේ දායකත්වය දැවැන්ත පරිච්ඡේද කිහිපයකට සලකුණු තබා තිබෙනවා. විජය තවමත් ලාංකීක ජනමනසේ පතුටලම වැද ආදරය උපදවන සොඳුරු කළු සුදු රූප රාමුවක දිවි ගෙවනවා නේද?...