“අඳුරු විජිතයෙන් ආලෝකයේ ගමන් මඟට”

සැප්තැම්බර් 29, 2022

අප ජීවත්වන සමාජ සංස්කෘතික රාමුව තුළ ප්‍රේමයට විවිධ සීමා පැනවීම් දක්වා ඇත. හුදෙක්ම ප්‍රේම කිරීමට සුදුසු වයස් සීමාවන් මිනිසා විසින්ම නිර්මාණය කරගෙන ද ඇත. 69 තුළින් එම සංස්කෘතික සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින්, ප්‍රේමය රැකවරණය සහ මානුෂීය කාරණා මිනිසා විසින් සීමා රහිතව අත්විඳිය යුතු අයිතිවාසිකම් බැව් පසක් කර දෙයි. එක්තරා කාල වකවානුවක සිනමාවේ ජනප්‍රිය තරුවක් ලෙසින් ප්‍රේක්ෂක සමූහයා අතර මහත් ප්‍රසාදයට පත් රංගන ශිල්පියකුගේ ජීවිත කතාව, ප්‍රබල මානව අවැසියාවක් වන ප්‍රේමය සමඟින් සොඳුරු හා විචිත්‍රවත් සංකලනයක් ලෙස ප්‍රේක්ෂකයාට සමීප කරවීමට 69 තුළින් උත්සාහ දරා ඇත.

අකාලයේ සමුගත් සිය භාර්යාවගේ ඇවෑමෙන් අනතුරුව තම රංගන දිවියට නැවතුම තබන ඔහු , සුහුඹුල් තාරුණ්‍යයේ වෙසෙන දියණිවරුන් දෙදෙනා වෙනුවෙන් තම දිවි කැප කරමින් සිටී. දෙනෙත මෙන් රැක බලා ගනිමින් ඔවුනට මවකගේ සෙනෙහස ද නොඅඩුව ලබා දෙන ඔහු , දියණිවරුන්ගේ විවාහයෙන් පසුව හුදකලා ජීවිතයකට යොමු වේ. මැදිවිය ඉක්මවා සිටි ඔහු දැඩි ලෙස මානසික හා කායිකව හුදකලා වී , ජීවිතය පිළිබඳව දැඩි කලකිරීමට පත් වන්නේ හුදෙක් සෘණාත්මක ආකල්ප පමණක් ම හිත තුළ රඳවා ගනිමිනි. එලෙසින් දැඩි මානසික ආතතියට ලක්ව සිටි ඔහු එක්තරා දිනක යළි සුපුරුදු ක්‍රියාශීලිත්වයෙන් යුතුව අවදි වෙයි. සුසුම පමණක් ඉතිරිව අතහැර දැමූ ජීවිතයේ පුනරාගමනයට අවතීර්ණව, ජවයෙන් බලගැන්වෙන ඔහු තරුණයන් සතු ජවය ද අතික්‍රමණය කරයි. වියපත් රංග ධරයාගේ නව පරිවර්තනයට හේතුව 69 තිරයට ආ දිනෙක පැහැදිලි වනු ඇත.

69 සිනමා පටය ප්‍රේක්ෂකයාට තිළිණ වන්නේ, වින්ධ්‍යා හාරිස්පත්තුවගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය ලෙසසි. පාසැල් වේදිකාවෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනයට සමුදීමෙන් අනතුරුව, පුවත්පත් මාධ්‍යවේදිනියක් ලෙසට ද කටයුතු කර ඇති අතර  A Anatomist   නමින් සිය ප්‍රථම කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් , ප්‍රංශයේ පවත්වනු ලබන කෑන්ස් කෙටි චිත්‍රපට උලෙළ නියෝජනය කිරීමට ද වරම් ලබා ගනී. “69” මතභේදකාරී සිනමා වෘත්තාන්තයක් ලෙස , ඇය විසින් හඳුන්වනු ලබයි.

69 චිත්‍රපටයේ රංගන දායකත්වය

ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, සසී ඇන්ජලිනා, ධනුෂ්ක නිලවීර, රමණි දමයන්ති, සචිත්‍ර කල්‍යාණජිත්, වික්‍රම සෙනෙවිරත්න, ඩිලානි වැලිවිටගොඩ, දිනේෂ් සංජීව, යශූ ඒකනායක

69 චිත්‍රපටයේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය හා සම තිර රචනය - වින්ධ්‍යා හාරිස්පත්තුව

කතා සංකල්පය, තිර රචනය හා නිෂ්පාදනය - යූ.ඒ. පල්ලිගුරු

සහය අධ්‍යක්ෂණය - දිනේෂ් සංජීව

කැමරා අධ්‍යක්ෂණය - හර්ෂ ආරියවංශ

කැමරා සහය - කාවින්ද ඩී. සිල්වා

සංස්කරණය, ශබ්ද සංකලනය සහ වර්ණ

සංයෝජනය - නිරෝධා වෙරංග පෙරේරා

අංග රචනය - චතුරිකා සඳමාලි

කලා අධ්‍යක්ෂණය - විදුර සාරංග

කලා අධ්‍යක්ෂණය සහය - නිපුණ කොඩිකාර, මලිත් හේවාවසම්

ඇඳුම් නිර්මාණය - ශානිකා නිලුපුලී, මහීන් ඒකනායක

නිෂ්පාදන කළමනාකරණය - ෂර්ලි සමරසිංහ

නිශ්චල ඡායාරූප - කල්ප මේනක පීරිස්, චාරුක පෙරේරා

පසුතල නිර්මාණය - තෙවරාජ් නඩරාජා, සම්‍ය ලොකුපටබැඳීගේ

අලෝකකරණ සහය - මනෝජ් ඒකනායක, විමර්ශ අත්තනායක, සඳුන් මනෝ දිසානායක

ගිණුම් පරිපාලනය - අමිල බස්නායක

ප්‍රවාහන කළමනාකරු - විමල් ගුණරත්න

ශබ්ද පටිගත කිරීම, සංස්කරණය හා වර්ණ සංයෝජන මැදිරිය, ප්‍රචාරණය - Guththila Strategic Solutions [pvt] LTD

ඉදිරිපත් කිරීම - ගුත්තිල ෆිල්ම්ස් සහ ඩී. සිනමා