සිනමාවේ අර්බුද නිසා මගේ චිත්‍රපට පමාවුණා

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි
සැප්තැම්බර් 29, 2022

70 දශකයේ ඩී.බී. නිහාල්සිංහ සහ ඩොනල්ඩ් කරුණාරත්නගේ සමකාලීනයකු වූ රෑන ගිරව්, රන්මුතු දූව වැනි සිනමා පටවල සහය කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංජිත් හෙට්ටිආරච්චි සිනමාවේ සිටි දක්ෂ කැමරා ශිල්පියකි. රංජිත් හෙට්ටිආරච්චි නම් පියාගේ අඩි පාරේ යමින් කලාවට පිවිසෙන ඔහු ශ්‍රීපාලි හෙට්ටිආරච්චියි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ 4වන වසරේ අධ්‍යාපන හදාරන කාලයේ ලංකාවේ දීර්ඝතම නාට්‍ය වන කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රංගනයට අවස්ථාව ඔහුට හිමිවෙයි. ඉන් අනතුරුව කොළඹ නාලන්දා විදුහලේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන ශ්‍රීපාලි පසුව උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රි ජවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වේ. ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු ලෙස සිටින අවධියේම ඔහුගේ සහජ දක්ෂතාවය නිසාම පියාගේ අඩි පාරේ යන්නට ඔහුට අවස්ථාව හිමි විය. එවකට ප්‍රධාන නාලිකා දෙකට අමතරව පෞද්ගලික නාලිකා පිහිටුවීමෙන් ස්වර්ණවාහිනී නාලිකාවේ සහාය කැමරා අධ්‍යක්ෂකවරයකු ලෙස පළමු කණ්ඩායමට ඇතුළත් වීමේ භාග්‍යය ශ්‍රීපාලියට හිමි වුණි. රැකියාවත් අධ්‍යාපනයත් යන දෙක මැනවින් ඉටු කරගනී. දිගු කාලයක් සහය කැමරා අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කළ ඔහු. උපාධිය ලැබා ගැනිමන් අනතුරුව නිමල් ලක්ෂපතිආරච්චි මේ තරුණ කැමරා අධ්‍යක්ෂකවරයා ගේ වැඩ ගැන පැහැදීම නිසා සිරස මාධ්‍ය ජාලයට ආරාධනාවක් ලැබුණි. මේ වකවානුවේ ප්‍රියන්ත විජේසිංහ, ජයප්‍රකාශ් සිවගුරුනාදන් යන දෙදෙනා ද හඳුනාගන්නට හැකිවිය. ඔවුන් තිදෙනා හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය එම්.ටී.වී සහ එම්.බී.සී නාලිකාවේ සහාය විධායක වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරියකු ලෙස සේවයට එක් විය.

මේ කාල වකවානුවේ ඔහු රූපවාහිනි අභ්‍යාස ආයතනයේ ද පාඨමාලාවක් ද හදාරමින් සිටියේය. විධායක වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන අතරතුර ඔහුට සිව ගුරුනාදන්ගේ තෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට හැකිවිය. නෝනාවරුනි මහත්වරුනි, ෆැන්ටිසි ඇවනිව්, දාමිණී යන ටෙලි නාට්‍යය තුනක තෙවැනි සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට හැකි විය. මේ කාලවකවානුවේදී ම මියුසික් වීඩියෝ කිහිපයක් ද ඔහු අතින් නිර්මාණය විය. 2000 වසරේ නව පිටුවක් පෙරළමින් කැරොකේ මියුසික් විඩියෝ රැල්ලක් ඇති විමේ ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රීපාලි අතින් මියුසික් වීඩියෝ ගණනාවක් නිර්මාණය විය.

සිරස මාධ්‍ය ජාලයේ වැඩ කරන කාලය තුළදීම ඔහු ඉගෙන ගත්ත දෙයින් නිර්මාණයක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කිරීමට ඔහුගේ යටි සිත හැම වෙලේම සටහනක් තැබුවේය. ඒ හීනයට යටගියාවේ මතක සටහනක් ද එකතුවේ. දොන් සිංහ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි යන නම තැබුවේද තම පියා හට කැමරා අධ්‍යක්ෂ සහ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් ශ්‍රීපාලි මතු යම් දිනක අධ්‍යක්ෂකවරයකු වන බව කියූ නිසයි. නිහාල්සිංහයන් මතක් වීම සඳහා ඔහුගේ පියා සිංහ කියන කෙටි යෙදුම යෙදූ බව ශ්‍රීපාලී ට දැනුම් තේරුම් ඇති කාලේ තුළදී පියා සඳහන් කර ඇත. ශ්‍රීපාලි ගැන කවුරුත් නොදන්නා තවත් රහසක් වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන් ඔහුගේ මාමා වීමත් ක්ලැරන්ස්ගේ ගීතවල අයිතිය ශ්‍රීපාලිට මේ වන විටත් හිමිවී ඇති බවත්ය. තෙවැනි සහාය අධ්‍යක්වරයා ලෙස කටයුතු කරන කාලසීමාව තුළදී අධ්‍යක්ෂණය සම්බන්ධව ලබාගත් දැනුමෙන් ඔහුගේ ප්‍රථම ඒකාංගික ටෙලි ටෙලිනාට්‍ය ලස්සන අවුරුද්දක් අධ්‍යක්ෂණය කළේය. එය ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය විය. ඔහුගේ මේ කුලුඳුල් නිර්මාණය සඳහා ප්‍රවීණ රංගවේදීන් වන සනත් ගුණතිලක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අනුලා කරුණාතිලක යන ශිල්පින් උපකාර කළහ. එයින් ආරම්භ කළ ගමන තුළ හෙට්ටිආරච්චි අතින් ඒකාංග ටෙලිනාට්‍ය පහක් හයක් අධ්‍යක්ෂණය විය. ලස්සන අවුරුද්දක්, පවක මහිම, බක්මහ සිත්තම්, රතු පලසක්, අවුරුදු තෑග්ගක් යන නිර්මාණ ඒ අතර කිහිපයකි. මේ නිර්මාණ කිහිපය අතරින් අවුරුදු තෑග්ග නාට්‍යයට ඔහුට සම්මානයක් ද හිමි විය

සම්මානය හිමිවීමෙන් පසු ස්වාධීන රූපවාහිනී නාලිකාවේ පෝය දිනට පමණක් විකාශය වන සිත නිවන කතා ඒකාංගික ටෙලිනාට්‍ය මාලාව අධ්‍යක්ෂණයට ශ්‍රීපාලි හෙට්ටිආරච්චිට හිමිවිය. මේ කාලසීමාව තුළදීම ජාතික රූපවාහිනියේ කොටස් 35 කින් සමන්විත පවක මහිම ටෙලිනාට්‍ය විකාශය වීම ද ඔහු ලද තවත් ජයග්‍රහණයක් විය. එකල ශ්‍රීපාලිය අධ්‍යක්ෂණය කළ කිරි අම්මා ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගන්නට සමත් විය. ඉන් අනතුරුව 2011 වසරේදී සිනමා අධ්‍යක්ෂණයට පිවිසීමට ඔහුට වරම් හිමිවිය. ශ්‍රීපාලිගේ පළමු සිනමා නිර්මාණය වන්නේ ගොඩ්ඩින් ඇන්ඩ් ඇඩ්ඩින්ය. දෙවැනි සිනමා නිර්මාණය වන්නේ පූජනීය ආදරයයි. පෙර සිනමා නිර්මාණ දෙකටම වැඩිය ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ ගත් සිනමාපටය වූයේ ශ්‍රීපාලි ගේ සුජාත පුත්‍රයි. ළමා චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය වූ සුජාත පුත්‍ර නිසා ශ්‍රීපාලිට පසුකලක සුජාත පුත්‍ර අධ්‍යක්ෂක ලෙස නම් පට බැඳුණේ ය. අදටත් සිනමා ක්ෂේත්‍රය තුළ ඕනෑම වැඩකදී සුජාත පුත්‍ර ඇවිත්ද නැද්ද කියන වචනය නිතර ඇසෙන්නට ලැබේ. දින එකසිය තිස් දෙකක් පමණ මෙම චිත්‍රපටිය තිරගත වීම ශ්‍රීපාලි ලැබූ ජයග්‍රහණයකි. ඔහුගේ නවතම සිනමා පටය වන්නේ අභිශේකයි. මෙහි පසු නිෂ්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවෙන බවයි ශ්‍රීපාලි ගේ අදහස් ගොන්නට එකතු වුණේ. අභිෂේක චිත්‍රපටයට පෙර ඔහු අධ්‍යක්ෂණය කළේ බ්ලොක් බස්ටර් සිනමා පටයයි. ආරක්ෂක අමාත්‍යාංශය මගින් ආරක්ෂක හේතූන් මත ගත් තීරණයක් මත බ්ලොක් බස්ටර් අතරමග රූපගත කිරීම් නවතා දැමිමට ශ්‍රීපාලිට සිදුවිය. මත්ද්‍රව්‍ය පිළිබඳ පොලිසියත් බන්ධනාගාරයත් අතර සිදුවෙන කතාවක් ඇතුළත් තිර රචනයක් වන මෙය නවතා දැමුවේ කුමන හේතුවක් මතද කියා සියලු දෙනාටම ප්‍රශ්නයක් විය. සිනමා පටය ඉන්දීය නිෂ්පාදනයක් වන අතර මේ වන විට නඩු මාර්ගයෙන් මෙය විසඳා ගැනීමට අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරු තීරණය කර ඇත. මෙම සිනමා පටය නවතා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ එවකට බලධාරීන් බවයි ශ්‍රීපාලි හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ. එහෙයින් ශ්‍රීපාලි ට සිදු වූ අලාභය හා හානිය කීර්තිනාමය ඉන්දීය නිෂ්පාදනයක් නිසා මෙතකැයි කියා ගණන් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ. මගේ මේ චිත්‍රපටයට වුණ දේ තමයි ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඬයි කියන සිනමා පටයටත් වුණේ. ශ්‍රීපාලි ගේ මීළඟ නවතම සිනමාපටය මේ ඔක්තෝබර් අවසානයේ රූපගත කරන්න තමයි ඔහු බලාපොරොත්තුවෙන් සිටින්නේ. රටේ පවතින ආර්ථික වාතාවරණය තමාගේ නිර්මාණ සියල්ලම පමා වූ බවයි ඔහු සඳහන් කළේ.

සිරස මාධ්‍ය ජාලයේ අවුරුදු දහ අටක් සේවය කිරීමෙන් පන්නරය ලබාගත් ඔහුගේ නවතම ක්‍රියාදාමය වන්නෙ 2019 වර්ෂයේ පිහිටු වූ ඉඊඍ නමින් සැටලයිට් ටීවී නාලිකාවක හිමිකරු ලෙස කටයුතු කිරීමයි. මීට අමතරව ව්‍යාපාර කටයුතු ලෙස ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතාත් සමඟ මොරටුව සිනමා හලක් පවත්වා ගෙනයාම, සැලූන් දෙකක් සහ මහරගම ප්‍රදේශයේ තානායම් දෙකක් පවත්වාගෙන යයි. රට පුරාම තානායම් සමුහයක් ආරම්භ කිරීමටත් සිනමා පට කීපයක් නිෂ්පාදනය කිරීමටත් අධ්‍යක්ෂණය කිරීමටත් ඔහු පියවර ගෙන තිබේ. ඔහුගේ නවතම ව්‍යාපාර කටයුතු රැසකට පසුගියදා පියවර තැබූවේය. “මේ ව්‍යාපාර කටයුතු වලට අමතරව නවතම සිනමා පටයක වැඩ කටයුතු ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන් මේ දේ කිවයුතුමයි. ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නවා දන්නවා වගේ පෙන්නන කිසිම දෙයක් දන්නැති පුද්ගලයෝ. ඔවුන් නිසා තමයි මේ සිනමා කර්මාන්තයත් ඇත්තටම අද වැටිල තියෙන්නෙ. සිනමාව පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කළත් විවිධ පාර්ශ්වයන් විසින් මෙහි ඇති සිදුරු වලින් රිංගලා යනවා. සිනමාහල් කරා ප්‍රේක්ෂකයන් ඇදී නොයෙන්නේ සිනමාහල් වල තියෙන අඩු පාඩුකම් නිසාත් හොඳ නිර්මාණ බිහි නොවෙන නිසාත් තමයි.”

මේ සියලු දේවල් සමඟ ශ්‍රීපාලි ගේ අලුත් ජීවිතේ පටන් ගන්න යනවා කියන එකත් ඔහු සඳහන් කරන්නේ හරිම සතුටින්. මේ සියලු දේවල්වලට ඔහුට ශක්තියක් වන්නේ අම්මයි.ව්‍යාපාර කටයුතුත් කලා කටයුතුත් සමබරව අරගෙන යාමටයි ඔහුගේ එකම පැතුම. සිනමාවට තිබෙන දැඩි ඇල්ම නිසා ශ්‍රීපාලි කිසි දිනක සිනමාව අතහැර නොයන බවත් වැඩි වැඩියෙන් නිර්මාණකරණයේ යෙදීමටත් ඔහුගේ එකම බලාපොරොත්තුවයි.