හිරු සඳු එකවර දෙපස නැ‍ෙඟ් කළුවර ඇයි විජිතයම මගේ...

සැප්තැම්බර් 22, 2022

 

හිරු සඳු එකවර දෙපස නැගේ

කළුවර ඇයි විජිතයම මගේ...

රන්කෙන්දෙන් බැඳි

අතැඟිලි එක්කළ ආදරයයි

පෙම් රැහැනින් බැඳි

සිතුම් වසඟ කළ ආදරයයි

කිරිලියසේ දුර පියාසලාලා

අත්තටු රිදුණා පමණයි

දෑල විදාහල දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැඟේ

කළුවර ඇයි විජිතයම මගේ

කනාටු සුළඟේ දුහුල් මලකි අද

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ

මා හෙට දින සමුගන්නේ

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ

ගී නද - සරත් දසනායක

ගී හඬ - ආචාර්ය නන්දා මාලිනි

 

 

දෙදෙනෙකුගේ ආදරයේ කූටප්‍රප්තිය “විවාහය” ලෙස සමාජයේ පොදු මිනුමක් තිබේ. රන්හුයකින් දැගිලි බැඳ, පෝරුමස්තකාරූඪාකර චාරිත්‍රානුකූලව එම විවාහය සිදුවේ. එම මොහොතේ නෑ සිය පිරිවර ඉදිරියේ, ආසිරි සුබ පැතුම් මැද ආදරය මල්ඵල ගන්වන ජීවිතයේ අති සොඳුරු මොහොතකි.

මෙම ගීතය ගයන ඇයත්, මේ සොඳුරු හිමිකම ලද ස්ත්‍රියකි. ඇයට ද රන්කෙන්දෙන් අතැඟිලි බැඳ දුන් ආදරයක් හිමිය. ඒවගේම ඇයට මේ වන විට පෙම්රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයක් ද හිමිය. විවාහ ජීවිතය තුළ සිටින අවස්ථාවේදීම ඇයට පෙම්වතෙක් හමු වී තිබේ. ඔහුගෙන් ලද ආදරය, රන්හුයෙන් බැඳුණු ආදරයට වඩා ප්‍රබලය. ඇයගේ සිතුම් පැතුම් වසඟ කර ගනිමින් ඔහු වෙත ඈ ආකර්ෂණය කරගැනීමට පෙම් රැහැනින් බැඳුණු ප්‍රේමය සමත් වී සිටී. ඒ නිසාම රන්හුයෙන් බැඳුණු ආදරයට වඩා පෙම් රැහැනින් බැඳුණු ආදරය ඇයට දැනෙයි. ඇය විඳියි.

ඒත් විවාහක ස්ත්‍රියකට සිය ස්වාමියාට හොර රහසින් වෙනත් පෙම්වතකු ඇසුරු කිරීම, ඔහු වෙත සෙනෙහස පිදීම එතරම් පහසු කරුණක් නොවේ. කිනම් මොහොතක හෝ සඟවාගෙන සිටින ඔවුන්ගේ පේ්‍්‍රමය පිළිබඳ රහස එළි විය හැකිය. ඇයත් දැන් මේ තත්ත්වයට මුහුණ පා සිටී.

ඇය සිය ස්වාමියාගෙන්, අපේක්ෂිත ආදරය, කරුණාව, රැකවරණය හරිහැටි නොලද ගැහැනියකි. ඒ් නිසාම අහඹු ලෙස හමු වූ තරුණයකුගේ පේ‍්‍රමය ඇයගේ ජීවිතය වෙනස් කිරීමට, සුන්දර කිරීමට සමත් වෙයි. ඒ පේ‍්‍රමයෙන් පිනායන ඈ ඔහුට අසීමිතව ආදරය කරයි.

ඔහුගේ රුවට, හඬට, ගති ගුණවලට, ඈ කෙරෙහි දක්වන සැලකිල්ලට, විශේෂත්වයට ගැහැනියක් ලෙස ඇය බොහෝ සේ පි‍්‍රය කරයි. ඇලුම් කරයි. ඇගේ සිත ඔහු කෙරෙහි දැඩි ලෙස බැඳෙන්නට එම කාරණා හේතුවෙයි. ඒ ලද අවසරය තුළ ඔවුන්ගේම ලෝකයක් තනන්නට ඔවුන් අවස්ථාව උදාකර ගනු ලබයි.

ඒත් ටික කාලයක් ගතවන විට මෙම රහසිගත ප්‍රේමය විඩාවක් බව ඇයට හැඟෙයි.

කිරිලිය සේ ඉර පියාසලාලා

අත්තටු රිදුණා පමණයි

දෑල විදාහල දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැඟේ

කළුවර ඇයි විජිතයම මගේ

විවාහක ස්ති‍්‍රයක ලෙස ඇය මෙතැන දී විවාහය හා පේ‍්‍රමය අතර සම්මතයකට ලක් වේ. එසේ මානසිකව ඈ තුළ ඇතිවන ගැටුම්කාරී තත්වය ඉහත පද තුළින්, ඇගේ සිතිවිලි ප්‍රබල ලෙස මතුකර තිබේ. කාලයක් සමඟ ඇය රහසිගත ප්‍රේමය හේතුවෙන් මානසික පීඩාවට ලක් ව ඇති බවක් හැඟේ.

ඇය ලද නිදහසින් කිරිල්ලයක් සේ පියාසලා ඈ ඉගිළ ගියත්, දැන් ඇගේ අත්තටු රිදුම් දෙන බව ඈ පවසයි. එය ගීතයේ ප්‍රබල ව්‍යංග්‍යාර්ථයකි. ඇය මොහොතක් නැවතී, ඇගේම ජීවිතයට එබී බැලු විට ඇයට ස්වාමියාටත්, පෙම්වතාටයත් යන දෙදෙනාටම හිමි බව හැඟෙයි. දියණිය වෙනුවෙන් පවුල් ජිවිතය, විවාහය රැකගත යුතුයි. එසේම විවාහ ජීවිතයෙන් ඇය නොලද ආදරය, රැකවරණය හා සතුට ලබාදෙන ඔහුගේ ප්‍රේමය අහිමිකර ගන්නටත් ඇයට සිත් නොදෙයි.

විය නොහැක්කක් වුවත්, හිරුත් සඳුත් එකවර අහසේ දෙපස පෑයුමක්... ලෝකය කෙතරම් එළිය වෙයි ද?

ඇයටත් ඔවුන් දෙදෙනාගේම සෙනෙහස හිමි වුණත්, ඇයගේ ජීවිතය තුළ මහ හිස් බවක්, අඳුරක්, පාළුවක් ඇති බව ඇයට හැඟෙයි. ඇය මානසිකව විසල් පීඩාවකට ලක්ව සිටියි.

සුළඟට හසුවුණු දුහුළු මලක් කොයි අතට, කෙසේ ගසාගෙන යාවිදැයි කිව නොහැකිය. ඇය එවැනි මලක් බව ඇයට අවබෝධ වී තිබේ. ඒ නිසාම ඇය මේ ගැන ඉක්මනින් තීරණයක් ගත යුතුව තිබේ. එනම්, ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ... එලෙසින්, ඇය ඉදිරියේ විසඳාගත යුතු ප්‍රබල ගැටලුවක් ඉතිරි වී තිබේ. ඇය එම පැනය, ඇයගෙන්ම අසාගනු ලබන්නේ එබැවිනි.

මෙම ගීතය 1976 වසරේ තිරගත වූ “දුහුළු මලක්’ චිත්‍රපටයේ ඉතාම ජනපි‍්‍රය ගීතයකි. මේ ගීතය ගායනා කොට මේ වනවිට වසර 50ට එනම්, දශක 05ට ආසන්නය. එසේ වුවත් අදටත් මෙම ගීතය රසවිඳින රසික පිරිස අතිමහත්ය.

හි.ලි. විජේතුංගයන්ගේ ‘දුහුළු මලක්’ නවකතාව පාදක කරගෙන විජය ධර්ම ශ්‍රී විිසින් අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටය ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය නොමදව හිමි විය. තරුණ විවාහක ස්ත්‍රියක් හා අවිවාහක තරුණයකු අතර ඇතිවන රහසිගත පේ‍්‍රමය,කතාවට පාදක වී තිබේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් වන නිලුපාට, ඈ අපේක්ෂිත ආදරය, රැකවරණය, සැලකිල්ල ඇගේ කාර්යබහුල සැමියාගෙන් හිමි නොවේ. තරුණ ගැහැනියක් ලෙස ඈ කෙරෙහි ස්වාමියා දක්වන නොසැලකිල්ල ඈ සිත ඔහු කෙරෙන් දුරස් වීමට හේතුවක් වේ. එවන් පසුබිමක ඇයට අහඹු ලෙස හමුවන තරුණයකු ඇගේ සිත දිනාගැනීමට සමත් වේ.

ඇය විවාහක එක් දරු මවකි. ඇයගේ සේම, කුඩා දියණියගේ ද ආදරය දිනාගැනීමට රොහාන්ට හැකි වේ. කුඩා දියණිය මංජු, ඔහු කෙරෙහි දක්වන දැඩි ඇල්ම හා කැමැත්ත ද, ඔවුන්ගේ හමුවීම් ප්‍රේමයක් දක්වා වර්ධනය වීමට හේතු වේ.

කාටත් හොරා ගලායන මේ ආදර කතාවේ උච්චතම හා සොඳුරුම මොහොතක් ගැන මෙම සිනමාපටයේ ඇති අනිත්, ජනපි‍්‍රයතම ගීතය වන ‘බොඳමීදුම් කඳුරැල්ලේ’ ගීතයෙන් කියැවේ.

සීත කඳුකරේ මනරම් ප්‍රදේශයක දී ඔවුන්ගේ රහසිගත, සොඳුරු හමුවක දී ගැයෙන මෙම ගීතයෙන් ඔවුන්ගේ පේ‍්‍රමයේ ආදරණීය හැඟුමන්, සිතුම් පැතුම් පිළිබඳව කාලයත් සමඟ ගලායන මෙම රහස් ප්‍රේමය ගැන ඇගේ සැමියාට සැලවීමෙන් මෙය තවදුරටත් රහසිගතව සඟවාගත නොහැකි බව ඇයට අවබෝධ වේ. සිනමාපටය තුළ අවස්ථා නිරූපණයේ දී ඈ මානසිකව ප්‍රබල ගැටුමකට මුහුණ පා සිටි ඇය විවාහය හා පේ‍්‍රමය තුළ අතරමංව සිටී. ඒත් විවාහක බිරිඳක්, මවක් ලෙස ඈ ගැටලුවට විසඳුමක් සොයන්නීය. ඒ නිසාම මෙහි අවසානයක් දැකිය යුතු බව ඇය තීරණය කළාය. හෙට දින සමුදිය යුත්තේ කාටදැයි ඇය ඇගෙන්ම ප්‍රශ්න කරයි.

සිංහල ගීත සාහිත්‍ය පෝෂණෙහිලා අනුපමේය දායකත්වයක් දැක් වූ ප්‍රවීණ ගේය පද රචක, ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් මෙම චිත්‍රපටයේ බොඳ මිදුම් ගීතය මෙන්ම රන්කෙන්දෙන් ගීතය ද රචනා කර තිබේ. මෙම චිත්‍රපටය ජනපි‍්‍රය චිත්‍රපටයක් වීමට මෙම ගීත දෙක ද ප්‍රබල දායකත්වයක් ලබා දී තිබේ. ගී පද රචකයකු ලෙස ඔහු තුළ තිබු ප්‍රතිභාව ගීතවලින් මොනවට පැහැදිලි වේ.

එසේම මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ, සරත් දසනායකයන්ගේ මියුරු සංගීතය හා මුසු වූ රන්කෙන්දෙන් ගීතය ගයන ආචාර්ය නන්දා මාලිනියගේ භාවමය හඬ මුසුව ගීතයට වඩාත් සාධාරණයක් ඉටුකොට තිබේ.

මෙම චිත්‍රපටයට නීටා ප්‍රනාන්දු, රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, සමන්ති ලැනරෝල්, සුමින්ද සිරිසේන, පී‍්‍රති රන්දෙණිය ඇතුළු නළු නිළියෝ රංගනයෙන් දායක වී වූහ.

1977 පෙබරවාරි 05 වැනි දින පැවති ර්‍ණ.ධ්.ධ්.ඛ් උත්තමාචාර සිනමා සම්මාන උළෙලේ දී, නිර්මාණශීලී රංග කුසලතාව වෙනුවෙන් ටෝනි රණසිංහ හා නීටා ප්‍රනාන්දු සම්මානයට පාත්‍ර විය.