නිශ්චිත අරමුණක් නොමැති ‘ඈ’

සැප්තැම්බර් 22, 2022

සිනමාව සාක්ෂාත් කර ගත හැකි එකම ආකාරය සිනමා ශාලා ඇසුර ම නොවන වග මේ මොහොතේදී දත හැකි යථාර්ථයයි. කෙසේ නමුත් සිනමාව යනු අඳුරු කරන ලද දැවැන්ත ශාලාවක කෙළවර පිහිටි සුවිසල් දීප්තිමත් තිරය මත පතිත වන චලන රූප පද්ධතියක්ය යන නිර්වචනය තවදුරටත් අහෝසි වී නොමැතිය යන්න අසත්‍යයක් නොවේ. ලොව පුරාම කවරාකාරයෙන් හෝ සිනමා ශාලා සක්‍රියව පවතී. කෙසේ නමුත් සිනමාශාලා යනු එළඹෙමින් පවතින පැවැත්ම පිළිබඳ අර්බුදයෙන් සසල වී සිටින ක්‍රමෝපායයක් යැයි වැටහෙන්නේ පළමු වටයේදීම ය.

අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකා ඔස්සේ සිනමාපට ප්‍රදර්ශනය ප්‍රචලිත වෙමින් පවතින්නේ මේ පසුබිම අත්‍යන්තයෙන්ම ඉවහල් කර ගනිමිනි. සිනමා ශාලා ප්‍රදර්ශනයෙන් ඉතා ඉහළ ආදායම් අපේක්ෂා කළ දැවැන්ත හා ආකර්ෂණීය සිනමාපට ද මෙසේ අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකා ඔස්සේ නරඹන්නට සිදුවීම සිනමාව පිළිබඳ උක්ත නිල නිර්වචනය අභියෝගයට ලක් කරන්නක් බව පෙනේ. කොවිඩ් වෛරස බලපෑම බිහිසුණු අන්දමින් පැතිර ගිය පසුගිය සමයේ මෙසේ අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකා වඩා ප්‍රමුඛ වීම කෙරෙහි හේතු වූ වග ද අමතක නොකළ යුතු ය.

මෙතැනදී මතු කෙරෙන හා මතු කළ යුතු සුවිශේෂ කාරණාවක් වන්නේ අනන්‍යතාව හා ප්‍රමිතිය පිළිබඳ කියැවීම කවර ප්‍රමාණයකට දක්නට ලැබෙන්නේ ද යන්න යි. සිනමා ශාලා ප්‍රදර්ශනය ම ඉලක්ක කර ගෙන නිෂ්පාදිත සිනමාපට සම්බන්ධයෙන් මෙය අදාළ නොවන්නකි. එසේ වුව ද අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකාවේ ප්‍රදර්ශනය පිණිස ම නිෂ්පාදිත සිනමාපට සම්බන්ධයෙන් නම් මෙකරුණු සලකා බැලිය යුතුම ය.

එරංග සේනාරත්න සිය නවතම සිනමාපටය සේ හඳුන්වා දෙන ‘ඈ’ අන්තර්ජාල වේදිකාවක ප්‍රදර්ශනයට මුදා හරින්නේ මෙසේ සිනමා ප්‍රදර්ශනයේ නව ආකාර ලාංක්ය සිනමාවට අදාළ ව විවරණයට ඉඩ හසර පාදා දෙමිනි. ‘ඈ’ , අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකාවක් කරා රැගෙන ගිය ප්‍රථම ලාංකේය සිනමාපටය ලෙසින් ද හඳුන්වා දෙයි. එසේම ‘ඈ’ සිනමා ශාලා ප්‍රදර්ශනයට යොමු නොකරන වග ද සඳහන් ය. සිනමා ශාලාවකදී ‘ඈ’ නරඹන්නට ප්‍රේක්ෂකයා පැමිණෙන්නේදැයි යන්න ම බැහැර කළ නොහැකි ප්‍රශ්නයකි.

අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකා යනු සිනමා ශාලා ප්‍රදර්ශනය ඉලක්ක කර ගත් සිනමාපට නැරඹිය හැකි නවමු ආකාරයක් ද,නොඑසේනම් යට කී ආකාරයේ නව අභ්‍යාසයක් ද යන ප්‍රශ්නය ‘ඈ’ මතු කරන්නේ කවර බාධාවකින්වත් තොරව ය. තුලනාත්මකව හා විමසිලිමත්ව බැලූ කළ දිස්වන්නේ ‘ඈ’ , සිනමා ශාලා ප්‍රදර්ශනයට අදාළ නොවන්නක් ලෙසිනි. එසේම සිනමා ශාලාව යන යථාර්ථය හා එකඟතාවකට නො පැමිණෙන්නන් ලෙසිනි. මේ අනුව ‘ඈ’, අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකාවේ අනන්‍යතාව හා ප්‍රමිතිය ප්‍රකට කරන්නේදැයි යන්න විමසීම වටී. ඉන් ‘ඈ’ යනු කවරක් ද යන ප්‍රශ්නයට මූලික හා යුක්ති සහගත පිළිතුරක් සරි කර ගත හැකි ය.

අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකා වෙත පිවිසිය හැක්කේ රූපවාහිනී, පරිගණක හෝ ජංගම දුරකථන තිරයක් අබියසදී ය. සම්මත සිනමාව අතිමහත් ය. දැවැන්ත ය. ජීවිතයේ හා පුද්ගලයාගේ අසීමිත බව ප්‍රකට කරන්නකි. මේ පරස්පරය වටහා ගැනීම පමා නොකළ යුතු ය. ඉන් අදාළ සිනමාපටයට සාධාරණයක් ඉටු කර දීමේ හැකියාව විවර වන්නේ තීරණාත්මක අයුරිනි. මෙතැනදී ඒ ඒ සිනමාකරුවන් මත පැටවෙන ඉහළ ම වගකීමකි. එනම් මෙසේ නැරඹිය හැක්කේ රූපවාහිනී ආකෘතිය යටතේ නිර්මිත යමක් නොවන වග පසක් කරලීම ය. අන්තර්ජාල ප්‍රදර්ශන වේදිකාවක දී සිනමාව පිළිබඳ නව කියැවීමක් මෙහිදී ද අවධාරණය කෙරේ.

එරංග මේ අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දෙන පළමු ලාංකේය නිර්මාණකරුවා ය යන්න බැහැර කළ නොහැකි කාරණයකි. මෙය ලාංකේය වෘත්තාන්ත සිනමාවේ අනාගත හැඩ රුව පිළිබඳ අදහස් සපයන්නක් වන්නටද පුළුවන. සම්මත වෘත්තාන්ත සිනමාව විෂය වූ යමක් ගෙන හැර නො පාන්නට ඔහු මෙහිලා දක්වන උනන්දුව කැපී පෙනේ. එක්තරා ආකාරයකින් ඔහු වඩාත්ම සමීප වන්නේ සම්මත රූපවාහිනී වෘත්තාන්ත කරා ය. රූපවාහිනී මාධ්‍ය උදෙසාම නිර්මාණය කරන වෘත්තාන්ත ද පවතින පසුබිමක එරංගට සිදුවන්නේ ‘ඈ’ සමඟ නව අනන්‍යතාවක් හා නව ප්‍රමිතියක් සාක්ෂාත් කර ගන්නට යි. මෙය වර්ධිත ලක්ෂණ ආදියෙන් සමන්විත ද යන්න මීළඟට සොයා බැලීම වැදගත් ය.

‘ඈ’ හි අරමුණ කුමක්දැයි යන්න හඳුනා ගැනීමේදී මෙවැනි කාරණා බෙහෙවින් වැදගත් වන වග පැහැදිලි ය. තිරනාටකය මේ සඳහා සානුබල නොසපයයි. රූප සංවිධානය එය අබිබවා නොගොස් ඇති බව රහසක් නොවේ. මෙයින් කියැවෙන්නේ එරංග නිල හෝ නිශ්චිත අරමුණක පිහිටා නොමැති බවයි. එසේ සිටීමට ඔහු සතු අයිතිය ප්‍රශ්න කිරීම නිරර්ථක ය. නමුත් විචාර කාර්යයේදී ඔහුව නොතකා හැරීමට ලක් විය හැකිය යන අදහස බැහැර කිරීමට නුපුළුවන. ඔහු ගෙන එන තේමා පාඨය - ‘අලුත් ලොවක් තනන්නී’ යන්න ‘ඈ’හි අන්තර්ගතය නිශ්චය කර ගැනීමේ ඉඩකඩ වලකාලයි. මෙනිසාම ප්‍රේක්ෂකයා තම අභිමතය පරිදි ‘ඈ’ හි තේමාව ඔහුගේ අරමුණ හා ගළපා තහවුරු කරලීමට දරන ප්‍රයත්නය සාර්ථක නො වීමට ද ඉඩ තිබේ. යම් ප්‍රේක්ෂක සහභාගීත්වයක් මේ මොහොතේදී ‘ඈ’ වෙත ලැබීම ද මුල් පෙළේ සාධකයකි. සිනමා ශාලා ප්‍රදර්ශනයේදී මෙන් නොව මෙහිදී ප්‍රේක්ෂක සහභාගීත්වය සිදුවන්නේ වෙනස් ආකාරයකට ය. මේ වග වටහා ගැනීම මෙමඟට පිවිසීමේ අපේක්ෂාවෙන් යුතු සෙස්සන්ගේ ආරක්ෂාව සහතික කිරීමක් වේ.

‘ඈ’ , සම්මත සිනමාපටයක් හෝ සම්මත රූපවාහිනී වෘත්තාන්තයක් නොවන හෙයින් විචාර කාර්යය වෙනස් තලයක ක්‍රියාත්මක කරලීම බරපතළ අවශ්‍යතාවකි. පෙර කී පරිදි නිශ්චය කර ගත යුතු වන්නේ මෙහි අනන්‍යතාව හා ප්‍රමිතිය යි. කෙසේ නමුදු ඊට සහාය දක්වන පාර්ශව ‘ඈ’ වෙතින් හඳුනා ගත නොහැකි තරම් ය. මෙ නිසා ඊට වගකිවයුතු තත්ත්වයන් පිළිබඳ කරුණු විමසීම වැදගත් වේ.