ඊයේ නුදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ

සැප්තැම්බර් 15, 2022

 

සුවඳ දැනී දැනී දැනෙනවා

උදා හිරු එළියේ

අලුත් ඉරක් දෝ මේ

හිතට ගලනවා හීන බිඳු බිඳු

හීන් පිනි සුළඟේ හිනස්සා හිත හැගුම්

සුවඳ දැනී දැනී දැනෙවා.

ඊයේ නුදුටුව ලස්සන ලෝකය

අද කොයින් හෝ

හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට

තුරුළු වෙනවා

ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී දැනී දැනෙනවා...

රෑන් රෑන් එන පාට පාට සමනලයෝ

පේන පේන මල් සිපගන්නෝ

ආදරේ....

ඔච්චම් කර කර

හංකිති කවනා ආදරේ...

බලාපොරොත්තුව දෝත දරා

මඟ බලා හිඳියි ඔබ එනතුරා

ආයේ හෙට දවසක් තියේවි

අද වාගේ

ජීවිතේ සුන්දර ද මෙතරම්...

සුවඳ දැනී දැනී දැනෙනවා...

ගේය පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - රූකාන්ත ගුණතිලක

 

ප්‍රේමයේ සම්භෝගයේ ප්‍රහර්ශය හෙවත් පි‍්‍රයයන් හා එක්විමෙන් දැනෙන සතුට, මනාව දනවන සිනමා ගීතයක් ලෙස මෙම ගීතය හඳුන්වා දිය හැකිය.

ආදරයෙන් බැඳුණු තරුණ විවාහක යුවළකගේ නැවුම් ජීවිතයේ, සතුට, සොම්නස පෙර නොවූ විරූ ලෙස ඔවුන් අත්දකින ආකාරය ගීතයෙන් අරුත් ගන්වා තිබේ.

සුවඳ දැනී දැනී දැනෙනවා.

සුවඳ දැනෙන් නෑ.... එය දැනී දැනී දැනෙන බව පවසයි. එය ගීතය සඳහා යොදාගත් ඉතාම අලංකාර භාෂා ප්‍රයෝගයකි. පුනරුත්තිය ගීතයට අලංකාරයක් එක්කරයි. මෙම ගීතය තුළ පුනරුක්තිය මනාව භාවිත කර තිබේ. එමඟින් ගීතයේ අර්ථ රසය වඩ වඩාත් තීව්‍ර කර තිබේ.

උදා වුණු හිරු එළිය පවා අලුත්, වෙනදා නොදුටු අලුත් ඉරක් ද මේ පායා තිබෙන්නේ..? ඔහුට හිතාගන්න බැරිතරමට ජීවිතේ අලුත්ම අත්දැකීමක්, හඬ වෙනසක් ඔහු අත්විඳින බව ඉන් ගම්‍ය කරයි. හමන සීත මදනල පහසින් විසිරී යන පිනි බිඳුවල පවා ඇති නැවුම් බව ඔහුගේ මනස තුළ අත්විඳින සතුට චමත්කාරය කෙතරම් ද යන්න රූපණය කරයි.

කෙසේ වුවද මෙම තරුණ යුවළට ලස්සන අතීතයක් නොතිබු බවත් නමුත් ලස්සන වර්තමානයක් ඔවුන්ට හිමි වී ඇති බවක්,

ඊයේ නුදුටුව ලස්සන ලෝකය

අද කොයින් හෝ...

හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට

තුරුළු වෙනවා.... යන පද මඟින් ව්‍යාංග්‍යයෙන් පවසන අයුරු කදිමය.

ජීවිතය යනු මෙතරම් සුන්දරව විඳිය හැකි දෙයක් ද යන්න, තවමත් ඔහුට සිතාගත නොහැකිය. ඒ නිසාමයි ඔහු නැවත නැවත, තමන්ගෙන්ම එය අසා ගනු ලබන්නේ, ජීවිතය සුන්දර ද මෙතරම්...කියා මන්ද දැනුයි, ඔවුන් ජීවිතයේ සැබෑම සුන්දරත්වය චමත්කාරය නිදහස, ප්‍රේමයේ සුවය විඳින්නේ,

ව්‍යාජ ප්‍රේමය උපමාවට නඟා ඇති අයුරු ද කදිමය.

රෑන් රෑන් එන පාට පාට සමනලයෝ

පේන පේන මල් සිපගන්නෝ... ආදරේ

ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...

ව්‍යාජ ආදරය, දකින දකින මලින් රොන් ගන්නා සමනලයින්ට උපමා කර තිබෙන අපුරුව අලංකාරය. එහි යටි පෙල හා ව්‍යාග්‍යාර්ථය ප්‍රබලය. ආදරය පෙන්වා ආසාව පසුපස යන ප්‍රේමයක් ගැන ඉන් ධ්වනිත වේ.

ඒ සියලු දෑ අයිති ගෙවුණු අතීතයටය. දැන් ඔවුන්ට ලස්සන නව ජීවිතයක් හිමි වී තිබේ. ඒ ජීවිතය නැවුම්ය. වෙනදා නොදුටු ලස්සනක් ඒ ජීවිතය තුළ ඔවුන් අත්විඳියි. ඒ සතුට ලස්සන අද වාගේම හෙට දවසේත් විඳින්න ඔවුන් පෙරුම් පුරයි. ඔවුන්ගේ සිත්වල ඇති අලුත් බලාපොරොත්තු ජීවිතය විඳින්නට තවදුරටත් මඟ පාදයි. සැබෑ ලෙස ආදරය කළ දෙදෙනෙකුගේ එක්වීම තුළ ඔවුන් ලබන සොම්නස, සැහැල්ලුව, නිදහස රිසි සේ ඔවුන් විඳින බව රූප රචනයෙන් ද මනාව ඉස්මතු කර තිබේ. මෙම ගීතය සප්ත කන්‍යා සිනමාපටයේ කතා තේමාවට උචිත ලෙස රචනා කර ඇතත්, සිනමාපටයෙන් වියුක්තව පොදු රසික සමාජය තුළ අදටත් එකසේ රසවිඳින ජනපි‍්‍රය පේ‍්‍රම ගීතයකි.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අලංකාර, සුන්දර සරල පදවැල හා මුසුවුණු රෝහණ විරසිංහයන්ගේ මධුර තනුව හා සංගීතයෙන් හැඩවුණු ගීතයේ අලංකාරය, රූකාන්ත ගුණතිලක ගේ හඬ නව ආරක හඬ මුසුව හා සුසංයෝග වීමෙන් ප්‍රශස්ත ගීත නිර්මාණයක් බිහි වී තිබේ. එම විශිෂ්ට සුසංයෝගය හේතුවෙන්, ගීතයේ ජනපි‍්‍රයත්වය හා සිනමාපටයට වැඩි පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගැනීමට ද හේතු විය.

මේ චිත්‍රපටයේ අන්තර්ගත වූ සෙසු ගීත වන, “උන්මාද වූ ප්‍රේමාදරේ... සමනල වසන්ත යෞවනයේ” සහ “දුහුවිල්ලෙන් වත්සුනු තවරා” ගීතයත් ඉතාම ජනපි‍්‍රය විය.

1993 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය සිංහල සිනමා රසෝඝයේ මැද මාවතේ සිනමාකරුවකු ලෙස හඳුනාගත් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක වරයකු වූ එච්.ඩී.පේ‍්‍රමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කර තිබේ. සිකුරුලියා, අපේක්ෂා, මංගල තෑග්ග, දෙවෙනි ගමන, පරිත්‍යාගය, සලෙලු වරම, කිණිහිරියා මල්, ඇතුළු සම්මානලාභී සිනමාපට රැසක් සිංහල සිනමාව එක්කළ, එච්.ඩී. පේ‍්‍රමරත්නයන්ගේ අතිශය ජනපි‍්‍රය වූ සහ සම්මානයට පාත්‍ර වූ සිනමා සිත්තමක් ලෙස සප්ත කන්‍යා චිත්‍රපටය හැඳින්විය හැකිය.

වෘත්තියෙන් ඡායාරූප ශිල්පියකු වූ අනිල් රුවන්වැල්ල හා දීප්ති නම් තරුණියක් අතර ඇතිවන වෙනස්ම ආදර කතාවක් චිත්‍රපටය සඳහා පාදක වී තිබේ. මෙරට ප්‍රථම චිත්‍රකතා පත්‍රය වූ සතුට පත්‍රයේ එවක පළ වූ ‘වියරූ මුහුද” චිත්‍රකතාව පසුබිම් කරගෙන මෙම චිත්‍රපටයේ තිරපිටපත ලියා තිබේ.

දීප්ති හා අනිල්ගේ පේ‍්‍රමකතාව සාමාන්‍ය ආදර කතාවක් නොවන්නේ, දීප්ති යනු සාමාන්‍ය තරුණියක් නොව, ගණිකා වෘත්තියේ යෙදුණු, පික්පොකට් ගැසීම, සොරකම් කිරීම සිය වෘත්තීය කරගත් තරුණියක් වන නිසාය. මෙය ත්‍රාසය, කුතුහලය, හැල හැප්පීම් මැද ගලායන චිත්‍රපටයකි.

සොරකමකට හසුව දීප්ති වසර 02ට සිරගත වේ. ඒ වන විට ඇයගේ උදව්වෙන්, ඇය ලබාදුන් මුදල්වලින් අනිල් ඡායාරූප ශාලාවක් ආරම්භ කරයි. ඇය නිදහස්ව පැමිණෙන විට ඔහු එය හොඳින් දියුණු කර තිබේ. ඇයව අමතක නොකළ අනිල් දීප්තිව විවාහ කර ගනියි. ඇයගේ පෙර අඳුරු ජීවිතයට, අතීතයට සමු දී ඔවුන් අලුත් ජීවිතයකට මුල පුරයි. ඒ නැවුම් ලොව තුළ ඔවුන් විඳින සතුට සැහැල්ලුව සුවඳ දැනී දැනී දැනෙනවා ගීතය හරහා හමා යයි. විවාහක යුවළකගේ ඊළඟ අපේක්ෂාව වන දරු සුරතල් බැලීමේ සිහිනය ද ඔවුන්ගේ ඉටු වී තිබේ. නැවුම් විවාහ දිවියක නැවුම් රසය, එම නිදහස, සැහැල්ලුව, රංගනයේ ද අපුරුවට නිරූපණය කිරීමට මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ කමල් අද්දරආරච්ච් සහ සංගීතා වීරරත්න සමත් වෙති.

1994 වසරේ දී සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ර්‍ණඛ්ධ්ඛ් ආදී සිනමා සම්මාන රැසකින් පිදුම් ලබන්නට මෙම චිත්‍රපටය හා එහි නිර්මාණය සඳහා දායකත්වය දැක් වූ ශිල්පීන්ට අවස්ථාව හිමිවිය.

1994 හොඳම ගායකයාට හිමි සරසවිය සම්මානය, ‘සුවඳ දැනී දැනී දැනෙනවා.” ගීතය ගායනා කළ රූකාන්ත ගුණතිලකයන්ට හිමිවිය. හොඳම ගීත රචනය, සඳහා හිමි සම්මානය ආචාර්ය අජන්තා රණසිංහයන්ට හිමිවිය.

උන්මාද වූ පේ‍්‍රමාදරේ ගීතය ගැයූ, දමයන්ති ජයසුරිය හා කමල් අද්දරආරච්චි හොඳම ගායනය සඳහා හිමි සම්මානය ජනාධිපති සම්මාන උලෙළේදී හිමිවිය.

එසේම හොඳම තනු නිර්මාණය සඳහා ජනාධිපති සම්මාන ආචාර්ය රෝහණ වීරසිංහයන්ට හිමි විය.

වසරේ නැඟී එන නිළිය ලෙස මෙහි ප්‍රධාන චරිතය රඟ පෑ සංගීතා වීරරත්න සම්මානයට පාත්‍ර වීම ද විශේෂත්වයකි.