සත්‍යය වෙනුවට විකල්ප සත්‍යය සොයන නයිට් රයිඩර්

අගෝස්තු 25, 2022

 

ත‍්‍රාසය , භීතිය හෝ කුතුහලය උච්චස්ථානයක රඳවන සිනමාපටයක දී පුළුල් හා විචාරාත්මක කතා බහකට අවකාශ සලසන යටි පෙළ අරුත් සනිටුහන් කිරීමේ ප‍්‍රයත්න නිරතුරුව ම හමු නො වන වග පැහැදිලි ය. ඊට තුඩු දෙන ප‍්‍රමුඛතම හේතුවක් වන්නේ මේ දෙපක්ෂය නියෝජනය කරන පේ‍්‍රක්ෂක කණ්ඩායම් අතර සාපේක්ෂව වඩා දුරස්ථ බවක් පැවතීම යි. සරල හා මතුපිට නිර්වචනයක දී නම් සඳහන් කළ හැක්කේ ත‍්‍රාසය , භීතිය හෝ කුතුහලය සපිරි සිනමාපට අනෙක් පාර්ශ්වයේ පේ‍්‍රක්ෂකයන්ගේ රසඥතාව නො ඉක්මවන බව ය.

තරුණ සිනමාකරු කසුන් පතිරණ සිය ප‍්‍රථම සිනමාපටය වන ”නයිට් රයිඩර්” පේ‍්‍රක්ෂකාගාරය අබියස තිරගත කරන්නේ පූර්වෝක්ත අදහස් තවත් වටයකින් ස්මරණයට සූදානම් වෙමිනි. මෙතැන දී ඔහු සිය සමකාලීනයන්ගේ පොදු අරමුණු සමඟ එකඟතාවකට නො පැමිණීම කැපී පෙනේ. මේ ඇතැම් සිනමාකරුවකුට සිදුව ඇත්තේ සිය ප‍්‍රථම සිනමාපටයවත් ප‍්‍රදර්ශනයට මුදා නො හැර තබා ගන්නට ය. සමහරවිට ලැබෙන ප‍්‍රදර්ශන අවස්ථා ද සීමා සහිත වේ. කොහොමත් සිනමා වෙළෙඳ පොළ සාර්ථකව ජය ගැනීමේ ප‍්‍රශස්ත හැකියාවක් මොවුනගේ සිනමාපට සතු ව නොමැති බව එක්තරා දුරකට හෝ සත්‍යයකි. මෙම පසුබිම තුළ කසුන් වෙත ලැබුණු මේ සොච්චම් අවස්ථාව ඉහළින්ම කැපී පෙනේ. ජීවිතය හා සමාජය පිළිබඳ ගැඹුරු හා සංකීර්ණ තේමා විශද කරනු පිණිස ම උත්සුක වන සිය සමකාලීනයන් වෙතින් කසුන් යම් පමණකට හෝ වෙනස් වීම ද මෙහිලා සලකා බැලිය යුත්තකි.

මුල සිටම තරමක උපක‍්‍රමශීලී ස්ථාවරයක ශක්ති පමණින් රැුඳී සිටීමට වැර දරන කසුන් කිසි විටෙකත් බැහැර කළ නො හැකි යටි පෙළ අරුත පේ‍්‍රක්ෂකයන්ගේ මුහුණට ම දමා ගසන්නේ අන්තිම මොහොතේ දීය. ඒ පේ‍්‍රක්ෂකයන් විස්මයට පත් කරමිනි.

මෙතැන දෘශ්‍යමාන කාරණයක් සේම අදෘශ්‍යමාන කාරණයක් ද තිබේ. දෘශ්‍යමාන කාරණය වන්නේ විද්‍යුත් මාධ්‍ය භාවිතය අද දවසේ දී සිය ඉලක්ක කණ්ඩායම හසුරුවන අධිකාරියක් බවට පත් ව ඇති බව ය. විද්‍යුත් මාධ්‍යය ඇසුරින් තොර ව සිටීම අතිශයින්ම අසීරු වන්නකි. වර්තමානයේ දී මෙය සත්‍යයක් වන්නේ ආසන්නතම අතීතයට ද සාපේක්ෂව ය. අදෘශ්‍යමාන කාරණය වන්නේ සත්‍යය යනු පුද්ගල බද්ධව හෝ පුද්ගල කේන්ද්‍රීයව පාලනය කළ නො හැකි කල්පිතයක් ද විය හැකි බව යි.

සිනමාපටයේ මෙම උද්වේගකර හා තිගැස්සෙනසුලූ අවසානය කරා පැමිණීමට ප‍්‍රථම සැබෑ ලෝකයේ හා කල්පිත ලෝකයේ මුසු වීමක් බඳු ඒකාකාර සිදුවීම් පෙළක් පේ‍්‍රක්ෂක අවධානයට ලක් කෙරේ. මේ සියල්ලත්, අවසානයත් නිතැතින්ම සිහි ගන්වන්නේ බටහිර ක‍්‍රියාදාම සිනමාපට ය. අතිශය සාමාන්‍ය පුද්ගලයකු එළැඹෙන අභියෝග හමුවේ සුපිරි වීරයකු වීම , නාඳුනන රුවැති තරුණියන්ගේ අනපේක්ෂිත කඩා පාත්වීම් , නාගරික මං මාවත් ඔස්සේ සිදුවන රථ වාහන ලූ‍හු බැඳීම් හා වෙඩි තැබීම් බටහිර ක‍්‍රියාදාම සිනමාපට නරඹන පේ‍්‍රක්ෂකයනට ආගන්තුක නො වේ. එනමුදු හුදෙක් ලාංකේය සිනමාපට පමණක්ම නරඹන පේ‍්‍රක්ෂකයනට නම් මෙවැනි අවස්ථා ආකර්ෂණීය වනු ඇත. කෙසේ වෙතත් කලණ ගුණසේකර හා යුරේනි නොෂිකා මේ දෙයාකාරයේ ම පේ‍්‍රක්ෂකයන් වෙත සිත් ඇදගන්නාසුලූ බවක් ගෙන දෙන බව පෙනේ. මේ ඔවුනගේ විශිෂ්ට චරිත නිරූපණ සේ හඳුන්වා නො දීම වැදගත් ය. එහෙත් සිනමාපටයේ ත‍්‍රාසය, භීතිය හා කුතුහලය දනවන සියලූ‍ ස්ථාන ආවරණය කිරීමට ඔවුහු අසමත් නො වෙති.කලණ අබිබවා යන්නට යුරේනි සමත්වන අවස්ථා ගණනාවක් ද විමසිලිමත් පේ‍්‍රක්ෂකයනට මඟ නො හැරෙන බව ද කිවයුත්තකි. කලණට අභියෝගයක් වන්නේ සීමා රහිත ශෝක වීම් ය. එය සිනමාපටයේ රූපරචනය හා ගළපා ගැනීම පහසු නැත.

මලින්ද නැමැති කුලී රථ රියැදුරාගේ විවේකය අවසන් කරන ශානි නැමැති රුවැති යුවතිය අපේක්ෂා කරන්නේ සිය ජීවිතය බේරා ගැනීමට යි. කුඩා කුලී රථය පසුපස හඹා එන මැර පිරිස පණුවනට සමාන කරන්නේ ශානි ය. පණුවන් යනු විටෙක සැඟවී ඊළඟ මොහොතේ දී ප‍්‍රාදූර්භූත වන සත්ත්ව විශේෂයක්ය යන අදහස ශානි කිහිප විටෙකදී ම ඉදිරිපත් කරයි. මේ කරුණ සිනමාපටයේ තේමාව සේ ගෙන හැර පෑමේ ඉඩක් ද මෙතැන දී විවර වේ. නමුත් සිනමාපටය ඉදිරියට ම ගලා යන්නේ මෙය යටපත් කර දමමිනි. ඇත්ත වශයෙන්ම මෙය සිනමාකරු කසුන්ගේ අවිඥානක අභිප‍්‍රාය විය හැකි ය.

ජීවිතය බේරා ගැනීමේ ප‍්‍රයත්නය මධ්‍යයේ මලින්ද හා ශානි ආලෝකවත් හෝටල කාමරයක තනි වන්නේ ත‍්‍රාසය, භීතිය හා කුතුහලය ඉක්මවා නො යන සරාගී ලක්ෂණ කැඳවමිනි. ශානි වෙත මැර තර්ජන එල්ල වන්නේ දේශපාලන හේතු නිසාය යන කාරණය සනිටුහන් කිරීමට මේ අස්වැසිල්ල මහෝපකාරී වේ. නුදුරේදී ම පෙම්වතිය හා විවාහ වීමට නියමිතව සිටිය ද ශානි හා යහන් ගතවීමට කිසිසේත්ම නොපැකිළෙන මලින්ද පිළිබඳ නව කියැවීමකට මෙහිලා ලැබෙන ඉඩ අතහැර දැමීමට කසුන් දෙවරක් නො සිතන්නේ ඉන් සිනමාපටයේ අරුත ව්‍යාකූල විය හැකිය යන අදහස නිසා වන්නට ද පුළුවන. අවසන් දර්ශනයේදී පෙම්වතිය මලින්ද වෙතින් විමසන්නේ ශානි සමඟ ඔහු යහන් ගත වූයේ ද යන්න යි. නමුත් මේ වන විට සිනමාපටයේ තේමාව ප‍්‍රකාශයට පත්වී හමාර ය.

මලින්ද මෙසේ බිහිසුණු අත්දැකීමක් ලබන්නේ ඔහුට හොරා සිදු කෙරෙන සැලසුම් සහගත රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙනි. ඔහු ඉන් ජය ලබා ගැනීම ප‍්‍රබලාකාරයෙන් නිරූපණය නො වන බව ද පෙනේ. ශානි මාධ්‍යවේදිනියකය යන්න තවදුරටත් ඔහුට රහසක් නො වේ. ඇගේ මාධ්‍ය හැඳුනුම්පත දැන් ඔහු සතු ය. වික්ෂිප්තව සිටින ඔහු එය කසළ ගොඩකට වීසි කරයි.

පෙර කී පරිදි ම මෙම දෘශ්‍යමාන කාරණය ඉක්මවා යන කසුන්, සත්‍යය හා පරම සත්‍යය පිළිබඳ ගොඩනඟන සූක්ෂ්ම සංවාදය සිනමාපටයේ නිශ්චිතම ප‍්‍රස්තුතය බවට පත් කරන අන්දම පැහැදිලි ය. ඊට ප‍්‍රමාණවත් වපසරියක් තනා නො දීමේ වගකීම ද ඔහු විසින් භාර ගනු ලැබිය යුතුම ය. ත‍්‍රාසය, භීතිය හා කුතුහලය කෙරෙහි ඔහු දක්වන අවධානයේ අඩුවක් දකින්නට නැත. එහෙත් මේ ප‍්‍රස්තුතය කෙරෙහි ඔහු දක්වන්නේ ඊට වඩා අඩු අවධානයක් යැයි සිතේ. වෙසෙසින්ම තරුණ සිනමා පේ‍්‍රක්ෂකයන් වසඟයට ගන්නා ප‍්‍රවේගවත් සිනමාපටයක් නිර්මාණය කිරීමේ කසුන්ගේ වුවමනාව ඉස්මතු වන්නේ කිසිදු බාධාවකින් තොරව ය.

”නයිට් රයිඩර්” හිදී කසුන් ජය ගත යුතු දෑ කිහිපයක්ම දත හැකිවේ. ඔහු හා ශ‍්‍රීනාත් චතුරංග ලියූ තිරනාටකය විෂයෙහි එන සංවාද බහුල බව ඉන් මුල් තැනක් ගනී. සංවාද භාවිතයට වඩා සංවාද රහිත හෝ සංවාද අවම බව සිනමාපටයේ රූප රචනය පොහොසත් කරන්නට ඉඩ තිබිණි. මලින්දගේ චරිතයේ ඇතැම් තැන් අතිශයෝක්තියෙන් ගෙන හැර පෑමේ වුවමනා කලණ ගුණසේකර හරහා ප‍්‍රකාශයට පත් වන්නේ මෙහෙයිනි. එසේම මැරවරයන් ලූ‍හු බඳින විට පවා මලින්ද සාපේක්ෂ සැහැල්ලූ‍වකින් සිටීම පේ‍්‍රක්ෂකයන් අන්ද මන්ද කරවන්නකි. එවිට ශානි සැහැල්ලූ‍වෙන් සිටීම නම් තර්කානුකූල ය.

සියල්ල කෙළවර පේ‍්‍රක්ෂකයනට හැෙ`ගන දේ සඳහන් නො කිරීමට ඉඩක් නැත. එනම් මලින්ද මෙන්ම තමන් ද කිසියම් බලවේගයක් විසින් හසුරුවනු ලබන්නකු ය යන්න යාන්තමින් හෝ වැටහීම ය.මලින්දට මෙය වටහා ගැනීමට හැකි වූයේ බිහිසුණු පැය කිහිපයකින් පසුව යි. භෞතික නො වන බිහිසුණු අත්දැකීම් ද තිබෙන වග අමතක නො කළ යුතු ය.මේ හසුරුවාලීම නිසා සිදු වන්නේ සත්‍යය සැඟවී යාම යි. සත්‍යය වෙනුවට විකල්ප පරම සත්‍යය සේ ඉස්මතු වීම යි.නමුත් මේ ශුද්ධ වූ සත්‍යයක් නො වේ. ශුද්ධ වූ සත්‍යය යනු කුමක්දැයි යන ප‍්‍රශ්නය නම් ”නයිට් රයිඩර්” උනන්දුවෙන් නරඹන පේ‍්‍රක්ෂකයනට නො වැටහෙන්නට ඉඩක් නොමැත.