සරත් සහ මම වලි දාගත්තා නම් ඒ චිත‍්‍රපටය සාර්ථක කරගන්න

ප‍්‍රවීණ රූපණවේදී කුමාර තිරිමාදුර
අගෝස්තු 25, 2022

 
 
 
 වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප‍්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත‍්‍රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර තිරිමාදුර පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. මේ දිනවල ඔහු පිළිබඳ කතාබහ අලූ‍ත් වී ඇත්තේ පිටපත් රචනය, අධ්‍යක්ෂණය සේම ප‍්‍රධාන චරිත නිරූපණය යන ත්‍රෛ කාර්යයන්ගෙන් ඔහු දායක වන ”ද නිව්ස් පේපර්” චිත‍්‍රපටය හරහාය.
 
 විදෙස් රටවල් හතරකදීම අන්තජාතික වශයෙන් ඇගයීමට ලක්වූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වූ ”ද නිවුස් පේපර්” චිත‍්‍රපටය පසුගියදා නිමාවට පත්වූ ඇමරිකාවේ සැන්ටාබාබරාහී පැවති පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන පහක් දිනාගත්තේය. ඉකුත් සතියේ අවසන් වූ එංගලන්තයේ පැවති ”රේන්බෝ” සිනමා උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයද හිමිවූයේ ”ද නිව්ස් පේපර්” චිත‍්‍රපටයටය. ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වුණු ඉන්දියානු මෙල්බර්න් සිනමා උලෙළේදී හොඳම ඉන්දියානු උප මහද්වීපික චිත‍්‍රපටය සඳහාත් ද නිවුස් පේපර් තේරුණා. මේ එම සාර්ථකත්වය පිටුපස ඇති කතාව කුමාර තිරිමාදුර අපත් සම`ග කතා කළ අයුරුය.

 
 කොහොමද මේ දවස්වල?
 
 මේ දවස්වල රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. තව අලූ‍ත් චිත‍්‍රපටයක් කරන්න අඩිතාලම දාගෙන යනවා. ඒවා තමයි ඉතින්.
 
 ඔයැ The Newspaper චිත‍්‍රපටයට පසුගියදා ලැබුණු අන්තර්ජාතික ඇගයීම ගැන කතා කළොත්?
 
 ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වුණු මෙල්බර්න් සිනමා උලෙළේදී හොඳම ඉන්දියානු උප මහද්වීපික චිත‍්‍රපටය සඳහා ඔයැ The Newspaper තෝරාගත්තා. ඒ වගේම ඊට පෙර තවත් අන්තර්ජාතික සම්මාන කිහිපයකටම හිමිකම් කියන්න ඔයැ The Newspaper චිත‍්‍රපටය සමත් වුණා. විශේෂයෙන්ම මේ චිත‍්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, එච්. ඞී. පේ‍්‍රමසිරි මහතා, රවින්ද්‍ර ගුරුගේ මහතා, සංස්කරණයෙන් දායක වුණු රුක්මල් නිරෝෂ්, සංගීතයෙන් දායක වුණු ගයත‍්‍රි කේමදාසයන් මෙන්ම කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මෙම චිත‍්‍රපට අන්තර්ජාතික සිනමා උළෙලවල් සඳහා යොමු කරන උදිත රුක්මාල් සහ ඈෂ්ලි රත්න විභූෂණ හා එම මැතිනිය යන අයට විශේෂයෙන්ම ස්තූතිය ප‍්‍රකාශ කරන්න ඕනේ.
 
 ”ද නිවුස් පේපර්” චිත‍්‍රපටය නිර්මාණය කරන්නේ අන්තර්ජාතික මට්ටමේ සම්මාන ලබා ගැනීමේ අරමුණින් ද?
 
 ඇත්තෙන්ම නැහැ. මෙහි අරමුණ වුණේ හොඳ නිර්මාණයක් කිරීම පමණයි. මොකද ලංකාව දිනවන්නයි අපිට වුවමනා වුණේ. මේ ගෞරවය අපිට වඩා අපේ මව්බිමට. අපි ඒ දේ කළා. දැනට අන්තර්ජාතික වශයෙන් සම්මාන හතරක් ලබා ගෙන තියෙනවා. පළමුවන සම්මානය හිමිවුණේ, ඇමරිකාවේ කැලිෆෝනියාවේ ”ඉන්ඩිෆෙස්ට් සිනමා උලෙළේ” ආසියාවේ හොඳම චිත‍්‍රපටය ලෙසත්, දෙවන සම්මානය ඉන්දියාවේ ”බෙංගලූර් සිනමා උලෙළේ” හොඳම ආසියානු චිත‍්‍රපටය ලෙසත්, තුන්වන සම්මානය එංගලන්තයේ ලන්ඩන් නුවර ”රේන්බෝ සිනමා උලෙළේ” හොඳම අධ්‍යක්ෂණය ලෙසත්, හතරවන සම්මානය ඇමරිකාවේ ”සිලෝන් අන්තර්ජාතික සිනමා උලෙළේ” හොඳම චිත‍්‍රපටය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සංගීතය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන හිමි වුණා. ඇමරිකාවේ සැන්ටාබාබරාහී පැවති පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන පහක් දිනා ගැනීමට හැකි වුණා. ඉතිං මේ සියලූ‍ම සම්මාන ලබා ගැනීමට අපි වාසනාවන්ත වුණා.
 
 ඔබ පුවත්පත් කලාවේදියෙක් විදියට ඒ ලැබුණු අත්දැකීම් ඇසුරෙන්ද ”ද නිවුස් පේපර්” හි පිටපත ලියන්නේ?
 
 මගේ පත්තර කලාවෙ මහ ගෙදර දිවයින. ඒ අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. එයිනුත් යම් බලපෑමක් සිද්ධවෙන්න ඇති. මොකද මම දිවයින පත්තර කන්තෝරුවේ ඉන්න කාලයේ බොහෝ දේවල් කියවන්න, තොරතුරු රැුස්කරන්න වගේම ලොකු දැනුමකින් සන්නද්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතිං මගේ රස්සාවේ විදියට මම ඒ ලබපු අත්දැකීම් රැුසක් මෙම පිටපත ලියන්න ඉවහල් වෙන්න ඇති කියලා මම හිතනවා.
 
 මේ සිනමාපටය ඇතුළේ තියන කතාව අදටත් සමාජය ඇතුළේ වෙනවා. හොඳම උදාහරණය තමයි පසුගියදා සමාජ මාධ්‍ය ජාලා තුළ සැරිසැරු තරුණ හාමුදුරුනමකගෙයි ගැහැනු දරුවකුගෙයි ෆොටෝ එක. ඒ ෆොටෝ එකට අපේ මිනිස්සු නොකියපු කතාවක් නැහැ. ඇත්ත සොයා බැලූ‍වම ඒ ඉන්නේ එක කුසේ උපන් අයියයි නංගියි. ඒ හාමුදුරුවෝ ඒ දියණියගේ වැඩිමල් සහෝදරයා. ඒ දෙන්නගේ මව පිළිකා රෝගියෙක්. ඒ කතාව ඇහුවම දුක හිතෙනවා. අයියයි නංඟි රෝහලට ගිහින් අම්මව බලල එද්දී තමයි කවුරු හරි මේ ෆොටෝ එක ගහලා තියෙන්නේ. අපේ මිනිස්සු, අපේ මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා මේ සිදුවීම දැක්කේ වැරැුදි ඇහැකින්. මිනිස්සු මේ දෙන්නට ප‍්‍රසිද්ධියේ අපහාස කළා. ඒ සිදු වූ වැරදීම අපේ අය ප‍්‍රසිද්ධියේ නිවැරැුදි කළා ද.. ප‍්‍රසිද්ධියේ වරැුදි කාරයෝ කරන්න පුළුවන්නම්.. එක වැරැුදීමක් කියලා දැනගත්තම ප‍්‍රසිද්ධියේ නිවැරැුදි කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඇමෙරිකාව, එංගලන්තය වගේ රටවල පිළිගන්නවා එහෙම වරැුද්දක් වුණාම මේක වැරැුදී කියලා. මේකේ හරි වැරැුද්ද මේකයි කියලා ප‍්‍රසිද්ධියේ කියනවා. නමුත් ලංකාවට එහෙම පුරුද්දක් නැහැ. ඒ සිදුවීමම තමයි එක්තරා විදිහකට මේ චිත‍්‍රපටිය තුළත් තියෙන්නේ.
 
 අනික ලංකාවේ මාධ්‍ය කියන්නේ තුන්වෙනි ආණ්ඩුව. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, පාර්ලිමේන්තුව ඊළඟට මාධ්‍ය. ඉතිං මාධ්‍යට හැමෝම බයයි. කවුරුත් අත තියන්නේ නැහැ. ඒත් අපි බය නැතුව මාධ්‍යට අත තිබ්බා. අපි ඊළඟට අත තියනවා අධිකරණයට.. ඊට පස්සේ පාර්ලිමේන්තුවට. එහෙම කරන්න පුළුවන් එකම කෙනා කලාකාරයා. ඒක මේ කෑ ගහලා කරන්න ඕනෙ දෙයක් නෙවෙයි. ඒක නිර්මාණාත්මකව කරන්න ඕනේ. එතකොට කාටවත් අත තියන්න බැහැ.
 
 මෙම චිත‍්‍රපටයේ සාර්ථකත්වයට තුඩුදුන් කාරණා පිළිබඳවත් කියමුද?
 
 මේ චිත‍්‍රපටිය අවංකයි. වචනයෙන්ම අවංකයි. ලංකාවේ මම දැකපු අවංකම චිත‍්‍රපටය තුන් මං හන්දිය. ඊට පස්සේ මං දැක්කේ වැලිකතර. හරිම අවංකයි. අද දාන මාස්ක් එකේ ඉඳලා මිනිස්සු හොරකම් කරනවා. ඞීසල් ටිකට පෙට‍්‍රල් ටිකට හොරකන් කරනවා. රුපියල් 20ට ගත්ත කංකුං මිටිය 120ට විකුණනවා. ඒ හැමදේම අවංකව සිදුවෙන දේවල් නෙවෙයිනේ. මේකේ රඟපාපු සියලූ‍ දෙනා හරිම අවංකයි. චිත‍්‍රපටයේ සියලූ‍ දේම කළේ අවංකව. කිසිම තැනක හොරයක් බොරුවක් තිබුණේ නැහැ. චිත‍්‍රපටයකට විතරක් නෙවෙයි ජීවිතයේදී වුණත් යහළුවෙක් එක්ක වැඩක් කරනකොට අවංකව කළොත් ජීවිතය වගේම වැඩෙත් සාර්ථක වෙනවා. එ අවංක කමේ ප‍්‍රතිඵලයට තමයි මේ අන්තර්ජාතික සම්මාන සියල්ලම ලැබුණේ.
 
 ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතා අපි දෙන්නව විශ්ලේෂණය කරලා මාව රස්තියාදුකාරයෙක් විදියටත් සරත් කොතලාවල ගොවියෙක් විදියටත් තමයි හඳුන්වන්නේ. මම නාගරික පරිසරයකත්, සරත් ගම්බද පරිසරයකත් ජීවත් වීම තමයි එයට හේතුව වුණේ. ඉතිං රස්තියාදුකාරයා සහ ගොවියා කියන සුසංයෝගයෙන් තමයි මෙම චිත‍්‍රපටය සාර්ථකත්වයට ගෙන එන්න තවත් හේතුවක් වුණා.
 
 තිරපිටපත ලියලා, ප‍්‍රධාන චරිත නිරූපණයටත් සූදානමින් ඉන්න අතරවාරයේ ඔබ දෙපළම මේ නිර්මාණය අධ්‍යක්ෂණය කිරීමේ කර්තව්‍යයත් භාරගන්න විශේෂ හේතුවක් තිබුණද?
 
 අපිට ”ද නිව්ස් පේපර්” පිටපත ලිව්වට පස්සෙ ඒක දෙන්න කෙනෙක් හිටියෙ නෑ. නිෂ්පාදකවරයෙක් හොය හොයා ඉන්නකොට තමයි බන්දුල ගුණවර්ධන මහත්මයා අපිට උදව් කරන්න කැමති වුණේ. සරත් කොතලාවල කියන්නේ බන්දුල ගුණවර්ධන මහත්මයාගේ ගෝලයෙක්. එතුමාගේ ටියුෂන් පන්තියක ඉගෙනගෙන තිබුණා. දවසක මුණගැහිලා මේ චිත‍්‍රපටිය ගැන කිව්වම එතුමා නිෂ්පාදනය කිරීමේ කටයුතු භාරගත්තේ අපිට උදව්වක් වශයෙන්. ඒ වගේම එච්. ඞී.පේ‍්‍රමසිරි මහත්මයාත්, රවින්ද්‍ර ගුරුගේ මහත්මයාත් අපිට කරන උදව්වක් වශයෙන් මේ චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුත්තට සම්බන්ධ වුණා. පස්සෙ අපි ඒ චිත‍්‍රපටියට අධ්‍යක්ෂකවරයෙක් හෙව්වා. එච්.ඞී. පේ‍්‍රමසිරි මහත්මයයි බන්දුල ගුණවර්ධන මහත්මයයි තමයි කිව්වෙ වෙන කාටවත් අධ්‍යක්ෂණය කරන්න දෙන්නෙ මොකටද ඔය දෙන්නා නම් රඟපාන්නෙ, ඔය දෙන්නා නම් පිටපත ලියන්නෙ, ඔය දෙන්නම ඕක අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒ යෝජනාව අනුව තමයි අපි දෙන්නම මේ චිත‍්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න තීරණය කළේ.
 
 ඔබයි සරතුයි එකතු වෙලා ලියූ මේ තිර පිටපත අන්තර්ජාතික තලය දක්වා යයි කියා සිතුවා ද?
 
 සාමාන්‍යයෙන් මම පිටපතක් ලිව්වාම ප‍්‍රසන්න විතානගේ මහත්මයාට පෙන්වනවා. ප‍්‍රසන්න විතානගේ මහත්මයා තිරපිටපත් ලිවීම සම්බන්ධව පාඨමාලාත් කරනවා. ඔහු වෙලාවකට කියනවා හොඳ වෙලාවට උඹලා දෙන්නා මං ළඟට ආවේ නැත්තේ ආවානම් නරක් වෙලා තියෙයි කියලා. තණ්හා රතී රඟා පිටපත ඔහුට පෙන්වපු වෙලාවේ ඔහු කිව්වා කොහොමද උඹලා දෙන්නා මෙච්චර හොඳ පිටපතක් ලිව්වේ කියලා. මීට වඩා හොඳ පිටපතක් ලිව්ව දවසට මම උඹලා දෙන්නට විස්කි බෝතලයක් දෙනවා. හැබැයි උඹලා දෙන්නට මීට වඩා හොඳ පිටපතක් ලියන්න පුළුවන් වෙයි කියලා නම් මං හිතන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම මේ පිටපත ලියලා ඔහුට ගිහින් දුන්නාම, වරෙන් වරෙන් විස්කි බෝතලේ දෙන්න වරෙන් කිව්වා. ඒකෙන්ම මට තේරුණා මේක ඒතරම් හොඳ පිටපතක් කියලා.
 
 සහෝදර කලා ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?
 
 මේ චිත‍්‍රපටයෙන් නිරූපණය වෙන්නේ චිත‍්‍රපටියට සහභාගි වුණ සියලූ‍ම දෙනා සරත් කොතලාවලටයි මටයි දැක්වූ ආදරය කියලයි මම කියන්නෙ. ඒ කිසි කෙනෙක් මෙතනදි මුදලට මුල් තැන දුන්නෙ නෑ. උදාහරණයක් විදිහට කියනවා නම් රංගන ශිල්පියෙක් රුපියල් 100ක් අරන් කරන්න ඕනෙ චරිතය මේ අය රුපියල් 20ට රඟපෑවා. එහෙම කළේ මටයි සරත්ටයි මේ චිත‍්‍රපටය කරගන්න ලබාදෙන සහයෝගයක් විදිහට. මේ නිර්මාණයට රංගනයෙන් දායක වුණ හැමෝම වගේ අපේ පරම්පරාවේ අය. සරත් කොතලාවටත් මං නිතරම විහිළුවට කියනවා අපි දෙන්නගේ නම් දෙක දාලා අනිත් ඔක්කොගෙම නම් ගරු රඟපෑම් කියලා දාමු කියලා. මොකද ඒ අය ඇවිල්ලා, මුදලට රඟපාලා ගියේ නෑ. හරියටම කියනවා නම් ඒ අය ඇවිත් අපිට ආදරේ කරලා ගියා. රුක්මාල් නිරෝෂ් තමයි මේ චිත‍්‍රපටයේ සංස්කරණ කටයුත්ත කළේ. කිසිම මුදලක් අය කරන්නෙ නැතුව ඔහු අපිත් එක්ක මේ වැඬේදි මාස ගාණක් එකට හිටියා. අපේ චිත‍්‍රපටිය සහයෝගය දීලා ඒ හැමෝම කළේ අපිට ආදරය දුන්නු එක. ඉතිං මේ වෙලාවේ ඒ අයව ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනෙ.
 
 අන්තර්ජාතික වශයෙන් ඇගයීම් ලැබෙන නිර්මාණයන් සඳහා දේශිය වශයෙන් සම්මාන නොලැබීම ගැන ඔබේ අදහස කුමක් ද?
 
 ඒක මෙහෙමයි. අන්තර්ජාතික මට්ටමෙන් සම්මානයක් ලැබුණොත් තමයි අපිට වැදගත්කමක් තිබෙන්නේ. මොකද එතකොට තමයි මේක කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වශයෙන් තිබෙන බවත් චිත‍්‍රපටය නරඹන්න පේ‍්‍රක්ෂකයාව පොලඹවා ගන්න වුණත් අවස්ථාවක් උදාවෙන්නේ. ඒක ලංකාවේ සිනමා ක්ෂේත‍්‍රය අන්තර්ජාතිකව පිවිසෙන්න හා ඒ මාකට් එක හඳුනාගන්න හොඳ අවස්ථාවක්. ලංකාව ඇතුළේ සම්මාන කාට ලැබුණත් මට ප‍්‍රශ්නයක් නෑ. මොකද දන්න හඳුනන පිරිසක් අතරමනේ සම්මාන බෙදිලා යන්නේ. ඒ සම්මාන ලැබීම ආත්ම තෘප්තිය හා දිරිමත් වෙන්න වටිනවා.
 
 පැවැති කෝවිඞ් තත්ත්වයත් එක්ක අන්තර්ජාතික සම්මාන ලබා ගැනීමට අපිට විදෙස් රටවල යන්න බැරි වුණා. ආර්ථික ප‍්‍රශ්නත් ආවා. දැන් යන්න අවස්ථාව ලැබුණත් ජාතික චිත‍්‍රපට සංස්ථාවෙන්වත් සංස්කෘතික අමාත්‍යංශයෙන්වත් ‍අපිට කිසිම උදව්වක් කරන්නේ නැහැ. අපි මීටර් 100 හරි ක‍්‍රිකට් හරි ගහලා දිනුවනම් අපිට හොඳ තැනකට යන්න අත දෙයි. මේ ගැන කතා කරන්න කවුරුත් නැහැ. ඉතිං ලංකාවේ සිනමාවක් ඉතුරු වෙලා තියෙයි ද. ඉතිං ජාතික චිත‍්‍රපට සංස්ථාව, සංස්කෘතික අමාත්‍යංශය අපිට ගෞරවයක් ලබා නොඳුන්නා කියලා අපිට කිසිම ගැටලූ‍වකුත් නැහැ. ඉස්සරහටත් මායි සරතුයි චිත‍්‍රපට කරනවා.
 
 ඔබගේ සම අධ්‍යක්ෂවරයා, සම තිර රචකයා, බොහෝ විට සහාය නළුවා වන සරත් කොතලාවල ගැනත් මතක් කරමු..
 
 සරත් කොතලාවල කියන්නේ ගොවියෙක්. තාමත් කුඹුරු කොටනවා. මම අමු රස්තියාදුකාරයා. මම මොරටුවෙ ෆ්ලැට්වල කොන්ක‍්‍රීට් වනාන්තරයක හිටියේ. ස‍රත් නියම ඝන වනාන්තරයක හිටියේ. මම සිංහල, දෙමළ, මුස්ලිම්, කුඩුකාරයෝ, ගංජාකාරයෝ, හිරකාරයෝ, පිහිකාරයෝ, ගණිකාවෝ ඉන්න ප‍්‍රදේශයක ජීවත් වුණේ. ඉතිං මම රස්තියාදුකාරයෙක්. සරත් ගොවියෙක්. ඉතිං ගොවියයි රස්තියාදුකාරයයි එකතු වුණා. අපි දෙන්නටම සමාජය පිළිබඳ තිබෙන දැක්ම හා බලන කෝණය බොහෝවිට සමානයි. පරස්පර දේවල් නැතුවාම නෙවෙයි. නමුත් බොහෝවිට තිබෙන්නේ සමාන අදහස්. එම නිසා තමයි අපි දෙන්නටම මේ වගේ ගමනක් එන්න පුළුවන් වුණේ. දෙන්නම එකතු වෙලා තමයි හැමදේම කරන්නේ. නමුත් දෙන්නගෙන් එක්කෙනකු හරි වෙනස් වුණොත් මේ තිබෙන දේවල් නැතිවෙයි.
 
 මේ චිත‍්‍රපටය කරද්දි ඇතැම් හේතු නිසා සමහර වෙලාවට සරතුයි මායි වලි දාගත්තා. බැණගත්තා. මං සරත් එක්ක තරහා වෙලා ගෙදර ගියා. සරත් මාත් එක්ක තරහා වෙලා ගෙදර ගියා. ඉතිං විවිධ ප‍්‍රශ්න ඇති වුණා. නමුත් ඒ හැමදේම ඇතිවුණේ ඉඩකඩම් බෙදාගන්න හරි, ගෑනු හුටපටවලටවත්, මුදල් ගැටලූ‍වලටවත් නෙවෙයි චිත‍්‍රපටය සාර්ථක කරගන්න. ඒ වලිය හොඳයි. මොකද ඒකේ වාසිය ආවේ රටට. මේ ලැබූණු එක සම්මානයක්වත් අපි දෙන්නට හම්බුණු ඒවා නෙවෙයි. ජාතියට ලැබුණු සම්මාන. මම ජාතියෙන් වැලි කැටයක දෙයක්වත් හොරකම් කරලා නැහැ. සමහර මිනිස්සු ඉන්නවනේ ජාතියෙන් අරගෙන ගියපු අය. නමුත් මම මේක ජාතියට ගෙනාපු දෙයක්. නමුත් ජාතියක් හැටියට රටක් හැටියට ගෞරවය ලැබුණේ නැහැ. නමුත් ඒක මට ප‍්‍රශ්නයක් නැහැ. මොකද අද ගෑස් එකක් ගන්න බැරුව, පෙට‍්‍රල් ටික, ඞීසල් ටික ගහගන්න බැරුවුව කන්න නැතුව මිනිස්සු ඉද්දී අපිට ඒ ගෞරවය ඕනෙත් නැහැ.
 
 අපි දෙදෙනාගේම ජීවිතවලට ලැබුණු හොඳම සම්මානය තමයි හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ලැබුණ මෙම සම්මානය. නළුවා කියන සම්මානය ඕන තරම් ලැබිලා තියෙනවා. නමුත් අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබුණේ මෙහිදී පමණයි. විදේශීය රටකදී මෙවැනි සම්මානයකට පාත‍්‍ර වීම පිළිබඳව නිහතමානී සතුටක් තියෙනවා. එයට හේතුව තමයි ඒ රටවල්වල ඉන්නේ අප දන්නා හඳුනන අය නෙවෙයි. බටහිර රටවල සිටින විචාරකරුවෝ සහ සිනමාකරුවෝ තමයි ඒවා බලලා තියෙන්නේ. එය අපට මහත් ආඩම්බරයක් වගේම එය තමයි මෙම සම්මානයේ ඇති වටිනාකම. ”ද නිවුස් පේපර්” නිර්මාණය සාර්ථක කර ගැනීමට සම්බන්ධ වූ ඒ පිටුපස සිටින සියලූ‍ම දෙනාට ඒ ගෞරවය හිමිවෙනවා.
 
 ලංකා සිනමාවේ පේ‍්‍රක්ෂකයා අද සිටින තැන කොතැන ද?
 
 රටේ තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. ගෑස්, පෙට‍්‍රල් නැහැ. ඉතිං කොහොමද මිනිස්සු සිනමා ශාලාවකට ඇවිත් ටිකට් අරං චිත‍්‍රපටි බලන්නේ. නමුත් ක‍්‍රිකට් මැච් බලන්න ඉන්නවා ලක්ෂ ගාණක්. ඉතිං මං බැලූ‍වේ රුපියල් 5000, 6000 ටිකට් අරං මේ මිනිස්සු කොහොමද මේ ග‍්‍රවුන්ඞ්වල ඉන්නේ කියලා. කන්න බොන්න සල්ලි නැති මිනිස්සු කොහොමද මෙහෙම වියදම් කරලා මැච් බලන්නේ. ඇත්තටම ඒ ගැන බලද්දී අද පේ‍්‍රක්ෂකයා ඉන්න තැන ගැන හිතද්දී හරිම කනගාටුයි.
 
 සිංහල සිනමාව ආරක්ෂා කරගන්න කාටවත් වුවමනාවක් නැහැ. සිංහල සිනමාව වැටිලා වැටිලා සිනමා ශාලා 50කට අඩු වෙලා තියෙනවා. අපි මේක ආරක්ෂා කර ගන්න දුක් වි`දිනවා. අ`ඩනවා. අපි ඒ වෙනුවෙන් මැරෙන්නේ නැති ටික විතරයි.
 
 ඔබ වඩාත් සාර්ථක නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් හෝ තිර පිටපත් රචකයෙක් ලෙස ද?
 
 එහෙම එක වර්ගයකට කොටුවෙන්න මම කැමැති නැහැ. මොකද මම වෘත්තීය නළුවෙක්. මම මගේ ප‍්‍රකාශන මාධ්‍යය ලෙස ප‍්‍රථමයෙන් භාවිත කළේ වේදිකාවයි. නමුත් දැන් මම ඒ සඳහා භාවිත කරන්නේ චිත‍්‍රපට කියන මාධ්‍යය. වේදිකාවට වඩා චිත‍්‍රපට හරි සියුම්. මම කළ චිත‍්‍රපට හෝ වේදිකා නාට්‍ය තුළදී කිසිවිටෙක අනුවර්තන හෝ පරිවර්තන කරලා නැහැ. මොකද අනුන්ට දැනෙන, මට නොදැනෙන දෙයක් මට කරන්න බැහැ. ඉතින් මේ අංශ තුන මට වෙනස් ආකාර තුනක්.
 
 ඔබ නළුවෙක් නොවුණා නම්?
 
 රංගන ශිල්පියෙක් නොවුණා නම් මම සදාකාලික පුවත්පත් කලාවේදියෙක්. අවුරුදු 17ක් සෝදුපත් කියවන්නෙක් විදිහට දිවයින පුවත්පතේ වැඩ කරලා, පුවත්පත්වලට ලිපි ලියලා, ඒ දේවල් අත්හැරලා තමයි මම රංගන ක්ෂේත‍්‍රයට ආවේ. නමුත් එදා කියවපු දේවල් මගේ ජීවිතේට වටිනාකම් එකතු කළා. යම්කිසි කෙනෙක් පත්තරේ අතට ගත්තාම කියවන්නේ තමන්ට අවශ්‍ය කොටස් ටික විතරයි. නමුත් සෝදුපත් කියවන්නෙකුට එහෙම කරන්න බැහැ. මට විනිමය අනුපාත, ලග්න පලාඵල, ඕනෙ නැති ඇමැති කෙනෙක්ගෙ කතාවක් වුණත් කියවන්න වෙනවා. අන්න ඒ වගේ තමයි සෝදුපත් කියවන්නෙකුගේ රස්සාව. නමුත් ඒ කියවපු සියලූ‍ දේ මගේ ජීවිතේට ලොකු වටිනාකම් එකතු කරලා තියෙනවා.
 
 ධර්ම යුද්ධය චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔබ සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට පාත‍්‍ර වුණා?
 
 දෙරණ, සිග්නීස්, සරසවිය, හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝර්ඞ්ස් කියන සම්මාන උලෙළ හතරෙන් සරසවිය සම්මාන උලෙළදී හැර අනෙක් සම්මාන උලෙළ තුනේදීම ධර්ම යුද්ධය චිත‍්‍රපටයේ මා කළ රංගනය වෙනුවෙන් මට සම්මාන ලැබුණා. මගේ දුව තමයි මං වෙනුවෙට වේදිකාවෙදි සම්මානය ගත්තෙ. මට සහභාගි වෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මම සහභාගි වුණේ සරසවිය සම්මාන උලෙළට විතරයි. ඒකෙදි මට සම්මානයක් ලැබුණෙ නෑ. ධර්ම යුද්ධය ගැන කතා කරද්දි මට හරිම දුකයි ඒ ඉන්දියානු අධ්‍යක්ෂකවරයාගේ මරණය ගැන. ඔහු බොහොම හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ධර්ම යුද්ධයේ විමල්ගේ චරිතය වෙනුවෙන් ඔහු මාව හොඳින් සූදානම් කළා. නමුත් මේ සතුට දකින්න ඔහු හිටියෙ නෑ.ඒ ගැන තමයි මට දුක. ඒ වගේම ධර්ම යුද්ධය ගැන කියද්දි තව දෙයක් තියෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හරිම පරිස්සම් වෙන්න ඕනෙ. චූටි ෆෝන් එකකින් ගන්න ෆොටෝ එකක් නිසා සිද්ධ වූ ඛේදවාචකයක් තමයි මේ චිත‍්‍රපටයෙන් පෙන්නන්නෙ. තාක්ෂණය දැන් බොහොම දියුණුයි. එය හොඳ දේට වගේම වැරදි දේට යොදවා ගන්නත් පුළුවන්.
 
 මම සිංහල සිනමාවේ පෙර පරම්පරාවට ගෞරව කරන කෙනෙක්. පියදාස ගුණසේකර, ජෝතිපාල, ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි දැකලා තමයි රංගනය මගේ ඇ`ගට ආවේ. නැතුව ටොම් කෲස් දැකලා රංගනය මගේ ඇ`ගට ආවේ නැහැ. සිංහල සිනමාවේ හිටපු වීරයෝ දිහා බලලා මං රංගනය ඉගෙනගත්තා. අද මං රංගනය පැත්තෙන් යම් තැනක ඉන්නවානම් පෙර පරම්පාරාවේ සිනමා වීරයනුත් හේතුවක් වුණා.
 
 මින් පෙරත් ඔබ අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත‍්‍ර වුණා...
 
 පාසල් කාලයේ ඉදලම මම බොහෝ අවස්ථාවල සම්මානයට පාත‍්‍ර වුණා.
 
 රාවතාවත්ත රෝමානු කතෝලික විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සඳහා මොරටුව වේල්ස් කුමර විදුහලට ඇතුළත් වුණා. ජගත් මාරසිංහගේ පරවේණි වේදිකා නාට්‍යය තුළින් තමයි මං කලාවට ආවේ. හොඳම ගායකයාට හිමි පළමු සම්මානය ලැබුණේ වයස අවුරුදු 14 දී ක‍්‍රිස්තියානි සභාවෙන්. දහම් පාසලේ නාට්‍ය උලෙළේ දී හොඳම නළුවා සහ හොඳම ගායකයා වුණා. එදා විශේෂත්වය වුණේ මම සම්මානය ගත්තේ ප‍්‍රවීණ කලා ශූරි විජය කුමාරතුංගයන්ගේ අතින්. එදා ඔහු මගෙ හිස අත ගාලා කිව්වා පුතා දහම් පාසලේ විතරක් නෙවෙයි, මතු දිනෙක මේ රටෙත් හොඳම නළුවා වෙන්න කියලා.
 
 ඉන්පසු රාජ්‍ය නාට්‍ය උලෙළේ දී ජනක් ද සිල්වාගේ මට පුළුවන්ද මිනී මරන්න නාට්‍යයෙහි හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. තරුණ සේවා සභාව විසින් පැවැත්වූ සාපේක්ෂ කෙටි නාට්‍ය උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය ලැබුණා. සුනිල් චන්ද්‍රසිංහයන්ගේ සමාවෙන්න වැරදීමක් නාට්‍යය වෙනුවෙන් හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානය ලැබුණා. ස`දා ටෙලි නාට්‍යයෙන් හොඳම නළුවා වෙන්න ලැබුණා.
 
 ”ගාමනී” සිනමාපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා වුණා.”තණ්හා රතී රඟා” සිනමාපටය වෙනුවෙන් හොඳම තිර රචකයාට හිමි සම්මානය ලැබුණා. එය මගේ පළමු කුලූ`දුල් තිර රචනාවයි. ඉන්පසුව තමයි ”ධර්ම යුද්ධය” සිනමා පටයේ පොලිස් නිලධාරියාගේ චරිතය වෙනුවෙන් ඒ වසරේ ශ‍්‍රී ලංකාව තුළ පැවැති සියලූ‍ම සිනමා උත්සවවලින් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබුණේ. අවසානයට ද නිව්ස් පේපර් වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන කිහිපයක්ම හිමිකර ගැනීමට හැකි වුණා. මම කලාවට පිවිසිලා අවුරුදු 36ක් වෙනවා. ඒ කාලය තුළ කලාව තුළ බොහෝ දේ කළා.
 
 මේ දවස්වල ඔබ ටෙලිනාට්‍යවල නම් පේන්න ඉන්නවා අඩුයි නේද?
 
 රටේ පවතින අර්බුද, ප‍්‍රවාහන පහසුකම් වගේ දේවල් එක්ක ටෙලි නාට්‍ය කෙරෙන්නෙත් හරි අමාරුවෙන්. ඉස්සර තරම් ටෙලි නාට්‍යවල ඉන්නවා අඩුයි. නමුත් රැුල්ල වෙරළට ආදරෙයි ටෙලියට රංගනයෙන් දායක වෙනවා. ඒකට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරත් ලැබෙනවා.
 
 මේ දිනවල සම්බන්ධ වෙන වේදිකා නාට්‍ය නිර්මාණ ගැන කතා කළොත්?
 
 මේ දවස්වල වේදිකා නාට්‍ය කෙරෙනවා හරිම අඩුයි. රටේ තත්ත්වෙත් ඊට බලපාලා තියෙනවා. මේ තත්ත්වය නිසා දුර ප‍්‍රදේශවලට ගිහින් නාට්‍ය කරන්නත් අපහසුයි. වේදිකා නාට්‍යවලින් මම ඉස්සරහට සමුගන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අලූ‍තෙන් වේදිකා නාට්‍ය කරන්නේ නැහැ. බල්ලොත් එක්ක බෑ, කෝ කුක්කෝ, දෙයියොත් දන්නේ නෑ, නරි බුරති මම ඒ කලින් කරපු නාට්‍ය ගිහිල්ලා රඟපානවා.
 
 පසුගිය කාලයේ ඔබ ගීත කිහිපයකුත් එළිදැක්වූවා. නැවත ගීතයක් කරන්න අදහසක් නැති ද?
 
 රංගනයට අමතරව මගේ ”මං බොරැුල්ලෙ ඈ බදුල්ලෙ” සින්දුවත්, ”මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝලම” වගේ මම ගායනා කරන ගීත රාශියක් අතිශයින් ජනප‍්‍රිය වුණා. ඒ ගීත ගයන්න ආරාධනා ලැබෙන නිසා නිතරම වගේ සංගීත ප‍්‍රසංගවලටත් මට සහභාගි වෙන්නත් ඒ කාලයේ හැකියාව ලැබුණා. නැවත අලූ‍ත් ගීතයක් ගැන නම් හිතලා නැහැ. ඊට අමතරව මම සිළුමිණ පුවත්පතට සහ ලංකා පුවත්පතට ලියපු ”මගේ ජීවිතේ” තීරු ලිපි පෙළින් තෝරා ගත් තීරු ලිපි පනහක් එකතු කරලා පොතක් මුද්‍රණය කළා. ”මගේ ජීවිතේ” කෘතියට සෑහෙන්න පාඨක, රසික ප‍්‍රතිචාරයන් ලැබුණා. ඒ ගැනත් සතුටුයි.
 
 ඔබේ රංග පාසලේ වැඩ කටයුතු කොහොම ද?
 
 මේ දවස්වල වැඩි ඉඩක් වෙන් කරගෙන කරන කටයුත්තක් ඒක. හැමෝම අහනවා අන්තර්ජාතික සිනමාවටත් අත තිබ්බා.. ඉතිං මේ දේ කාටවත් දෙන්නේ නැද්ද කාටවත් උගන්වන්නේ නැද්ද කියලා. ඒක දෙන්න හිතාගෙන ලබන 27 වැනිදා මායි අජිත් ලොකුගේයි මහරගම ජනාධිපති විද්‍යාලයේදී රංග පාසල අරඹනවා.
 
 තව මගේ චිත‍්‍රපට 4ක් එන්නත් තියෙනවා. ටෙලි නාට්‍ය රඟපෑම්වලට ඉතිං ඉදිරියටත් සම්බන්ධ වෙන්නවා. ඒ කටයුතු තමයි කරගෙන යන්නේ.
 

 
 ඡායාරූප - නිශ්ශංක විජේරත්න