ආශාවරී, ඔබ කොහෙද ගියේ?

අගෝස්තු 4, 2022

 
 සිනමා පේ‍්‍රක්ෂක බහුතරයකගේ අභිලාසය රසාලිප්ත අත්දැකීම් විඳගැනීමය යන්න රහසක් නො වේ. අද වන විට සිනමා ශාලා ඒකාධිකාරය නොසලකා පැමිණෙන සිනමාපට වෙතින් ද අධි නිශ්චය කරන්නේ මෙ කරුණ යි. මෙය සිනමාවේ පැවැත්ම අරභයා වන එක් 

ධනාත්මක අවතීර්ණ වීමක් සේ නිර්වචනය කරන්නටත් පුළුවන. එනම් ප‍්‍රමිතියෙන් ඉහළ රසාලිප්ත සිනමාපට නිෂ්පාදනය හා ප‍්‍රදර්ශනය පොදුවේ යම් සිනමා කලාපයක පසුබෑම් වළකාලන්නට උත්සුක වන්නක් වන බව ය.
 
 ”ආශාවරී” සමඟ සිනමා අධ්‍යක්ෂණයට අලූ‍තෙන් එක්වූ තේජා ඉද්දමල්ගොඩගේ අභිලාසය වී ඇත්තේ ද රසාලිප්ත සිනමාපටයකින් පේ‍්‍රක්ෂකයා ඇමතීම යි. මෙහිලා ඔහුට අනගි සහයක් සපයන්නේ 

ඔහුගේ වෘත්තීය අත්දැකීම් විය යුතු ය. රසාලිප්ත සිනමාපටයක් යනු නිරනුමානව ම වෙළෙඳ භාණ්ඩයකි. එනම් එසේ නො වන සිනමාපට තනිකර ම වෙළෙඳ භාණ්ඩ නො වන්නටත් ද ඉඩ ඇති වග ය. සිය වෙළෙඳ දැන්වීම් නිර්මාණ අත්දැකීම් තේජාට පිටිවහලක් වන්නට ඇත්තේ මේ අනුව යි.
 
 පළමු කොටම තේජා සරල හා නොගැඹුරු පෙම් පුවතක් දෛවෝපගත ලක්ෂණ ද සමඟ නිරූපණයට ඇති කැමැත්ත නොවළහා ප‍්‍රකාශ කරන බව පෙනේ. දෛවෝපගත සිදුවීම් ආදියෙන් පිරි පුවත් අන්තර්ගත සිනමාපට සිනමා ඉතිහාසය පුරාම ය. විශේෂයෙන් ම පුවත විෂයෙහි ඉස්මතු කෙරෙන බරපතළ ප‍්‍රශ්න අවසාන මිනිත්තු කිහිපයේදී විසඳාලන්නේ කිසිදු අමතර හෝ සෘජු වග විභාගයකින් තොරව යි. නමුත් මෙය සැබවින්ම කල් ඉකුත් වූ ක‍්‍රමෝපායක් බව පැහැදිලි ය.
 
 සද්ධාමංගල සූරියබණ්ඩාර ම මෙහි තිරනාටකය රචනා කළේ ද යන ප‍්‍රශ්නය පැන න`ගින්නේ ආරම්භක රූප රාමු පෙළ තිරය මත පතිත වන විටදීම යි. රසාලිප්ත බව හා බැඳුණු විශ්වසනීයත්වය ද යම් පමණකට හෝ සුරැකෙන, පේ‍්‍රක්ෂකයා තුළ කුතුහලය ද තාර්කිකව ගොඩනගන කතා පුවත් සම්පාදනයට ඔහු සමතකු ය යන්න පෙන්වා දෙන්නේ මෑත කාලීන ටෙලි නාටක කිහිපයක් වෙතිනි. ටෙලි නාටකය හා සිනමාව මාධ්‍ය ද්විත්වයක් ය යන්න පැහැදිලි ය. එනමුදු ටෙලි නාටක අත්දැකීම් සහිතව හෝ රහිතව සිදුවූ මේ සිනමාවතරණයේදී සද්ධාමංගල ඒ හැටි සමත්කම් දක්වන වන ආකාරයක් නොපෙනේ.
 
 ”ආශාවරී”, නැරැඹුවනට කෙටි කලකට හෝ අමතක නො වන සිනමාපටයක් වන්නේ වර්ණවත් රූප රචනය නිසා පමණකැ යි සිතේ. මෙහිලා කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා දැරූ වෙහෙස අවතක්සේරු නොකළ යුතු ය. නමුත් මේ රූප රචනය සුවිශේෂ නොවන බවට ඉදිරිපත් කළ හැකි හේතු රාශියකි.
 
 රසාලිප්ත සිනමාපටයක ප‍්‍රමිතිය ඉහළ නංවාලීම විෂයෙහි රංගන පාර්ශ්වය සතු කාර්යභාරය නිසි පරිදි වටහා ගැනීමේ අවශ්‍යතාව ද ”ආශාවරී” සිහිපත් කරන්නේ ආයාසයකින් තොරව ය. සිනමාකරු තේජා මෙතැන දී ඉටු කරන මෙහෙය සුළු පටු නොවේ. එමෙන් ම නව්‍ය ලක්ෂණ ගෙන එන රංගන ශිල්පීන්ගේ සහභාගීත්වය කෙරෙහි ද සැලකිලිමත් විය යුතු ය.
 
 තේජා මෙ කරුණේ දී උග‍්‍ර අර්බුදයකට මුහුණ දෙන වග පැහැදිලි ය. සුපිරි තරුවක් සේ හඳුන්වා දෙන හේමාල් රණසිංහ වෙතින් තරු ගුණ ප‍්‍රකට කරවා ගන්නට තේජා නොගන්නා වෙහෙසක් නැත. හුරුපුරුදු පෙම්වතාට නව වටිනාකමක් ලබා දීමේ අවශ්‍යතාව ඉදිරියේදී හේමාල් පෙන්වන අවිනිශ්චිත තත්ත්වය සැඟ ව ගොස් නැත. ජයලත් මනෝරත්නගේ සිනමා රංගන සමත්කම් සිනමා පේ‍්‍රක්ෂකයනට ආගන්තුක නො වේ. එය ”ආශාවරී” ට ආලෝකයක් නො වීමේ වගකීම ද තේජා මත පැටවෙන සෙයකි. නවක නිළියන් දෙදෙනා අතරින් පෙම්වතියගේ චරිතය නිරූපණයට බට යුවතිය පිළිබඳව පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක් ඇතිවන්නේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සිනමා රංගනය පිළිබඳ පළමු පාඩමෙන් ඇයව දැනුම්වත් කිරීම තේජාට ම`ග හැරුණු සෙයකි.
 
 කාරණා තුනක් කෙරෙහි තේජා ”ආශාවරී” හි දී උනන්දු වෙයි. පළමු වැන්න වන්නේ සිංහල යුද හමුදා නිලධරයකු හා දමිළ යුවතියක අතර පෙම් සබදතාවක් ගෙන හැර පෑම ය. දෙවැන්න වන්නේ ධනවත්, බලවත් හා කුලවත් කාන්තාවකගේ සැහැසිකම් ගෙන හැර පෑම ය. තෙවැන්න වන්නේ නොපෑහෙන පවුල් දෙකක් අතර සිදුවූ අලකලංචියක් ගෙන හැර පෑම ය.
 
 මෙයින් පෙම් සබ`දකම කිසියම් නැවුම් බවක් හෝ අපූර්වත්වයක් පෙන්වන්නේදැ යි යන්න ධනාත්මක පිළිතුරක් සැපයිය නොහැකි ප‍්‍රශ්නයකි. එසේම මේ පෙම් සබ`දකම දියාරු ලක්ෂණ ආදියෙන් අනූන ය යන්න ද අපැහැදිලි නොවේ. අතිශයින්ම පැතලි චරිතයක් වන සාහසික කාන්තාව වියරු හාස්‍යයක් කල්පනාකාරී ව සිටින පේ‍්‍රක්ෂකයා තුළ දනව යි. ධනවත් හා මධ්‍යම පන්තික පවුල් දෙක මෙලොවට අදාළ වන්නේ මඳ වශයෙනි.
 
 වැඩිහිටි චරිත කාලයාගේ ඇවෑමෙන් වියපත් නොකිරීමට තේජා දැක්වූ උනන්දුව දිගින් දිගට ම සාර්ථක වේ. යම් නො ගැලපීමක් මතු වන්නේ වර්තමානයේ දී වියපත් ව සිටින දුම්රිය ස්ථානාධිපතිවරයාගේ තරුණ වියේ අග්ගිස්ස නිරූපණයේ දී ය. වියපත් නොවන්නට මේ වැඩිහිටි චරිත සමත් වන්නේ අඩු තරමින් වර්ෂ 17ක් වත් ගතවූ තැන දී යි.
 
 එමෙන් ම වෛරය, ක්‍රෝධය, සැකය සමඟ පෙරට ආ ගැටුම් සැණෙකින් විසඳාලීමට තේජා දක්වන සමත්කමත් කැපී පෙනේ. පසමිතුරු බලවේග සුහදව එක් වන්නේ අර යුවළ විවාහ ප‍්‍රාප්ත වීමට සමගාමීව ය. කෙසේ නමුත් බිහිසුණු ම දුෂ්ටයා ට ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනා පත‍්‍රයක් නො යැවීමට තේජා ගත් තීරණය පැසසුම් කටයුතු ය.
 
 ”ආශාවරී” , ලාංකේය රසාලිප්ත සිනමාවේ අභිවර්ධනය සහතික කළ හැකි සාධක කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන සිනමාපටයක් ද වේ. පළමු කොටම රසාලිප්ත සිනමාව විචිත‍්‍රවත් කිරීමට උචිත තරු බිහි කරලීම යි. ඔවුනට අවම රංගන සමත්කමක් වත් තිබෙන බවට වග බලා ගැනීම යි. තිර හඬක් හිමි ගායක ගායිකාවන් එක් කර ගැනීම යි. පේ‍්‍රමය, ත‍්‍රාසය, භීතිය, කුතුහලය ආදී අංග නිසි පමණට ගළපාලූ තිරනාටක සහය ලබා ගැනීම යි. වර්තමාන ඉන්දියානු රසාලිප්ත සිනමාව හෝ 1970 දශකයේ ලාංකේය රසාලිප්ත සිනමාව තවදුරටත් හැදෑරීම යි.