අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත‍්‍රපට 10 මොනවාද?

ජූලි 21, 2022

 

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ‍්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ‍්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බි‍්‍රතාන්‍ය සිනමා ආයතනය (BFI) (Sight & Sound)‍සඟරාව මඟින් ලොව හොඳම චිත‍්‍රපට තෝරන සම්මත ක‍්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අපි අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීමයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වෙති. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

කේ. සිවකුමාරන්

කේ. සිවකුමාරන් සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු මෙන්ම ගුවන්විදුලි නිවේදකයෙකි. ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙසින් කටයුතු කොට ඔහු දි අයිලන්ඞ්, වීරකේසරි, නවමනි පුවත්පත්වලද කටයුතු කර තිබේ. ඉංග‍්‍රීසි සහ දෙමළ මාධ්‍ය දෙකෙහිම ප‍්‍රවීණ ලේඛකයකු ලෙස ඔහු පොත් රැසක් ප‍්‍රකාශයට පත් කොට ඇත. ඒ අතර සිනමාව පිළිබඳ රචනා කළ කෘති හයක් වේ.

1. විරාගය - තිස්ස අබේසේකර

2. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

3. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

4. සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ

5. ඉර මැදියම - ප‍්‍රසන්න විතානගේ

6. මේ මගේ සඳයි - අශෝක හඳගම

7. සංකාරා - ප‍්‍රසන්න ජයකොඩි

8. ඔබ නැතුව ඔබ එක්ක - ප‍්‍රසන්න විතානගේ

9. පුරහඳ කළුවර - ප‍්‍රසන්න විතානගේ

10.සමනල සංධ්වනිය - ජයන්ත චන්ද්‍රසිරි

ප‍්‍රියන්ත කොඩිප්පිලි

මාධ්‍යවේදියකු, සිනමා විචාරකයකු වන ප‍්‍රියන්ත කොඩිප්පිලි කවියකුද වේ. ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කලක් සේවය කළ ඔහු මේ වන විට ඉරිදා ලංකාදීප පුවත්පතේ සේවය කරන්නේය. ‘කොඩි‘ සහ ‘පිදුම සමරෙට‘ යනු ඔහු රචනා කළ කාව්‍ය ග‍්‍රන්ථ දෙකක් වන අතර ඔහු විසින් රචිත තීරු ලිපි එකතුවක් ‘විනිවිද හරස් රචනා‘ නමින් ග‍්‍රන්ථයක් ලෙස ප‍්‍රකාශනයට පත් කෙරුණි.

1. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. වැලිකතර - ඞී.බී. නිහාල්සිංහ

4. විරාගය - තිස්ස අබේසේකර

5. දඩයම - වසන්ත ඔබේසේකර

6. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා

7. මේ මගේ සඳයි - අශෝක හඳගම

8. හතර දෙනාම සූරයෝ - නීල් රූපසිංහ

9. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

10.ඉරමැදියම - ප‍්‍රසන්න විතානගේ