අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

ජුනි 2, 2022

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයෙකු වූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභි ගත්කතුවරයෙකි. ගීත රචකයෙකි. විචාරකයෙකි. සාහිත්‍ය, මානව විද්‍යාව, ජනශ‍්‍රැති විද්‍යාව, සිනමාව, නාට්‍ය සහ රූපවාහිනිය ආදී විෂයයන් පිළිබඳ කෘති රැසක් එතුමා රචනා කර තිබේ.

1. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. තුංමං හන්දිය - මහගමසේකර 
3. කලියුගය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
4. සත්සමුදුර - සිරි ගුණසිංහ  
5. මල්දෙණියේ සිමියොන් - ඩී. බී. නිහාල්සිංහ  
6. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා 
7. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ 
8. හාරලක්ෂෙ - ටයිටස් තොටවත්ත 
9. රන් සළු - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
10.වැලිකතර - ඩී. බී. නිහාල්සිංහ

දීප්ති ෆොන්සේකා

දීප්ති ෆොන්සේකා ලේක්හවුස් ආයතනයේ දශක හතරක මාධ්‍ය දිවියකට හිමිකම් ලද පුවත්පත් කලාවේදිනියකි. සරසවිය පුවත්පතෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඇය සරසවිය පුවත්පතේ කර්තෘ ධුරයද හෙබවූවාය. ඒ අනුව මෙරට සිනමා පුවත්පතක ප්‍රථම කතුවරිය වන්නේද ඇයයි. ලේක්හවුස් ප්‍රකාශනයක් වූ ආරෝග්‍යා පුවත්පතේ ආරම්භක කර්තෘවරිය වන්නේද ඇයයි.

1. දඩයම - වසන්ත ඔබේසේකර 
2. කැඩපතක ඡායා - වසන්ත ඔබේසේකර 
3. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා 
4. සිසිල ගිනි ගනී - ප්‍රසන්න විතානගේ 
5. වැලිකතර - ඩී. බී. නිහාල්සිංහ 
6. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ 
7. පාලම යට - එච්. ඩී. ප්‍රේමරත්න 
8. සප්ත කන්‍යා - එච්. ඩී. ප්‍රේමරත්න 
9. මල්දෙණියේ සිමියොන් - ඩී. බී. නිහාල්සිංහ 
10.ඇගේ ඇස අග - අශෝක හඳගම