රට වසා දැමූ පසුගිය කාලේ ලොක්ඩවුන්

ජුනි 2, 2022

සමන්ත දේවපි‍්‍රය කොළඹ රජයේ කාර්යාලයක විධායක නිලධාරියෙකු ලෙස පන්නිපිටිය ප්‍රදේශයේ ජිවත් වෙයි. ඔහුගේ බිරිඳ වන ලෝචනා දේවපි‍්‍රය වෛද්‍යවරියක් ලෙස රැකියාව කරයි. පසුගිය වසර කොරෝනා වසංගතය තදින් පැතිරුණු සමයේ ලෝචනාට නිතරම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලේම රැඳී සිටීමට සිදුවෙයි. ඔවුන්ගේ නිවෙසේ සමන්තගේ මව වන භද්‍රවතීත්, අවුරුදු තුනක් වයසැති සිගිති සහනීන්, මෙහෙකාරිය වන කාන්ති ද සිටී. 

හදිසියේ මෙහෙකාරිය වන කාන්තිට පියාගේ අසනීප තත්ත්වයක් නිසා ගමේ යෑමට සිදුවෙයි. කාන්ති ගිය පසු සිඟිති සහනිගේ සියලු කටයුතු සමන්තගේ මව වන භද්‍රවතීට පැවරේ. හදිසියේ දින දාහතරකට රට  Lockdown කිරීම හේතුවෙන් ලෝචනාට දින කීපයක් රෝහලේම නැවතී රාජකාරීන් කිරීමට සිදුවේ. එහෙත් සමන්තගේ කාර්යාලයේ සැමටම නිවසේ සිට රාජකාරීන් කිරීමට අවසර හිමිවේ. ඒ අනුව සමන්ත නිවෙසේ සිට රාජකාරී කිරීම සඳහා ෆයිල් මිටි කීපයක් තම නිල රථයේ දමාගෙන රියදුරු ද සමඟ නිවෙසට යයි. සමන්තගේ නිවසට යාබදව ඇති නිලන්ති ගේ නිවෙසේ මෙහෙකාරිය වන උදුලා සමඟ රහස් සම්බන්ධතාවයක් පවත්වන තරුණයකු නිතර නිතර තාප්පය අසල යමක් කතා කරන අයුරු සමන්තගේ රියැදුරු වන ජයන්තට නිරීක්ෂණය වේ. 

තරමක සෙම අමාරුවක් නිසා විටින් විට උණ ගන්නා කුඩා සහනිට බෙහෙත් ඉරපභන පෙවීමට සමන්තගේ මවට සිදුවෙයි. කෑම බීම දීමට අපහසු සහනීට පුරුද්දක් වශයෙන් ආහාර කැවීමේදී හැංගිමුත්තං සෙල්ලං කිරීමට සමන්තගේ මවට සිදුවේ. මේ අතර සමන්තගේ නිල රථය නිවසට ඇතුළුවීමට ගේට්ටුව විවෘත කිරීම සඳහා මිදුලට පැමිණෙන සමන්තගේ මවට සහනී පිළිබඳ අවධානය තරමක් මගහැරෙයි. මවගේ සහ පියාගේ නිදන කාමරයට යන සහනී සැඟවීමට තැනක් සොයයි. රියදුරු ජයන්තට තේ එකක් සාදා දී සහනි සෙවීමට කාමරේට යන සමන්තගේ මව දකින්නේ ඔළුවේ සිට බෙඩ්ශිට් එකකින් පෙරවාගෙන සහනී නිදා සිටි අයුරුයි. බෙහෙත් Syrup බීම නිසා නිතර නිදිමත ගතියෙන් සිටින සහනි අවදි නොකිරීමට සමන්තගේ මව පියවර ගනී.

පිටත බාත්රූම් එකෙන් නෑමෙන් පසු නිවස තුළට පැමිණෙන සමන්ත මවගෙන් සහනී පිළිබඳ විමසද්දී දරුවා නිදි බව සමන්තගේ මව පවසයි. රාජකාරි කටයුත්ත අධික බැවින් දිගටම කන්තෝරු කාමරයට යන සමන්ත රාජකාරි කටයුතුවල යෙදී සිටි. පැය තුනකට ආසන්න කාලයක් රාජකාරි කටයුතු කරන සමන්ත දියණිය අවදි කරන ලෙස මවට පවසයි. ඒ අනුව සමන්තගේ මව සහනී අවදි කිරීමට කාමරයට ගොස් බෙඩ්ෂීටය ඉවත් කර බලද්දී සහනී වෙනුවට එහි සිටින්නේ ටෙඩිබෙයාර් කෙනෙකු බව සමන්තගේ මව දකී. ඉන්පසු කලබලයෙන් නිවසේ සෑම තැනකමත් නිවසින් බැහැරව සමන්ත සහ මව සහනී සෙව්වද ඇය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වෙයි. හදිස්සියක් යැයි පවසා ලෝචනාද නිවසට ගෙන්වාගන්නා සමන්ත සහනීගේ අතුරුදන්වීම ගැන පොලිසියට දන්වයි. ඒ සැනින් පොලිසිය සමන්තගේ නිවසට පැමිණ තොරතුරු විමසයි. ඇත්තෙන්ම තම කාමරයේ නිදා සිටි කුඩා සහනීට සිදු වුයේ කුමක්ද? උදුලා සමඟ සිටි තරුණයා කවුද? තදින්ම  Lockdown නීති ක්‍රියාත්මක වන මෙම අවධියේ සහනී සොයාගැනීමට හැකි වුණා ද? යන්න ඉදිරියේ තිරගත වන  Lockdown සිනමාපටයෙන් රසවීඳිමට හැකි වී ඇත.