අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

මැයි 26, 2022

 

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" " සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

මහාචාර්ය පැට්‍රික් රත්නායක

 

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මෙරට සිනමාව, රූපවාහිනිය, නාට්‍ය සහ රංග කලාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ විද්වතෙකි. ජපානයේ නිහෝන් සරසවියෙන් සිනමාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත් එතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කරමින් නාට්‍ය හා රංග කලා, ප්‍රාසංගික කලා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණය සහ ප්‍රතිබිම්බ කලා ලෙස විෂය ධාරා වර්ධනය කරමින් ප්‍රායෝගික මට්ටමට ගෙන ඒමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය. මෙරට ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ රැසක ජූරි සභිකයෙකු ලෙසින් කටයුතු කළ ඔහු වසර ගණනක සිට රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ ජූරියේ සභාපතිවරයා ලෙසින් ද කටයුතු කරන්නේය.

 

 

1. වැලිකතර - ඩී. බී නිහාල්සිංහ

2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

3. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

4. තුංමං හන්දිය - මහගමසේකර

5. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

6. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

7. මේ මගේ සඳයි -අසෝක හඳගම

8. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

9. හන්තානේ කතාව - සුගතපාල සෙනරත් යාපා

10.තුෂාරා - යසපාලිත නානායක්කාර

 

අනුර බණ්ඩාර රාජගුරු

 

අනුර බණ්ඩාර රාජගුරු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීයෙකු මෙන්ම ගත් කතුවරයකුද වේ. ලේක්හවුස් ආයතනයේ නවයුගය සඟරාවේ සහ යොවුන් ජනතා පුවත්පතේ උප කර්තෘවරයකු ලෙසින් සේවය කළ ඔහු පසුව සරසවිය පුවත්පතේ කර්තෘ ධුරයද හෙබවීය. මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙසින් ජන හදවත් දිනා සිටින ඔහු එදා මෙදා තුර චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

 

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. පරසතු මල් - ගාමිණි ෆොන්සේකා

3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

4. වැලිකතර - ඩී. බී නිහාල්සිංහ

5. හඳයා - ටයිටස් තොටවත්ත

6. දඩයම - වසන්ත ඔබේසේකර

7. සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ

8. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ

9. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

10. නිකිණි වැස්ස - අරුණ ජයවර්ධන