අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

මැයි 19, 2022

 

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

තිස්ස ප්‍රේමසිරි

 

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන තිස්ස ප්‍රේමසිරි සිනමා විචාරයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වේ.1983 වසරේදී ගම්පහ දවස වාර්තාකරු ලෙසින් පුවත්පත් කලාවට එක් වූ තිස්ස ප්‍රේමසිරි දිවයින මාණ්ඩලික වාර්තාකරුවකු වශයෙන් සේවයේ යෙදී නවලිය සිනමා අතිරේකයේ ලේඛකයකු සහ සහකාර සංස්කාරක ලෙසින්ද කටයුතු කළේය. අනතුරුව ඉරිදා ලක්බිම පුවත්පතේ සිනමා විචාරකයකු ලෙස කටයුතු කළ ඔහු සහකාර කර්තෘ තනතුරේ සිට නියෝජ්‍ය කර්තෘ ධුරයද හොබවා ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින් පුවත්පත් කලාවෙන් විශ්‍රාම ගත්තේය. අන්තර්ජාතික කතෝලික සිනමා සංසදයේ (සිග්නීස්) සිනමා ජූරිය, සුමති ටෙලි සම්මාන ජූරියද ඇතුළුව විනිශ්වය මණ්ඩල ගණනාවක ද ඔහු කටයුතු කර ඇත.

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. පාර දිගේ - ධර්මසේන පතිරාජ

4. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

5. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්

6. තුංමං හන්දිය - මහගමසේකර

7. වැලිකතර - ඩී. බී නිහාල්සිංහ

8. දඩයම - වසන්ත ඔබේසේකර

9. ඔබ නැතුව ඔබ එක්ක - ප්‍රසන්න විතානගේ

10. පාංශු - විසාකේස චන්ද්‍රසේකර

 

ගුණසිරි සිල්වා

 

ජ්‍යෙෂ්ඨ සිනමා විචාරකයකු, පුවත්පත් කලාවේදියකු, ගත් කතුවරයකු වන ගුණසිරි සිල්වා 1978 වසරේදී පුවත්පත් කලාවට පිවිසියේ ඇත්ත පුවත්පතෙනි. 1976 වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ සකුරා නම් සිනමා සඟරාව මෙරට තරුණ පරපුරේ හදවත් දිනා ගැනීමට සමත් විය. විශේෂාංග කර්තෘවරයෙකු ලෙසින් පුවත්පත් ගණනාවක කටයුතු කළ ඔහු නවකතා, කෙටිකතා, පරිවර්තන, ජනමාධ්‍යවේදය පිළිබඳ කෘති, සිනමා විචාර ආදි වශයෙන් කෘති රැසක් එළිදක්වා ඇත. සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේද ඔහු කටයුතු කර තිබේ.

 

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. පාර දිගේ - ධර්මසේන පතිරාජ

4. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

6. වැලිකතර - ඩී. බී නිහාල්සිංහ

7. විරාගය - තිස්ස අබේසේකර

8. පවුරු වළලු - ප්‍රසන්න විතානගේ

9. දඩයම - වසන්ත ඔබේසේකර

10. සුද්දිලාගේ කතාව - ධර්මසිරි බණ්ඩාරනායක