අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

මැයි 12, 2022

 

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

පියසිරි නාගහවත්ත

පියසිරි නාගහවත්ත ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරකයන්ගෙන් කෙනෙකි. හැටේ දශකයේ පිබිදුණු ලාංකික සිනමාවට නව මානයක් හඳුන්වා දුන් ලේඛකයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. සරසවිය සම්මාන උලෙළේ විනිශ්වය මණ්ඩලයේද ඔහු කටයුතු කර තිබේ.

 

1. තුංමං හංදිය - මහගමසේකර

2. හඳයා - ටයිටස් තොටවත්ත

3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

4. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

5. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

6. හංස විලක් - ධර්මසිරි බණ්ඩරනායක

7. වැලිකතර - ඩී. බී. නිහාල්සිංහ

8. පරසතු මල් - ගාමිණි ෆොන්සේකා

9. සිරි මැදුර - පරාක්‍රම නිරිඇල්ල

10. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

 

සුමිත්‍රා රාහුබද්ධ

සුමිත්‍රා රාහුබද්ධ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ සම්මානනීය ගත්කතුවරියකි. මෙරට පරිපාලන සේවයේ කටයුතු කරමින් ඇය අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරයන් හෙබවූවාය. සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත සම්මානනීය කෘති රැසක් මෙරට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණයට පාදක වී තිබේ. ඇය සරසවිය සම්මාන උලෙළේ විනිශ්වය මණ්ඩලයේද කටයුතු කර තිබේ.

 

1. දෛවයෝගය - එස්.කේ.ඕජා

2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පීරිස්

4. කෙළිමඬල - ඩී.බී. නිහාල්සිංහ

5. එයා දැන් ලොකු ළමයෙක් - ධර්මසේන පතිරාජ

6.බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

7. ඇගේ ඇස අග - අශෝක හඳගම

8. ඉර මැදියම - ප්‍රසන්න විතානගේ

9. ප්‍රේමය නම් - කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ

10.පරසතු මල් - ගාමිණි ෆොන්සේකා