අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

මැයි 5, 2022

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound"  සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

 

රංජනී රත්නවිභූෂණ

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිධාරිණියක වන රංජනී රත්නවිභූෂණ සිනමා ලේඛිකාවක, සිනමා හා ටෙලි නාට්‍ය ජූරි සභිකාවක හා චිත්‍රපට සංගම් ක්‍රියාකාරිණියක ද වේ. ආසියානු සිනමා කේන්ද්‍රයේ ලේකම්වරියක වන ඇය නෙට්පැක් - ආසියා ෆැසිපික් සිනමාව ප්‍රවර්ධනය සඳහා වූ ජාලයේNetwork for the Promotion of Asia Pacific (NETPAC) උපදේශක කමිටු සාමාජිකාවක් වශයෙන්ද කටයුතු කරන අතර ජාත්‍යන්තර චිත්‍රපට සමිති සම්මේලනයේ හා අන්තර්ජාතික සිනමා විචාරක සංගමයේ සාමාජිකත්වය ද දරයි. අදූර් ගෝපාලක්‍රිෂ්ණන්ගේ සිනමාව කෘතියේ කතුවරිය වන ඇය චිත්‍රපට වාර්ෂික ග්‍රන්ථ පෙළේ සංස්කාරක ද, සිනෙසිත් සිනමා සඟරාවේ සහ රජයේ චිත්‍රපට අංශය පිළිබඳව පළ කළ ප්‍රතිබැහැදැක්ම ග්‍රන්ථයේ සහාය සංස්කාරකවරිය ද, Malini up above (The Life and Work of Malini Fonseka)  ග්‍රන්ථයේ සහාය සංස්කාරිකාව ද Sri Lankan Cinema and its Association with the South Indian Film Industry  කෘතියේ සහාය සංස්කාරක හා පර්යේෂණ සම්බන්ධීකාරක ද n LJP-Lester James Peries Life and Work කෘතියේ ප්‍රකාශිකාවද වූවාය. ස්විට්සර්ලන්තයේ ලොකාර්නෝ, ප්‍රංශයේ වෙසුල්, කොරියාවේ ජොන්ජු, බූසාන්, තායිලන්තයේ බැංකොක්, බංග්ලාදේශයේ ඩකා, ඉන්දියාවේ මුම්බායි සහ බැංගලූරු ඇතුළු ජාත්‍යන්තර සිනමා ජූරි සභාවන්ද, හිරු, ඕසීඅයිසී, සංස්කෘතික සම්මාන ඇතුළු දේශීය ජූරි සභාවන්ද නියෝජනය කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිනමාව හා සම්බන්ධ සිද්ධි මාලාවන් රැසක් සංවිධානය කර ඇත.

 

 

1. රේඛාව - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - සුමිත්‍රා පීරිස්

3. තුංමං හන්දිය - මහගමසේකර

4. මාරුතය - වසන්ත ඔබේසේකර

5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

6. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

7. විරාගය - තිස්ස අබේසේකර

8. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ

9. හඳයා - ටයිටස් තොටවත්ත

10. අනන්ත රාත්‍රිය - ප්‍රසන්න විතානගේ

 

 

සමන්ත යහම්පත්

 

ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙසින් කටයුතු කරන සමන්ත යහම්පත් දශක තුනකට අධික කාලයක් පුරා පුවත්පත් කලාවේ නිරතව සිටින පුවත්පත් කලාවේදියෙකි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ලේක්හවුස් ආයතනයේ යොවුන් ජනතා පුවත්පතෙනි.මෙරට ජාතික පුවත්පතක දීර්ඝතම කාලයක් පුරා සිනමා පිටුවක් සංස්කරණය කිරීමේ ගෞරවයද සමන්ත යහම්පත් සතු වේ.

 

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2.පරසතු මල් - ගාමිණී ෆොන්සේකා

3.ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

4.අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

5.අනන්ත රාත්‍රිය - ප්‍රසන්න විතානගේ

6.ලොකු දුව - සුමිත්‍රා පීරිස්

7.සිරිමැදුර - පරාක්‍රම නිරිඇල්ල

8.සිහින දේශයෙන් - බූඩි කීර්තිසේන

9.යශෝදරා - සුනිල් ආරියරත්න

10.මෝටර් බයිසිකල් - ශමීර රංගන නාඔටුන්න