හිරිපොද වැස්සට තෙමුණ පුබුදු

පුබුදු චතුරංග
මැයි 5, 2022

 

සිංහල සිනමාව වෙනුවෙන් අභියෝගාත්මක චරිත රංගනයෙන් දායකවූ නළුවන් ගැන කතා කරද්දී පුබුදු චතුරංගගේ නාමය කිසිසේත්ම අමතක කළ නොහැකිය. ඔහු පළමුවැනි චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ජනාදරයට පාත්‍ර වූයේ ඔහු එහි නිරූපණය කළ එක්තරා දර්ශනයක් නිසාය. එම චිත්‍රපටයේ වූයේ හිරිපොද වැස්සයි. එහි දර්ශනයක් වෙනුවෙන් යට ඇඳුමකින් සැරසී ලයිට් කණුවකට නගින්නට පුබුදුට සිදුවිය. ඒ පිළිබඳ නිල නොවන කතාවක්ද ක්ෂේත්‍රය තුළ පවතී. ඒ පුබුදු රඟපෑ ඒ දර්ශනය රඟපාන්නට තිබුණේ එහි වෙනත් නළුවෙකුටය. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බැවින් පුබුදුට ඒ අවස්ථාව හිමි විය යන්නයි. දෙවතාවක් නොසිතා ඒ දර්ශනය බාරගන්නා පුබුදු එය රඟපෑමෙන් පසුව චිත්‍රපටය තිරගත වෙද්දී වඩාත් කතාබහට ලක්වූ රංගන ශිල්පියා වූයේය. එතැනින් පටන්ගත් ගමන පුබුදුගේ සිනමා රංගන චාරිකාව තුළදී ඔහුට විවිධ අන්දමේ චරිත රංගනයෙන් දායක වීමට ලැබීම ඔහුගේ වාසනාවකි. හිරිපොද වැස්සේ පුබුදු රඟපෑ චරිතය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් ලබා ගැනීමට ඔහු සමත්විය. හිරිපොද වැස්ස, පායා එන්න හිරුසේ, කන්‍යාවි, චැලෙන්ජර්ස්, සුපර් සික්ස්, සමනල සංධ්වනිය, පරාවර්ථන, හුස්ම, සක්කාරං, එක දවසක අපි, මායා නිහඬ සෙවණැලි වැනි චිත්‍රපටයයන්හී පුබුදුගේ අපූරු රංගනය අපට දැකගත හැකි විය. මෑත කාලයේ ඔහු පිළිබඳ වඩාත් කතාබහට ලක් වූයේ ජංගි හොරා චිත්‍රපටයෙහි ඔහු නිරූපණය කළ චරිතය නිසාය. තිර රචකයෙකු ලෙසද වඩාත් ප්‍රකට පුබුදු ප්‍රවේගය සහ මායා තිරරචනයෙන් දායක විය. පුබුදුගේ ප්‍රිය බිරිය මාෂි සිරිවර්ධනද රංගන ශිල්පිනියකි. මායා ජාල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයටද පිවිසි පුබුදු එම චිත්‍රපටයේ වැඩ කටයුතුවල මේ දිනවල නියැළෙයි.