සිනමාවේ පමණක් රූ මැවූ අර්ජුන්

අර්ජුන් කමලනාත්
මැයි 5, 2022

 

සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් නිතරම වෙහෙසෙන රංගන ශිල්පීන් අතර අර්ජුන කමලනාත්ද සිටියි. ඔහු සමඟ වචන දහයක් කතා කළොත් නමයකම කියැවන්නේ සිංහල සිනමාව පිළිබඳය. අර්ජුන රංගනයට පිවිසීමට අපේක්ෂා නොකළ අයෙකි. නමුත් අහඹු සිද්ධියක් නිසා ඔහු වෘත්තියෙන් රංගන ශිල්පියෙකු විය. එක්තරා සාත්තරකරුවෙකු අර්ජුනට පවසන්නේ ඔහුගේ වෘත්තිය සුදුසු රංගනය බවය. ඒ කීමට අවනත වෙමින් එතෙක් සුළු ව්‍යාපාරයක් කරගෙන ගිය ඔහු සිංහල සිනමාවට අවතීර්ණ වෙයි. මොහොතින් මොහොත, කව්ද බොලේ ඇලිස්, කන්‍යාවියකගේ රාත්‍රිය, ජැක් ඇන් ජිල්, සුන්දර වරද, ජොලි හලෝ 2, නුඔ නාඩන් අපට පිස්සු, නොම්මර එකේ චණ්ඩියා, ජය පිට ජය, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ, මහරජ ගැමුණු ආදී චිත්‍රපටයන්හි අර්ජුනගේ රංගනය අපට දැක ගැනීමට පුළුවන් විය. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂවරයකු ලෙස තම හැකියාව විදහාලූ අර්ජුන පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට නිර්මාණකරුවකු සමඟ ඉදිරිපත් කළ ඝරසරප චිත්‍රපටයි. එහි අර්ජුන නිෂ්පාදකවරයා විය. හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කලක සිට තිබුණු අදහසක් මල්ඵල ගැන්වීමක් ලෙස අර්ජුන ඝරසරප චිත්‍රපටය හඳුන්වා දී තිබිණ. ටෙලි නිර්මාණයන්හිදී වැඩිපුර කැපී නොපෙනුණු චරිතයක්වූ අර්ජුන වඩාත් ප්‍රිය කරන්නේ සිනමාපටයන්හී පමණක් රඟපෑමටය. ඔහුගේ බිරිය අමීෂා කාවින්දි ද සිංහල සිනමාවේ රංගන ශිල්පිනියකි.