දිරියෙන් දිනූ රන්ජන්

රන්ජන් රාමනායක
මැයි 5, 2022

 

රන්ජන් ජනප්‍රිය නළුවෙකි, ඒවාගේම අධ්‍යක්ෂවරයෙකු ලෙස ද නමක් රැන්දූ අයෙකි. විටෙක ඔහු ක්ෂේත්‍රයේ කොයිකාගෙත් සුහද මිතුරෙකි. තවත් විටෙක දේශපාලනඥයෙකි. මේ සියල්ල එක්වූ තැන රන්ජන් රාමනායක නමැති සහෘදයා ගැන කියවීමට පුළුවන. රන්ජන් ක්ෂේත්‍රයට පිවිසෙන මුල් අවධියේදී චරිත තෝරා බේරා ගැනීමකින් තොරව ලැබෙන ඕනෑම චරිතයක් භාර ගත්තේය. ඒ ඔහුට තිබුණු නළු උණ නිසාවෙනි. කුමන හෝ නිර්මාණයකට දායකවී නළුවෙකු ලෙස ලංකාවේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණෙන්නට රන්ජන් තුළ දැඩි අධිෂ්ඨානයක් තිබිණ. එනිසා ඔහු වැර වෑයමෙන් ලිපිනයන් සොයා ගනිමින්, රංගනයට අවස්ථාවන් ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරුන්ගේ නිවෙස්වලට යෑම පුරුද්දක් කොට සිටියේය. සමහර අධ්‍යක්ෂවරුන් ඔහුව නිවසින් පන්නා දමා ඇත්තේ කුකුළා හැඬලීමටත් ප්‍රථම ඒ නිවෙස්වලට ගොස් දොරට තට්ටු කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් තමන්ගේ දැඩි පරිශ්‍රමය මත ක්ෂේත්‍රයට පැමිණ රංගන අවස්ථාවන් සොයා ගන්නා රන්ජන් පසුකාලීනව ජනප්‍රියම රංගන ශිල්පියා ලෙසට ජනතා සම්මානය, නොකඩවා දස වතාවක් ඉක්මවා හිමි කරගැනීමට සමත් විය. සරසවිය ජනප්‍රිය නළුවාද වූ රන්ජන් නිලම්බරේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සරසවිය හොඳම නළුවා විය. රන්ජන් රාමනායක රංගනයට පිවිසෙන්නේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයෙනි. එහි ඔහු රඟපෑවා නොව සමූහ දර්ශනයකට පෙනී සිටියා පමණි. තමන් ඒ සිටින කොටස සොයාගැනීමට ඔහුට දහහත් වතාවකටත් වැඩිය චිත්‍රපටය නැරඹීමට සිදුවූ බව පසුකාලීනව සිනාසෙමින් කියා සිටියේය. සද්ද විද්ද රාජපක්ෂ පළගපතිර අඹ කුමාරගෙ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සු රන්ජන් රාමනායක බවට පත් වන්නේ ඔහුට ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයකට අවස්ථාව ලබාදුන් අධ්‍යක්ෂ සෝමරත්න රාමනායකට ගෞරවය පිණිසය. ඔහුගෙන් රාමනායක කොටස ලබාගන්නා රන්ජන් එතැන් පටන් රන්ජන් රාමනායක ලෙසට තමන්ගේ නම භාවිත කරන්නට පටන් ගනියි. එලෙස සෝමරත්නගේ ජය කොතනද චිත්‍රපටයෙන් පසුව ඔබටයි ප්‍රියේ ආදරේ, දුර්ගා, චණඩි රැජින, මැවිලා පෙනේවි රූපේ, දුවට මවක මිස, අයදිමි සමා, බහුභාර්යා, රෝස වසන්තයේ, යකඩ පිහාටු, මායා, ජීවිතය ලස්සනයි, ද ගේම්, ඇතුළු චිත්‍රපට ගණනාවකට රන්ජන් රංගනයෙන් දායක විය. මුල් කාලයේ ලැබෙන සෑම අවස්ථාවක්ම භාරගත් හෙයින් හොඳ නරක චරිත සියල්ලම පාහේ රන්ජන් රඟපෑවේය. එහෙත් ඇතැම් නිර්මාණයන්හි ඔහු උසස් ගණයේ චරිතද නිරූපණය කළේය. රන්ජන් රාමනායක අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයෙනි. එය ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත විය.