රංගනයේ කැරැලිකාරයා කමල්

කමල් අද්දරආරච්චි
මැයි 5, 2022

 

කොළඹ වෙස්ලි විද්‍යාලයේදී වෛද්‍යවරයකු වීමේ අරමුණින් පාසල් අධ්‍යාපනය ලබමින් සිටි කමල් අද්දරආරච්චි පාසලේ විවාද කණ්ඩායම්, වේදිකා නාට්‍ය ආදී විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද උනන්දු වූ සිසුවෙකු විය. මේ නිසාම රටේ වෙදා සහ නිල්නරියා යන පාසල් නාට්‍යවලින් ඔහුට ඔහුගේ දක්ෂතා එළි දක්වන්නට හැකි විය. ඉන්පසු කලාවටම සිත යොමු කළ ඔහු 1978දී පමණ මෙරට පැමිණි බටහිර ජර්මන් ජාතික නාට්‍යකරුවකු වූ ආචාර්ය නෝබට් ජේ මයර්ගේ නාට්‍ය වැඩමුළුවට සහභාගි විය. එයින් නිෂ්පාදනය කළ අනේ අබ්ලික් වේදිකා නාට්‍යය ඔහු ප්‍රසිද්ධ වේදිකාවට පස තැබූ මුල්ම අවස්ථාවයි. ඉන්පසු අත්, ඔත්තුකාරයා ආදී නාට්‍ය රැසක ඔහු වේදිකා නළුවකු ලෙස රංගනයෙන් දායක වූ අතර අත්, මෝරා, පැංස දෙකේ හංසයා ආදී නාට්‍යවල ඇඳුම් නිර්මාණයෙයන් ද දායක විය.

මේ අතර 1981 දී ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද සාගරයක් මැද චිත්‍රපටයේ විප්ලවකාරී තරුණයකුගේ චරිතයට පණ පෙවීමෙන් ඔහු රිදී තිරයට අවතීර්ණ වූයේ කඩවසම් තරුණ රංගන ශිල්පියකු වශයෙනි. ඉන්පසු කලියුගය, ගෙදර බුදුන් අම්මා, එකදා වැහි, ලොකු දුව, මහමෙර උසට බිතු සිතුවම්, බව කර්ම, ජුලියට්ගේ භූමිකාව, සලෙලු වරම, ගරිල්ලා මාකටින්, ඝරසරප, ඇඩ්‍රස් නෑ, ගින්නෙන් උපන් සීතල, කලර්, ආදී චිත්‍රපට ඔස්සේ සම්භාව්‍ය මෙන්ම ජනපි‍්‍රය තලයේ චරිතාංග නළුවකු බවට පත් විය.

ඔහු ගායකයකු ලෙස දොරට වැඩියේ සප්ත කන්‍යා චිත්‍රපටයට විශාරද දමයන්ති ජයසූරිය සමඟ ගැයූ උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයෙනි. එසේම විශාරද නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ තුන් සිත දැහැන්ගත වෙනා ගීතය ද අතිශය ජනපි‍්‍රය විය.

ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂවරයා කළ “රන්කහවනු” ටෙලිනාට්‍යයෙන් පුංචි තිරය ජයගත් ඔහු ඉන්පසු වෙද හාමිනේ, දඬුබස්නාමානය, රතු රෝස, ඉරට මුවාවෙන් වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ජනපි‍්‍රයත්වයේ හිනි පෙත්තට පත් නළුවකු විය. ඒ නිසාම ඔහුට 1995 වසරේ පැවැත්වූ ප්‍රථම සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට මෙන්ම ජනපි‍්‍රයම නළුවාට හිමි සම්මාන දිනා ගත්තේය.

නිවේදකයකු, ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙස දස්කම් දක්වන කමල් අද්දරආරච්චි කලක් ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙසද කටයුතු කළේය. දේශපාලනයට ද කලක් යොමු වී සිටි ඔහු මේ වනවිට වැඩි වශයෙන් යොමුව සිටින්නේ අනුරානී බිරිය සහ පුතුන් දෙදෙනාද සමඟ කුටුම්භය රකිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නටයි.