අනූවේ වීරයා ජීවන්

ජීවන් කුමාරතුංග
මැයි 5, 2022

ජීවන් කුමාරතුංග සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ඔහුගේ මාමා වන විජයගේ ආශිර්වාදයත් සමඟ ය. ඔහුගේ මංගල සිනමා රංගනය 1982 දී තනි තරුව වුවද ඔහුගේ පළමු තිරගත වූ චිත්‍රපටය වූයේ ගඟ අද්දරයි. එහි ලියන මහත්තයා ලෙස සුළු චරිතයක් නිරූපණය කළේය. ජීවන් චිත්‍රපට 90 කට වැඩි ගණනක රඟපෑවේය. පළමු වසර කිහිපය තුළ ජීවන් විශේෂයෙන් දුෂ්ට චරිතවල රඟපෑ අතර ඒවාට ඔබට දිවුරා කියන්නම්, ප්‍රාර්ථනා, ජය සිකුරුයි සහ රුමතියයි නීතියයි වැනි චිත්‍රපට ඇතුළත් වේ. ඔහුගේ පළමු ආදර වීර චරිතය 1984 රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද හිත හොඳ කොල්ලා චිත්‍රපටයෙන් මතුවිය. ජීවන්-අනෝජා යුවළගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට අතරට මමයි රජා, ඔබට රහසක් කියන්නම්,නැවත අපි එක්වෙමු,රන්දෙණිගල සිංහයා, යුක්තියට වඩා, වීර උදාර සහ ඇසළ සඳ වැනි චිත්‍රපට ඇතුළත් වේ. 1990 දී ඔහු ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය දිනා ගත්තේය. ඔහු රන් කහවනු, සුදු පරවියෝ, හිඟන කොල්ලා සහ අමරපුරය වැනි රූපවාහිනී කතාමාලා කිහිපයක රඟපෑවේය. ජීවන් රන්දෙණිගල සිංහයා, වැලි සුළඟ සහ මම ඔබේ හිතවතා වැනි චිත්‍රපට රැසක්ද නිෂ්පාදනය කළේය. හොඳ සටන්කරුවෙක් වූ ජීවන් විවිධ සටන් ක්‍රම ප්‍රගුණ කළ අතර ට්‍රේල් වර්ගයට අයත් මෝටර්සයිකලයෙන් පෙන්වූ වැඩ-කිඩ ඔහු විසින් නිර්මිත ප්‍රථම චිත්‍රපටය වූ හිත හොඳ චණ්ඩියාට යොදා ගත්තේය. ඔහු පළමුවරට ක්‍රියාකාරි දේශපාලනයට එන්නේ 1993 පළාත් සභා මැතිවරණයෙනි. එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කැබිනට් ඇමැතිකම දක්වාම ඔහු තනතුරු හෙබවූවේය. තවමත් නිර්මාණකරණයේ නියැළෙන ජීවන් අධ්‍යක්ෂණය කළ ජීවා චිත්‍රපටය තිරගත වීමට නියමිතය.