කැපවීමත් ප්‍රතිභාවත් එක්තැන් කළ සනත්

සනත් ගුණතිලක
මැයි 5, 2022

 

80 දශකයේ සිනමාවට පිවිසි නළුවන් අතරින් කැපී පෙනෙන ප්‍රමුඛයා ඔහුය.1955 ඔක්තෝබර් 27 වැනිදා මහනුවර උපත ලැබූ සොම්සිරි සනත් ජුලියන් ගුණතිලක , මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් අකුරු කළේය.මහනුවර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී පුවත්පතක පළ වූ දැන්වීමකට අයැදුම් කළ ඔහුට නළු වරම් හිමි විය. විජය ධර්ම ශ්‍රී හා මාලිනි ෆොන්සේකාගේ තෝරාගැනීම අනුව "සිටු කුමරියෝ" (1981) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබිණ. එහෙත් ඔහුගේ පළමු තිරගත වූ චිත්‍රපටය "ගඟ අද්දර" (1980) ය.චරිත නිරූපණය සඳහා කැපවීමත් රංගන ප්‍රතිභාවත් එකවර මෙහෙයවමින් කෙටි කලක් තුළදී ප්‍රමුඛ පෙළේ සිනමා නළුවකු වීමට ඔහු සමත් වූයේය. ජනප්‍රිය සිනමාවේ තරුවක් ලෙස ස්ථාවර වීමට සමාන්තරව කලාත්මක සිනමා ධාරාවෙහිද කුසලතා පෑමට හේ සමත් වීමෙන් ජනප්‍රිය නළුවා මතු නොව හොඳම නළුවා, හොඳම සහාය නළුවා ඇතුළු සරසවිය සම්මාන රාශියක් දිනා ගැනීමට හැකියාව ලැබිණ. අධ්‍යක්ෂකවරයකු (එකමත් එක රටෙක), නිෂ්පාදකවරයකු (සිසිල ගිනි ගනී), හා තිර රචකයකු (සිනහව අතරින්) ලෙසද ඔහුගේ සිනමා භූමිකාව විහිදී යයි. "විරාගය" (අරවින්ද),"කැඩපතක ඡායා" (පියතිලක), "පාලම යට" (වලහා), "සිසිල ගිනි ගනී" (මාකලන්ද), "දොරකඩ මාරාව" (ප්‍රියන්ත)," රාජ්‍ය සේවය පිණිසයි" (ජනක සිටුබණ්ඩාර) ආදී චිත්‍රපට සනත්ගේ රංගන කුසලතාවෙහි ක්‍රමික පරිපාකය විදහා පෑ මං සලකුණුය. විරාගය හි අරවින්දගේ භූමිකාව තාත්විකව ප්‍රතිනිර්මාණය කරනු වස් ඔහු කළ කැපවීම දක්ෂ නළුවන් වීමට වෙර දරන ආධුනිකයන්ට කදිම ආදර්ශයකි. සංකීර්ණ චරිත රඟපෑමේ පිපාසයෙන් පෙළුණු ඔහු තම ප්‍රතිරූපය පිළිබඳ නොසිතා ප්‍රතිවීර චරිතද වරෙක රඟපෑවේය. පසුකලෙක ක්‍රියාකාරී දේශපාලනයටද පිවිසි ඔහු විවාද සම්පන්න දේශපාලන භූමිකාවකටද උරුමකම් කීවේය. ඉඳහිට ගීත රචනයෙහිද නියැළෙන සනත් ග්‍රන්ථ කර්තෘවරයකු ලෙසද අපට හමු වේ. ජනප්‍රිය සිනමාවේ යුග සලකා බලන කල්හි සනත් - සබීතා යුගය අමතක නොවේ.